Wednesday, 20 September 2023

හෙට පැවැත්වෙන පාස්කු ප්‍රහාර ගැන පාර්ලිමේන්තු විවාදයට අපෙන් ප්‍රශ්න කිහිපයක්..! ආණ්ඩුව උත්තර දෙනු..!

-LeN කර්තෘ මාණ්ඩලිකයෙක් ලියයි 

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.20, ප.ව.11.30) පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ චැනල් 4 වෘත්තාන්තයට ප්‍රතිචාර දක්වන ආණ්ඩුවේ පරස්පර කතා මැදට දැන් යුදවාදී ප්‍රචාරකයින්ද එක්ව තිබේ. පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන බල පෙරළියක් ඉලක්ක කර ගත්  තුන්වන පාර්ශවයක් ඇති බව කරන ලද චේදනාව ඊට හේතුවයි. පාස්කු ප්‍රහාරය පිටිපස සැඟවුණූ මහ මොළකරුවන් සිටීයේ ද යන්න දැන් යළිත් වරක් ඇවිස්සී තිබේ.

ආණ්ඩුවේ සහ එහි ක්ෂමා ලාපකයින් කියන්නේ පාස්කු ප්‍රහාරය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවයි. එමෙන්ම එවකට රහස් පොලිසිය දේශපාලනීකරණය වී තිබීම නිසා ප්‍රහාරයට පෙර සැකකරුවන් අත්අඩංඟුවට ගැනීමට බැරි වූ බවයි. රහස් පොලිසිය සහරාන් ඇතුලු පිරිස කල්තබා අත් අඩං ගුවට ගත්තා නම් එම ප්‍රහාරය සිදු නොවනු ඇති බවයි. එය පොඩි දරුවකුට වුව තේරෙන කතාවකි.

අප කළ යුත්තේ සිය මතය සනාථ කිරීමට දක්වන එවැනි තර්ක ඉක්මවා ගොස් ඇත්ත සොයා ගැනීමට ඉවහල් විය හැකි ප්‍රශ්න ඉදිරිපත් කිරීමයි.

කරුණූ කිහිපයක්..

අපරාධ වාර්තාකරණයේ සහ යුද වාර්තාකරණයේ දශක දෙකක අත්දැකීම් ඇති මෙම ලියුම්කරු උත්සාහ කරන්නේ එවැනි කරුණූ කිහිපයක් සටහන් කිරීමට ය.

පසුගිය ඉරිදා දිවයින පුවත්පතට ලිපියක් ලියන සමන් ගමගේ නම් අපුල්ලන්නා ද යහපාලන සමයේ රහස් පොලිසිය යුද හමුදා දඩයමක් අරඹා තිබූ නිසා ජාතික ආරක්ෂාව බිඳ වැටීම, පාස්කු ප්‍රහාරයට හේතුව බව කියාපායි.

කීත් නොයාර්, පෝද්දල ජයන්ත වැනි ප්‍රමුඛ ජනමාධ්‍යවේදීන් පැහැර ගෙන, උපාලි තෙන්නකොන් සහ නාමල් පෙරේරා වැනි තවත් එවැනිම ජනමාධයවේදීන් පැහැර ගැනීමට උත්සාහ කර වධහිංසා පැමිණ වීම්, ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැළිගොඩ වැනි ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම් පිළිබඳ පරීක්ෂන පැවැත්වූයේ එකල ය.

එය ආරක්ෂක අංශයක් නොව සෙල්ලම් මඩුවක්..

එම අපරාධ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි මෙන්ම ඇඟිලි සලකුණූ වැනි රස පරීක්ෂක සාක්ෂි පදනම් කර ගෙන එම අපරාධ සම්බන්ධයෙන් අත්අඩංඟුවට ගන්නා ලද්දේ යුද හමුදා සාමාජිකයින් 20 දෙනෙකු පමණකි. ඉන් සමහරකුට එරෙහිව නීතිපතිවරයා ත්‍රිපුද්ගල මහාධිකරණ ඉදිරියේ නඩු පවරා ඇත්තේ ඒවා දඩයම් නොවන නිසාය. තවත් සමහරුන්ට විරුද්ධ පරීක්ෂන තවමත් ඉදිරියට යමින් තිබේ.

හමුදා බුද්ධි අංශ සාමාජික සාමාජිකා සංඛයාව දස දහසකට වැඩි බව (10,012) මෙම ලියුම්කරු දනී.  විසි දෙනෙකු යනු ඉන් දශම ගණනකි. ඔවුන්ට නඩු පවරා ඇත්තේ එල්ටීටීඊය සමඟ කළ යුද්ධයට අදාලව නොවේ. එවැනි සුලු ප්‍රමාණයක් අත්අඩංඟුවට ගැනීමෙන් ආරක්ෂක අංශ දුර්වල විය හැකි නම් එය ආරක්ෂක අංශයක් නොව සෙල්ලම් මඩුවක් විය යුතුය.

ගෝටාට ඇත්ත අපරාධකාරයන් හොයන්න තිබුනානේ, නොකළේ ඇයි?

මෙම චෝදනාව කළ ගෝඨාභය රාජපක්ෂ වසර දෙක හමාරක් සර්වබල ජනාධිපතිව සිටි සමයේ ඉහත සඳහන් කළ අපරාධ සම්බන්ධ වැරදිකරුවන් සෙවීමට පියවර ගෙන, අත්අඩංඟුවට පත් යුද හමුදා පිරිස් නිදහස් කර ගත්තේ නැත්තේ මන්ද?

තවද ඉහත උදාහරණ දැක් වූ සෑම අපරාධයක්ම සිදුවූයේ ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටියදීය. එනිසාම එම අපරාධයන්හි සුලමුල සෙවීමට ජනාධිපති වශයෙන් සිටි කාලයේදී නොහැකි වූයේත් ආරක්ෂක අංශ දුර්වල ව තිබූ නිසාද?

දඩයම කර තියාගෙන යන පුද්ගලයා අනුව දඩයක්කරු..

පාස්කු ප්‍රහාරයේ වාසිය ගියේ රාජපක්ෂලාට ය. පාඩුව වූයේ යහපාලන රජයට ය. එහි වාසිය අත්අඩංගුවේ සිටි සමහර බුද්ධි අංශ සාමාජිකයිනට ද ලැබුණි. ප්‍රගීත් එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විත්තියේ සාක්ෂිකරුවන් වූයේ කිසිදු නීතිමය දඬුවමකට ලක් නොවිය. නීතිපති එවැන්නට විරුද්ධව පියවර ගත්තේ නැත. ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරෙහි දී කරන ලද තරුණ ඝාතන සම්බන්ධ සැකකරුවකු වූ කරන්නාගොඩට ආණ්ඩුකාර තනතුරක් ලැබුණි.

දඩයම කර තියාගෙන යන පුද්ගලයා අනුව දඩයක්කරු අනුමාන කළ හැකි බව කියනු ලැබේ.

දිවයින පුවත්පතේ ක්ෂමාලාපක සමන් ගමගේ එක්නැළිගොඩ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නට ගොස් පොලිස් සිරමැදිරියේ කූරු ගණන් කරන්නට සිදුවිය. එවැන්නන් මෙවැනි කතා ගෙතීම අරුමයක් නොවේ.

පරීක්ෂනවලට බාධා කළේ හමුදා බුද්ධි අංශ..

දැන් එවකට රහස් පොලිසියේ ප්‍රධානියා වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ප්‍රසිද්ධියේම හෙළිදරව් කර ඇති පරිදි, පාස්කු ප්‍රහාරයේ පතුළටම පරීක්ෂා කිරීමට බාධා පැමිණ වූයේ, යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානීන්ය.

ආණ්ඩුව පිළිතුරු දිය යුතු ප්‍රශ්න..

⋆ සහරාන්ගේ ISIS දිවුරුම අඩංඟු හඩ පටිය පළමුව නැතැයි කියා පසුව සොයා ගත්තේ පොඩි සහරාන් විසිනි. ඒ යුද හමුදා ඔත්තුකරුවකු බව පෙනෙන 'සොනික් සොනික්' ගේ ඉල්ලීමකට අනුවය. එය පොඩි සහරාන්ට ලැබුණේ කෙසේද යන්න අදටත් ප්‍රශනයකි.

⋆පොඩි සහරාන් සහ මහ සහරාන් මුණ ගැස්වූයේ 'සොනික් සොනික්' විසින්ද යන ප්‍රශ්නය තවමත් ඉතිරි වී තිබේ. සොනික් සොනික් යනු ලිපි ගොනුවක් පමණක් යැයි කියන ආණ්ඩුවේ තර්කය, රවි සෙනෙවිරත්න විසින් කුඩු පට්ටම් කරන ලදී.

⋆මෙම සොනික් සොනික් යන උප පොලිස් පරීක්ෂ බණ්ඩාරගෙන් ප්‍රශ්න කිරීම නතර කරන ලද්දේ ඇයි?  කටාර්හි සේවයේ යෙදී සිටි පොඩි සහරාන් ලංකාවට පැමිණ  කරන ලද ඇත්ත කාර්යය කුමක්ද?

⋆ස්වයං ඝාතක සහරාන් සමඟ සබඳතා පැවැත් වූ යුද හමුදා සෙබලාගෙන් ප්‍රශ්න කිරීම, බුද්ධි අංශ ප්‍රධානීන් වැළැක්වූයේ මක් නිසාද?

⋆මෙම පුරුක ලිහා ගැනීම පාස්කු ප්‍රහරයේ අගමුල සෙවීමට ඉතා වැදගත් බව එවකට රහස් පොලිසියේ ප්‍රධානීන් දෙදෙනාම, එනම් රවි සෙනවිරත්න සහ ශානි අබේසේකර පාස්කු කොමිසම හමුවේ පවසා තිබේ.

⋆එකී සෙබලා සහරාන් කණ්ඩායම තුළට රිංගවා සිටි රහස් ඔත්තුකරුවකු නම් ඔහුගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුර ලබා ගැනීමට නොහැකි වූයේ ඇයි?

හෙට එනම් 21වන දින පාර්ලිමෙන්තුවෙහි පැවැත්වෙන විවාදයේ දී මෙම ප්‍රශ්න වලට රජයේ පාර්ශවය පිළිතුරු දිය යුතුය.

-LeN කර්තෘ මාණ්ඩලිකයෙකු විසිනි

No comments:

Post a Comment