Tuesday, 12 September 2023

මහාචාර්ය ගණනාථ/රංජනී ඔබේසේකර යුවල විසින් සිය මහාර්ඝ ධනය වූ පෞද්ගලික පුස්තකාලය පේරාදෙණිය සරසවියට පූජා කිරීමේ දී මහාචාර්ය ලියනගේ අමරකීර්ති පැවැත්වූ දේශනය...!

-සිංහලයට නැගුවේ කුඩගම්මන සීලරතන හිමි.

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.12, ප.ව.7.30)  පසුගිය දා මහාචාර්ය ගණනාථ/රංජනී ඔබේසේකර යුවල විසින් සිය මහාර්ඝ ධනය වූ පෞද්ගලික පුස්තකාලය සිය ගුරු බිම වූ පේරාදෙණිය සරසවියට පවරා දීම වෙනුවෙන් පැවැත්වූ හමුවෙහි මහාචාර්ය ලියනගේ අමරකීර්ති ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කළ දේශනය ලංකා ඊ නිවුස් වෙනුවෙන් සිංහලෙන් සකස් කළේ කුඩගම්මන සීලරතන හිමි.

"ගණනාථ ඔබේසේකරයන්ගේ කාර්යභාරය පිළිබඳ ව කතා කරන්නට ඇරයුම් කරන විට එතුමන්ගේ ශාස්ත්‍රීය සම්ප්‍රදානය පිළිබඳ ව තිබෙන හුරුපුරුදුකම නිසා මා ප්‍රාමෝද්‍යයෙන් පිනා ගිය නමුත්, සමාජ විද්‍යා අධ්‍යයන අංශය නියෝජනය කරන ධම්මික හේරත් වැනි නව පරපුරේ තරුණ කෙනෙකුන් යොදා ගැනෙන්නේ නම් නොමැනවැ’යි හඟනේ දැ’යි මම විමසිලිමත් වීමි. මෙතැන කෙරෙමින් තිබෙන්නේ, නව පේරාදෙණිය, පැරණි පේරාදෙණිය අගයමින් උපහාර පුද කිරීමකැ’යි හඟිමි.

සාහිත්‍ය පසුබිම් කරගත් කෙනෙකු වන මගේ ප්‍රාගුණ්‍යය තිබෙන්නෙ සාහිත්‍ය, සහ එම ක්ෂේත්‍රයෙහි අවයව වන සාහිත්‍යමය න්‍යාය, පශ්චාත් නූතනවාදී අධ්‍යයනයන්, සංස්කෘති අධ්‍යයන ආදිය පිළිබඳ ව. මේ කථාවෙදි අවධාරණය කෙරෙන්නෙ, වියත් සමාජය නියෝජනය කරන්නෙකු ලෙස ඉහත විෂයයන් ඉගැන්වීමෙ දි මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ සම්ප්‍රදානය මා කෙරෙහි බලපෑ ආකාරය පැහැදිළි කිරීම.

පුංචි කතන්දරයකින් පටන් ගනිමු...

පුංචි කතන්දරයකින් පටන් ගන්න මට ඉඩ දෙන්න. 1993 දී, මං කොළඹ විශ්ව විද්‍යාලයෙ තෙවන වසරෙ ශිෂ්‍යයෙක්.  ජුලි මාසයෙ එක් දිනෙක අන්තර් පීඨ නාට්‍ය තරගය පැවැත්වුණා. මමත් නාට්‍යයක් ලියල අධ්‍යක්ෂණය කරල තිබුණ. ඒ නාට්‍ය වේදිකා ගත වෙන්න මොහොතක් තියෙද්දි, මම තිරයෙ කොණකින් විනිශ්චය මණ්ඩලය දිහා එබිකම් කරල බැලුව, ඒ අය හිටියෙ ලොව හොඳ ම කෙටි නාට්‍ය නරඹන්න සූදානමින් ද කියල අවසන් වරට පැහැදිළි කර ගන්න. විනිශ්චය මණ්ඩලයෙ ප්‍රධානිය බොහෝ ම සෝභා සම්පන්න ව සැරසිලා ඇවිත් හිටිය වැඩිපුර ම ඉංග්‍රීසි කතා කරපු කාන්තාවක්. පැය කීපෙකින් තරගය හමාර වුණා. හොඳ ම නාට්‍ය, හොඳ ම නාට්‍ය පිටපත, හොඳ ම නළුව, ආදි සේර ම ප්‍රධාන තෑගි ටික හම්බ වුණේ මගෙ නාට්‍යයට. ඒත්, විනිශ්චය මණ්ඩලය අතරෙ එච්චර කතා බහක් වුණ බවක් පෙනුණෙ නෑ. තෑගි බෙදා දුන්නෙ මහාචාර්ය සරත් විජේසූරිය. තෑගි බෙදා දීල ටිකකින් මවෙත ආ එවක කථිකාචාර්යවරයෙකු වූ මහාචාර්ය සරත් විජේසූරිය කිවුව “අන්න රන්ජනී මැඩම් එන්න කිවුව,” කියල. මා එක්ක ඉංග්‍රීසි කතා කරන එකක් නෑනෙ කියල හිත හිතා මං ගියා විශේෂ අමුත්තන්ගෙ කාමරයට. රන්ජනී මැඩම් කිවුවෙ අර විනිශ්චය මණ්ඩලේ මුල් පුටුවෙ හිටිය ප්‍රභූ කාන්තාව. මා එක්ක සිංහලෙන් කතා කරල මගේ නාට්‍ය අගය කරල, මට කිවුව බම්බලපිටියෙ ලොරිස් පාරෙ නිවසෙදි හමු වෙන්න කියල. එහෙදි අපි හමුවුණේ ඒ ගිම්හාන නිවාඩුවෙදි විතරක් නෙවෙයි. ඉන් පස්සෙ හැම ගිම්හාන නිවාඩුවකදි ම වගේ ඔබේසේකරවරුන් හමු වුණා. ඒ එක සංවාදයකදි තමයි මට මුල් ම වතාවට ‘Fulbright fellowship’ ගැන අහන්න ලැබුණෙ. 1997, මං ඒක ලබා ගත්ත. ශිෂ්‍යත්වය හම්බවුණාට පස්සෙ, මට විශ්ව විද්‍යාලයන්ට අයදුම්පත් යවන්න සිද්ධ වෙලා තිබුණ. ඒ ගිම්හානයෙත්, ඔබේසේකරවරු ලංකාවට ආව. මහාචාර්ය ගණනාථ ඔබේසේකර තමයි විස්කොන්සින් සරසවිය ගැන කිවුවෙ. අන්තර්ජාල පහසුකම් ලැබෙන්න ඉස්සර ඒ කාලෙ, ඒ වගෙ පොඩි තොරතුරක් වුණත් ලොකු දෙයක්. අද 2023, පහුගිය අවුරුදු තිහ තිස්සෙ මහාචාර්ය රන්ජනී ඔබේසේකර තමයි මගෙ උපදේශකවරිය, යෙහෙළිය, වගේ ම, ක්ෂේත්‍රය තුළ වෙහෙස නොබලා වැඩ කිරීමේ හැඟීම ජනනය කරවූ තැනැත්තිය. ඉතිහාසය හැම විට ම හොඳ ම විනිශ්චයකරුවා නොවුණත්, මැතිණියනි, ඔබේ උපදෙස් ලබාගත් තැනැත්තා හිතකර තීන්දු තීරණ ම ගන්නා කෙනෙකු වනු ඇතැ’යි අපි බලාපොරොත්තු වෙමු.

මහාචාර්ය ඔබේසේකරයන්ගෙ කටයුතු බොහෝ පැතිවලින් මා තුළ හැඟීම් ඇති කළා. මූලික වශයෙන්, එතුම විශේෂයෙන් එවන් ආදර්ශවත් වියතුන් හිඟ විශ්ව විද්‍යාලයීය කලා පීඨයන්හි මට ආදර්ශයක් වෙච්ච ශ්‍රී ලාංකික විද්වත් සමාජයෙ කිහිප දෙනාගෙන් කෙනක්. සියළු බල කේන්‍ද්‍රයන් සමග තීරණාත්මක දුරස්ථ භාවයක් තබා ගනිමින් බලය වෙනුවෙන්  සත්‍ය ම කතා කිරීමත්, එසේ දුරස්ථ භාවයක් පවත්වා ගැනීමෙන් කෙනෙකුට ඇතිවන තනිකමෙහි දී නිවෙසට ම සීමා වී හුදෙකලාවීමේ හැඟීම එතුමගෙනුයි ලැබුණෙ.

පේරාදෙණියෙ සිංහල අංශයෙ විෂය නිර්දේශයට මං කොහොම ද ඔබේසේකර චින්තනයෙ සමහර තැන් එකතු කළේ කියන එක පැහැදිළි කරන්න මට ඉඩ දෙන්න. පසුගිය හය මාසයෙහි මම අපේ නිර්දේශයට මෑත එකතු කළ පාඨමාලාවක කොටසක් ඉගැන්නුව. එහි සාකච්ඡා වෙන්නෙ, යුරෝපීය අධිරාජ්‍යවාදය ශ්‍රී ලංකාව තුළ නියෝජනය වෙන්නෙ කවර ආකාරවලින් ද කියන එක.

සෙයිඩ්ගේ පෙරදිග වාදය..

Edward Said කියන්නෙ ඒ සම්බන්ධයෙන් නොවරදවා ම හදාළ යුතු චින්තකයෙක්. ඒ වගෙමයි, සමහර විට ඊටත් වඩා, අපේ ඔබේසේකර මහාචාර්යතුමත් වැදගත්. මගෙ ශිෂ්‍යයො කිසි ම කෙනෙක් ශාස්ත්‍රීය පොතපත ඉංග්‍රීසියෙන් කියවන අය නෙවෙයි. ඒත්, මං මහාචාර්ය ඔබේසේකරගෙ Cannibal Talk පොත සහ The Apotheosis of Captain Cook පොත්වල සමහර කොටස් පරිවර්තනය කරමින් යොදා ගන්න ගමන්, තවත් ටික ටික විස්තර කරනකොට මට ම පෙනෙනව මගෙ ශිෂ්‍යයො උසස් චින්තනයකට හිමිකම් කියන්නවුන් වගේ වැඩ කරන හැටි. ප්‍රධාන කාරණය දකින්න තරම් ඔවුන් බුද්ධිමත්. තමන්ගෙ ම වර්ගයෙ අය ව කාල දාන එක අධිරාජ්‍යවාදයෙ සංකල්පමය මෙවලමක්. යුරෝපීය අධිරාජ්‍යවාදීන් අතරත් මිනිසුන් මරාගෙන කන සමහර මිනිස් කණ්ඩායම් හඳුනා ගැනෙනව. ඉන්දියාවෙ පැවැත්වුණ සති පූජාවටත් වඩා, යටත් විජිතවාදීන් ඇතැම් ජන කණ්ඩායම් හඳුනා ගැනීමෙදි නිතර දක්නට නොලැබෙන විදිහෙ මිනීමරු පිළිවෙත් යොදාගෙන තිබෙනව. ආසියානු, අප්‍රිකානු, ඇමෙරිකානු ආදි අනෙකුත් මිනිසුන් හඳුනා ගැනීමෙදි බලය මැදිහත් වන බවත්, හඳුනා ගැනීමට ඇති බලය, පාලනය කිරීමට ඇති බලය, දඬුවම් කිරීමට සහ මිනී මැරීමට ඇති බලයෙන් ඒ මිනිසුන් වසා දැමෙන බවත් Said's Orientalism වලින් අප ඉගෙන ගෙන තියෙනව. ( Said's Orientalism -සෙයිඩ්ගේ පෙරදිග වාදය) යනු බටහිර ලේඛකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සාමාන්‍ය ජනතාව මැද පෙරදිග ඉස්ලාමීය සමාජ "පෙරදිග" ලෙස අර්ථකථනය කර නිර්වචනය කිරීමට යොදාගෙන තිබෙන රාමුවයි.) ඔවුන්ගෙ ‘දැනුම’ ගත්තම, ‘අනෙක් අයගෙ දැනුම’ කියන එක හැදිල තියෙන්නෙ ම ඒ අනෙක් අය කියන අය ව යටපත් කර ගැනීමෙ, මර්දනය කිරීමෙ අදහසින්. ඒ කියන්නෙ, තව කෙනෙකු යටපත් කිරීම, අභිබවා නැගී සිටීම ඔවුන්ගෙ බලයෙ එක්තරා ස්වරූපයක්.

දැනුම කියන්නෙ ම බලයක්..

දැනුම කියන්නෙ ම බලයක් බව Foucault පෙන්වා දී තිබෙනු විය හැක. ඔබේසේකරයන්ගෙ කෘතිවල, විශේෂයෙන් ඉහත දැක් වූ කෘතිවල, ඒ දැනුම/බලය අක්ෂයෙ තව තවත් සංකීර්ණ ස්වරූපය පෙන්නුම් කෙරෙනව. ඩූම්ඩ් කිං ප්‍රමාණවත් තරමින් පෙන්වා දෙන හැටියට, යම් විෂයයක් වටා කතාබහක් ගොඩ නැගුණ ම, ඒ කතාබහ තුළ දැනුමක් ගොඩ නැගෙනව. ඒකට එයාගෙ ම පන්නයෙ ජීවිතයක් ඇති කරගෙන පැවතෙන්න නොයෙක් දෙනා දායක වෙනව.   

මහඇදුරු ඔබේසේකරයන් අපට උගන්වල තියෙනව කිසියම් ක්ෂේත්‍රයයක් ගැන හදාරල ලැබුණ දැනුමට කොහොම ද අභියෝග කරන්නෙ කියන එක.  Medusa’s Hair කියන පොතේ (කතරගම පුදබිම ඇසුරු කර පුද්ගලයන්ගෙන් සංකේතවත් වන දේ සහ ආගමික අත්දැකීම පිළිබඳ ගණනාථ ඔබේසේකරයන් සම්පාදනය කළ මානව විද්‍යාත්මක අධ්‍යයනයකි) එතුම මානව විද්‍යා ක්ෂේත්‍රයෙ පතාක යෝධයෙකු මෙන් ම එතුමගෙ ගුරුවරයෙකු වන Edmand Leachට අභියෝග කරනව. අපේ අංශයෙ කවදාවත් ඒ විදියෙ සංවාද සිද්ධ වෙන්නෙ නෑ. ඔබේසේකරයන් ඉස්මතු කරවපු සමහර සංවාද ගෝලීය මට්ටමේ ඒව. සුප්‍රසිද්ධ මානව විද්‍යාඥයකු වන Martin Sahlins සමග සම්පාදනය කෙරුණ එතුමගෙ සුප්‍රකට පොත, Apotheosis of Captain Cook කිසිදා නිම නොවන සංවාදයක් ඉස්මතු කරවනව. අපේ කාලයෙ අසහාය මානව විද්‍යාඥයින් දෙදෙනෙකු ඒකට ප්‍රතිචාර දක්වනව පොතක් තරම් දිග ශාස්ත්‍රීය ලිපියකින්. ඒ සංවාදය තවත් සුපරසිඳු සංවාදයන් ගණනාවක් මතු කළා. Clifford Geerts, Stanley Thambiah ආදි මානව විද්‍යා වියතුන් ඔබේසේකර- සාලින්ස් සංවාදයට විශේෂ සංවාද මණ්ඩපයක් සම්පාදනය කරනව. මං ඒක තේරුම් ගත්ත හැටියට, ඔබේසේකරයන්ගෙ තර්කයෙන් අවධාරණය කෙරුණෙ ස්වදේශික හවායි දූපත් වැසියන් එම දූපත් ජනාවාස බවට පත් කරවන්න මුල්වෙච්ච කැප්ටන් කුක් ව විරෝධතා දැක්විය නොහැකි තරම් ප්‍රබල අලුත් ජාතියෙ බලසම්පන්න දෙවි කෙනෙකු ලෙස සළකල පුද පූජා පවත්වන්න ඥානාන්විත වුණේ නැති බවයි. සාලින්ස්ටත් තිබුණ ඇත්තට ම වැදගත් කාරණයක්. ඒ තමයි, පෞරාණික ලෝකෙ අධිරාජ්‍යවාදීන්ට ඇමරිකානු මහාදීවීපයෙ නව ලොව මුණ ගැසීමෙදි වුණේ මොකක් ද කියන කාරණය සම්බන්ධ ව. ඒත්, මගෙ පශ්චාත් අධිරාජ්‍යවාදී මානසිකත්වය මාව යොමු කරවන්නෙ ඔබේසේකරයන් සමග එකඟ වන්නයි.  

න්‍යායාත්මක දිශාවට යොමු වූ ශාස්ත්‍රඥයා මහාචාර්ය ඔබේසේකර..

මහාචාර්ය ඔබේසේකර තමයි මෑත කාලෙ න්‍යායාත්මක දිශාවට යොමු වෙච්ච ඉතා ම වැදගත් ශාස්ත්‍රඥය. එතුමගෙ මනෝවිශ්ලේෂණාත්මක ප්‍රවේශයන් සහ සම්භාව්‍ය ඓතිහාසික ආඛ්‍යාන සහ ඓතිහාසික චරිත පිළිබඳ අතිශය ජවසම්පන්න  හා දිගින් දිගට ගලා යන කියවීම්, සමහර යටත් විජිත, ජාතිකවාදී හෝ පශ්චාත් යටත් විජිත කියවීම්වලින් හඳුනා ගැනුණ තරමට වඩා පොහොසත්. එතුමගෙ, The Work of Culture පොත, ඔබේසේකරයන්ගෙ වටිනා කෘති අතර මා සලකන අග්‍රතම එකක්. එය, අප සක්‍රීය ව සිටින මෙවක   විශිෂ්ඨ මනසක් ඉතා අලංකාර ලෙස විදහා දක්වන අසාමාන්‍ය කෘතියකි. එමගින්, පේරාදෙණිය සහ එහි ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදිත ශ්‍රේෂ්ඨතම ලේඛකයෙකු වන ඔබේසේකරයන් අශෝක, දුටුගැමුණු, කාශ්‍යප ආදී ඓතිහාසික බෞද්ධ චරිත නැවත විමර්ශනය කිරීමට ඊඩිපස් සුසමාදර්ශය භාවිත කරනව. 1982 දී “මනෝ විශ්ලේෂණාත්මක මානව විද්‍යාව සහ අර්ථ නිරූපණයේ සමහර ගැටළු” යන පොදු මාතෘකාව යටතේ දේශන මාලාවක් ලෙස ලබා දී ඇති The Work of Culture නම් ග්‍රන්ථය කතුවරයා කලින් සම්පාදනය කළ ලිපි ලේඛනවල සරුසාර සාරාංශයක්. තමාට හුරු පුරුදු, ඒ වනවිටත් පළ කර තිබුණ ලිපි ලේඛන සමග විශිෂ්ට චින්තකයෙකුට කටයුතු කළ හැකි ආකාරයත්, එසේ කටයුතු කිරීම තුළින් අත්පත් කරවා ගතහැකි විස්මය, සතුට සහ අවබෝධය සමග මුසු වූ නව දැනුම කෙතරම් ද යන්නත් එමගින් විශද කරවනව. ඉගෙන ගන්නෙකු වශයෙන් ඔබේසේකරයන්ගේ ස්වරූපය මෙන් ම, තැති ගැන්වෙන සුළු දුෂ්කරතා ඇති නොවන සේ මනහර ලෙස සකසා ගැනුණ වැකි යොදාගෙන මේ පොත, ගැඹුරු, සංකීර්ණ සිතිවිලිවලින් සරුසාර ශාස්ත්‍රීය තර්ක ඉදිරිපත් කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව යොදා ගැනීමෙහි තිබෙන යෝග්‍යත්වය ප්‍රදර්ශනය කරවන්නක්.

දුටු ගැමුණුගේ හෘදය සාක්ෂිය...    

මෙම පොතෙන් දුටු ගැමුණුගේ හෘදය සාක්ෂිය පිළිබඳ තම සුප්‍රකට මතය නැවත විමසා බලන ඔබේසේකරයන් ඔහු අවුල් සහගත පෞද්ගලික ඉතිහාසයක් සහිත සංකීර්ණ චරිතයක් බව තවත් වරක දී අපට පෙන්වනව. හෙතෙම, සිය පියාගෙන් වෙන් ව, ප්‍රබල මාතෘ චරිතයක සෙවණැල්ලෙහි, අධිපතිවාදී ‌ ඓතිහාසික ලේඛන කථා නොකරන්නට තීරණය කෙරුණ ගැහැණියක සහ විවාහ වෙමින්, සහෝදරයන් අතර පැන නැගෙන සාමාන්‍ය ගැටළුකාරී තත්වයන් සහිත සබඳතා පැවති සහෝදරයකු සමග සහ අවසන් වශයෙන් සමකාලීන දේශපාලන වාතාවරණය මගින් සත්ගුණවත් නරපතියෙකු ඝාතනයට පොළඹවනු ලැබූවෙක්. ඔබේසේකරයන්ට නම්, පුත්‍රයෙකු, සොහොයුරෙකු, සැමියෙකු, පියෙකු සහ පාලකයෙකු  වශයෙන් කැළඹිලි සහගත ගාමිණි හෘද සාක්ෂිය, පාලකයන්ට පමණක් නොව අප සැමට ම වඩාත් සාමකාමී හෘද සාක්ෂියක් ඇති කර ගැනීමට හිතකර සමාජයක අවශ්‍යතාවය සිහිපත් කරවීමට යොදා ගත හැකි රූපකයක්.

ඓතිහාසික සිදුවීම් සහ චරිත පිළිබඳ මෙම සරුසාර කියවීම වරදවා වටහා ගෙන, අන්තගාමී ලෙස  එක් මානයකින් පමණක් බලන, ජාතිකවාදී/ජාතිවාදී සිංහල පුවත්පත් ඔබේසේකරයන් ජාතික දුෂ්ටයෙකු බවට පත් කර තිබීම පුදුමයක් නොවෙයි. එතුමන් ව බිහි කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට, සිංහල මිනිසුන්ගේ හෘද සාක්ෂියට අනුව දුටුගැමුණු කළ වරදක් නැතැයි තර්ක කරන උගතුන් නිර්මාණය කිරීමට සිදුවුනා! එහෙම වුණා ම, ශ්‍රී ලංකාව දේශපාලන, සදාචාරාත්මක, සංස්කෘතික අගාධයකට වැටීම පුදුමයක් නොවෙයි.

‘පැහැදිළි සිහින දැකීම’..

ඔබේසේකරයන් යුරෝපීය බුද්ධිමය තර්කනය විචාරාත්මක ව විමර්ශනය කළ ප්‍රමුඛයෙක්. Medusa’s Hair පොතේ ඔහු රවටන සුළු ආගමික අත්දැකීමෙ තියෙන ව්‍යාජත්වය පෙන්වන්නෙ පෞද්ගලික සංකේතමය න්‍යායයන් සහ මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවේශය යොදාගෙන. බටහිර තර්කනය පිළිබඳ ඔහුගෙ විවේචනය හොඳ ම විදියට පැහැදිළි කෙරෙන්නෙ Awakened Ones: Phenomenology of Visionary Experience පොතෙන්. එය මගෙ හදවතට සමීප වුණ සිත තෝන්තු කරවන්නක්. ඒක වෙන්නෙ මා ස්වභාවාවදී යථාර්ථය වෙනුවට යොදාගත හැකි විකල්ප මාර්ග සොයන ලේඛකයෙකු වගේ ම විද්වතෙකු වන නිසා. තම තමන් ම නාථ දෙවියන්ගෙ වසමෙ අතරමං වෙච්ච අන්තවාදී සංස්කෘතික සාපේක්ෂතාවාදීන් බටහිර තර්කවාදය විවේචනයට භාජනය කිරීම අපේ රටේ විලාසිතාවක් වෙච්ච දෙයක්. බටහිර තර්කවාදය පිළිබඳ ඔබේසේකරයන්ගෙ විවේචනය චන්න ජයසුමන වගේ ජාතිවාදීන් හැදීමෙන් හෝ ඔසවා තැබීමෙන් නිම වෙන එකක් නෙවෙයි. මහාචාර්ය ඔබේසේකර ප්‍රබුද්ධ සම්ප්‍රදාය විවේචනාත්මක ව රැක ගන්නව. ඒ සඳහා එතුම, යුරෝපීය බුද්ධිවාදී සම්ප්‍රදාය තුළ භාවිතා කෙරුණ අනෙක් හැම අවබෝධාත්මක ස්වරූපය වගේ ම, ඉන් එහා තිබුණ හැඟීම්, දර්ශනයන් සහ ඩෙකාර්ට්ගෙ තර්කවාදී චින්තන ක්‍රමයට අතිරේක වශයෙන් යොදා ගන්නව. “මම කියල හිතන නිසයි මම ඉන්නෙ,” කියල ඩෙකාර්ට් කියන බව සුප්‍රකටයි. එතන සිතීම කියන්නෙ තර්කානුකූල ව සිතීම. ඒත්, භාවනාමය අවබෝධය, දැක්ම හදිසියේ පහළ වෙන දර්ශනය හෝ කවියන්ගේ පහළ වීම, එහෙම නැත්නම්, ෆ්‍රොයිඩ් හඳුන්වන ‘පැහැදිළි සිහින දැකීම’ හැම සම්ප්‍රදායක ම වගේ ‘දැනුම් ස්වරූපයන්’ බවට පත් ව තිබෙනව. මෑත වසරවල, ඔය සංසිද්ධීන් පිළිබඳ ව පොතපතක මට්ටමින් වැඩක් වෙලා තියෙන්නෙ ඔබේසේකරයන්ගෙ අධ්‍යයනයන්වලින් විතරයි.

කර්මය පරිකල්පනය කිරීම..

මේ අදහස මාව ඉස්මතු කරන්න අදහස් කළ වෙනත් කාරණයකට යොමු කරනව. ඒ තමයි, ඔබේසේකරයන්ගෙ විද්වත් භාවයේ තිබෙන තුලනාත්මක ස්වරූපය. එතුමගෙ සමහර පොත් ලොකුයි, ඒවයින් කෙරෙන තැති ගැන්වීමත් ඒ වගෙමයි. ඒත්, ලියල තියෙන්නෙ අපූරු, අව්‍යාජ ශෛලියකින්. ආසාවෙන් කියවන්නත් පුළුවන්. ඒ පොතක් කියවන්න ගත් කෙනෙක් තම දැනුවත් භාවයෙත් විඤ්ඤාණයෙත් ඇතිවුණ පෘථුලත්වයක් අත් නොදැක පොත කියවීම හමාර කරන්නෙ ම නෑ. නිදසුනක් හැටියට, Imagining Karma: Ethical Transformation in Amerindian, Buddhist, and Greek Rebirth (කර්මය පරිකල්පනය කිරීම: ඇමරි-ඉන්දියානු, බෞද්ධ සහ ග්රීක පුනරුත්පත්තියේ සදාචාරාත්මක පරිවර්තනය) පොත ගනිමු. මේ පොත ගැන දැන ගැන්මට පෙර, කර්මය පිළිබඳ අදහස සදාචාරාත්මක තර්කනයේ එක්තරා ස්වරූපයක් ලෙසත්, අපේ මෙලොව පරලොව ජීවිත ඉක්මවා ගිය මනුෂ්‍ය ජීවිතයක් පැහැදිළි කරන, වගේ ම අන්තර් සංස්කෘතික අවබෝධය සඳහා න්‍යායාත්මක කොටසක් ලෙස භාවිතා කළ හැකි දෙයක් බව  මා දැන සිටියේ නැහැ. අනිවාර්යයෙන් ම, වචනයේ බෞද්ධ අර්ථයෙන් නොවන මුත්, කර්මය පිළිබඳ සාකච්ඡාව වෙනත් බොහෝ සංස්කෘතීන් තුළ පැවතී තිබෙනව. එනම්, මරණයෙන් පසු ජීවිතය පිළිබඳ ගැඹුරු, පරාවර්තක චින්තනය සහ දාර්ශනික ව්‍යුහයන් තනි සංස්කෘතියකට ආවේණික වී නොමැත. මේ පොත පුරා ම, ඔබේසේකරයන්ගේ තවත් පොත් කිහිපයක් සහ ලිපි ලේඛන සමග, ජීවිතය කියන්නෙ මොකක් ද වගේ ම, ජීවිතයේ අරුත කිම වැනි බරපතළ සුවිසල් ගැටළු සාකච්ඡා කෙරෙනව. සමහර විට, මිනිසුන් මෙම ප්‍රශ්න විමසන ආකාරය ඔවුනොවුන්ගෙන් ඉගෙනගෙන තිබෙන්නෙ. සමහර විට, තනි තනි ව මත්, මෙවන් ප්‍රශ්න තම තමන්ගෙන් අසාගෙන තිබෙනව. බොහෝ අවස්ථාවන්හි මෙන් ම, බොහෝ ආකාරවලින් ද, මනුෂ්‍යයා සම්බන්ධ හැම දෙයක ම පවත්නා ඔවුනොවුන්ගේ සම්මාදමෙන් ගොඩ නැගුණ ඒවා බව ඔබේසේකරයන්ගේ විදග්ධභාවය අපට පෙන්වා තිබෙනව. මා වෑයම් කර තිබෙන්නෙ, පටු ජාතිවාදි අදහස්වලින් මෙරට තුළ, අපේ යුගයෙහි හැදුණ වැඩුණ මගේ සිසුන් මුදවා ගන්නා අදහසින් එම පණිවිඩය ඔවුන් අතට ලබා දීමටයි.

අපේ ‘පටුකම’ ගැන ගැඹුරින් විමර්ශනය කෙරෙන පොතක්..

මහාචාර්ය ඔබේසේකරගෙ මෑත කාලීන පොත, කන්ද උඩරට රාජධානියේ බොහෝ පැති ස්පර්ශ කරනව. එය, 16 වන සහ 18 වන සියවස් හරහා මහනුවර රාජධානිය තුළ දක්නට ලැබුණ ජාතිමය විවිධත්වය නැවත සලකා බැලීමට අපට ආරාධනා කරන ‘පටුකම’ ගැන ගැඹුරින් විමර්ශනය කෙරෙන සුන්දර කුඩා පොතක්. දෙවන රාජසිංහ වැනි මහනුවර රාජධානියේ රජවරු කිහිප දෙනෙකු ම, විදේශිකයන් මහනුවර රාජධානියට කැඳවා ගැනීම ආස්වාද ජනක කටයත්තක් ව සිතූ බවයි පෙනෙන්නෙ. සේවකයන්, භාෂා පරිවර්තකයන්, ශිල්පීන්, හේවායන්, කාර්මිකයන්, තුවක්කුකරුවන් ආදි වශයෙන් විදෙස් ශ්‍රමිකයන් කැඳවා ගැනීම ප්‍රයෝජනවත් වුවත්, ඒ ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නා අදහසින් නොවූ අතර, රජවරුන්ගේ කැමැත්ත වී තිබුණ බව පෙනෙන්නේ තමා වටා ජාත්‍යන්තර ප්‍රජාවක් ද සිටින බව පෙන්වීම ය. එනම්, තම බල ප්‍රදේශය තුළ විවිධ මුහුණු තිබෙනු දැකීම රජතුමන් ආශාවාදයක් ලෙස සැළකූ බව ය. එවන් නා නා ජාතිකයන් නියෝජනය කෙරෙන දැක්මක් සමග රජුට හෝ ඔහු ඇසුරෙහි සිටි ප්‍රභූන්ට සංස්කෘතික වෙනස්කම් නිසා තර්ජනයක් වී නැත. පොතේ උපසිරැසිය ‘අපේ කාලයට පාඩම්’ වන අතර, අප ඒ ගැන පුදුම විය යුතු නොවේ. ‘අපේ කාලයේ දී,’ දැකිය හැක්කේ, අප සංචාරකයන් හරහා වැඩි ඩොලර් ප්‍රමාණයක් සහ විදේශීය ආධාර ඉල්ලා සිටිය දී පවා, රට පහතට ඇද දැමූ ජාතිවාදී බලවේග අන්තවාදී කණ්ඩායම් සහ විදේශිකයන් කෙරෙහි වෛරය ප්‍රවර්ධනය කරමින් සිටින සැටි ය.  

දශක ගණනාවක් තිස්සේ, සමාජ න්‍යායයන් ගැන කථා කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ විලාසිතාවක් වී ඇත. නමුත්, මේ න්‍යායාචාර්යවරුන් බහුතරය වියරු හුණු මුග්ධයන් මෙන් ම, ගුප්ත පුද්ගලයන් ය. සමහර න්‍යායාචාර්යවරුන් හුදෙක් නම නරක් කර ගත්තවුන් වන අතර, ඔවුහු සිය ප්‍රෝඩාවන් මගින් එම සිද්ධාන්තවලින් හුවා දැකවෙන දැනුම සහ එය ලබා ගන්නා ආකාරය පිළිබඳ ව කෙරෙන විග්‍රහයන්හි සීමා මායිම් තව තවත් අඳුරු කිරීමට වඩා වැඩි යමක් නොකරති.

Medusa’s Hair..

ඔබේසේකර ක්‍රමය ඊට වෙනස් ය. පෙළ මෙන් ම චාරිත්‍ර වාරිත්‍ර විශ්ලේෂණයෙහි දී ගෞරවාන්විත මෙන් ම, හොඳ ම විධියකින් න්‍යායයන් භාවිතා කළ හැකි වන්නේ කෙසේ ද යන්න ඔහු පෙන්වා දෙයි. Medusa’s Hair ඒ පිළිබඳ අපූරු නිදසුනකි.  ඔබේසේකරයන්ගේ න්‍යායයන් සමග එකඟ නොවන කෙනෙකුට වුව ද, එම න්‍යායයන් භාවිතා කර තිබෙන ආකාරය අගය කළ හැකි ය. Medusa’s Hair පොතෙහි ප්‍රධාන න්‍යායාත්මක ප්‍රවේශය කාර්ල් යුං සහ ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණයයි. පොතෙන් නිරූපණය කෙරෙන්නෙ සාමාන්‍ය පූජකයන් සහ පූජකවරියන් කරගෙන යන රැවටිලිකාර ආගමික කටයුතු ය. Abdin ඔවුන්ගෙන් කෙනෙකි. ආගමික ආවේශයක් රැගෙන මිනී වළක දපා පැය ගණනකට එහි වැළලෙන ඔහු නිරුපද්‍රිත ව නැගිටියි. වසර ගණනාවක් ඔහු ව නිරීක්ෂණය කරන ඔබේසේකර ඔහු ව ලුහු බැඳ යයි. එක්තරා අවස්ථාවෙක, මිනී වළ තුළ දපන එම ආවේශයෙහි දී Abdinට ශුක්‍රාණු පහවීමක් වී තිබේ දැ’යි විමසනු ලබන ඔහුට ලැබෙන Abdinගේ පිළිතුර වන්නේ හැම අවස්ථාවෙක ම එසේ වන බවයි. සමහර විට, මේ ආගමික මිත්‍යාමය වීරකම් බොහොමයක් ඉටු නොවූ ලිංගික ආශාවන් ඉස්මතු වීමක් ය යන ෆ්‍රොයිඩ්ගේ තර්කය නිවැරදි විය හැකි බව ඔබේසේකරයන් පෙන්වා දෙයි. Abdin පැවසුවේ බොරුවක් ද යන්න අප හරියට ම නොදන්නා නමුත්, මනෝ විශ්ලේෂණවාදී න්‍යාය පිළිබඳ හොඳ ස්ථාවරයක සිටි ඔබේසේකරයන්ට එම විමර්ශනය කිරීමේ හැකියාව තිබුණි. එතුමන්ගේ පොත් හැමෙකක් ම, එවන් නිදසුන්වලින් පිරී ඇත.

ගණනාථ සහ රංජනී මෙරට ජනප්‍රිය ම සාහිත්‍ය පවුලයි..

මා සාහිත්‍ය උගතෙකි. ඔබේසේකරයන්ගේ උගත්කමෙහි මගේ සිත් ගත් තවත් පැත්තක් පෙන්වනන්ට මට අවසර දෙන්න. එතුමාගේ සිත සාහිතකාමිත්වයෙන් සරුසාර එකකි. සැබවින් ම එය, ඔබේසේකර පවුල තුළ ක්‍රියාත්මක් වන්නකි. ගණනාථ සහ රංජනී මෙරට ජනප්‍රිය ම සාහිත්‍ය පවුලයි. රංජනීගේ සිංහල සාහිත්‍ය ග්‍රන්ථ ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමට අමතර ව, ගණනාථ නිරතුරු ව ම, සාහිත්‍ය පොතපත සිය පර්යේෂණ කාර්යයන්ට යොදා ගනියි. විශේෂයෙන් පර්යේෂණාත්මක ව ආඛ්‍යාන සාහිත්‍යය භාවිතයේ දී ඔබේසේකර, ඒවා හුදු කරුණුවලට ලඝු නොකරන මුත්, ප්‍රස්තර ගත අදහස්, ඇඟවීම්,  අනු මාතෘකා සහ ආඛ්‍යාන ව්‍යූහයන්ගේ අර්ථයන් ආදිය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ආඛ්‍යාන සාහිත්‍යයේ සරුසාරකමට සිත යොමු කරවයි. සාහිත්‍යය කටයුතු කරන ආකාරය පිළිබඳ හොඳ වැටහීමක් නොමැති ව එය කෙසේ වත් කළ නොහැක. ඔබේසේකර ග්‍රන්ථ පරිශීලනය කරන ආකාරය, අර්ථ කථනය කරන හැටි මෙන් ම, සාහිත්‍යමය කටයුතුවල යෙදෙන ආකාරය පිළිබඳ මෙරට තරුණ සමාජ විද්‍යාඥ පරපුර අවධානය යොමු කළයුතු ය. හොඳ සාහිත්‍ය රසය සඳහා වූ රුචිකත්වය ඔහුගේ පොත්වල ලක්ෂණයක් වූ බව ඔබේසේකරගේ මුල් කෘතිවලින් පැහැදිළි වූ අතර, එතුමා සිංහල හෝ ඉංග්‍රීසි සාහිත්‍ය ක්ෂේත්‍රයන්හි රැඳී සිටියේ නම්, සරච්චන්ද්‍ර සහ ලුඩොවයික්ගෙන් පසු පරම්පරාවෙහි මෙ රට සාහිත්‍යයෙහි පතාක යෝධයා බවට පත්විය හැකිව තිබූ බව සිංහල හා ඉංග්රීසි භාෂාවෙන් කෙරුණ ඔහුගේ මුල් කාලීන රචනා වලින් තහවුරු වේ. සාහිත්‍ය පිළිබඳ යුරෝපීය සහ දකුණු ආසියානු සාකච්ඡාවන්හි නිරතුරු ව ම, ඔහුගේ හැම කෘතියක් ම පාහේ සඳහන් කෙරෙන අතර, සිංහල සාහිත්‍ය විෂයෙහි කෙරෙන සඳහන සුවිශේෂ ය.

මහාචාර්ය ඔබේසේකර රට හැර නොගියේ නම්..

මහාචාර්ය ගණනාථ ඔබේසේකර මා ආදර්ශයට ගත්තවුන්ගෙන් කෙනෙකු වූ බව මම මුලින් සඳහන් කළෙමි. මට ඒ ප්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිළි කිරීමට ඉඩ දෙන්න. මෙහි ශාස්ත්‍ර පීඨයෙහි අප තරුණ උගතුන් පිරිසක් සිටින අතර, අප නිතර කථා කරන්නේ, එකිනෙකෙකු හසුවී සිටින මධ්‍යස්ථ භාවයේ නපුරු සිහිනයෙන් අවදි වීමේ ක්‍රම ගැන ය. බහුතරය මධ්‍යස්ථ වන විට, ඔවුනට නපුරු සිහිනය සදාකාලික සොඳුරු සිහිනය බවට පත්වෙයි. අපි කණ්ඩායමක් මේ කාරණය ගැන කථා කරන්නට අවිධිමත් ව හමුවෙමු. ඔබේසේකර නම, ගණනාථ මෙන් ම රංජනී, ඒ සාකච්ඡාවන්හි නිතර සඳහන් වන්නකි. ඒ දෙපළ ම අපේ සුසමාදර්ශයන් වන අතර, සුදුසුකම් මෙහි දක්වමු. 1980ත් 90ත් අතර සමයෙහි මහාචාර්ය ගණනාථ තව තවත් සිංහලෙන් ලියූවේ නම්, ඉහත දැක්වූ අඳුරු සිහිනයෙහි පටු සීමාවන්හි අප හිර නොවන්නට තිබුණි යැයි මම අදහස් කරමි. එමෙන් ම, ගණනාථයන්ගෙන් හැදුණ මිචෙල් රොබර්ට්ස්, ස්ටැන්ලි තම්බයියා, සිරි ගුණසිංහ, සුගතපාල ද සිල්වා, කිත්සිරි මාලගොඩ, සී. ආර්. ද සිල්වා, එච්. එල්. සෙනෙවිරත්න, ආදි වියතුන් ද රට හැර නොයන්නට තිබුණි යයි මම විශ්වාස කරමි. නිදසුනක් ලෙස, සිංහලෙන් ඇති තරම් නොලියා, රට හැරයාමෙන් සිරි ගුණසිංහයන් නිර්මාණය කළ හිඩැස පිරුණේ, එක පැත්තක් පමණක් දුටු, ඉතාමත් ජාතිකවාදී මතධාරීන්ගෙනි.

ඔබේසේකර ග්‍රන්ථ මෙන් ම එතුමාගේ පොත් එකතුව පරිශීලනය කරමු..

ඒ අතර ම, මහාචාර්ය ඔබේසේකර රට හැර නොගියේ නම්, ඔහු එසේ ගොස් ලොව ප්‍රමුඛ මානව විද්‍යාඥයෙකු වන තෙක් ඉංග්‍රීසියෙන් නොලිව්වේ නම්, අද පේරාදෙණි සරසවියට පරිත්‍යාග කරන ලද පොහොසත් පෞද්ගලික පුස්තකාලය ගොඩ නැගීමට මෙන් ම, මා කලින් සඳහන් කළ ශ්‍රේෂ්ඨ ලේඛන කර්තව්‍යයන්හි නියැලෙන්නට ඔවුනට නොහැකි වනු ඇත. අපේ පීඨයෙහි තරුණ වියතුනට මෙන් ම දීප්තිමත් සිසුනට ද තම ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳින් වැඩි දියුණු කර ගෙන තම තමන් සිර වී සිටින පටු ලෝකවලින් බැහැරට එන ලෙස මම ඇරයුම් කරමි. ඔබේසේකර යුවලගේ බුද්ධිමය චාරිකාවෙහි මාර්ග සිතියම වන ජීවිත කථාව මෙන් ම ඔවුන්ගේ පුස්තකාලය ද දැන් අපට මෙහි තිබේ. එය ඔබ සතු කර ගන්න.

එතුමාගේ පොත් දොළහක් මා සතු ව තිබේ. මා අයත් පරපුරෙහි එතුමාගේ ‘පත්තිනි’ පොත ඇත්තේ මා සතුව පමණක් ම යයි සිතමි. එය දැනට එතරම් ම දුලබ පොතකි. එහෙත් ඒ සියල්ල ස්පර්ශ කිරීමට මට මෙහි ඉඩක් නැත. අපි කණ්ඩායමක් වශයෙන් සංවිධානය වෙමු. සාමුහික ව ඔබේසේකර ග්‍රන්ථ මෙන් ම එතුමාගේ පොත් එකතුව ද පරිශීලනයෙහි යෙදෙමු.    

ස්තුතියි.  

පසුගිය දා මහාචාර්ය ගණනාථ/රංජනී ඔබේසේකර යුවල විසින් සිය මහාර්ඝ ධනය වූ පෞද්ගලික පුස්තකාලය සිය ගුරු බිම වූ පේරාදෙණිය සරසවියට පවරා දීම වෙනුවෙන් පැවැත්වූ හමුවෙහි මහාචාර්ය ලියනගේ අමරකීර්ති ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කළ දේශනය ලංකා ඊ නිවුස් වෙනුවෙන් සිංහලෙන් සකස් කළේ

-කුඩගම්මන සීලරතන හිමි.  

හිමියන්ගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/80

No comments:

Post a Comment