Wednesday, 20 September 2023

ලිංමැඩි නීති ගෙනාවොත් Google, Facebook, YouTube, TikTok, Instagram  සමාගම් ලංකාව හැරදා යාවි..!

-ආචාර්ය හර්ෂ ද සිල්වා අනතුරු හඟවයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.20, ප.ව.10.30) Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බවත් ඒ ආකාරයෙන් රටට ද්‍රෝහි නොවන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අවධාරණය කළේය.

“ඔන්ලයින් සේෆ්ටි කියල ආණ්ඩුව ඊයේ රෑ ගැසට් එකක් ගහලා. එමගින් මූලික මූලධර්ම උල්ලංඝනය කරනවා. තොරතුරු තාක්ෂණ සමාගම් ලංකාවට එන එක නතර කරන්න මේ නීතිය හේතුවෙනවා. මේක මේ ක්ෂේත්‍රයේ ආයෝජන වලට මරු පහරක්. මේ ගෝත්‍රික නීතියට අපි විරුද්ධ විය යුතුයි.“

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහා ද මෙම පනත් කෙටුම්පත යොදා ගන්නා බව මෙම ගැසට් නිවේදනයේ සඳහන්ය.  මෙම ගැසට් නිවේදනයේ දිනය ලෙස සඳහන් වන්නේ 2023 සැප්තැම්බර් 15 වනදායි.

මෙමගින් භාෂණයේ නිදහස උල්ලංඝනය වන බවත් ජනතාවට නිදහසේ අදහස් පළ කිරීමේ මූලික අයිතිය තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය. එසේම, මෙම ගැසට් නිවේදනය මගින් ජාත්‍යන්තර සන්නිවේදන සමාගම් නියාමනය කිරීමට ශ්‍රී ලංකාව තුළ කොමිසමක් පිහිටුවීමට යෝජනා කර තිබෙන බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.  

“මේ කොමිසමේ සාමාජිකයින් පත්කරන්නේ ජනාධිපති. මේ කොමිසම විසින් සත්‍ය මොකක්ද? අසත්‍ය මොකක්ද කියල තීරණය කරනව ලු. එහෙම කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. මේ සමාජ මාධ්‍ය ආයතන මේ කොමිසම කියන විදිහට වැඩ කරන්නේ නෑ. ජනතාවට සන්නිවේදන පහසුකම් දෙන Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ගෝලීය තාක්ෂණික සමාගම් මේ විදිහට ලංකාවේ නියාමනය කරන්න බෑ. එහෙම කළොත් ඒ සමාගම් ශ්‍රී ලංකාවෙන් යාවි.“

ලෝකයේ ක‍ෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කාලයක මෙවැනි යල් පැනගිය ලිංමැඩි නීති හඳුන්වාදීම මගින් රට තව තවත් ආපස්සට ගමන් කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

මෙම සමාගම් ඔස්සේ ශ්‍රී ලංකාවේ විශාල තරුණ පිරිසක් ආර්ථික කටයුතුවල යෙදෙමින් රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් උපයාදෙන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙවැනි නියාමන ක්‍රියාමාර්ග මගින් එවැනි අවස්ථා මෙරට ජනතාවට නැතිවී යා හැකි බවයි.

අදාල මර්දන පනත පහත දිගුවෙන් කියවන්න

https://pdfhost.io/v/mahrFhV5c_Online_Safety_

No comments:

Post a Comment