Sunday, 17 September 2023

ලංකාවේ තානාපතිලා මහා බ්‍රිතාන්‍යයටත් පොලු තියලා...!

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.17, ප.ව.11.20) ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ලන්ඩනයේ පිහිටි විදේශ තානාපති කාර්යාල විශාල ප්‍රමාණයක් ගමනාගමන තදබද කලාපවල ගමන් ගාස්තු වශයෙන් පවුම් මිලියන ගණනක් රටට ගෙවිය යුතුව තිබෙන බව බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

පාර්ලිමේන්තු උප ලේකම් (විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය) ඩේවිඩ් රට්ලි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට ලිඛිත පිළිතුරක් දෙමින් කියා සිටියේ, දැන් මුළු ණය ප්‍රමාණය පවුම් මිලියන 145 කට වඩා වැඩි බවයි. 

ඒ අනුව, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මුළු හිඟ මුදල ලෙස පවුම් 652,120ක් ගෙවිය යුතුව ඇත.

කෙසේ වෙතත්, උප ලේකම් රට්ලිට අනුව, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සහ ජාත්‍යන්තර සංවිධාන ලන්ඩන් ගමනාගමන තදබද කලාප ගමන් ගාස්තුවලින් නිදහස් කිරීම සඳහා නීතිමය හේතුවක් නොමැත‍; එම ගාස්තුව ඔවුන් ගෙවන රථ ගාල් ගාස්තුවකට හෝ මාර්ග ගාස්තුවකට සමාන වේ.

"රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය යටතේ, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඔවුන් සිටින රාජ්‍යයේ නීති සහ රෙගුලාසිවලට ගරු කිරීමට බැඳීමක් ඇත. එබැවින් සියලුම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල විසින් ගමනාගමන තදබද කලාප ගමන් ගාස්තු ගෙවීම ඇතුළු එක්සත් රාජධානියේ නීති සහ රෙගුලාසිවලට ගරු කරනු ඇතැයි බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරයි.

මුදල් ගෙවීමට ඇති අනෙකුත් රටවල් අතර එක්සත් ජනපදය, ජපානය, පෝලන්තය, ප්රංශය හා ජර්මනිය වේ. 

ලන්ඩන් ගමනාගමන තදබද කලාප ගමන් ගාස්තුව යනු මධ්‍යම ලන්ඩනයේ ගමනාගමන තදබද ආරෝපණ කලාපය තුළ සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 7 සිට සවස 6 දක්වා ද, සති අන්තයේ දහවල් 12 සිට සවස 6 දක්වා ද ධාවනය වන බොහෝ මෝටර් රථ සහ මෝටර් වාහන සඳහා අය කරන ගාස්තුවකි.

- 2023 සැප්තැම්බර් 16 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Sunil Jayasiri ලියූ, “SL mission in London owes thousands of pounds in unpaid congestion fees: United Kingdom” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment