කාදිනල් හිමිපාණන්ට එරෙහිව සුරේෂ් සලේ සහ රනිල්..! - කිතුනු ජනයාගේ පිළිතුර කුමක්ද? (රනිල් මඩු සිද්ධස්ථානයට කඩා වැදීම -02)
-සමන් කපිල විජේසූරිය ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.02, ප.ව.8.45) ජනවරමක් රහිත ජනාධිපති රනිල් වික්‍රමසිංහ හදිසියේ කඩාපැන මඩු සිද්ධස්ථානය කෙළෙසීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රදගුරු හිමිවරුන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව මීට කලින් ලිපියෙන් අපි සාකච්ඡා කෙළෙමු. කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් ඒ පිළිබඳව සිය ස්ථාවරය එතුමන්ට ආවේනික පැහැදිලි, ස්ථිර ස්වරයෙන් මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.
එහෙත් ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලය කණ්ඩායමක් ලෙස මේ පිළිබඳව තවමත් නිහඬය. ඔවුන් මේ පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ කර තීරණයක් ගැනීම අනිවාර්ය වන්නේ මන්ද?
ඊට හේතුව මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බහුතර කතෝලික ජනතාවක් හඬ නගා විරෝධය පළ කළ මුල් වතාව මේ සිද්ධිය වුවත් ඉතා මෑත අතීතයේ එබඳු සිද්ධි රැසක් සිදු වී තිබීමයි. එනම් දේශපාලක සොරුන් සහ අපරාධකරුවන් මීට කලිනුත් බොහෝ විට සභා නායකයන් ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව කතෝලික දේවස්ථාන කෙළෙසා තිබීමයි.
අද වෙනස කුමක්ද?
වෙනස මෙයයි: ඒ අවස්ථා වලදී කිසිවෙක් හඬ නැගුවේ නැත. ඉතා සුළු හඬක් හෝ නැගුනේ නම්, බහුතරයේ දේශපාලන බලයත් එය කළ දූෂිත දේශපාලකයා ගේ දේශපාලන ප්‍රතිරූපයත් මත ඒ හඬ කෙඳිරියක් සේ යටපත් විය. එහෙත් මේ වන විට “අරගලය” විසින් තියුණු කරන ලද සමාජ හෘද සාක්ෂිය හේතුවෙන් බොහෝ දෙනෙකු ගේ අවධානය මේ සිද්ධිය වෙත යොමු විය. ඒ ගැන හඬක් නැගිණ.
මේ නිසා මඩු සිද්ධස්ථාන සිද්ධිය කේන්ද්‍ර කර ගනිමින් හුදෙක් මන්නාරම රදගුරු හිමිපාණන් ප්‍රමුඛ සංවිධායකයන් පමණක් විවේචනය කිරීම සාධාරණ නොවේ. ඉතිහාසය දෙස ආපසු බලා කතෝලික සභාවේ ප්‍රදේශ කිහිපයක සහ නායකයන් ගණනාවක් අතින් සිදු වූ වැරදි පිළිගෙන කිතුනු ඉගැන්වීම අනුව ඒවාට මනස්තාප වී අලුතින් අධිෂ්ඨාන වලට එළඹෙන්නට මේ සිද්ධිය මගින් කිතුනු ජනතාවට අභියෝග කරනු ලැබ තිබේ.
මඩු පල්ලියේ දී ම..
මෑත කාලයේ සිද්ධි කිහිපයක් අපි උදාහරණයට ගනිමු.
ශ්‍රී ලංකාවේ ජනවර්ගය සහ ආගම පදනම් කරගනිමින් මැතිවරණ දිනන්නට සිතන දේශපාලන නායකයන් බොහෝ දෙනෙකු ගේ අවධානය යොමු වන ප්‍රධාන ම කතෝලික ආගමික ස්ථානය මඩු පල්ලියයි.
2015 තීරණාත්මක ජනාධිපතිවරණයට පෙර එම මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයකු වූ මහින්ද රාජපක්ෂ මඩු සිද්ධස්ථානයට ගියේය. එහි දී එවකට මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන් විසින් ප්‍රාතිහාර්යාත්මක මඩු මෑණියන් ගේ ප්‍රතිමාවෙන් ම ඔහු ආශීර්වාද කරන ආකාරය දැක්වෙන සේයා රූ සහ වීඩියෝ අපට දක්නට ලැබිණි. එය කතෝලිකයකුටවත් නොලැබෙන වරප්‍රසාදයකි. අවම වශයෙන් සැදැහැති කතෝලිකයකුටවත් එම ප්‍රතිමාවට ඒ තරම් ආසන්න වන්නට ලැබෙන්නේ නැත.
සිය ජනතාවට සාධාරණත්වය ලබා ගැනීම වෙනුවෙන් කැපවුණු රායප්පු රදගුරු හිමියන් කෙරෙහි අප තුළ ඇත්තේ මහත් ගෞරවයකි. එහෙත් කතෝලික ජනයා ගේ මහත් බැතියට ලක්ව ඇති එම ප්‍රතිමාව හුදෙක් දේශපාලන අරමුණු මත දේශපාලකයකු මත තබා ආශීර්වාද කිරීම දුටු අපගේ සිත් වේදනාවෙනුත් ඇතැම් අය ගේ සිත් කෝපයෙනුත් පිරිණ. රායප්පු හිමියන් වැනි යුක්තිය වෙනුවෙන් පෙනී සිටින රදගුරු හිමි නමක් එසේ කළේ මන්ද? අපි වේදනාවෙන් ඇසුවෙමු.
පසුව අපට දැනගන්නට ලැබුණේ එම දේශපාලන නායකයා ගේ බලකිරීම සහ උවමනාව නිසා රායප්පු හිමිපාණන්ට එසේ කරන්නට සිදු වූ බව ය. ඉන් පසුව අනෙක් පිළේ අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන ද මඩු පල්ලි ගොස් ආශීර්වාද ලබා ගත්තේ ය.
එහෙත් ඒ සමයේ මේ සිද්ධි ගැන කිසිවෙකුත් හඬක් නැගුවේ නැත.
( මේ අතරින් මහින්ද රාජපක්ෂ එම ජනාධිපතිවරණයෙන් පරාජයට පත් විය. ඔහුට නවතින්නට සිදු වුණේ මැදමුලන ගෙදර ජනේලයකය. මෛත්‍රිපාල සිරිසේනට අත් වී ඇති ඉරණම ගැන කතා කළ යුතු නැත. ශුද්ධ වූ වස්තු අවභාවිත කරන ඕනෑම දේශපාලකයකු මේවායින් පාඩම් ඉගෙන ගත යුතු ය. )
හලාවත, මාරවිල කුරුස පල්ලිය..
වර්ෂය නිශ්චිතව කිව නොහැකි නමුත් ඒ මැතිවරණයක් ආසන්න සමයක් බව නිශ්චිතය.
වෙන්නපුවේ සිට මාරවිල දක්වා හලාවත - කොළඹ මාර්ගය වසා දමා තිබිණි. ඉන් පසුව දැඩි වාහන තදබදයකි. හේතුව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලක පිරිවරක් සමග මාරවිල ප්‍රාතිහාර්යාත්මක සිරි කුරුස දෙව්මැදුරට පැමිණීමයි. හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් මහත් උණුසුමින්, හරසරින් ජනාධිපතිවරයා පිළිගත් ආකාරය මාරවිලට පැමිණි අපට එහි ජනතාව විස්තර කළහ.
මේ පිරිසිදු පුද බිම ඒ වන විටත් විවිධ දේශපාලන අපචාර වලට වගකිව යුතු දේශපාලකයකු ගේ දේශපාලන ගමනකින් දුෂ්‍ය වනු දුටු මේ කතෝලිකයන් කතා කළේ වේදනාවෙන් රිදුම් දෙන සිත් වලිනි. ගිය 20 වැනි දා “ඥානාර්ථ ප්‍රදීප” කතුවැකියේ පළ වූ අම්මා ගේ ප්‍රකාශය දුටු අපට ඒ මොහොත සිහිපත් විය.
එහෙත් ඒ කාලයේ මහින්ද රාජපක්ෂ රජෙක් සහ අප්පච්චි කෙනෙක් කරපු අති බහුතරයක ගේ නෙත් අන්ධ වී තිබුණු නිසා මේ සිද්ධිය ගැන කවුරුත් කතා කළේ නැත. බහුතර බලය තුළ ක්‍රිස්තියානි දිවැසිවර හඬ නිහඬ කොට තිබිණි.
සන්තානම් පල්ලිය..
2019 දී පාස්කු ඉරිදා ප්‍රහාරය කේන්ද්‍ර කරගෙන රටේ රාජ්‍ය ආරක්ෂාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට ප්‍රතිඥා දී අපේක්ෂකත්වය ලබා ගත් අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට භාවිත කරන ලද්දේ කතෝලික ජනයා ගේ මහත් ආදරයට ලක් වූ අනෙක් සිද්ධස්ථානය වන තලවිල සාන්ත ආනා දේවස්ථානය යි.
ඔහු ගේ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරමින් ගරු නෙල්සන් සමන්ත පියනම දෙව්මැදුරේ මැද තීරය ඔස්සේ (isle) හරසරින් ගෝඨාභය කැඳවා ගෙන එන අයුරු අපි දුටුවෙමු. ඉන් පසුව ඔහු ගේ ගුණ වර්ණනා කොට ආශීර්වාද කළ ආකාරය ද අපි දුටුවෙමු. තවත් පියතුමන් කිහිප නමක් ද ගිහි ජනතාව විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටි අයුරු දුටු අපි ගිය 15 වැනි දා සේ ම එදෙස වේදනාබරවත් කොපයෙනුත් බලා සිටියෙමු.
කතෝලික ජනතාව මෙබඳු සිද්ධස්ථානයක් දේශපාලන ප්‍රචාරක ස්ථානයක් බවට පත් කරගන්නේ කෙසේද? කවුරුන් සංවිධාන කළත් ජනතාව ඊට අනුග්‍රහය දක්වන්නේ කෙසේ ද? ප්‍රධාන ජාතික පුද බිමක් වන මේ ස්ථානයේ මෙවැනි දේශපාලන රැළියක් සංවිධාන කිරීම හලාවත රදගුරු තුමන් ගේ අවසරයකින්, අභිමතයෙන් තොරව සිදු වූ බව විශ්වාස කළ හැකිද?
“මේක කරන්න එපා දෙවියනේ !”
ඒ වන විට ගෝඨාභය රාජපක්ෂ යනු කවුරුන්ද යන්න රට ම දැන සිටියේ ය. විශේෂයෙන් ම මන්නාරමේ දෙමළ හින්දු- කතෝලික ජනතාවත්, යුද්ධ සමයේ සහ ඉන් පසුව තම ජීවිතය පතා රටින් පළා ගිය මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරිකයනුත් දැන සිටියහ. ඊට අමතරව එම වසරේ අප්‍රේල් 21 වැනි දා සිදු වූ ජන සංහාරය සම්බන්ධයෙන් ඒ වන විටත් ඔහු දෙසට බොහෝ දෙනෙකු ගේ අවධානය යොමු වී තිබිණි. “මේක කරන්න එපා දෙවියනේ !” යි ඔවුන් නැගූ හඬ “රාජ්‍ය ආරක්ෂාව” වෙනුවෙන් කඳවුරු බැඳගෙන සිටි බහුතරයේ ඝෝෂාව තුළ හීන් කෙඳිරිල්ලක් වී යටපත් වී ගියේ ය. ජේසු ගේ මිහිමත ආච්චි අම්මා - සාන්ත ආනා මෑණියෝ - කතෝලිකයන් බොහෝ දෙනෙකුට ද “අපේ ආච්චි අම්මා” ය. එවන් ශුද්ධ ස්ථානයක් මෙලෙස දුෂ්‍ය වනු දැක අපි දැඩි ශෝකයට පත් වුනෙමු. ඇතැමෙකු කෝප වූ බව ද අපි දනිමු. ප්‍රදීප කතුවැකියේ අම්මාට කතාකරන්නට, එය අසන්නට කෙනෙකු සිටියත්, එදා ඒ සිද්ධියෙන් කෝප වූවන්ට සවන් දෙන්නට කෙනෙකු සිටියේ නැත. එදා ඒ වේදනාව හෝ කෝපය බහුතර කතෝලික ජනතාවට දැනුනේ නැත.
(නෙත් අන්ධ වූ බහුතරයේ ප්‍රහර්ෂය මැද සන්තානම් පල්ලියේ ශක්තියෙන් ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂට අත්වූ ඉරණම ගැන කතා කරන්නට වචන නාස්ති නොකරමි. ශුද්ධ ස්ථාන කෙළෙසීමේ ආදීනව ! )
අනුරාධපුරය...
සිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයේ වගකීම් පැහැර හැරීම නිසා පාස්කු ප්‍රහාරය සිදු වූ බවට අධිකරණය විසින් ම තීරණය කරන ලද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගිය වසරේ දිනෙක අනුරාධපුර පදවියේ දේවස්ථානයක පවත්වන ලද උත්සවයකට ආරාධනා කර තිබිණි.
එම උත්සවයෙන් පසුව එම දේවස්ථානයේ ශුද්ධ මණ්ඩපයට ගොඩ වූ ඔහු එහි මයික්‍රෝපෝනයෙන් ජනතාව අමතමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිය “නිර්දෝෂී භාවය” ගැන කතා කළේය.
අපි නොදන්න සිරිසේන ගේ නිර්දෝෂකම!
කවුරුත් ඊට විරෝධය පලකළේ නැත. අවම වශයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට හෝ කිසිවෙක් එතන ක්‍රියා කළේ නැත.
තවත් මේවාට ඉඩ දෙනවා ද?
2023 අගෝස්තු 15 වැනිදා මහා මංගල්‍ය දින මඩු මෑණියන් ගේ සිද්ධස්ථානය තුළ සිදු වූයේ ද අලුත් දෙයක් නොවේ. මීට කලින් සිදු වී තිබු එම දුෂ්ක්‍රියා වල ම තවත් එක් අවස්ථාවක් පමණි
වෙනස, මුලින් කීවා සේ “අරගලය” විසින් තියුණු කරන ලද නෙත් වලට එම අවස්ථාව පෙනීමය. එයින් තියුණු කරන ලද රටේ සමාජ හෘද සාක්ෂිය එහි වැරැද්ද අවබෝධ කරගැනීම ය. එම ප්‍රබල අරගලයෙන් ශක්තිමත් කරන ලද හඬවලින් ඊට විරුද්ධව හඬ නැගීම ය.
මේ නිසා දැන් සභාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටියි. මේ අවස්ථාවේ රටේ සමස්ත කතෝලික සභාව පැහැදිලි තීරණයක් ගත යුතු ය. එකමුතුව එක්සත්ව තීරණයක් ගත යුතුය.
කාදිනල් හිමිපාණන්ට එරෙහිව සුරේෂ් සලේ සහ රනිල් වික්‍රමසිංහ..
සියලු රදගුරු හිමිවරුන් යුක්තිය සහ නිවැරදි දේ වෙනුවෙන් එක්සත් විය යුතු ය යන්න අවධාරණය වන සිදුවීමක් මේ ලිපිය ලියා අවසාන කළ පසුව අසන්නට ලැබිණි.
එනම් සත් ගුණවත් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට අපහාස කිරීම සහ එතුමා බියට පත් කිරීම යන කාරණා සම්බන්ධයෙන් සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා නිමනි පියතුමාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලා ඇති බවට පළවූ වාර්තාවයි. එම වාර්තාව පල කර තිබුනේ ඇමති සත් ගුණවත් ටිරාන් අලස් ගේ පුවත් පතේය. ටිරාන් අලස් යනු වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු වලින් මෙන්ම විදේශ මුදල් වලින් ද රුපියල් කෝටි ගණනක් “පරිත්‍යාග කිරීමේ පුන්‍යකර්මය” කළ බව පිළිගත් කෙනෙකි. එම “පින්කමේ මහිමයෙන් ” එවර පරාජයට පත්කරන ලද රනිල් වික්‍රමසිංහ විසින් ම දැන් ඔහු නීතිය හා සාමය යන අති වැදගත් අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබ සිටියි.
මේ සියලු දෙනා - සලේ, අලස් සහ වික්‍රමසිංහ - කඳවුරු බැඳගෙන සිටින්නේ මන්ද යන්න කතෝලික රදගුරු හිමිවරුන් සහ ජනතාව අවබෝධ කරගත යුතු ය.
මීට කලින් සලේ ගේ පැමිණිල්ලක් මත රහස් පොලිසියට ගෙන යන ලද සිරිල් ගාමිණි පියතුමාත් දැන් ඔහු විසින් අපහාස වන්දි ඉල්ලන රොහාන් සිල්වා පියතුමාත් යනු පාස්කු ඉරිදා ප්‍රහාරයේ යුක්තිය හා සත්‍යය හඹා යාම පිලිබඳ කාදිනල් හිමියන් ගේ දැවැන්ත ප්‍රයත්නයේ එතුමාගේ සහයක පතාක යෝධයෝය. කාදිනල් හිමියන්ට ඍජුව අත තැබීමට මේ සමාගම බය ය. මේ නිසා කාදිනල් හිමියන් දුර්වල කළ හැක්කේත් එතුමන් ගේ ප්‍රයත්නය පරාජය කළ හැක්කේත් එතුමන් ගේ සහකරුවන්ට තර්ජනය කිරීමෙන්, ඔවුන් බිය ගැන්වීමෙන්, ඔවුන් උසාවි වලට ගෙන යාමෙන් සහ හැකිනම් ඔවුන් හිරේ විලංගුවේ ලෑමෙන් බව ඔව්හු සිතති.
රනිලුත් ගෝලයෝත් සිටින්නේ එකම අරමුණේය.
ඔවුන් පරාජය කළ හැක්කේ කතෝලික සමාජ ධර්මයේ එන යුක්තිය සහ සාධාරණත්වය පිලිබඳ ඉගැන්වීම් තුළ තරයේ පිහිටා සිට චෞර, අපරාධකාර දේශපාලකයන් ගේ සහ ඔවුන් ගේ බත් බැලයන්ට එරෙහිව නොබියව සිට ගැනීමෙනි.
ඒ සඳහා ඉතිරිව ඇත්තේ තෝරාගැනීම් දෙකක් පමණි.
රදගුරු හිමිවරුන් සහ පූජකවරුන් සිටිය යුත්තේ සාතන්ලා සමගද? එනම්, රටේ ආර්ථිකය, දේශපාලනය සහ නීතියේ ආධිපත්‍යය, සහ සමස්ත ජන සමාජයේ පොදු යහපත විනාශ කරමින් ඒ සමගම රටේ ආත්මය ද අගාධයට හෙළා ඇති, එනම් අපේ සුන්දර රට නරකාදියක් කර ඇති, දේශපාලන සාතන් ලා උන්ගේ අන්තේවාසිකයන් වන “අන්ධකාරයේ දූතයන්” සමග ද? නැති නම්, තමන් සාක්ෂි දරන දෙවියන් වහන්සේ සමග ද?
මේ ප්‍රශ්න වලට වචනයෙන් මෙන්ම ක්‍රියාවෙනුත් පිළිතුරු ලැබිය යුතුය. එය කඩිනම් විය යුතුය.තීක්ෂණ විය යුතුය. ප්‍රබල විය යුතුය. දිවැසිවර විය යුතුය.
2023 අගෝස්තු 23 වැනිදා රදගුරු සම්මේලනය නිකුත් කළ “පතෝල” නිවේදනයේ මේ එකදු ලක්ෂණයක් හෝ අඩංගු වූයේ නැත. එය හුදෙක් මුහුණ බේරාගන්නට කළ අසාර්ථක වෑයමක් පමණි.

No comments:
Post a Comment