සියලු දෙනා විරුද්ධවෙද්දී ටිරාන් අයියා ඉජු ඉජු කී සැනින් ගිය සජිත් මල්ලි ගැන පිළිකුල...!
-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.21, ප.ව.9.50) පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ චැනල් ෆෝ නාලිකාවේ හෙළිදරව්ව නිසා ආණ්ඩුව අභ්‍යන්තරය තවමත් කැළඹෙමින් තිබේ. ත්‍රස්තවාදයට සෘජුව උදව් කළ බව තමා විසින්ම පිළිගත්, කුප්‍රකට රාඪා ගනුදෙනුවේ ප්‍රධාන පාර්ශවකරුවකු ද වන 'මව්බිම' අයත් සිලෝන් නිව්ස් පේපර්ස් ආයතනයේ අයිතිකරු වන, වර්තමාන පොලිස් ඇමැති ටිරාන් අලස් ද, මින් තිගැස්සුණු තවත් පුද්ගලයෙකි. ඔහු ලහි ලහියේ මේ පිළිබඳ ආණ්ඩුව සුද්ද කිරීමට සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කමිටු කාමර අංක 01 හීදී රැස්වීමකට කැඳවා තිබිණ. ඒ පසුගිය 19 වැනි දා ය.
කිරිඇල්ලගේ සහ කතෝලික සභාවේ විරෝධය...
ටිරාන් අලස්ගේ මෙම රැස්වීමට, පාස්කු ප්‍රහාරය සබැඳිව සෘජුව නම කියවෙන රාජ්‍ය බුද්ධි සේවය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද එක් කර ගැනීමට දැරූ උත්සාහයට එරෙහිව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී සිය විරෝධය පල කළේය. කිරිඇල්ල සඳහන් කළේ චෝදනා ලැබූ අයගෙන් දේශන ඇසීමට තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සූදානම් නොමැති බව ය. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් නිර්දේශ වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාර්ලිමේන්තුවට ගෙන්වා පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු ඉදිරිපත් කිරීම හා දේශන පැවැත්වීම උත්තරීතර පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කිරීමක් යැයි කතෝලික සභාව ද මාධ්‍ය හමුවක් තබමින් කියා සිටියේ ය. මෙවැනි ක්‍රියාවන් නිසා වන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා යෑමක් නොව එය යටගැසීමක් සහ රට නොමඟ යැවීමක් පමණක් බවත්, මෙවැනි චෝදනා එල්ලවූ නිලධාරීන් හා වන්දි නියම වූ නිලධාරීන් ගෙන්වා මන්ත්‍රීවරුන්ට කරුණු දැක්වීම තුළින් සිදුවන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් යැයි ද කතෝලික සභාව වෙනුවෙන් කරුණු දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා එහිදී ප්‍රකාශ කළේය.
නිලන්ත නාවත් ප්‍රසන්න අල්විස් ආවා...
මේ ආකාරයෙන් විරෝධතා එල්ල වීම හමුවේ නිලන්ත ජයවර්ධන, පොලිස් ඇමැති අලස් විසින් කැඳවූ රැස්වීමට සහභාගී නොවූ නමුත්, අලස්ගේ මෙම රැස්වීමට තවත් චූදිතයෙක් එක් කර ගැනීමට කටයුතු කර තිබේ. ඒ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි විනාශ කළ බවට චෝදනා එල්ල වී තිබෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් ය. ප්‍රසන්න අල්විස් යනු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය කරමින් සිටි නිලධාරීන් ඉවත් කොට එහි අධ්‍යක්ෂ වශයෙන් පත් කළ පුද්ගලයා ය. ඔහුගේ පත් කිරීමෙන් අනතුරුව පාස්කු විමර්ශන ඉදිරියට ගියේ නැත. මහජන ආරක්ෂක ඇමැති අලස් සහ ආණ්ඩුවේ අරමුණ පාස්කු ප්‍රහාරයේ සත්‍ය යටපත් කිරීම බව මින් පැහැදිලි ය.
ලැජ්ජා නැතිව සජිත් ගියා..
එවන් චූදිතයෙක් එක් කරගනිමින් අදාළ රැස්වීම පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට ටිරාන් අලස් කටයුතු කරද්දීත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඊට එරෙහිව කරුණු දක්වා තිබියදීත්, එම රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනත් විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සහභාගී වීමට තරම් නිර්ලජ්ජිත වී තිබේ. තමන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ විරෝධය සහ විශේෂයෙන් ම කතෝලික සභාවේ මතය ද, නොසළකා හරිමින් විපක්ෂ නායක සජිත් මේ ආකාරයෙන් හැසිරීම අතිශයින් ම ජුගුප්සාජනක ය. පාස්කු කොමිෂන් වාර්තාවේ වැදගත්ව වෙළුම් 2 ක් තමා ඉල්ලුවත් දුන්නේ නැතැයි මීට දින කිහිපයකට පෙර චෝදනා කෙළේ ද මේ සජිත්ම ය. මින් සජිත්, පොලිස් ඇමැති අලස් වෙත දක්වන බය පක්ෂපාතකම, නැතහොත් ලෙංගතුකම කොතෙක්දැයි හෙළිවන බව පාර්ලිමේන්තු අභ්‍යන්තරයේ කතා බහට ලක්වෙමින් තිබේ.
රටේ ම අවාසනාවක්..
පාස්කු ප්‍රහාරයේ විමර්ශන යට ගැසීමට යත්න දරන, චෝදනා එල්ල වී ඇති දූෂිත නිලධාරීන් කැඳවා ගනිමින් ටිරාන් අලස් කැඳවූ රැස්වීමට, විපක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙන් ම කතෝලික සභාවේ ද විරෝධය එල්ල වී තිබිය දී, සහභාගි වන විපක්ෂ නායකයෙකු සිටීම රටේ ම අවාසනාවක් බව පුන පුනා නොකියා ම බැරි ය.

No comments:
Post a Comment