Sunday, 17 September 2023

ආරක්ෂක අමාත්‍යාංශ ‘වලිගය’ රනිල් ‘බල්ලාව’ වනයි...?

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.17, ප.ව.10.45) පසු ගිය සතියේ එක්සත් රාජධානියේ චැනල් 4 විසින් කරන ලද චෝදනාවලට වඩා අප කම්පනයට පත් කළ එකම දෙය නම් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අධිබලැති ප්‍රතික්ෂේප කිරීමයි. 

2019 අප්‍රේල් මාසයේ දී පුද්ගලයන් 260 කට අධික පිරිසක් ඝාතනය කළ පාස්කු ඉරිදා බෝම්බකරුවන් සමග ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සම්බන්ධකම් පැවැත්වූ බව චැනල් 4 ප්‍රකාශ කරයි. රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ප්‍රහාරයට මාස කිහිපයකට පෙර මරා ගෙන මැරෙන බෝම්බකරුවන් කිහිප දෙනෙකු හමු වූ බව ද, එම පාස්කු ප්‍රහාරයට පෙර සහ පසුව ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිළිබඳව කෙරෙමින් පැවැති පරීක්ෂණ කිහිපයක් අඩාල කිරීමට හමුදා බුද්ධි අංශ විසින් උත්සාහ කරන ලද බව ද මෑතක නිකුත් කළ වාර්තා චිත්‍රපටයකින් හෙළි විය.

පැය 48 ක් ඇතුළත සිදු වූ වැදගත් සිද්ධි දෙකක්...

එය විකාශය වී පැය 48 ක් ඇතුළත සිදු වූ වැදගත් සිද්ධි දෙකක් තිබේ.

පළමු වැන්න, චැනල් 4 නාලිකාව විසින් එල්ල කරන ලද චෝදනා විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා විසින් ප්‍රකාශ කරනු ලැබීමත්, ඊට පෙරම මනූෂ නානායක්කාර අමාත්‍යකාරයා විසින් එම වාර්තා චිත්‍රපටය මගින් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව පාර්ලිමේන්තුවට දැනුම් දීමත්ය. 

ආරක්ෂක අමාත්‍යාංශය වෙන එකක් කියයි...

දෙවැනි සිද්ධිය නම්, “වසර 36ක් තිස්සේ ජාතියට සේවය කිරීමට කැප වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව නගා ඇති, ප්‍රහාරය මෙහෙය වීම සහ බෝම්බකරුවන්ට උපකාර කිරීම යන චෝදනා දැඩි ලෙස හෙළා දකී,” යනුවෙන් සඳහන් නිවේදනයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් පසු ගිය සතියේ නිකුත් කිරීමයි.

"ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ආරක්ෂක අමාත්‍යාංශය මෙම අසත්‍ය චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර සත්‍යය, යුක්තිය, සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත අවධාරණය කරයි," යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශයේ සඳහන් වේ.

“රජය වෙනුවෙන්” ආරක්ෂක අමාත්‍යාංශය විසින් තමන්ගේම ආයතනයකට එරෙහි එම චෝදනා ප්‍රතික්ෂේප කර ඉවත දමා තිබේ නම්, පාර්ලිමේන්තු කමිටුවකට හෝ ජනාධිපතිකාරයා පත් කළ කමිටුවකට විමර්ශනය කිරීමට තරම් තවත් ඉතිරිව ඇත්තේ මොකක් ද?

ජනාධිපතිකාරයාගෙන් ඇහුවේ නැතිද?

ආරක්ෂක අමාත්‍යාංශය හැටියට මුළු ආණ්ඩුව වෙනුවෙන්ම කට අරින්නට පෙර රටේ ජනාධිපතිකාරයා ද වන ආරක්ෂක අමාත්‍යකාරයාගේ අදහස් විමසීමට ඉඩ තිබුණා නේ ද?

අනිත් අතට, ආණ්ඩුව හා ජනාධිපතිකාරයා විසින් දැනටමත් චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබිය දීත්, කමිටු සහ විමර්ශන සඳහා මහජන සම්පත් නාස්ති කරන්නේ අහවල් එහෙකට ද? එය ඉදිරි නියමාකාර ක්‍රියාවලියක තර්ක විතර්ක සහ විශ්වසනීයත්වයේ ස්වරූපය අවුල් කරුනු ඇත. 

වගවීම සහ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ එහි ඔත්තු සේවා යාන්ත්‍රණය කවදත් සිටියේ අවිනිශ්චිත හෝ අවදානම් තත්වයකය. ඒ දෙකම සාහසික අපරාධ රැසකට සම්බන්ධ වී ඇත. හමුදා බුද්ධි අංශ නිලධාරීන් සෘජුව සම්බන්ධ වූ අපරාධ රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

කුප්‍රකට ට්‍රිපොලි ප්ලැටූනය..

යුද හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ දැනට කුප්‍රකට ට්‍රිපොලි ප්ලැටූනයට චෝදනා එල්ල වන එවැනි එක් සිද්ධි මාලාවක් නම් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, සහ කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, හා නාමල් පෙරේරා වැනි මාධ්‍යවේදීන් පැහැර ගෙන ගොස් පහර දීමයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන යාම සම්බන්ධයෙන් මිලිටරි බුද්ධි අංශයේ වෙනම ඒකකයකට චෝදනා එල්ල වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම, සහ කප්පම් ලබා ගැනීම සඳහා පැහැර ගෙන ගොස් අවම වශයෙන් දෙමළ සිවිල් වැසියන් 11 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාවික හමුදාවේ බුද්ධි අංශයට ද චෝදනා එල්ල වී තිබේ.

සීඅයිඩියට පරීක්ෂණ කරන්න ඉඩ දුන්නේ නෑ...

මේ හැම සිද්ධියකදීම පොලිසියට පරීක්ෂණ කිරීමට ඉඩ දුන්නේ නැත. නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු ධෛර්ය සම්පන්නව මෙම පරීක්ෂණ මෙහෙයවූ පිරිසට හිරිහැර හා තර්ජන එල්ල විය. අබේසේකර මාස 11 ක් සිර ගතව සිටි අතර, සිල්වාට විදේශ සරණාගතභාවය ලබා ගැනීමට සිදු විය.

ඉහත දක්වා ඇත්තේ දැන් "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන්" කතා කරන හමුදා බුද්ධි අංශවල චරිත සහතිකයේ සඳහන්ව ඇති බිහිසුණු කුපාඩිකම්වලින් කීපයකි.

බල්ලාව වනන වලිගය ද?

ආරක්ෂක අමාත්‍යාංශය යනු බල්ලාව වනන වලිගය ද නැති නම් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාණ්ඩුවේ හමුදාව තිබෙන්නේ සිවිල් පාලනයක් යටතේ ද යන්න වික්‍රමසිංහ ජනාධිපතිකාරයා විසින් දැන් තීරණය කර ඒ බව රටට පෙන්වා දිය යුතුව තිබේ. 

සත්‍ය වන්නේ දෙවැන්න නම්, බුද්ධි අංශ ආණ්ඩුවේ පාලනය යටතට ගෙන, චෝදනා සම්බන්ධයෙන් තීරණ ගැනීමට චූදිතයන්ට ඉඩ නොතබා, විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්විය යුතුය.

- 2023 සැප්තැම්බර් 12 වන දින DailyFT වෙබ් අඩවියේ පළ වූ, “MoD, the tail wagging the dog?” නම් කතු වැකිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment