Monday, 4 September 2023

මේ කවුරුහරි ලඟ තියෙනවාද ස්නයිපර් එකක් හත්වැනිදාට ගන්න; රට කාපු ලොකුම කාලකන්නි හොරා එප්පාවලට එනවා ඌට වෙඩි තියන්න..! 

-අනුරාධපුරයේ තිසර සමල් වාර්තා කරයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.04, ප.ව‍.8.50) එප්පාවල උත්සවයකට පැමිණෙන ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා ස්නයිෆරයක් අවශ්‍යය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබූ එප්පාවල මැඩියාව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයකු සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, 178/ බී මැඩියාව, එප්පාවල ලිපිනයේ පදිංචි 19 හැවිරිදි තරුණයකි. බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවකු ලෙස සේවය කරනු ලබන මෙම තරුණයා, ඊයේ (03) දින පෙරවරුවේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එප්පාවලදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ගොස් ඇත.

රනිල් එප්පාවල ට එනවා...

උතුරු මැද පළාතේ පැරණිතම පාසල වන එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් එළැඹෙන 07 වන දින පස්වරු 03.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වීමට නියමිත අතර, එහිදී එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතය. එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වැනි සංවත්සර සැමරුමට සමගාමීව සැප්තැම්බර් මස 05/06 දෙදින විද්‍යාල පරිශ්‍රයේදී අධ්‍යාපනික ප්‍රදර්ශනයක්, 06 වැනි දින පස්වරු 06.00 ට ධර්ම දේශණාවක්, සැප්තැම්බර් මස 07 වැනි දින දහවල් එකසිය පනස් නමක් විෂයෙහි දානමය පිංකමක් හා පස්වරුවේ ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය හා සමරු මුද්දරය නිකුත් කිරීම , සැප්තැම්බර් මස 08 දින පෙරවරුවේ රථ පෙළපාලිය හා පාගමනක් මෙන්ම,එදින පස්වරුවේ සංගීත ප්‍රසංගයක් මෙන්ම, සැප්තැම්බර් මස 09/10 දෙදින ආදී සිසු ක්‍රිකට් තරඟාවලියක්ද ලෙස සැමරුම් උත්සව මාලාවක් සංවිධානය කර ඇත.

එම උත්සවය වෙනුවෙන් එළැඹෙන 07 වැනි  දින ජනාධිපතිතුමන් සහභාගී වීමට සිටින පසුබිමක අදාළ තරුණයා විසින්  ඊයේ (03) දින පෙරවරුවේ  තම ෆේස් බුක් පිටුවේ “මේ කවුරු හරි ලඟ තියෙනවාද ස්නයිපර් එකක් සැප්තැම්බර් 07 වැනිදාට ගන්න එප්පාවලට රට කාපු ලොකුම කාලකන්නි හොරා එනවා ඌට වෙඩි තියන්න” යනුවෙන් සටහනක් තබා ඇත.

පරිගණක හා ජංගම දුරකථන ක්‍රීඩා වලට ඇබ්බැහි වූවෙක්..

එම සටහන සම්බන්ධයෙන් බුද්ධි අංශ නිළධාරීන්ට තොරතුරු ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ සිදු කිරීම සඳහා ඔහු එප්පාවල පොලීසියට කැඳවා කරුණු විමසා ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අදාළ තරුණයා ඊයේ (03) රාත්‍රියේම කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.මේ වන විට අදාළ  සටහනද  එම තරුණයා විසින් සිය ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කර ගෙන ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලසුමක් හෝ අවශ්‍යතාවක් ඔහුට නොපවතින බවද අනාවරණය වී ඇත.අදාළ තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත්, ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් අනාවරණය වී ඇත. අදාළ තරුණයා ස්නිෆර් ගැන දන්නේ කෙසේදැයි විමසා ඇති අතර, තමන් පබ්ජි වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා සිදු කරන බවත්, ඒවායේ දුර සිටින පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා ස්නයිෆර් යොදා ගන්නා බවත් පවසා ඇත.තමන් මෙම ෆේස්බුක් සටහන දුරදිග නොසිතා දැමුවක්  බවද ඔහු පවසා ඇත. අදාළ තරුණයා පරිගණක හා ජංගම දුරකථන ක්‍රීඩා සඳහා තදින් ඇබ්බැහි වූවෙකු බවද පරීක්ෂණ නිළධාරීහු පවසති.

තම පුතු එය දුර දිග නොසිතා සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් බව  ඩබ්ලිව්. දිල්රුක්ෂිකා වසන්ති (42) මහත්මිය පැවසුවාය. 

අදාළ සිදු වීම සම්බන්ධයෙන් විමසීමට අප ඒ නිවසට ගිය විට මව කියා සිටියේ, 

"මගේ පුතා ෆේස් බුක් එකේ දාපු පෝස්ට් එකකට ඊයේ (03) අත්අඩංගුවට ගත්තා, ඒක එයා බරපතලව හිතලා කරපු දෙයක් නෙමෙයි, විහිලුවට වගේ දාපු එකක්, නිකං දාපු සටහනක්, එයා අවි ආයුධ පාවිච්චි කරන්න තියා දැකලාවත් නැති කෙනෙක්, ඔය ස්නයිෆර් කියන වචනය පවා එයා දැනගත්තේ ගේම් ගහලා.එයා දරුණු කෙනෙක් නෙමෙයි.වයස අවුරුදු 19 යි මගේ පුතාට, අපි ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ, අපි කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ අය නෙමෙයි, එයාට අඩුම ඡන්දයක්වත් නෑ, එයා හිතන්නේ නැතිව කරපු දෙයක් මේක, මෙච්චර දුර දිග යයි කියලා හිතන්නේ නැතිව දාපු පෝස්ට් එකක්.කොලු කමට කරපු දෙයක් මේක. පරිගණකයෙන් එයා වෙඩි තියන ගේම් ගහනවා.ඒ නිසයි ඔය ස්නයිපර් කියන වචනයක් හරි දන්නේ.අපි ඉල්ලන්නේ සහනයක් දරුවාට ලබා දෙන්න කියලා" යැයි පැවසුවා ය.

ගම්වාසීන් හා අසල්වාසීන්ද මෙම තරුණයා කලහකාරී පුද්ගලයකු නොවන බවට පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සේයාරූ සහ වාර්තාව

-අනුරාධපුරයේ තිසර සමල්

No comments:

Post a Comment