Thursday, 21 September 2023

ඌ මළාට පසු...!

-ආනන්දගේ පරිවර්තනයක්

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.21, ප.ව.9.10) මළවුන්ගේ දුර්ගුණ ගැන කතා කිරීමෙන් වැළකී ඔවුන්ගේ හොඳ ගුණ ගැන හා අත්පත් කර ගත් ජයග්‍රහණ කෙරෙහි අවධානය යොමු කිරීම සාමාන්‍ය සිරිතකි. මිය ගිය ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිකාරයාගේ (JR) 117 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඔහු ගැන කතා කළ හෝ ලියූ අය ඔහුට ඇස් නිලංකාර කරන උපහාර පුද කර, ඔහුගේ පාලනයේ අඳුරු පැත්ත නොසලකා හැරීමට හේතුව එය හැකිය. 

ඒ අතර ප්‍රමුඛ වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයා සහ කරු ජයසූරිය හිටපු කථානායකයායි.

ගජමිතුරු ධනවාදයේ ඇම්බැටයන්...

තමාගේ මාමණ්ඩිය වන JR විසින් ආරම්භ කරන ලද සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාව අඛණ්ඩව පවත්වා ගෙන ගියේ නම්, රට අද සංවර්ධිත ජාතියක් වීමට ඉඩ තිබූ බව වික්‍රමසිංහ ජනාධිපතිකාරයා ප්‍රකාශ කළ බව වාර්තා විය.

වර්ෂ 1977 සිට හැම ආණ්ඩුවක්ම JRගේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ බව අපි සිතන්නෙමු. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආර්ථික ලිබරල්කරණය අනුමත කළේ එකිනෙකා පරයා යමිනි; ඔවුන් මේ රටේ ගජමිතුරු ධනවාදයේ ඇම්බැටයන්ය. 

JRගේ ජනාධිපතිකම ආර්ථික, දේශපාලනික සහ සමාජීය වෙනස්කම් සඳහා පොළඹවන බලයක් ලෙස ක්‍රියා කළ බවට සැකයක් නැත, නමුත් එය රට වෙනස් කොට සාමය ගෙන ඒම හෝ ජනතා හිතෛෂීභාවය අහලකටවත් ළං නොවීය. 

හරි දේ කළේ වැරදි මාර්ගයේ යමින්...

ආර්ථිකය ගත් කළ ඔහු 1977 දී හරි දේ කළේ වැරදි මාර්ගයේ යමිනි. රාජ්‍ය-පාලිත ආර්ථික හා සමාජ ක්‍රමය නූතන ලෝකයේ යල්පිනූවක් බවට පත්ව ඇත. එවැන්නක් පැවතිය හැක්කේ උතුරු කොරියාව වැනි හුදකලා රාජධානියක පමණි. නැගී එන ගෝලීය දේශපාලන-ආර්ථික යථාර්ථයන්ට අනුගතව 1970 දශකයේ අග භාගයේ දී ශ්‍රී ලංකා ආර්ථිකය විවෘත කළ යුතුව තිබූ නමුත් එය කළ යුතු වූයේ ප්‍රවේශමෙනි. ඒ වෙනුවට JR ආර්ථිකය විවෘත කළේ පුදුමාකාර තදියමකිනි.

සමහර වැදගත් දේශීය කර්මාන්ත සහ පොදු ව්‍යවසා විනාශ කිරීමට තුඩු දෙන නිදහස් වෙළෙඳ පොළ මූලධර්මවාදියෙකු ලෙස JR හැඳින්විය හැකිය. 

චීන ජාතිකයන් පවසන පරිදි, “ගඟේ ගල් ගැන කල්පනාවෙන් ගඟෙන් එතෙර වීමට” (හෙවත්, එක් පියවරක් තබා තව පියවරක් තැබීමට පෙර ටිකක් වටපිට බැලීමට), හෝ එසේත් නැති නම් “සෙමෙන් ඉක්මන් කරන්න” යන පරස්පර කියමනට අවනත වීමට හෝ JR සැලකිලිමත් වූයේ නැත. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයේ මූලාරම්භය සිදු වූයේ බාහිර ණය ගැනීම් දරුණු ලෙස වැඩි වූ JR‍ගේ පාලන කාලය තුළ බව සමහර ආර්ථික විචාරකයන්ගේ මතයයි. 

හිරිකිතයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යටත් කර ගත්තා..

දේශපාලනික වශයෙන් ගත් විට, JR ස්වයං-ලාභය සඳහා රටේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යටත් කර ගත්තේ කිසිදු හිරිකිතයකින් තොරවය. එම ආයතන තවමත් යථා තත්ත්වයට පත් වී නොමැත.

ඔහු හඳුන්වා දුන්, බරපතල දෝෂවලින් පිරී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිල්වලින් රිංගා ගොස් රටේ ඉහළම තනතුරුවලට පත් වීමට [ඔහුගේ බෑණා වන රනිල් වැනි] පට්ට දූෂිත ජන ඝාතකයන්ට පවා අද හැකියාව ලැබී තිබේ. 

JR බලය බෙදීමේ මූලධර්මයට ගරු කළේ නැත. 

ඔහු ව්‍යවස්ථාදායකය යටත් කර ගෙන අධිකරණය මැඩලීමට කළ කළ හැකි සෑම දෙයක්ම කළේය, නමුත් එය එතරම් සාර්ථක නොවීය. වරක් ඔහුට අවනත වීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැස්සෙව්වේය. 

ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්ගේ මූලික අයිතිවාසිකම් ඔහුගේ නියමය පරිදි අමු අමුවේ උල්ලංඝනය කළ පොලිස් නිලධාරීන් ඔහු ප්‍රසිද්ධියේම ආරක්ෂා කළේය.

අපරාධකරුවන්ට ජනාධිපති සමාව දීමේ පුරුද්ද ආරම්භ කළා.. 

ඔහුගේ පාලනය යටතේ දේශපාලන ප්‍රචණ්ඩත්වය වඩාත් නරක අතට හැරුණි. අපරාධකරුවන්ට ජනාධිපති සමාව දීමේ පුරුද්ද ඔහු ආරම්භ කළේය.

හාස්‍යයට කරුණ නම්, JRගේ ඒකාධිපති ක්‍රියාදාමයට විරුද්ධ වූ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වූ සියල්ලන්ම පසුව විධායක ජනාධිපති වීමෙන් පසුව ඔහු අනුකරණය කිරීමයි. 

ඒවාට වඩා ලොකුම පුදුමය කරු ජයසූරියයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිකාරයා 2018 දී ව්‍යවස්ථාදායකයේ බලය උදුරා ගැනීමට දැරූ තුච්ඡ ප්‍රයත්නයට එරෙහිව කථානායකයා ලෙස වීරත්වයෙන් එය ආරක්ෂා කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එදා පෙනී සිටි ඔහු මෙදා, පාර්ලිමේන්තුව තමන්ගේ කැසිකිලිය බවට පත් කර ගත්තා වූ ද, විපක්ෂය, හා වෘත්තීය සමිති ආදියට එරෙහිව ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය මුදා හැරියා වූ ද JR නම් වූ මළ ගිය ප්‍රාණකාරයා වෙනුවෙන් මහ ඉහළින් කථා කරයි! 

ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් පෙරමුණු රජය 1975 දී පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර දෙකකින් දීර්ඝ කර ගැනීමට තුනෙන් දෙකක බලය අයුතු ලෙස යොදා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ තම කැපවීම සමච්චලයට ලක් කළේය.

JR කළ අපරාධ ගණනින් බොහෝය...

JR තවත් පියවරක් ඉදිරියට ගොස් මහා මැතිවරණයක් වෙනුවට දැඩි ලෙස දූෂිත ජනමත විචාරණයක් ගෙන ආවේය. ඔහුගේ මරණින් පසු ඔහුගේ දූෂිත, ජන ඝාතක බෑණා ඔහු අභිබවා ගොස් ඇත! අද මැතිවරණය පවත්වනවා ද නැති ද යන්න තීරණය කරන්නේ මේ රටේ ජනාධිපතිකාරයාය!

JR කළ අපරාධ ගණනින් බොහෝය. ඔහු රටේ විදේශ ප්‍රතිපත්තිය කණපිට හරවා, ඔහුගේ බලය ඉක්මවා ගොස් ඉන්දියාව සතුරු කර ගත්තේය.

1983 දෙමළ විරෝධී ජන සංහාරය නැවැත්වීමට ඔහුගේ ආණ්ඩුව සැලකිය යුතු යමක් කළේ නැත. JRගේ ආණ්ඩුවේ මැරයන් සංවිධානය වී දෙමළ සිවිල් වැසියන්ට ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කළ බවට චෝදනා එල්ල විය. නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් විචක්ෂණශීලීව, හා ප්‍රජාතන්ත්‍රවාදීව JR එදා ක්‍රියා කළේ නම් සමහර විට රටට [තිස් වසරක්] දිග්ගැස්සුනු ත්‍රස්තවාදී යුද්ධයකට මුහුණ දීමට සිදු නොවනු ඇත. 

1983 දී ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට ව්‍යාජ ලෙස දොස් පවරමින් එය තහනම් කිරීමෙන් ද ඔහු අපරාධයක් කළේය. ඔහු එසේ කළේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය රඳවා ගැනීමට ඔහු භාවිතා කළ ජනමත විචාරණයේ ප්‍රතිඵලය ජවිපෙ නීත්‍යානුකූලව අභියෝගයට ලක් කළ බැවිනි. ජවිපෙ යළිත් සැඟ වී ආයුධ අතට ගත්තේ රට ලේ විලක් කරා ඇද දමමිනි. 

ඉන් දශක තුනකට පමණ පසු ජවිපෙ එජාපය සමග මධුසමය ගත කිරීමට තීරණය කර යහපාලන ආණ්ඩුවකට මුක්කු ගැසීම ද හාස්‍යජනකය. දේශපාලනය යනු ප්‍රතිපත්තිය නොව අවශ්‍යතාවය බව එයින් ඔප්පු වී ඇත.

සාධනීය ලක්ෂණ නැතුවාම නොවේ...

JRගේ පරිපාලනයේ යම් සාධනීය ලක්ෂණ නැතුවාම නොවේ. විවේචන නොතකා JRගේ ආණ්ඩුව විසින් සමහර තැන්වල දියත් කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ රටට අත්වෙමින් තිබේ. එයින් ආර්ථික ප්‍රබෝධයක් ඇති වූ නමුත් අවාසනාවන්ත ලෙස දූෂණය, වැරදි කළමනාකරණය සහ ගජමිතුරුකම් හේතුවෙන් ඒවා පවත්වා ගෙන යාමට යූඑන්පිය අසමත් විය.

දේශපාලන නායකයින් අනුස්මරණය කරන විට ඔවුන්ගේ ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් අනාගත තරුණ පරම්පරාවේ දැන ගැනීම සඳහා හැඟීම්බර නොවී, තාර්කිකව, අපක්ෂපාතීව, හා අනුකම්පා විරහිතව අගැයීමට ලක් කළ යුතුය.

- 2023 සැප්තැම්බර් 19 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Remembering JRJ” නම් කතු වැකිය සිංහලට නැගුවේ,

- ආනන්ද 

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment