Tuesday, 12 September 2023

ස්පාඤ්ඤ දෙතොල් සිප ගැනීමෙන් මතු වූ කාම "ක්‍රීඩාව" සහ අපේ චමරිලාගේ කථාව..! කාන්තා බලය හමුවේ දණ ගසන "පුරුෂ රත්න"

-ආනුභාවනන්ද ලියයි 

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.12, ප.ව.9.00) අවසානයේ, කාන්තා බලය හමුවේ "පුරුෂ රත්නයක්" වූ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් දණ ගැසුවේ ය. ස්පාඤ්ඤ කාන්තාවන්ගේ සම අයිතිවාසිකම් අරගලයේ වර්තමාන ගිණිසිළුව බවට පත්වූ එරට කාන්තා පාපන්දු කණ්ඩායමේ ජෙනී හර්මෝසෝ තම සටන ජය ගත්තා ය. ස්පාඤ්ඤ කාන්තාවන් මෙන් කාන්තා පාපන්දු කණ්ඩායම ජය ගත්හ. තමා පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව රිබියෝස් පසුගිය ඉරිදා (10) ප්‍රකාශ කළේ ය. ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු පැවති උත්සවයේදි එරට පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් ලෝක ශූර කණ්ඩායමේ ජෙනී හර්මෝසෝ දෙතොල් බලහත්කාරයෙන් සිප ගැනීමේ සිද්ධිය හරහා එරට කාන්තාවෝ යළි අරගලයකට එක්වූහ. ඔහුට ඉල්ලා අස්වන ලෙසට කාන්තාවෝ වීදි බැස බල කළහ. මෙයට වසර කිහිපයකට පෙර ස්පාඤ්ඤ කාන්තාවෝ සම වැටුප්, සම අයිතිවාසිකම් වෙනුවෙන් වීදි බැස උද්ඝෝෂණ කළහ.

ජයග්‍රහණ දෙකක් අත් කරගත් ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවෝ…

ඒ සටන් සාර්ථක වූ අතර වර්තමාන වාමාංශික ආණ්ඩුව කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව නීති හඳුන්වා දුන්නේ ය. ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස් මේ නව සටන අර්ථ දක්වන්නේ "අපගේ ක්‍රීඩකයින් දෙවරක් ජයග්‍රහණය කර තිබේ. පළමුව තණතීරුවේ, දැන් ලෝකයට පිරිමින් සහ කාන්තාවන් අතර සමානාත්මතාවය පිළිබඳ පාඩමක් කියාදෙමින්" යනුවෙනි.

කාන්තා බලහත්කාරයට එරෙහිව ලොව පුරා විරෝධතා …

මිලියන ගණනාවක් ප්‍රේක්ෂකයන් ඉදිරියේ සිදු වූ මේ බලහත්කාරී දෙතොල් සිප ගැනීමේ සිද්ධියට එරෙහිව ස්පාඤ්ඤයේ පමණක් නොව ලොව පුරාම විරෝධය මතු වූ අතර ලුවිස් රිබියොස්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑම් එල්ල විය. ස්පාඤ්ඤ අගමැතිවරයා සහ ආණ්ඩුව එම මතයේ දැඩිව සිටියේ ය. එහෙත් පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එම දෙතොල් සිප ගැනීම සිදු වූයේ ජෙනී හර්මෝසෝගේ කැමැත්ත අනුව බවයි. එහෙත් ලුවිස් රිබියොස්ට තමන් එම දෙතොල් සිප ගැනීමට කිසිම එකඟතාවයක් පල නොකළ බව ජෙනී තරයේ ප්‍රකාශ කළා ය.

රිබියොස්ගේ රෝස තොල් සිඹීම ..

එයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ජෙනී බොරුකාරයෙක්, වංචනිකයෙක් බව රිබියෝස් සහ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය චෝදනා කළේ ය. මේ සිද්ධිය පසුපස ඇත්තේ ස්ත්‍රීවාදීන්ගේ ව්‍යාජ ඉල්ලීම් සහ අවශ්‍යතා බව ද කියා සිටියේ ය. මෙය කාන්තාවන්ට එරෙහිව ලිංගික අපයෝජන සිදු කරන බොහෝ බලවත් පිරිමින් යොදා ගන්නා කුප්‍රකට උපක්‍රමයයි. ඒ හරහා ලිංගික අපයෝජනයට ලක් වූ කාන්තාවගේ චරිතය ඝාතනය කර, ඇය සමාජය ඉදිරියේ දුර්වල කිරීම මේ "පුරුෂ රත්නයන්"ගේ අරමුණයි.

ස්ත්‍රී දූෂක ඇමරිකන් ජනාධිපති...

මේ කුපාඩි න්‍යායේ නූතන නිර්මාතෘවරයා වන්නේ තවත් "පුරුෂ රත්නයක්" වන ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඔහුට විරුද්ධව ලිංගික අපයෝජන පිළිබඳ චෝදනා එල්ල කළ දුසිම් දෙකකට අධික කාන්තාවන් බොරුකාරයන්, වංචාකාරයන්, කැත, අප්‍රසන්න  ගැහැණු වශයෙන් හංවඩු ගැසුවේ ය. එහෙත් මේ අතරින් තීරු ලිපි රචිකාවියක් වන ඊ ජීන් කැරොල් ට්‍රම්ප්ට එරෙහිව නොබියව සිවිල් නීති ක්‍රියාමාර්ග ගත්තේ ය. වසර 27 කට පෙර ට්‍රම්ප් ඇයට ලිංගික අතවර කළ බව නිව්යෝර්ක් ජූරි සභාවක් පසුගිය මැයි මාසයේ ඒකමතිකව තීරණය කළේ ය. ඒ අනුව ට්‍රම්ප්ට ඇ. ඩොලර් මිලියන පහක වන්දියක් ඊ ජීන් කැරොල්ට ගෙවීමට සිදු විය. ඇමරිකානු ඉතිහාසයේ ස්ත්‍රී දූෂකයෙකු වශයෙන් අධිකරණය නම් කළ එකම හිටපු ජනාධිපතිවරයා ට්‍රම්ප් ය!

ජෙනීට සහය පලකිරීමට ස්පාඤ්ඤ කාන්තාවෝ වීදි බසිති..

එහෙත් ජෙනී හර්මෝසෝට එරෙහිව ගෙන ගිය මේ "ට්‍රම්ප් උපාය" සාර්ථක නොවීය. ස්පාඤ්ඤ තුළ මෙන්ම ලොව පුරා ඇයට විශාල සහයෝගයක් මතු විය. ස්පාඤ්ඤ කාන්තාවෝ දිනපතා වීදි බැස ජෙනීට සහය පල කළහ. මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම ලුවිස් රිබියොස් පාපන්දු සම්මේලනයේ සභාපතිධූරයෙන් ඉවත්වන තුරු යළි සිය රට නියෝජනය නොකරන බවට තීරණයකට එළඹ සිටිති. එයට අදාළ ලිපියට ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 23 දෙනාම අත්සන් තබා ඇති අතර මේ තීරණය සමඟ තවත් ස්පාඤ්ඤ කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් 81 දෙනෙකු එක්ව සිටීම ද විශේෂත්වයකි.

ලුවිස් රිබියොස්ට මාස තුනක තහනමක්…

කාන්තා පාපන්දු කණ්ඩායමේ සියළු සහකාර පුහුණුකරුවන් ද ලුවිස් රිබියොස්ට සභාපතිධූරයෙන් ඉවත්වන ලෙසට ඉල්ලීමක් කළේ ය. ස්පාඤ්ඤයේ  පලාත් පාපන්දු සංගම් සියල්ල ද මේ ඉල්ලීම ඉදිරිපත් කළේ ය. මේ බලපෑම හමුවේ ස්පාඤ්ඤ රජයට මෙන්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට (FIFA) ලුවිස් රිබියොස්ට එරෙහි විනය පරීක්‍ෂණ ආරම්භ කිරීමට සිදු විය. FIFA මාස තුනකට ලුවිස් රිබියොස්ගේ පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ පරිපාලන කටයුතු අත්හිටුවීමට පියවර ගත්තේ ය.

ස්පාඤ්ඤ පිරිමි පාපන්දු කණ්ඩායමේ සහයෝගය…

මේ අතර ස්පාඤ්ඤ කාන්තා කණ්ඩායම සමඟ අවසන් තරඟවට එක්වූ එංගලන්ත කණ්ඩායම මෙන්ම ස්පාඤ්ඤ පිරිමි පාපන්දු කණ්ඩායම ජෙනීගේ සටනට සහය පල කළහ. ලුවිස් රිබියොස් පාපන්දු සම්මේලනයේ සභාපතිධූරයෙන් ඉවත් විය යුතු බව ඔවුහු  ප්‍රකාශ කළහ.

ජෙනීගෙන් අපරාධ පැමිණිල්ලක්…

දෙතොල් බලහත්කාරයෙන් සිප ගැනීමේ සිද්ධිය දිනෙන් දින නව මානයන්ට යොමු වනු දැකිය හැක. සැප්තැම්බර් හය වන දා ජෙනී හර්මෝසෝ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රිබියොස්ට එරෙහිව අපරාධ පැමිණිල්ලක් ගොනු කර ඇති බව එරට ජාතික අභිචෝදක කාර්යාලය හෙළි කළේ ය. මේ සිද්ධියට ලුවිස් රිබියොස් වරදකරු වුවහොත් වසර හතරක උපරිම සිරදඬුවමකට ලක් විය හැක.

ඇමරිකානූ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තුන්සීයකට අධික පිරිසක් ලිංගික අපයෝජනයට…

දශක ගණනාවක් ලොව පුරා ක්‍රීඩිකාවන් පිරිමි පුහුණුකරුවන්ගේ, නිළධාරීන්ගේ ලිංගික අතවරයන්ට ලක්වෙමින් තිබේ. මෙය ක්‍රීඩා ක්ෂේත්‍රයේ සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබිණි. එහෙත් වසර කිහිපයකට පෙර මතු වූ #MeToo ක්‍රියාකාරිත්වය හේතුවෙන් මේ ලිංගික අතවර සමාජයේ විවෘතව කථාබහට ලක්විය. ඇමරිකානු කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දශකයක පමණ කාලය පුරා ලිංගික අතවරයන්ට ලක්වූ බව හෙළි විය. ක්‍රීඩිකාවෝ 368 දෙනෙකුට වැඩි පිරිසක් ජිම් හිමිකරුවන්, පුහුණුකරුවන් සහ රට පුරා ජිම්නාස්ටික් වැඩසටහන් වෙනුවෙන් සේවය කරන කාර්ය මණ්ඩලය විසින් තමන්ට ලිංගික අතවර කළ බවට චෝදනා කළහ.

වෛද්‍ය ලැරී නසාර්ට වසර හැටක සිරදඬුවමක් …

ඇමරිකානු ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමේ වෛද්‍ය ලැරී නසාර්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන මුවාවෙන් අවම වශයෙන් වසර දාහතරක් පුරා ක්‍රීඩිකාවන් ලිංගිකව අපයෝජනය කළ බව හෙළි විය. ඒ පිළිබඳව ඔහුට එරෙහිව ක්‍රීඩිකාවෝ ගණනාවක් නඩු පැවරූහ. වරද පිලිගත් ඔහුට වසර හැටක සිරදඬුවමක් හිමිවිය. ඇමරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තමන්ට සිදුවන ලිංගික අතවර ගැන වසර ගණාවක් පුරා ඇමරිකානු ජිම්නාස්ටික් සම්මේලනයට පැමිණිලි කළ ද බලධාරීන් ඒවා නොසළකා හැර තිබිණි.

හිටපු ස්පාඤ්ඤ පාපන්දු නායිකාව ලිංගික අතවර ගැන හෙළි කරයි..

ස්පාඤ්ඤ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් වන වෙරෝනිකා බොකට් පසුගිය දා AFP-TV වෙත පැවසුවේ ලුවිස් රිබියොස්ට එරෙහිව ක්‍රීඩිකාවන් විරෝධය පල කරන්නේ තමන් මුහුණ දෙන ලිංගික අපයෝජන තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා බවයි. "ඒ කියන්නෙ කැමරා නැති කාලෙක, ලෝක කුසලානයක අවසන් මහා තරගය නොවුනහම වෙන කවුරුත් නැති කාලෙක, වෙන ගොඩක් දේවල් සිද්ධ වෙනවා, අපි ඒවා සාමාන්‍යකරණය කරනවා. එහෙම වෙන්න ඕනෙ නැති වෙලාවට අපි ඒවාට නිකම්ම යන්න  දෙනවා" යැයි කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් මුහුණ දෙන ලිංගික අපයෝජන ගැන ඇය ප්‍රකාශ කළාය. වෙරෝනිකා බොකට් පනස්හත් වතාවක් ස්පාඤ්ඤ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට නායකත්වය ලබාදුන් ක්‍රීඩිකාවකි. පාපන්දු ලෝකය සම්පූර්ණයෙන්ම පුරුෂාධිපත්‍යයට යටවී ඇති බැවින් එය කාන්තාවන්ට අඛණ්ඩ යුද්ධයක් බඳු බව වෙරෝනිකා පෙන්වා දෙන්නීය.

ලුවිස් රිබියොස් යනු කාන්තාවන් කෙරෙහි උමතු වූ මිනිසෙක්..

ලුවිස් රිබියොස්ගේ මාමා වන ජුආන් රිබියොස් සිය බෑණා ගැන ස්පාඤ්ඤ මාධ්‍යයට හෙළි කරන කරුණු අනුව වෙරෝනිකා බොකට්ගේ විවේචනය සාධාරණ බව පැහැදිලිය. ඔහු තම බෑණාව විස්තර කරන්නේ "බලය, සුඛෝපභෝගිත්වය, මුදල් සහ කාන්තාවන් කෙරෙහි උමතු වූ" මිනිසෙකු ලෙසයි. ලුවිස් රිබියොස් තුළ ආක්‍රමණශීලී ලිංගික චර්යාවන් පවතින බව ඔහු පෙන්වා දෙයි.  තම බෑණා සමාජ ප්‍රති-අධ්‍යාපන වැඩසටහනකට මෙන්ම  කාන්තාවන් සමඟ සම්බන්ධතාවයන් පිළිබඳ නැවත අධ්‍යාපනයක් ලබා ගැනීම අවශ්‍ය බව ජුආන් අවධාරණය කරයි. මාමාට අනුව ලුවිස් බෑණා පුනරුත්ථාපනය කර යළි සමාජගත කළ යුතු මට්ටමේ මානසික ලෙඩෙකි.  "අභිමානය යනු ජෙනීව ආරක්ෂා කිරීම, ඇයව තේරුම් ගැනීම සහ පාපන්දු සභාපතිවරයාගේ නින්දිත හැසිරීම හෙළා දැකීමයි" යන්න ජුආන් රිබියොස්ගේ මතයයි.

ලෝකයේ අඩුම වැටුප් ලබන අපේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ…

අපේ ක්‍රීඩිකාවන් මුහුණ දෙන අභියෝග ස්පාඤ්ඤයට වඩා බැරෑරුම්ය. අසමාන සැළකීම්, ලිංගික බලපෑම්, අඩු පහසුකම් ඇතුළු ගැටළු ගණනාවකින් ඔවුහු පීඩා විඳිති. නිදසුනක් වශයෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගනිමු. ලෝකයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් දහය අතරින් අඩුම වැටුප් හිමිවන්නේ අපේ කණ්ඩායමටය. එයට අදාළ දත්තයන්ට මෙතැනින් පිවිසිය හැකිය. (https://www.totalsportal.com/money/comparison-of-women-cricket-teams-salaries/)  ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම සමඟ සංසන්දනය කරන විට කාන්තා කණ්ඩායමේ වැටුප් නොසළකා හැරිය හැකි තරම් කුඩාය. මේ වසර ආරම්භ වන තෙක් තරඟ ගාස්තුවේ ද  (match fee) විශාල විෂමතාවක් පැවැතිනි. එනම් පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට ලැබෙන තරඟ ගාස්තුව සමඟ සංසන්දනය කරන විට කාන්තා ක්‍රීඩාවකට ලැබෙන්නේ එයින් තුනෙන් එකකි.

එංගලන්තය පරාජය කර T-20 තරඟාවලිය දිනූ අපේ ක්‍රීඩිකාවෝ..

එහෙත් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ පසුගිය වසරකට අධික කාලය පුරා කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටිති. මේ වන විට එක්දින සහ T-20 තරඟ සංචාරයක් සඳහා එංගලන්තයට ගොස් සිටින අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම T-20 තරඟාවලිය 2-1 කින් ජයග්‍රහණය කළේ ය. එංගලන්තය යනු ශ්‍රේණිගත කිරීම් අතින් ඉහළින්ම සිටින කණ්ඩායමකි. එංගලන්තයේ දී ක්‍රිකට් තරඟාවලියක් ජයග්‍රහණය කිරීම ඕනෑම කණ්ඩායමකට ඉතා දුෂ්කර ඉලක්කයකි.

තුට්ටු දෙකට ක්‍රිකට් ගහන අපේ චමරිලාගේ කථාව…

එංගලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඔවුන්ගේ පිරිමි කණ්ඩායම මෙන් සම වැටුප්, පහසුකම් ලබයි. එවැනි කණ්ඩායමක් පරාජය කිරීම යනු විශිෂ්ට ජයග්‍රහණයකි. අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු එක්දින ශ්‍රේණිගත කිරීම් ලොව විශිෂ්ටතම පිතිකාරිනියයි! එහෙත් ඔවුන් ක්‍රීඩා කරන්නේ තුට්ටු දෙකේ වැටුපකටය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් ලබා ගන්නා දීමනා කාන්තා කණ්ඩායමේ වැටුප්වලට වඩා ඉහළ ය!

අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින පුරුෂාධිපත්‍ය හේතුවෙන් තමන්ට සිදු වන ලිංගික අපයෝජන ඇතුළු අසාධාරණකම් සම්බන්ධයෙන් කටහඬ අවදි කිරීමට පවා ක්‍රීඩිකාවෝ මැලිකමක් දක්වති. එහෙත් ලෝකයේ බොහෝ රටවල ක්‍රීඩිකාවන් සම වැටුප්, පහසුකම්, සුරක්ෂිතභාවය  ලබා ගෙන ඇත්තේ දීර්ඝ සටනකින් පසුවය. ලෝක කුසලාන දිනාගත් ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම පසුගිය දා තම ආත්ම ගෞරවය සහ නිදහස දිනා ගත්තේ එවැනි සටනකිනි. ඔවුනට කිසිවක් බන්දේසියක තබා ප්‍රදානය කර නැත. සටනකින් තොර ජයග්‍රහණයක් නැති බව ඔවුන් යළි යළිත් සනාථ කර තිබේ.

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

No comments:

Post a Comment