වියපත් දෙමාපියන් මහ මග දමා යන කලෙක "හඳයා" වෙනුවෙන් පුදුම යුතුකමක් ඉටු කළ සත් පුරුෂයෙක් ගැන කතාවක්..!
-රේණුකා දමයන්ති ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.19, ප.ව.7.00) වියපත් මාපියන් මහ මඟ තනි කොට දමා යන දරුවන් සේම විවිධාකාරයෙන් අසරණ බවට පත්ව මිය පරලොව යන දෙමාපියන්ගේ මළ මෘත දේහ භාර ගැනීමට පවා පසුබට වන දරුවන් පිළිබඳ පුවත් "වැසි වසින" සමයක වසර විසි පහක් තමන් භාරයේ සිටි ගවයකු මිය ගිය පසු නා හිමි නමක ඇතුළු භික්ෂුන් වහන්සේ සත් නමක නිවසට වැඩමවා ඒ සත්වයා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජා කළ දුලබ ගණයේ උතුම් මිනිසකු පිළිබඳ තොරතුරු අපට දැන ගන්නට ලැබිණ. ඒ පුත්තලම මදුරන්කුලිය, වීරපුර, ගම්මානයේ පදිංචි මදුරන්කුලිය තැපැල් කාර්යාලයේ තැපැල් සහායකයකු ලෙස කටයුතු කරන පැන්ටලින් විජේසිංහ මහතා ය.
විජේසිංහ මහතා මුලින්ම 1998 වසරේ උපන් "හඳයා" නම් ලද ඒ ගවයා තමන් සමීපයට ගෙන ඇත්තේ තමන් සතු කරත්තය ඇදීම පිණිස ය. ඒ කාලයේ හඳයා කරත්තය ඇදීමට මනා ලෙස හුරු පුරුදු කළ ද පසුව හඳයා ලවා කරත්තය ඇද්දවීමට කිසියම් මානසික පසුබෑමක් විජේසිංහ මහතා තුළ ඇති විය. එහෙත්, නිවසේ කරත්තයක් සහ ගවයකු සිටීම ඒ ගවයා ලවා කරත්තය ඇද්දවීම කෙරෙහි ගම්මුන් ගෙන් පවා බලපෑම් එල්ල විය හැකි බැවින් 2001 වසරේ දී ඒ කරත්තය ද විකුණා දැමූ විජේසිංහ මහතා හඳයා තමන් සමීපයට ගත්තේය. එතැන් සිට හඳයා විජේසිංහ මහතා යටතේ හැදී වැඩුණේ ඔහුගේම දරුවකු මෙනි.
විජේසිංහ මහතාට පුතෙකුත් දියණියකුත් සිටිති. පුතු නාවික ඉංජිනේරු පාඨමාලාවක් හදාරන අතර දියණිය පුත්තලම ශාන්ත අන්ද්‍රේ මධ්‍ය මහා විද්‍යාලයේත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය.
හඳයා කුඩා දරුවකු මෙන්..
ජන්මයෙන් තිරිසනකු වුවද හඳයා තුළ පවත්නා තමන් ඇතුළු පවුලේ සැම කෙරෙහි දක්වන කෘතවේදීත්වය, අහිංසකත්වය වැනි ගුණාංග විජේසිංහ මහතා ඇතුළු පවුලේ සැම වෙත මහත් සතුටක්, සැනසුමක් ගෙන දීමට සමත් විය. සාමාන්‍යයෙන් කිසිවක් වටහා ගත නොහැකි වූවන් හට ගොනා, හරකා යන වදන් වලින් නින්දා පරිභව කිරීම බොහෝ දෙනකු ගේ සිරිතකි. එහෙත් එය අමූලික බොරුවක් තම හඳයා තමන්ට මනාව පසක් කළ බව විජේසිංහ මහතා කියයි.
“හඳයෝ අත උස්සපන්”, විජේසිංහ මහතා පවසන විට තම එක් ඉදිරි පාදයක් ඔසවා පෙන්වීමට හඳයාට හැකියාවක් තිබිණ. “ඔය අත නෙවෙයි හඳයෝ අනික් අත” කී සැණින් තම ඒ පාදය සැනින් පහත හෙළන හඳයා අනෙක් ඉදිරි පාදය ඔසවා දැක්වීමට තරම් බුද්ධියක් හඳයා සතු විය. එමෙන්ම උන් හිටි ගමන් හඳයා ගෙවත්තෙන් පිට කොහේ හෝ ඇවිදින්නට ගිය විටෙක ඔහු සොයා යන තම බිරිඳ "කොහෙද?මේ රස්තියාදු ගහන්නේ?" යනුවෙන් අසා හඳයා ගේ පිටට අත්ලෙන් පහරක් ගසා කණෙන් ඇදගෙන ගෙදර එන බවත් හඳයා කුඩා දරුවකු මෙන් ඇයට කීකරු වූ බවත් විජේසිංහ මහතා කියයි.
හඳයාගේ අවසන් සුසුම්..
ජීවිතයේ සන්ධ්‍යා භාගයේ දී ද විශේෂ අසනීපයක් නොමැතිව සිටි හඳයා පසුගිය 8 වන සිකුරාදා තරමක රෝගී ස්වභාවයක් පළ කළේය. එහි දී ඔහු ආහාර ගැනීම ද නතර කළේය. ඒ අනුව 9 වන සෙනසුරාදා හඳයා පශු වෛද්‍යවරයකු වෙතට ඉදිරිපත් කරන ලද අතර ඉන්පසු ඔහුගේ ආහාර ගැනීම තරමක් සතුටුදායක මට්ටමකට පත් විය. ඒ අනුව 11 වන සඳුදා සහ 12 වන අඟහරුවාදා සාමාන්‍ය සුවපත් බවක් පළ කළ හඳයාගේ රෝගී 13 වන බදාදා රාත්‍රියේ තරමක් නරක අතට හැරී තිබූ අතර නැවත බ්‍රහස්පතින්දා පශු වෛද්‍යවරයකු වෙතට ඉදිරිපත් කිරීමට පෙරම බ්‍රහස්පතින්දා අරුණෝදයට පෙර හඳයා අවසන් සුසුම් හෙළා තිබිණ.
කිතුණුවෙක් වුනත්..
සියවස් කාලක් තමන් සමීපයේ ජීවත් වූ මෙම උතුම් ගතිගුණ වලින් යුතු සත්වයාගේ මළ කඳ නිකම්ම වළලා දැමීමට විජේසිංහ මහතාට නොහැකි විය. නමුත් තමන් අදහන කිතුණු දහම අනුව මිය ගිය සතුන් වෙනුවෙන් ආගමික පුද පිළිවෙත් කිරීමේ සම්ප්‍රදායක් නැත. එහෙත්, බෞද්ධ ක්‍රමය අනුව සතකු උදෙසා වුව මතක වස්ත්‍ර පූජාවක් කළ හැකි බව විජේසිංහ මහතා දැන සිටියේය. ඒ අනුව ඔහු තමන් හොඳින් දන්නා නා හිමි නමක බැහැදැකීමට ගියේ තමන් තුළ පවතින මෙම සද් අභිලාෂය කෙසේ හෝ ඉටු කර ගනු පිණිස ය.
සුමිත්ත නා හිමි..
එම නා හිමියන් වූ කලී දළුව ශ්‍රී සුමනාරාමය, වීරපුර ශ්‍රී වීරවර්ධනාරාමය, නිකවැරටිය ඉහළ වීරදඩාන ශ්‍රී මිත්සඳ විහාරය, කල්පිටිය ජනසවිපුර ශ්‍රී විජයසුන්දරාරාමය යන සිව් මහා විහාරාධිපති වයඹ 02 කෘත්‍යාධිකාරී සහ පරිවෙනාධිපති සංගමයේ ප්‍රධාන ලේඛකාධිකාරී, කල්පිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, පුත්තලම් අන්තර් ආගමික කමිටුවේ ගරු අනුශාසක, ගාලු මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පු/ කල්පිටිය, දළුව ශ්‍රී අන්තර් සමුද්ද පරිවේධිපති ආචාර්ය පූජ්‍ය මිගෙට්ටුවත්තේ විමලකීර්ති ශ්‍රී සුමන සරණංකර සුමිත්තාභිධාන නායක හිමිපාණෝ ය. උන් වහන්සේ බැහැ දැක තම අවශ්‍යතාව පවසා සිටි විජේසිංහ මහතා හඳයා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවකට උන් වහන්සේ පරිවේනාධිපති පදවිය හොබවන කල්පිටිය, දළුව ශ්‍රී අන්තර් සමුද්ද පිරුවනින් ශිෂ්‍ය හිමි නමක වැඩම කරවා හැකි දැයි විමසා සිටියේ තරමක චකිතයකින් යුතු ය.
නා හිමියෝ කළේ සරදමක් ද?
"පොඩි හාමුදුරු නමක් දෙන එක නම් බොහොම සුළු කාරණයක් මහත්තයෝ. ඒත් මේක විශේෂ මතක වස්ත්‍ර පූජාවක් හින්දා අපිත් වැඩියොත් වඩාත් හොඳයි වගේ කියලයි මම මේ කල්පනා කළේ"
සුමිත්ත නා හිමියන් එසේ පවසත්ම මෙය උන් වහන්සේ තමන්ට කළ සරදමක් ද යන්න සැකය ද විජේසිංහ මහතා තුළ ඇති විය. එය මුලුමනින්ම දුරු වූයේ සුමිත්ත නා හිමියන් තවත් හිමිවරුන් සය නමක් ද සමඟ සත් නමක් වශයෙන් හඳයා ගේ මතක වස්ත්‍ර පූජාව සඳහා තම නිවසට වැඩම කරනු දැකීමෙනිෙ
එහිදී කෙටි අනුශාසනයක් ද කළ නා හිමියන් මාපියන්ට වත් නොසලකන සමාජයක් තුළින් මතු වූ පැන්ටලින් විජේසිංහ මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන් හඳයාට ඔහුගේ ජීවිත කාලය තුළ මෙවන් සැලකීමක් කොට ඔහුගේ මරණයෙන් පසු මෙවන් මතක වස්ත්‍ර පූජාවක් පැවැත්වීම උතුම් දෙයක් බවත් මෙම මතක වස්ත්‍ර පූජාවේ අනුහසින් හඳයාට මතු තිරිසන් භවයන් ගෙන් අත් මිදුණු දිව්‍ය, මනුෂ්‍ය ආදී භවයන් හි ඉපිද අවසානයේ නිර්වාණ සම්පත්තියම අත් වේවා යනුවෙන් පුන්‍යානුමෝදනයක් ද කළහ.
හත් දවසේ දානයක්..
ඒ අනුව තමන් ගේ සෙවනේ පුරා සියවස් කාලයක් ජීවත් වූ හඳයා වෙනුවෙන් කළ යුතු තවත් වැදගත් යුතුකමක් ඉටු කොට නිමා වූ බවක් විජේසිංහ මහතාට හැඟුණි. ඒ සමඟම හඳයා ගේ මරණයෙන් සත්වන දිනය සපිරෙන 20 වන බදාදා දින වීරපුර ශ්‍රී වීරවර්ධනාරාමය විහාරස්ථානයේ මහා සංඝරත්නය උදෙසා හත් දවසේ දානයක් පිරිනැමීමෙන් හඳයා ගේ වියොවින් හටගත් දුක් දොම්නස තව දුරටත් තුනී කර ගැනීම විජේසිංහ මහතාගේත් පවුලේ සාමාජිකයන් ගේත් අදහස වී තිබේ.

No comments:
Post a Comment