Monday, 4 September 2023

කටුනායක ටාමැක් එකට දණ ගසා වැඳ රට රැවටුව සේනාධිනායකයාගේ “ඔපරේෂන් ෆොනී”

-මෙතෙක් හෙළිනොවූ කරුණු ඇතුලත් ඩී.බී.එස්. ජෙයරාජ් ගේ වාර්තාව සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.04, ප.ව‍.8.00)  ශ්‍රී ලංකාවේ එකම ෆීල්ඩ් මාෂල්වරයා වන සරත් ෆොන්සේකා පිළිබඳව පසු ගිය කාලයේ බොහෝ පුවත් පළ විය. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ සභාපතිවරයා ද වන ඔහු 2023 අගෝස්තු 11 වන දින නාස්තිය, දූෂණය, අක්‍රමිකතා සහ අවපාලනයට එරෙහිව ජනතා විප්ලවීය විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය. මෙය හිටපු යුධ හමුදාපති සහ හිටපු ආරක්ෂක ප්‍රධානියා ස්වාධීනව කටයුතු කරමින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනු ඇතැයි යන ප්‍රබල අනුමානයක් ඇති කර තිබේ.

සරත් ෆොන්සේකා යළිත් ජනාධිපති අපේක්ෂකයකු වීමට ඇති ඉඩකඩ නිසා 2010 ජනාධිපතිවරණය යළිත් මතකයට නැගේ. එදා තරු හතරේ ජෙනරාල්වරයකු වූ ගාර්ඩිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් 2010 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස එවකට සිටි ජනාධිපති මහේන්ද්‍ර පර්සි රාජපක්ෂට අභියෝග කළ ආකාරය සිහිපත් කළ හැකිය.

වංචාවෙන්, රාජ්‍ය සම්පත් අවභාවිතයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් අවලක්ෂණ වූ එම මැතිවරණ ව්‍යාපාරයෙන් පසු, 2010 ජනවාරි 26 වැනි දින ඡන්ද විමසීම පැවැත්විණි. මහින්ද රාජපක්ෂ 6,015,934 ක් හෝ 57.88% ක ඡන්ද ලබා ගනිමින් පළමු ස්ථානය ද සරත් ෆොන්සේකා ඡන්ද 4,173,185 ක් හෝ 40.15% ක් ලබා ගෙන දෙවැනි ස්ථානය ද ලැබූ අතර, මහින්ද රාජපක්ෂ යළිත් වරක් විධායක ජනාධිපති ධුරයට පත් විය.

මාධ්‍ය නොදත්, ෆොනී අත්අඩංගුවට ගත් විලාසය හා ක්‍රමය..

එයින් යන්තම් සති දෙකකට පසුව, එනම් 2010 පෙබරවාරි 8 වැනි දා රාත්‍රියේ හිටපු යුද හමුදාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊට මාස කිහිපයකට පෙර ඔහු නායකත්වය දුන් හමුදාවේම යුධ සෙබළුන් විසිනි.

සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගන්නා විට ඔහු අත්අඩංගුවට ගත් විලාසය හා ක්‍රමය ගැන එතරම් මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණේ නැත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව පිළිබඳ තොරතුරු අල්ප වුව ද, හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමේ තත්ත්වය මුලින්ම ඉංග්‍රීසියෙන් වාර්තා කළේ මේ ලියුම්කරුය. එවකට සිටි බලවතුන් සහ ඔවුන්ගේ සහචරයින් බෙහෙවින් කෝපයට පත් වීමට එය හේතු විය. මීට වසර 13 කට පෙර ලියූ ලිපි ඇසුරින් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබඳව මා නැවත සලකා බලන්නේ මෙවැනි පසුබිමකය.

ඒ දෛවෝපගත රාත්‍රිය..

2010 පෙබරවාරි 8 වැනි දා ඒ දෛවෝපගත රාත්‍රියේ දී පරාජිත ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සිටියේ, කොළඹ 7, රාජකීය විද්‍යාලය අසල රාජකීය මාවතේ (කලින් රීඩ් මාවතේ) අංක 1/3 දරන ඔහුගේ දේශපාලන කාර්යාලයේය. දේශපාලන හිතවතුන් පිරිසක් සමග ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන උපාය මාර්ග සහ ප්‍රචාරක උපක්‍රම පිළිබඳව සාකච්ඡා කරමින් සිටියේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ (DPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක සෝමවංශ අමරසිංහ සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ෆොන්සේකාගේ මාධ්‍ය ලේකම් එස්. එච්. ඒ. සිල්වා හෙවත් ෂා සිල්වා හෙවත් සේනක සිල්වා ද ඊට සහභාගි වී සිටියේය. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මේජර්වරයෙකි.

දෙමහල් ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටි, ජෙනරාල් ෆොන්සේකාගේ රැස්වීම් කාමරයේ දොරවල් වසා ගෙන ඉතා රහසිගතව සාකච්ඡාව පැවැත්විණි.

හකීම්, ගනේෂන්, හඳුන්නෙත්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ආරක්ෂාව භාර ආරක්ෂකයෝ පහළ මහලේ සහ ඇතුල්වීමේ දොරටුවෙන් පිටත ද රැඳී සිටියහ.

රහසිගත සාකච්ඡාව සිදු වන අතරතුර පිටත “ෆොනී මෙහෙයුම”

මේ සාකච්ඡා සිදු වන අතරතුර, ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබළු තමන්ගේ හිටපු හමුදාපතිවරයා ඉලක්ක කර ගෙන විශේෂ මෙහෙයුමක් දියත් කරන්නට සූදානම් වෙමින් සිටියහ.

යුද හමුදාව තුළ ෆොන්සේකාට ‘ෆොනී’ යන අන්වර්ථ නාමය ලැබී ඇති නිසා, මෙහෙයුම “ෆොනී මෙහෙයුම” ලෙස විහිළුවට මෙන් නම් කර තිබිණ. ෆොනී මෙහෙයුමේ අරමුණ වූයේ ජෙනරාල් සරත් ෆොන්සේකා RWP, RSP, VSV, USP, RCDS, PSC, අත්අඩංගුවට ගැනීමයි.

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ මූලික කරුණු සැලසුම් කර තිබුණේ, එවකට මිලිටරි පොලිස් කණ්ඩායමක භාරකරු හෙවත් ප්‍රොවෝස්ට් මාෂල්වරයෙකු වූ බ්‍රිගේඩියර් ජගත් විජේසිරි සහ එවකට කොළඹ මෙහෙයුම් ආඥාපති මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ විසිනි.

ෆොනී යනු "ලෝකයේ හොඳම හමුදාපති" ලෙස කලක් විස්තර කළ එවකට ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ විසින් මෙම අතිශය රහසිගත මෙහෙයුම අනුමත කර තිබිණ.

පෙබරවාරි 8 වැනි දා රාත්‍රී 9 ට ෆොනී මෙහෙයුම ක්‍රියාත්මක විය.

මෙහෙයුමට “මිලිටරි නොවන ස්වරූපයක්” ලබා දීම සඳහා..

හමුදා පොලිස් බලකායේ සහ කොළඹ මෙහෙයුම් විධානයේ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් යොදවා තිබුණි. මෙහෙයුම දියත් වූයේ පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා හමුදා පොලිස් මූලස්ථානයෙනි. මෙම අභ්‍යාසයට “මිලිටරි නොවන ස්වරූපයක්” ලබා දීම සඳහා සොල්දාදුවන් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමක් ද එක් කර තිබිණ.

තුන්මුල්ල මුනිදාස කුමාරතුංග මාවත - ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත - රාජකීය මාවත යන තුන්කොන් හන්දියට සෙබළු බස් රථ හතරකින් සහ තවත් වාහන අටකින් පැමිණියහ.

යුධ ඇඳුමින් සැරසී කොළ පැහැති තොප්පි පැළඳ ආයුධ අතැතිව සිටි සොල්දාදුවෝ වේගයෙන් ප්‍රදේශයේ හතර අතටම ගොස් සියලු මාර්ග වසා දැමූහ. වැදගත් ස්ථානවල දී වාහන ගමනාගමනය ද අවහිර විය. රාජකීය මාවත හමුදා සාමාජිකයින්ගෙන් පිරී තිබුණි.

අනතුරුව, ෆොන්සේකාගේ දේශපාලන කාර්යාලය වටලන ලදී.

හමුදා, යුද හමුදා පොලිස්, හා රහස් පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් රාජකීය මාවත කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූ අවස්ථාවේ දී වේලාව රාත්‍රී 9.40 ට පමණ විය. කමාන්ඩෝ වර්ගයේ උපාමාරුවකින් හමුදා භට කණ්ඩායමක් පරිශ්‍රය තුළට පාත් විය.

සොල්දාදුවන් බොහෝ දෙනෙකු ගොඩනැගිල්ල වටා සහ ඇතුළත ස්ථාන ගත විය. ගේට්ටු ඇතුලෙන් අගුළු දැමුණි.

එම්එස්ඩී නිලධාරීන් සියළු දෙනා බලහත්කාරයෙන් නිරායුධ කළා..

විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ කාර්යය භාර අමාත්‍ය ආරක්ෂක අංශයේ (MSD) නිලධාරීන් සියලු දෙනා වට කර බලහත්කාරයෙන් නිරායුධ කෙරිණ. උඩු මහලට දුවන්නට උත්සාහ කළ නිලධාරීන් දෙදෙනකුට තුවක්කු පෙන්වා බිමට බසින ලෙස නියෝග කෙරුණි. ඔවුන් සියලු දෙනාම මුළුවලට ගාල් කර රඳවා තැබිණ.

සීසීටීවී කැමරා ක්‍රියා විරහිත කර පටිගත කිරීමේ උපකරණ ඉවත් කෙරිණ.

බ්‍රිගේඩියර් විජේසිරිගේ හා මේජර් ජෙනරාල් මානවඩුගේ විශේෂ භට කණ්ඩායම්වල සමහරෙක් උඩුමහලට ගමන් කළහ.

මුලින්ම, බ්‍රිගේඩියර් විජේසිරිගේ නායකත්වයෙන් යුත් හමුදා පොලිසිය රැස්වීම පැවැත්වෙන කාමරයට කඩා වැදුණේය. කාමරයට ඇතුළු වූ විගස බ්‍රගේඩියර් විජේසිරි තමන් හඳුන්වා දී, ජෙනරාල් ෆොන්සේකා සහ සේනක සිල්වා රඳවා ගෙන ප‍්‍රශ්න කරන ලෙස හමුදාවට උපදෙස් දී ඇති බැවින් එහි සිටි දේශපාලනඥයන්ට කාමරයෙන් පිටව යන ලෙස ඉල්ලා සිටියේය. මෙම අන්තනෝමතික ක්‍රියාවට විරුද්ධ වූ ඔවුහු කාමරයෙන් පිට වීම ද ජෙනරාල්වරයා ඔහුගේ හිටපු හමුදා යටත් නිලධාරීන් ළඟ තනි කර දමා යාම ද ප්‍රතික්ෂේප කළහ.

ෆොන්සේකාගේ විරෝධය..

මෙම අවස්ථාවේ දී ජෙනරාල් ෆොන්සේකා කියා සිටියේ තමන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නම් එය නිසි ආකාරයෙන් කළ යුතු බවයි. ඔහු තව දුරටත් යුද හමුදාවේ නොමැති නිසා යුද හමුදාවට තමා අත්අඩංගුවට ගැනීමට නොහැකි බවත් ඔහු අත්අඩංගුවට ගත හැක්කේ පොලිසියට පමණක් බවත් ඔහු කියා සිටියේය.

ෆොන්සේකාගේ මාධ්‍ය ලේකම් සේනක ෂා සිල්වා ද ජෙනරාල්වරයාගේ ස්ථාවරයට පක්ෂව කතා කළ අතර, ඔහු විශ්‍රාමික මේජර්වරයකු බැවින් ඔහු ද හමුදා පොලිසියට අත්අඩංගුවට ගත නොහැකි බව අවධාරණය කළේය.

හමුදා නිල ඇඳුමේ සිටිය දී කළ ඇතැම් වැරදි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජෙනරාල්වරයා හමුදා පොලිසිය භාරයට ගැනීමට සිදුව ඇති බව එහි දී මාර්ෂල් බ්‍රිගේඩියර් විජේසිරි ප්‍රකාශ කළේය. ඒවා හමුදාමය වැරදි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට හිමිකම් ඇත්තේ හමුදා පොලිසියට බව බ්‍රිගේඩියර්වරයා අවධාරණය කළේය.

අනතුරුව හමුදා පොලිස් නිලධාරියෙක් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමට හේතුව සඳහන් කරමින් ඔහුගේ නියෝග වේගයෙන් කියෙව්වේය. ෆොන්සේකාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබූ චෝදනාවලට ඇතුළත් වූයේ:

අ)     නිල ඇඳුමින් සිටිය දී දේශපාලනය කිරීම,
ආ)     සේවයේ යෙදී සිටිය දී සේනාධිනායකයාට [මරා) එරෙහිව කුමන්ත්‍රණය කිරීම,
ඇ)     හමුදාව හැර ගිය 1,500 කට වැඩි පිරිසකට සේවයේ යෙදී සිටිය දී රැකවරණය සැලසීම, හා
ඈ)     හමුදා ප්‍රසම්පාදන සම්බන්ධ දූෂිත භාවිතාව.

එවිට සරත් ෆොන්සේකා දැඩි ලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ තමන් පොලිසිය භාරයට ගන්නා තුරු කාර්යාලයෙන් නොයන බවත්, තමා දැන් නිල ඇඳුම් නොඅඳින සිවිල් වැසියකු බැවින් අත්අඩංගුවට ගැනීමට හමුදා පොලිසියට බලයක් නොමැති බවත්ය.

හමුදා පොලිසියට නොව තමන් සිවිල් පොලිසියට යටත් වන බව නැවත අවධාරණය කළ සරත් ෆොන්සේකාගේ දැඩි ස්ථාවරය හමුවේ හමුදා පොලිස් නිලධාරීන් තව දුරටත් ඉදිරියට යාමට පසුබට වූ බවක් පෙනෙන්නට තිබුණි.

මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ පැමිණේ..

හදිසියේම නව හමුදා භටයන් රැසක් කාමරයට ඇතුළු විය. ඔවුන් මෙහෙයවනු ලැබුවේ යුද හමුදාවේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ විසිනි. ජෙනරාල් මානවඩුගේ ෆොන්සේකාට ‘සර්’ යැයි අමතා, “මම කරන්නේ නියෝග ක්‍රියාත්මක කරන එක විතරයි. කරුණාකර අපි එක්ක එන්න,” යයි පැවසීය.

තමන් සිවිල් වැසියකු නිසා අත්අඩංගුවට ගැනීමට හමුදා පොලිසියට නොහැකි බව යළි අවධාරණය කළ පොන්සේකා කියා සිටියේ තමන් පොලිසියට භාර වීමට සූදානම් බවයි.

එවිට මානවඩුගේ පැවසුවේ පොලිස් සීඅයිඩීය පහළ මාලයේ සිටින බවත් ඔහුට පැමිණෙන ලෙසත්ය. ෆොන්සේකා ප්‍රතිචාර දැක්වූයේ, “මෙතැනට ඇවිත් ඔවුන්ගේ අනන්‍යතාවය සනාථ කරන ලෙසට කියන්න” යනුවෙනි.

සුද්ධ සිංහලෙන් උණුසුම් වචන හුවමාරුවක්..

මේ අවස්ථාවේදී නොසන්සන් වූ ජෙනරාල් මානවඩුගේ දැඩි ලෙස පිළිතුරු දුන්නේය. අනතුරුව මානවඩුගේ සහ ඔහුගේ හිටපු හමුදාපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. දෙන්නාම කතා කළේ සුභාෂිත ශුද්ධ සිංහලෙනි.

අනතුරුව මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ හමුදා සෙබළුන්ට නියෝග කළේ ජෙනරාල්වරයා අල්ලා අත්අඩංගුවට ගන්නා ලෙසයි. හමුදා භටයන් ෆොන්සේකා ළඟට යන විට හිටපු හමුදාපතිවරයා "මගේ ඇඟට අත තියන්න එපා" යැයි කෑ ගැසුවේය.

“ඇයි බලා ගෙන ඉන්නේ, බෙල්ලෙන්ම අල්ල ගනින්”

ෆොන්සේකා අල්ලා ගන්නා ලෙස මානවඩුගේ එවිට හමුදා භටයන්ට අණ කළේය. එක් අවස්ථාවක ඔහු දෙගිඩියාවෙන් සිටි සොල්දාදුවන්ට කෑ ගසා, “ඇයි බලා ගෙන ඉන්නේ, බෙල්ලෙන්ම අල්ල ගනින්” යයි අණ කළේය.

අණදෙන නිලධාරියාගේ අණ පරිදි සෙබළුන් ඔවුන්ගේ හිටපු හමුදාපතිවරයා අල්ලා ගෙන ඔහු පිටතට ඇද ගැනීමට උත්සාහ කළහ. එහෙත් ෆොන්සේකා ඔවුන් කැටුව යාම ප්‍රතික්ෂේප කරමින් මේසයක් අල්ලා ගෙන සිටියේය. “පොලිසියට එන්න දෙන්න. එතකොට මං එන්නම්," කියමින් ඔහු දිගටම කෑ ගැසීය.

යුද පෙරමුණේ බොහෝ ගැටුම්වලට මුහුණ දුන් හිටපු හමුදාපතිවරයා දැන් මාස අටකට පෙර තමා යටතේ සිටි සෙබළුන් අතින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගනු ලැබීමෙන් වැළකීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීය.

ෆොන්සේකා අවසානයේදිත් සටන් කළා...

තමා අල්ලා ගැනීමට උත්සාහ කරන නිලධාරියෙකුගේ නම් ටැගය ඔහු ඉරා දැමීය. පුටු පෙරළී ගියේය. ගුටිබැට හුවමාරුව අතරතුර තේ කෝප්ප, පීරිසි හා කෙටි කෑම බන්දේසි බිම වැටුණි.

සේනක සිල්වා විරෝධතාවය දැක්වීමට පටන් ගත් විට, මේජර් ජෙනරාල් මානවඩුගේ ඔහුගේ පිරිසට නියෝග කළේ, සිල්වා අත්අඩංගුවට ගෙන වැඩි දුර ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට භාර දෙන ලෙසයි. සේනක සිල්වා වෙනම රැගෙන ගොස් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට භාර දී ඇති බව පසුව වාර්තා විය.

මේ අවස්ථාවේ දී ජෙනරාල්වරයා ඇද ගෙන යන ලෙස සුමිත් මානවඩුගේ සෙබළුන්ට නියෝග කළේය. අනතුරුව හමුදා සෙබළු සරත් ෆොන්සේකාගේ අත් පා අල්ලා ගෙන බලහත්කාරයෙන් ඇද ගෙන යාමට උත්සාහ කළහ.

හිටපු හමුදා ප්‍රධානියෙකුට මේ ආකාරයෙන් අවමන් කිරීමේ පිළිකුල් සහගත දර්ශනය දුටු එහි සිටි දේශපාලකයින් හමුදා නිලධාරීන්ට ආමන්ත්‍රණය කළ නමුත්, තමන්ට නියෝගයක් ලැබී ඇති බව පවසමින් මේජර් ජෙනරාල් මානවඩුගේ ඒ සියල්ල නොසලකා හැරියේය.

“මගේ ඇඟට අත තිබ්බොත් ප්‍රතිවිපාක ලැබේවි,” -හකීම්

එක් අවස්ථාවක රවුෆ් හකීම් වාද කරන විට ඇතැම් සෙබළු තර්ජනාත්මක ලෙස ඔහු දෙසට ගමන් කළහ. එවිට තමාට අත නොතබන ලෙස සෙබළුන්ට කියන ලෙස රාවුෆ් හකීම් ජෙනරාල් මානවඩුගේට පැවසීය. “මගේ ඇඟට අත තිබ්බොත් ප්‍රතිවිපාක ලැබේවි,” යයි හකීම් අවවාද කළේය. එවිට මානවඩුගේ සෙබළුන්ට බැණ වැදී මන්ත්‍රීවරුන්ගෙන් ඉවත් වන ලෙස ඔවුන්ට පැවසීය.

සොල්දාදුවෝ ඔවුන්ගේ හිටපු හමුදාපතිවරයාගේ අත් පාවලින් අල්ලා බිම දිගේ ඇද ගෙන ගියහ. පළමු මහලේ සිට බලහත්කාරයෙන් පඩි පෙළෙන් පහළට ඇද ගෙන යද්දී සරත් ෆොන්සේකා දිගින් දිගටම කෑ ගසමින් පෙරලි කරමින් සිටියේය.

ජෙනරාල්වරයාට සමහර සොල්දාදුවන් පහර දුන්නා..

ජෙනරාල්වරයා ඇද ගෙන යන සමහර සොල්දාදුවන් තම හිටපු අණ දෙන නිලධාරියාට පහර දෙන ආකාරය දැක ගත හැකි විය. එක් සොල්දාදුවෙකු සරත් ෆොන්සේකාගේ හිස පිටුපසට ප්‍රබල පහරක් එල්ල කරනු දක්නට ලැබිණි.

සොල්දාදුවන් ඔහුට පහර දෙන විට ජෙනරාල්වරයා ශුද්ධ සිංහල සහ ශුද්ධ ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම තෝරා ගත් සුභාෂිත වචනවලින් ඔවුන්ට සංග්‍රහ කළේය.

ලජ්ජා සහගත අත් අඩංගුව...

2006 අප්‍රේල් මාසයේ දී එල්ටීටීඊ මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවා ගත් ජෙනරාල්වරයා සොල්දාදුවන් විසින් ඇද ගෙන යන ලද්දේ ඒ ආකාරයෙනි.

එක් අවස්ථාවකදී දඟලමින් සිටි ෆොන්සේකාගේ එහා මෙහා වන දෙපා ජනේලයක වැදී විදුරුව කඩා වැටුණි. බිම් මට්ටමට ළඟා වූ පසු ජෙනරාල්වරයාට මාංචු දමා වාහනයක් කරා ඇවිද ගෙන යන ලදී. පොන්සේකා එදා හමුදා සෙබළුන්ගෙන් ඉල්ලා සිටියේ ඇවිද ගෙන යාමට තමා බිම තබන ලෙසය.

ෆොන්සේකා නාවික හමුදා මූලස්ථානය වෙත රැගෙන ගියේ වෙඩි නොවදින ලෑන්ඩ් රෝවර් ජීප් රථයකිනි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ජෙනරාල්වරයා දුඹුරු පැහැති කලිසමක් සහ සුදු කමිසයක් ඇඳ සිට ඇත. අනතුරුව නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි කුටියක ඔහු රඳවා තැබිණ.

- 2023 අගෝස්තු 26 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, D. B. S. Jeyaraj ලියූ, “Operation Fonny: Shameful Arrest of Ex-Army Chief Fonseka by the Army” නම් තීරු ලිපිය සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment