Tuesday, 5 September 2023

පාර්ලිමේන්තුවේ ස්ත්‍රී දූෂකයන්ට අනුබල දුන් දේශපාලකයන් සිටීද..? වාර්තාව මේ සතියේ..!

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.05, ප.ව‍.6.00) පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අතවර කිරීමට සම්බන්ධ වූ තවත් කුපාඩියන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල ධුරාවලියෙන් ඉවත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

කාන්තා කාර්ය මණ්ඩලයේ කාන්තාවන් ලිංගික අපයෝජනය කිරීමට සම්බන්ධ නිලධාරින් කිහිප දෙනෙකුගේ නම්, විශේෂ විමර්ශන කමිටුවක් විසින් සිදු කරන ලද පරීක්ෂණ වාර්තාවක් තුළ සාක්ෂි සහිතව ලැයිස්තු ගත කර ඇති බව ආරංචි මාර්ග පවසයි. වාර්තාව මේ සතියේ දී පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දීමට නියමිතයි.

පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ උපදෙස් පරිදි, කාන්තා නිලධාරිනියන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන් ලිංගිකව සූරාකෑම පිළිබඳව විමර්ශනය කරයි. 

තර්ජන යටතේ දිගින් දිගටම අපයෝජනයට ලක්වෙලා…

සහකාර ගෘහ පාලන කළමනාකරුවන් දෙදෙනෙකුට එරෙහි චෝදනා මත දැනටමත් ඔවුන්ගේ සේවය අත්හිටුවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

නිලධාරීන් කිහිප දෙනෙකුගේ අනුග්‍රහය ඇතිව සේවිකාවන් ලිංගිකව සූරා කා ඇති බව සොයා ගැනීම්වලින් පෙනී ගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

තර්ජන යටතේ දිගින් දිගටම අපයෝජනයට ලක් වූ බවත්, උසස් නිලධාරීන්ගේ ඉල්ලීම්වලට සහයෝගය දැක්වීමට මැලි වූ හෝ ප්‍රතික්ෂේප කළ අයට වෙනත් දෙපාර්තමේන්තුවලට ස්ථාන මාරුවීම් ලබා දී හෝ තනතුරින් පහත හෙලීමෙන් හෝ උසස් වීම් අත්හිටුවීමෙන් පලි ගෙන ඇති බවට වින්දිතයන් විසින් සාක්ෂි දී තිබේ.

විශේෂ විමර්ශන කමිටුව විසින් පවත්වනු ලබන විමර්ශනයේ ප්‍රගතිය මහින්ද යාපා අබේවර්ධන කථානායකයා විසින් සභාවට දැනුම් දීමට නියමිතය.

කාන්තා සේවිකාවන් ලිංගිකව සූරාකෑම වැළැක්වීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් මහ ලේකම්වරිය විසින් හඳුන්වා දී ඇති බවත්, වැරදිකරුවන් වන සියලු දෙනාට තනතුර හා තරාතිරම නොබලා පියවර ගන්නා බව ඇය පසු ගිය දා ප්‍රකාශ කර තිබූ බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

සජබ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න පසු ගිය සභා සතියේ දී පැවසුවේ, ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එවැනි දෑ සිදු නොවූ බවට වින්දිතයින්ගෙන් ලියුම් ලබා ගැනීම ආරම්භ කර ඇති බවයි.

වින්දිතයන්ට ලිංගික අපයෝජන සහ හිරිහැර කළ බවට කර ඇති චෝදනා ඉල්ලා අස් කර ගන්නා ලෙස වින්දිතයන්ට බල කරමින් ලිපි ලබා ගැනීමේ ව්‍යාපෘතියට ඇතැම් ප්‍රබල දේශපාලකයන් සහාය දෙන බව විශ්වාස කිරීමට හේතු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජේරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

“සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අතවර කර ඇති බව වාර්තා වී තිබෙනවා. මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ බලමණ්ඩලයත් සිදු වී ඇතැයි කියන ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වෙනම සොයා බලනවා. මේ සම්බන්ධයෙන් ගෘහ සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට තමා මේ වන විටත් පියවර ගෙන තිබෙනවා,” යයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජේරත්න පැවසුවාය.

- 2023 සැප්තැම්බර් 3 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “More sexual predators preying on female staff of parliament to be weeded out” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment