Tuesday, 5 September 2023

විදේශ සේවයේ මළගම...! රනිල්, ඔහේගේ නෑයා කෙළින බුල නොපෙනේ ද? 

-විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයෝ ලියති

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.05, ප.ව‍.7.10) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් ඔහුට ඇති නෑකම මත පස්සා දොරෙන් විදේශ ලේකම් තනතුර ලබාගත් අරුණි විජේවර්ධන කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා විදේශ සේවයේ මළ බෙරය වයමින් සිටින වග ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙත සාතිශය දේශසංවේගයෙන් දැනුම් දීමට සිදුව තිබේ.  ‍

ආයතන සංග්‍රහය, පරිපාලන නීති ආදිය අමු අමුවේ උල්ලංඝනය කරමින් අවුරුදු 10 ක කාලයක් තම පවුලේ පැවැත්ම හා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔස්ට්‍රියාවේ ගත කිරීමට වැටුප් රහිත නිවාඩු ලබාගෙන වියානාහි ආයතනයක රැකියාවක් කළ අරුණි විජේවර්ධන 1988 දී පස්සා දොරෙන් විදේශ සේවයට පැමිණි අයෙකි. ඒ නිසාම ඇයට No Pay Queen ලෙසින් නමක් ද අමාත්‍යාංශය තුළ පටබැඳ ඇත. තම වාසිය හා පැවැත්ම වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කිරීම හා තම අන්තේවාසික හෙංචයියන් කීප දෙනාට සැලකීම ඇගේ ප්‍රධාන කාර්යයයි.

සාරි මුදලාලිට තානාපති නිලයක්..

ගෝඨාභය රාජපක්ෂ ජනතාව විසින් පලවා හැරීමට මාස කීපයකට පෙර රාජපක්ෂ පරපුරේ කාන්තාවන්ට සාරි ඇතුළු රෙදි පිළි සැපයූ පිටකොටුවේ ප්‍රකට ව්‍යාපාරික හා රාම් බ්‍රදර්ස් (Ram Bros (Pvt) Ltd) හිමිකරු වන දොරේසාමි වෙන්කටේස්වරම් නැමැත්තා ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙසින් කිසිදු සුදුසුකමක් නැති වුවද පත් කරන ලදී.

වෙන්කටේස්වරම් තම නිල රථය හා නිල බලය හා තානාපති කාර්යාලයේ සම්පත් භාවිතාකරමින් තම ව්‍යාපාර කරගෙන යයි. චෙන්නායි තානාපති කාර්යාලයට යන බොහෝ නිලධාරින් සාරි / රත්‍රං බඩු ව්‍යාපාරවල යෙදෙන බව රහසක් නොවේ. එහි රස දන්නා නිසා මීට පෙර විදේශ සේවයේම නිලධාරියකු වන වී. ක්‍රිෂ්ණමූර්ති තානාපතිධුරය අතහැර දෙවරක්ම චෙන්නායිවල නියෝජ්‍ය මහකොමසාරිස් තනතුරට පත්වීම ස්ව කැමැත්තෙන්ම ලබා ගත්තේ ය.

දැනට විදේශ සේවයෙන් විශ්‍රාම ලබා ඇතත්, ක්‍රිෂ්ණමූර්ති මේ වනවිටත් ජනාධිපති කාර්යාලයේ තාවකාලික රැකියාවක් ලබාගෙන චෙන්නායි නියෝජ්‍ය තානාපති ධුරය පුරප්පාඩු වනතෙක් ඇඟිලි ගනිමින් කුරුමානම් අල්ලන්නේ නැවත චෙන්නායිවලට පත්වීමක් ලබාගැනීමට ය. චෙන්නායි කාර්යාලයේ තුන්වරක්ම රැකියාව කිරීමෙන් වාර්තා තැබූ අනිත් ජාවාරම්කරු කේ. පත්මනාදන්ය. ඔහු දැනට ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති ලෙසින් කටයුතු කළ ද, චෙන්නායි නියෝජ්‍ය මහකොමසාරිස් ලෙසින් පත්වීම ලබාගැනීමට මේ දිනවල මහන්සි වේ.

ලෝකයේ පිළිගත් සම්ප්‍රදාය වනුයේ එක රටකට එක තානාපතිවරයෙක් පත්කිරීමයි. ඒ අනුව අදාළ රටේ රාජ්‍ය නායකයාට අක්ත පත්‍ර ලබාදෙන පුද්ගලයා පමණක් තානාපති වේ.

'එක රටකට එක තානාපති'..

ශ්‍රී ලංකා විදේශ සේවයේ යහපත් නිලධාරීන් බහුතරය අතර ටයිකෝට් අඳින චෞරයන්ද සිටින බව නොරහසකි. එවැනි චෞරයන් බොහෝවිට කුඩා රටවල තමන්ට හිමිවන තානාපති තනතුර අතහැර, දරුවන්ට හොඳ අධ්‍යාපන අවස්ථා හා තම සහකරුවන්ට රැකියා අවස්ථා ආදිය ලබාගත හැකි බටහිර රටවල, විශේෂයෙන්ම ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ආදියේ දෙවැනි නිලධාරීන් (Deputy Post) තනතුරු ලබාගනී. එසේම හෙමින් සැරේ තම ජ්‍යෙෂ්ඨත්වය උලූප්පා පෙන්වා 'තානාපති නිලය' (Ambassador Rank) ද ලබාගෙන  තානාපති නොවුණත්, තානාපතිවරයෙකුට හිමි වැටුප්, දීමනා, ගෙවල් කුලී, නිල වාහන ආදී සියලූ වරප්‍රසාද ලබාගැනීමේ ප්‍රවණතාවයක් බොහෝ කලක සිට 2017 දක්වා පැවති නමුත් 2017 දී විදේශ ලේකම් ධුරයට පත්වූ කීර්තිමත් නිලධාරියෙකු වූ ප්‍රසාද් කාරියවසම් මහතා විසින් කීප දෙනෙකු කළ ජාතික ධනය ඩොලර්වලින් මංකොල්ලකෑම නවතා දැමීය.

කාරියවසම් මහතා ගත් අගනා තීන්දුවට එරෙහිව 1998  කණ්ඩායමේ කිහිප දෙනෙකු මානව හිමිකම් නඩුවක් 2019 වසරේ පැවරුවද පසුව පත්වූ විදේශ ලේකම් විසින් උසාවියට දුන් ලිඛිත පොරොන්දුව 'එක රටකට එක තානාපති' පදනම මත නඩුව ඉදිරියට ගෙන ගියේ නැත.

ඒ අනුව කාරියවසම් මහතාගත් අභීත හා නිවැරදි තීන්දුව 2019 සිට අද දක්වාම ක්‍රියාත්මක වෙයි.

'එක රටකට එක තානාපති' බල්ලාට දැම්මා..

තත්ත්වය මෙසේ තිබියදි ඉහත නම් සඳහන් සාරි ව්‍යාපාරික හා සාරි දී කාන්තාවන් අල්ලාගන්නා චෙන්නායිහි නියෝජ්‍ය තානාපති දොරේසාමි වෙන්කටේස්වරම් විසින් තමාට තානාපති නිලය (Ambassador Rank) ලබාදෙන ලෙස විදේශ ලේකම් අරුණි විජේවර්ධනට තෑගි දී ඇයව කැමති කරවාගෙන ඇත. ඒ අනුව දූෂණයට හා ඩොලර් මංකොල්ලයට නැවත දොර විවෘත කරමින් ඔහුට තානාපති නිලය ලබාදී ඒ අනුව තානාපතිවරයෙකුට හිමි දීමනා ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටී.

මෙය වෙන්කටේස්වරන්ගෙන් නොනවතින ක්‍රියාවකි. ඔහුට තානාපති නිලය ලබාදීමත් සමග විදේශ තානාපති කාර්යාලවල දෙවන පෙළ නිලධාරීන් ගණනාවක්ම තමන්ටද ඊට හිමිකම් ඇති බවට කරුණු ඉදිරිපත් කිරීමෙන් ඔවුනද ඉතාම ඉක්මනින් තානාපති නිලය (Ambassador Rank) ලබාගෙන දෙවෙනියන් ලෙසින් ඉඳිමින් තානාපතිට අදාළ දීමනා ලබාගනු නොඅනුමානයි.

ගැත්තාට අතිරේක ලේකම් තනතුරක්..

මේ වන විට විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරක් පුරප්පාඩු වී ඇත. අතිරේක ලේකම් පුරප්පාඩු පිරවීමේ පිළිගත් සම්ප්‍රදාය වනුයේ ලංකාවේ සේවය කරන්නන් අතරින් ජ්‍යෙෂ්ඨතාවය අනුව ඉහළින්ම සිටින්නා පත් කිරීමටයි. දැනට අනුපිළිවෙළින් 1 2 3 ලෙසින් ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටින්නේ ප්‍රදීපා සේරම්, ප්‍රසන්න ගමගේ සහ සෝභිනී ගුණසේකර යන අයයි. එහෙත් ඔවුන් මඟහැර දැනට ජ්‍යෙෂ්ඨ ලේඛනයේ 10 වෙනි ස්ථානයට සිටින ලබන සතියේ ලංකාවට පැමිණීමට නියමිත රාජපක්ෂ සට්ටැඹියෙකු ලෙසින් අවුරුදු 4 1/2 සිංගප්පූරුවේ මහ කොමසාරිස් ලෙස කටයුතු කරන සසිකලා ප්‍රේමවර්ධනව අතිරේක ලේකම් ලෙස පත් කිරීමට අරුණි විජේවර්ධන තීරණය කර ඇත.

සසිකලා ප්‍රේමවර්ධන යනු තම දෙමාපියන් සමග රජයේ වියදමින් සිංගප්පූරුවේ ගත කළ වීඅයිපී ලෙඩ්ඩු බලාගත් අනුන්ගේ උත්සවවලට ගොස් පිංතූර අරගෙන ඒවා තමාව පුම්බාගැනීමට මාධ්‍ය නිවේදන නිකුත් කළ Face Book තානාපතිවරියයි. එසේම ඇය  1998 දී විදේශ සේවයට බැඳෙන විට මූලික උපාධියක්වත් නොතිබූ අතර සේවයට වාර්තාකර මසකට පසු තම උපාධි පරීක්ෂණය ලිවීමට නිවාඩු දමා ඉන්දියාවේ පූනායි විශ්වවිද්‍යාල කොලේජයට ගොස් පැමිණි තැනැත්තියකි. අතිරේක ලේකම් ධුරය ලැබීමට ඇති එකම සුදුසුකම රාජපක්ෂවාදියක වීම සහ අරුණි විජේවර්ධනට පන්දම් ඇල්ලීම හා කේලාම් කීමය.

කදිරගාමර්ව නැවත මරා දැමීම..

ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ විශිෂ්ඨතම විදේශ ඇමතිවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර්  නමින් ඇති පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙසින් තවත් දූෂිත අපරාධකාරයෙකු වන  විශ්‍රාමික විදේශ සේවා  නිලධාරි රවිනාථ ආරියසිංහ හෙවත් 'සෝබන සිංඤෝව' රු.3,50,000 (තුන් ලක්ෂ පනස්දාහක) වැටුපකට හා නිල වාහනයක් සමග මෑතදී අරුණි විජේවර්ධන විසින් නිර්දේශ කර පත් කරන ලදී.

ආරියසිංහ යනු අපොස (උසස් පෙළ) අසමත් වුවද එවකට රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයකු ව සිටින අවධියේ  ජනාධිපති  ජේ.ආර්. ජයවර්ධනගේ අනුග්‍රහයෙන්, 1988 දී අරුණි විජේවර්ධන සමග පස්සා දොරෙන් විදේශ සේවයට ඇතුළු වූ දූෂිතයන් අතරින් ප්‍රධානියෙකි. ආරියසිංහ දින 52 ආණ්ඩුව කාලයේදී එවක ලේකම් වූ ප්‍රසාද් කාරියවසම්ට එරෙහිව මෛත්‍රීපාල සිරිසේනට කේලම් කියා රාජපක්ෂ පිහිටෙන් විදේශ ලේකම් වූවෙකි.

ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි හා රටේ නීතිය අමු අමුවේ කඩමින් රවිනාථ තම ලේකම් ධුරය පාවිච්චි කළේ තම හිතවතිය වූ සහ ඔහු විසින්ම එවකට ඔස්ට්‍රියාවේ තානාපති ලෙස  පත්කළ කුප්‍රකට සරෝජා සිරිසේනට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට යන්නට මුවා වී රූප ලාවන්‍ය කටයුතු කිරීමට අවශ්‍ය රජයේ මුදල් ලබාදීම හා තම අතවැසියන් නඩත්තු කිරීමටය. රවිනාථ විසින් සරෝජා සිරිසේනට ඇමරිකාවේ රූපලාවන්‍ය සැත්කම් සඳහා මහජන මුදල් ඩොලර් 100,000 වඩා 2019-08-16 දින අනුමත කරන ලදී. එසේම ඇයට ඇමෙරිකාවට යාමට රජයේ වියදමින් යුරෝ 3152ක ගුවන් ටිකට් පතක් හා ඇගේ ඔස්ට්‍රියා හි තාවකාලික නවාතැන් සඳහා සුඛෝපභෝගී නිවාසයක් (Luxury Apartment) මාස තුනකට කුලියට ගැනීමට යූරෝ 33,000ක් 2019-06-27 දින අනුමත කළේ ය. සත්‍යවශයෙන්ම රවිනාථ යනු  සිරදඬුවම් විඳිය යුතු අපරාධකාරයෙකි.

කදිරගාමර්ට එරෙහිව නඩු පැවරූ මිනිහා කදිරගාමර් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කිරීම..

මොහු කදිරගාමර් මහතා විදේශ ඇමති කාලයේ දී ඔහුගේ තනතුර සහකාර අධ්‍යක්ෂක වුවද, අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ලදී.  ඒ කාලයේ දී රවිනාථ විසින් කදිරගාමර්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරමින් ජ්‍යෙෂ්ඨත්වයද නොසලකා හැර කටයුතු කළ බව ප්‍රසිද්ධ කරුණකි.

එහෙත් වැඩිකල් යාමට පෙර රවිනාථ ආරිසිංහ විසින් යුද්ධය හා සබැඳි වැරදි තොරතුරු ඇමතිවරයාගේ නමින් මාධ්‍යවලට නිකුත් කළ නිසා ඔහුට වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් පහකර නැගෙනහිර ආසියා අංශයේ සහකාර අධ්‍යක්ෂ ලෙස 2000 වසරේදී මාරු කෙළේ ය. ඔහුව අමාත්‍යාංශයේ තබා ගැනීම කදිරගාමර් ඇමති ප්‍රතික්ෂේප කළ නිසා, ඉන්දුනීසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ආරියසිංහව එවක විදේශ ලේකම් ලයනල් ප්‍රනාන්දු විසින් මාරු කරන ලදී.

එම තීරණවලට හා කදිරගාමර්ට එරෙහිව රවිනාථ ආරියසිංහ උසාවියේ නඩුවක්ද පැවරීය. කදිරගාමර්ට එරෙහිව නඩු පැවරූ මිනිහාට කදිරගාමර් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කිරීම කදිරගාමර්ව නැවත මරා දැමීමක් නොවන්නේ ද?

වළපල්ලට යන BIDIT ය..

එසේම විදේශ සේවයෙන් විශ්‍රාම ලැබූ හා 1981 දී ඇමති හමීඩ් සහ ගෝලයන්ගේ අනුහසින් බැබලූනු දැනට අවුරුදු 73 ක් වන කිසිදු පශ්චාත් උපාධියකට හිමිකම් නොකියන තැනැත්තියක් වන කාන්ති ඩීන් නමැත්තියට විදේශ අමාත්‍යාංශයේ නිලධාරින් පුහුණුකිරීමේ ආයතනය වන  Bandaranayake International Diplomat Training Institution (BIDIT) අධ්‍යක්ෂ ජනරාල්වරියක් ලෙසින් රු. 3,50000 වැටුපකට හා නිල රථයක් සමග පත් කර ඇත.

මීට ඉහත මෙම (BIDIT) ආයතනයේ කටයුතු මෙහෙයවන ලද්දේ විදේශ අමාත්‍යාංශයේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ය. ඔවුන් කිසිදු අමතර වැටුප් හෝ දීමනා නොලබා සහ ප්‍රවාහන පහසුකම් පමණක් අමාත්‍යාංශයෙන් ලබාගෙන අමාත්‍යාංශයේ සේවය කරන අතරතුර ආයතනයද ඉතා කාර්යක්ෂමව මෙහෙයවීය.

2014/2015 කාලයේදී මෙහි කටයුතු ඉතා සාර්ථකව මෙහෙයවන ලද්දේ 1998 වසරේ විදේශ සේවයට බැඳුණු ඉතා දක්ෂ නිලධාරියෙකු වන මැක්ස් කීගල් මහතාය.

කීගල් මහතාගේ කාලයේදී මෙම ආයතනයට නව පාඨමාලා හා වැඩ සටහන් ඔහු විසින් නූතනත්වයට ගැලපෙන පරිදි හඳුන්වාදෙන ලදී. එහෙත් අද (BIDIT) ආයතනය විශ්‍රාමිකයන්ට අමාත්‍යාංශයේ වියදමෙන් සැප විඳීමට නඩත්තුකරන ආයතනයකි. ලංකාවේ අමාත්‍යාංශක ලේකම්වරයෙකුටවත් රු.  3,50000ක මාසික දීමනාවක් නොලැබෙන බව සැලකිය යුතුය.

සබ්‍රි පවුලේ සහ තාරකගේ ගේ චාරිකා උන්මාදය..

ජී.එල්. පීරිස් පලාගිය බැවින් පිනට විදේශ ඇමතිධුරයට පත්වූ අලිසබ්රි හා මව සහ බිරිඳ විසින් මෙහෙයවන (මව පුද්ගලික ලේකම් හා බිරිඳ සම්බන්ධීකරණ ලේකම්) රාජ්‍ය ඇමති තාරක බාලසූරියගේ එකම විනෝදාංශය රජයේ වියදමින් හැකි තරම් විදේශ සංචාරවල තම පවුල්වල අය සමග යෙදීමය.

විදේශ සංචාරයක් ඇමතිවරයෙකු යෙදෙන විට ඔවුනට ඩොලර් 1000 සංග්‍රහ දීමනා ලැබේ. නමුත් ඔවුන් එක ඩොලරයක් වැය කරන්නේ නැත. මුළු සංචාරය පුරාම තානාපතිවරුන්ගේ වියදමෙන් යැපේ.

මේ වන විට ඇමති දෙපල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් හරහා ඔවුනට විදේශ සංචාර පිළියෙළ කරන ලෙසින් සෑම තානාපතිවරයෙකුටම නියෝග කර ඇත. අරමුණ රටවල් නැරඹීම වුවද එය නිල චාරිකාවක් කරගත් විට ගුවන් ටිකට් පත් (Business Class) හා අනෙකුත් වරප්‍රසාද හා දීමනා රජයෙන් ලබාගත හැක. ඒ අනුව මුලින්ම අදාළ රටවලින් නිල ආරාධනා ඇමතිවරුන්ගේ නමට ලබාගන්නා ලෙස නියෝග කරයි. එසේ බැරිනම් අඩුම තරමින් අධ්‍යාපන චාරිකා හෝ සූදානම් කරන ලෙස මේ වන විටත් දැනුම් දී ඇත. එවිට තානාපතිවරුන්ට ගැලවීමක් නොමැති අතර සංචාරයේදී ඇමති හා පිරිස තානාපති කාර්යාල හා නිල නිවාස හා වාහන පෞද්ගලික චාරිකාවේදී පාවිච්චි කරයි.

කීර්තිමත් ඇමතිවරුන් වූ ලක්ෂ්මන් කදිරගාමර් හා මංගල සමරවීර යුගවලදී මෙවැනි පහත් ක්‍රියා සිදු නොවීය.

ජ්‍යෙෂ්ඨත්වය නැති ගැත්තන්ට ඉහළ තනතුර; යුරෝපයත් නැති කර ගනී..

මේ වන විට දෙවරකට වඩා තානාපතිධුර දරා ඇති 1996 හා 1998 කණ්ඩායම්වලට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගණනාවක්ම අමාත්‍යාංශයේ සේවය කරති. එහෙත් අරුණි විජේවර්ධන ඔවුන්ට නොසලකා කනිෂ්ඨ නිලධාරින්ට අමාත්‍යාංශයේ ඇති ඉතා වැදගත් අංශ වන ආර්ථීක කටයුතු අංශය හා ආසියා අංශය (චීනය, ජපානය, දකුණු නෝර්වේ, ඕස්‌ට්‍රේලියාව වැනි රටවල් අයත්) වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ලෙසින් ඇයගේ ගැත්තන් වන පන්දම් ඇල්ලීම පමණක් ජීවිකාව කරගත් 2003 කණ්ඩායමට අයත් චන්දන වීරසේනව හා පෝෂිත පෙරේරා අංශවල ප්‍රධානීන් ලෙසින් පත් කර ඇත.

සාමාන්‍යයෙන් බ්‍රසල්ස් හි තානාපති වශයෙන් පත්කරන්නේ අවම වශයෙන් දෙවරක්වත් තානාපතිධුර දරා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්වය. එයට හේතුව European Union හා European Parliament  සමග  ගනුදෙනු කිරීමට අත්දැකීම් බහුල නිලධාරින් වැදගත් නිසාය.

දැනට බ්‍රසල්ස් හි තානාපතිධුරය දරන්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් අංක 01 ට අත්දැකීම් බහුල නිලධාරිනියක වන ග්‍රේස් ආසිරිවාදන් මහත්මියයි. ඇය අරුණි විජේවර්ධන අයත් 1988 කණ්ඩායමට අයත් අයෙකු වන අතර ඇය අත්කරගත් කීර්තිය පිළිබඳව ලේකම්වරිය ඊර්ෂ්‍යාවෙන් පෙළේ.

ඒ නිසා ඇයව කැඳවා ඒ වෙනුවට ඉතාම කනිෂ්ඨ හා තානාපතිධුරයක් මෙතෙක් හොබවා නැති 2003 කණ්ඩායමට අයත් අරුණි විජේවර්ධනගේ ගැත්තෙකු වන චන්දන වීරසේනට බ්‍රසල්ස් හි තානාපති ලෙසින් 2024 ජනවාරි 01 දින සිට පත්කිරීමට මේ වන විට කටයුතු කර ඇත.

මෙවැනි පත් කිරීම් මගින් රට තවත් ප්‍රපාතයට යන බව අමුතුවෙන් කිව යුතුද?

-විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසිනි

1 comment:

  1. Byyos should be fully responsible. Never ever raise the head of SL as far as Byyos learn a good lesson.

    ReplyDelete