ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් වලට රාජපක්ෂලාගේ නිලධාරීන් සම්බන්ධයි..!
-2023 සැප්තැම්බර් 4 වන දා එංගලන්තයේ The Times පත්‍රයේ පලවූ Rajapaksa officials ‘linked to Easter Sunday Sri Lanka bombs’ වාර්තාව. රාජ්‍යතාන්ත්‍රික වාර්තාකාරිනී කැතරින් පිලිප්ස් විසිනි-
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.04, ප.ව.5.50) බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන් ඇතුළු 250 කට අධික පිරිසකට මරු කැඳවමින් 2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ පිපිරීම් වලට රාජපක්ෂ පවුලට පක්ෂපාති නිලධාරීන් ගේ දුෂ්ඨ සම්බන්ධයක් ඇති බවට අභ්‍යන්තර තොරතුරු දන්නෝ හෙළිදරව් කරති.
සුරේෂ් සලේ සහ බෝම්බකරුවන් අතර හමුවක්..
යුද හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන සුරේෂ් සලේ සහ ඉස්ලාමික් රාජ්‍ය සංවිධානයේ බෝම්බ කරුවන් අතර හමුවක් තමා 2018 දී සංවිධාන කළ බව ඇතුළත කටයුතු කළ පුද්ගලයෙක් ප්‍රකාශ කර තිබේ. එම හමුවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව අස්ථාවර කර රාජපක්ෂලාට යලිත් බලයට පැමිණීමට පහසුකම් ලබා දීම බව ද එම තැනැත්තා හෙළිදරව් කර තිබේ. මේ තැනැත්තා මේ හෙළිදරව්ව කර ඇත්තේ එක්සත් රාජධානියේ චැනල් 4 නාලිකාවේ සැප්තැම්බර 5 වැනිදා විකාශය වීමට නියමිත Dispatches වැඩසටහනට එක්වෙමිනි.
හන්සීර් අසාද් මවුලානා..
“මීටින් එක අවසන් වුණා. සුරේෂ් සලේ මට ඇවිත් කිව්වා, ශ්‍රී ලංකාව තුළ අනාරක්ෂිත තත්වයක් රාජපක්ෂලාට ඕනැ, ගෝඨාභයට ජනාධිපති වෙන්න පුළුවන් වෙන්නෙ ඒ මාර්ගයෙන් පමණයි කියල” යි හන්සීර් අසාද් මවුලානා ප්‍රකාශ කරයි. “ප්‍රහාරය දවසකින් දෙකකින් සැලසුම් කරන ලද්දක් නොවෙයි. ඒ සැලැස්ම අවුරුදු දෙකක්, තුනක් තිස්සේ හැදෙමින් තිබුණ” ඔහු කියයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මාස හයකට පසුව රටේ ආරක්ෂාව ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පොරොන්දුව ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් පසුව සලේ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස පත් කළේය.
ගෝඨාභය ඊට කලින්, සිය සහෝදරයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළේය. දෙමළ කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා ගෞරවයට ලක් වුනත් 2015 දී පරාජයට ලක් වූ මේ දෙදෙනා ඔවුන් ගේ පාලන කාලයේ සිදු කරන ලද නීතියෙන් පරිබාහිර මිනීමැරීම්, මානව හිමිකම් කඩකිරීම් සහ මහා පරිමානයේ දුෂණ සම්බන්ධයෙන් විමර්ශන වලට මුහුණ දුන්හ.
බෝම්බ ප්‍රහාරය සහ රාජපක්ෂ සම්බන්ධය ගැන ප්‍රසිද්ධියේ කියන පළමු වතාව..
රාජක්ෂ පවුල පාස්කු ඉරිදා ප්‍රහාරයට ඇති සම්බන්ධය ගැන දීර්ඝ කාලයක් පුරා කතා කෙරෙමින් තිබිණි. එහෙත් ඒ සම්බන්ධයෙන් යමෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වන ප්‍රථම වතාව මෙයයි. චැනල් 4 නාලිකාවේ හිටපු ප්‍රවෘත්ති සංස්කාරක බෙන් ද පියර් විසින් ආරම්භ කරන ලද බෙස්මන්ට් ෆිල්ම්ස් විසින් මෙම වාර්තා වැඩසටහන නිෂ්පාදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථික පරිහානියට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ආරම්භ වූ ජනතා නැගිටීම හේතුවෙන් ඉකුත් වසරේ ගෝඨාභය බලයෙන් පහකරන ලදී.
අසාද් මවුලානාගේ සාක්කිය විශ්වාස නිසා ජාත්‍යන්තර විමර්ශන ආරම්භ කරලා..
පසුගිය වසරේ ශ්‍රී ලංකාවෙන් පලා ගිය මවුලානා සිය සාක්ෂිය යුරෝපීය බුද්ධි අංශ වලට සහ එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළේය. ඔවුන් ඔහු ගේ සාක්ෂිය විශ්වසනීය බවට පිළිගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මේ ප්‍රහාර වලින් විදේශ සංචාරකයෝ 43 දෙනෙක් මිය ගියහ. බ්‍රිතාන්‍ය ජාතික බෙන් නිකල්සන් ජීවිතය ගලවා ගත් නමුදු ඔහු ගේ බිරිඳ සහ දරු දෙදෙනා මිය ගියහ.
නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි තවත් කෙනෙක්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, සලේ සහ බෝම්බ කරුවන් අතර සම්බන්ධයක් තිබූ බවට මව්ලානා කළ ප්‍රකාශය තහවුරු කළේය. බෝම්බ ප්‍රහාරයට පෙර සහ පසුවත් හමුදා බුද්ධි අංශය පොලිසියේ විමර්ශන වලට බාධා කළ බව ඔහු කීවේය.
හමුදා බුද්ධි අංශය පොලිසිය මුලා කළා..
“රෙජීමය 2019 දී බලයට පත් වීමෙන් පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ සියලු නිලධාරීන් ඉන් පිටතට මාරු කර යැව්වා. ඒ විමර්ශන සම්පූර්ණයෙන් ම කඩාකප්පල් කළා.” එම නිලධාරියා කියයි.
මේ කුඩා ISIS කල්ලිය (බෝම්බ කරුවන් ) පසුපස පොලිසිය ලුහුබැඳ යාම වෙනතක හරවමින් මුලා කිරීම සඳහා හමුදා බුද්ධි අංශය විසින් අසත්‍ය තොරතුරු ගණනාවක් ලබා දී ඇති බව ද චැනල් 4 විසින් ලබාගෙන ඇති ලේඛන වලින් පෙනෙන්නට තිබේ. මේ කුඩා ISIS කල්ලිය කතෝලික දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරන බවට ඉන්දීය බුද්ධි අංශ ඊට සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබුණු බව ද එම ලේඛන පෙන්නුම් කරයි. එහෙත් එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රියා කරනු නොලැබිණි.
2021 දී බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අවසන් කරන ලද නමුත්, එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ එය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමි මේ සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප් වහන්සේට අභියාචනාවක් කළ අතර ප්‍රහාර සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් කරන ලෙස ඉකුත් වසරේ උන්වහන්සේ ඉල්ලීමක් කළහ.
මවුලානා ගේ සාක්ෂිය වැදගත් සාක්ෂියක්...
මවුලානා ගේ සාක්ෂිය විශේෂයෙන් සිත් ඇදගන්නා සුළුය. මන්ද එය බෝම්බ කරුවන් සහ සලේ අතර සම්බන්ධයක් තිබුණු බව ප්‍රකාශ කිරීමයි. එම ප්‍රකාශය ශ්‍රී ලංකාව තුළ සේ ම ඉන් පිටතත් අධිකරණ බල ප්‍රදේශ වල එම ප්‍රහාරය සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් යුක්තිය ඉල්ලා සිටින ඕනෑම අයෙකුට ඉතා වැදගත් සාක්ෂියක් වීම බව මේ සම්බන්ධයෙන් එංගලන්තයේ නෛතික කටයුතු වල යෙදී සිටින පවුල් වල නීතීඥයෝ පෙන්වා දෙති.
පිල්ලෙයාන් සහ සලේ බෝම්බකරුවන් හිරෙන් නිදහස් කර ගත්තා..
මවුලානා අවුරුදු කිහිපයක් රාජපක්ෂලාට පක්ෂපාත පිල්ලෙයාන් ගේ උදව්කරුවෙක් ලෙස සේවය කළේය. විරුද්ධවාදියකු ඝාතනය කිරීමේ චෝදනාව මත ඔහු හිරගෙදර සිටිද්දී ඔහු නිතරම බෝම්බ කරුවන් මුණගැසුනේය. මෙම අන්තවාදීන් ගේ එකම උනන්දුව වී තිබුණේ “මරාදැමීම, මරාදැමීම, මරාදැමීම.” යන්න පමණක් නිසා පිල්ලෙයාන් වහාම ඔවුන්ගෙන් ඇති ප්‍රයෝජනය දුටු බව මවුලානා කීවේය.
පිල්ලෙයාන් සහ සලේ ඔවුන් හිරගෙදරින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කළ බවත් ඉන් පසුව තමා ඔවුන් හා සලේ අතර හමුව සංවිධාන කළ බවත් ඔහු සඳහන් කරයි.
ටාජ් බෝම්බකරුවා රැගෙන එන්නැයි සලේ දුරකථනයෙන් කීවා..
බෝම්බ පිපුරුණු දා උදෑසන සලේ තමාට දුරකතනයෙන් කතා කර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් ඒ අතරින් එක් බෝම්බ කරුවකු රැගෙන එන ලෙස ඉල්ලා සිටි බවත් එහෙත් තමාට එහි යන්නට නොහැකි වූ බවත් මවුලානා ප්‍රකාශ කරයි. ටාජ් සමුද්‍රා හෝටලය තුලදී එක් බෝම්බ කරුවකුට දුරකථන ඇමතුමක් ලැබෙන ආකාරයත් ඔහු වහාම ඉන් පිටවී යන ආකාරයත් හෝටලයේ CCTV දර්ශන වල දක්නට ලැබේ. පැය කිහිපයකට පසුව ඔහු කොළඹ කුඩා හෝටලයක දී බෝම්බය පුපුරුවා ගත්තේ ය.
මෙම චෝදනා “සම්පූර්ණයෙන් අසත්‍යයි” යයි චැනල් 4 වෙත ලියුමක් යවමින් ප්‍රකාශ කරන සුරේෂ් සලේ, එම වාර්තා චිත්‍රපටයේ නිර්මාණ කරුවන්ට කතා කළ කිසිදු පුද්ගලයකු සහ තමා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව කියා සිටියේය. බෝම්බ කරුවන් සහ තමා අතර හමුවීම් සිදු වූ බව කියන දින වල තමා ශ්‍රී ලංකාවේ නොසිටි බව ද ඔහු කීවේය. “පාස්කු ඉරිදා ප්‍රහාර වලට මගේ කිසිදු සම්බන්ධතාවක් නැත” යයි ද ඔහු ගේ ලියුමේ සඳහන් වේ.
මේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙස චැනල් 4 කල ඉල්ලීමට පිල්ලෙයාන් හෝ රාජපක්ෂ පවුල හෝ පිළිතුරක් එවා නැත.
-2023 සැප්තැම්බර් 4 වන දා එංගලන්තයේ The Times පත්‍රයේ රාජ්‍යතාන්ත්‍රික වාර්තාකාරිනී කැතරින් පිලිප්ස් ලියූ Rajapaksa officials ‘linked to Easter Sunday Sri Lanka bombs’ වාර්තාව සිංහලට නැගුවේ,

No comments:
Post a Comment