Monday, 18 September 2023

මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීම නාටකයක්..! දේශපාලන කුමන්ත්‍රණයක පෙරනිමිත්තක්..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.18, ප.ව.10.30) ජාතික නිදහස් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඊයේ (17) රාත්‍රියේ මෝටර් රථයෙන් තම අනුරාධපුර පෞද්ගලික නිවසට පැමිණෙමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තමාගේ මෝටර් රථයට හානි සිදුවූ බවත් තමාට කිසිදු අනතුරක් සිදුව නොමැති බවත් 'අනූනවයෙන් තම දිවි බේරාගත්' බවත් උද්දික ප්‍රේමරත්න පවසා තිබේ. 

මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රි 10.20ත් 10:30ත් අතර සිදුවන්නට ඇති බව පොලිසිය කියයි.

මන්ත්‍රීවරයා තම මෝටර් රථයෙන් පෞද්ගලික නිවසට පැමිණ නිවසේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල රථය නවතා වත්තට ඇතුළු වනවාත් සමඟම මෙම වෙඩි ප්‍රහාරය සිදුව තිබෙන බවත් ඒ මොහොතේ මන්ත්‍රීවරයා රථයෙන් එළියට බැස සිටි බවත් පොලිසිය පවසා ඇත.

මෙම වෙඩි තැබීම මෝටර් රථයේ පසුපස ආසනයේ සිටි අයෙකු  ඉලක්ක කරමින් පිටුපසින් සිදු කර තිබෙන ආකාරයක් දක්නට ලැබෙන අතර පිස්තෝලයකින් එල්ල කළ වෙඩි ප්‍රහාර කිහිපයක්ම තිබෙන ආකාරයක් ද දක්නට ලැබෙන බව පොලිසිය කියයි.

පුදුමය නම් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ ඉදිරිපස ගේට්ටුව ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා ද්විත්වයක්ම සවි කර තිබූ නමුත් ඒවා ක්‍රියා විරහිත වී පැවතීමයි. 

මන්ත්‍රීවරයා රථයෙන් බැස ගේට්ටුවද විවෘත කර නිවසට යද්දී පිටුපස අසුන ඉලක්ක කරමින් වීදුරුවට වෙඩි තැබීමට වෙඩික්කාරයා පිස්සෙකු විය යුතුය. මෙතෙක් කිසිවෙකු ද අත් අඩංගුවට ගෙන නැත.

මෙය පැහැදිලිවම නාටකයකි.

නමුත් මෙහි ඇති අනතුර නම් මේ නාටකය ඉදිරි මැතිවරණයක් ඉලක්ක කර "නාඳුනන තුවක්කු කරුවා" යන භීෂණය මැවීමේ අරමුණක් මෙහි තිබුනා ද යන්නයි.

ඊයේ රාත්‍රී අනුරාධපුරයේ මේ 'නාඳුනන තුවක්කුකාර' නාටකය සිදුවන්නේ අද අනුරාධපුරයේ ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව පැවැත්වීමට නියමිතව තිබිය දී වීමද විශේෂිත ය. ජානිපෙ යනු ජවිපෙන් කැඩි ගොස් හැදූ පක්ෂයකි.

කෘතිම භීෂණයක් ඇති කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක්..

පොහොට්ටු යූඇන්පී සහ ඔවුන් සමග අත්වැල් බැඳගෙන සිටින දේශපාලන පඩංගු පක්ෂ ජනතාවගෙන් වේගයෙන් වියෝ වෙමින් තිබෙන බව නොරහසකි. ඒ අතරේ ජාතික ජන බලවේගයේ වේගවත් නැගී ඒමක් තිබෙන බව ද නොරහසකි. සාධාරණ ඡන්දයකින් නම් පොහොට්ටු යූඇන්පී හම්පඩ පක්ෂ වලට කිසිදු ජයග්‍රහණයක් තබා 'ජ' යන්න ආසන්නයටවත් පැමිණිය නොහැකි ය. එවැනි පසුබිමක 'නාඳුනන තුවක්කු කරුවන්' මවා, සමහර විටෙක එකෙකු දෙන්නෙකු බිලි දී වුව කෘතිම භීෂණයක් ඇති කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ නාටකය පසුපස තිබෙන බවට සැක කිරීම සාධාරණ ය. 

ජනතාව වෙනදාට වඩා අවදියෙන් සිටිය යුතු යුගයක් මේ සිද්ධියත් සමග ආරම්භ කළ යුතුය.

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

(සේයාරුවෙන් දැක්වෙන්නේ වෙඩි ප්‍රහාරය එල්ල වූ රථයත් උද්දික මන්ත්‍රී බැලීමට පැමිණ සිටින දුමින්ද මන්ත්‍රීවරයාත් ය)



No comments:

Post a Comment