පාස්කු ප්‍රහාරය..! තවත් බොරු කමිටු එපා..! හරියට කරනවානම් මේ කරුණු 4 ට අනුව කරන්න..! නැතිනම් අපි පිළිගන්නේ නෑ..! චැනල් 4 වාර්තා වැඩසටහන ගැන කාදිනල් හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්..!
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.06, ප.ව.7.40) පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කොට ගෙන බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන පිළිබඳ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශය
පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබූ කුමන්ත්‍රණය පිළිබඳවත්, ඒ හා සම්බන්ධ සිටියා යැයි කියැවෙන පුද්ගලයින් පිළිබඳවත් විමර්ශනාත්මක වාර්තා වැඩ සටහනක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාව විසින් නිෂ්පාදනය කොට ඊයේ සැප් 05 දින බ්‍රිතාන්‍යයේ වේලාවෙන් රාත්‍රී 11.00 ට විකාශය කෙරුණු බව දැන් කවුරුත් දන්නා කාරණයක්.
මේ 'මහා කුමන්ත්‍රණය' පිළිබඳව අප රටේ විධිමත් සහ විනිවිද පෙනෙන අවංක විමර්ශනයක් සිදුකර ගැනීමට අපත්, මේ රටේ යුක්තිය සහ සාධාරණත්වය අගයන පුරවැසියනුත් මේ දක්වා දැරූ සියලු ප්රයත්නයන් අසාර්ථකව තිබූ මොහොතක බ්‍රිතාන්‍යයේ චැනල් 4 වැනි ජාත්‍යන්තර මාධ්‍යයක් ඒ සඳහා දක්වන ලද උනන්දුව සහ වෙහෙස පිළිබඳව අපි චැනල් 4 රූපවාහිනී නාලිකාවටත්, ඒ සඳහා වෙහෙසුන සැමටත් අපගේ කෘතඥතාවය පළ කර සිටිනවා.
අප මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වාර්තා වැඩ සටහන ඔස්සේ, හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. අපට වැදගත් වන්නේ රූපවාහිනී චැනලයේ පැරණි හැසිරීම නොව එය අප මුහුණ දුන් ප්රශ්නය ගැන සොයා ඉදිරිපත් කරන කරුණු ය.
එම වැඩසටහන විකාශය වීමටත් පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් විවිධ කරුණු කාරණා අදහස් උදහස් ප්‍රකාශ කරනු ලබූ බව අප දුටුවා.
ඒ අතර මනුෂ නානායක්කාර ඇමැතිවරයා කියා සිටියේ මේ වැඩ සටහනින් හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට මේ දක්වා මේ පිළිබඳ විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ වත්මන් ජනාධිපතිතුමා අගමැති ලෙස කටයුතු කළ අවධියේ දී පාර්ලිමේන්තු කමිටුවක් පත් කළ ද, ඒවායේ වාර්තා සහ ඒ වාර්තා වලින් නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් වුව ද ඒ කිසිවෙකින් මේ දක්වාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බව රටම දනී. දැන් පවතින මෙන්ම මීට පෙර පැවැති රජය ද මේ නිගමන වලට දැක්වූයේ ඉතා උදාසීන ප්රතිචාරයකි.
මේ නිසා මේ සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන තවත් කමිටුවකින් ද මේ විමර්ශනය අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපි කිසිදු ලෙසකින් නොසිතමු. ඒ හෙයින් එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බවට අපට විශ්වාස නිසා අපි ඒ යෝජනාව පිළිනොගනිමු.
ඒහෙයින් කඩිනමින් සිදුවිය යුතු ක්‍රියාවලිය වන්නේ,
1. චැනල් 4 නාලිකාව සිය වාර්තා වැඩ සටහනින් හෙළිදරව් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැඳුණු සියළු වැදගත් කරුණු මෙන්ම ඒ හා සම්බන්ධ යැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදුකර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තා වලින් හෙළිදරව් වූ නමුත් මේ දක්වා නිසි විමර්ශනයකට ලක් නොවූ කරුණු පිළිබඳව ද අපක්ෂපාතී , සාධාරණ සහ විනිවිද බවින් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතුය.
2. එම විමර්ශනය විය යුත්තේ ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගිනි.
3. එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහාය වීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මොහොතේ සිට මූලික විමර්ශන සිදුකරන ලද, දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා දී තිබෙන විමර්ශකයින් සියලු දෙනා ඇතුලත් විය යුතුය.
4. එම විමර්නය ස්වාධීනව සිදුකිරීමට අවකාශය සැලසීම සඳහා මේ විමර්ශනයට ලක්වන, දැනටමත් බුද්ධි අංශ වල මෙන්ම පොලිසියේ ඉහළ නිළතල හොබවන සියළු නිලධාරීන්ගේ සේවය විමර්ශනය නිමාවන තුරු අත්හිටැවිය යුතුය.
එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීම අරබයා තම වගකීම ඉටු කිරීමට අපොහොසත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නමුත් තවමත් ශ්‍රී ලංකා පොලිසියේ පරිපාලන අංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මයාගේ සහ ඒ පිළිබඳ චෝදනාවට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහත්මයාගේ ද සේවය මේ විමර්ශනය නිමා වන තුරු අත්හිටැවිය යුතුය.
ඉහත කී අපගේ යෝජනා ජනාධිපතිතුමන් ඇතුළු මේ රජය ඉටුකරනු ඇතැයි අපි අවංකවම අපේක්ෂා කරමු. මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදුවන සාධාරණ සහ විනිවිද පෙනෙන විමර්ශනයකින් හැර වෙනත් ආකාරයකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් බවට පත් වූ අහිංසක ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බව අපි අවධාරණය කර සිටිමු.
මේ අවස්ථාවේ දී පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන්ම ආරක්ෂක අංශවල අදාල නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන් ඇතැම් මේ තාක් හෙළි නොවුණ නිශ්චිත කරුණු දැන සිටීනම් ධෛර්යවන්තව ඒවා හෙළිදරව් කරමින් සත්‍යයට සාක්ෂි දරන්නට ඉදිරිපත් වන ලෙසයි.
අපගේ දේවස්ථාන බාර සියළුම පියතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදුකරන සැප්තැම්බර් 08 වෙනිදා සිකුරාදා දින සියළුම දේවස්ථානවල සවස 6.30 ට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් විශේෂාකාරයෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙසයි.
මේ සඳහා කොළඹ සහායක රදගුරු අති උතුම් ජේ.ඩී.ඇන්තනි හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදින සවස 6.30 ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේ දීත්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදිනම සවස 6.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ දී ත් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමි.
එම දේව මෙහෙය තුල දිව්‍ය පූජාව හෝ ශුද්ධ ජපමාලය උච්ඡාරණය කිරීම සහ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ලබා දෙමින් ජනතාව ආසිරි ගැන්වීම සිදුවන බව දන්වා සිටිමි.
මේ සඳහා සහභාගී වන ලෙස ඉතා ඔ්නෑකමින් සියළුම කතෝලික සැදැහැවතුන්ගේ ඉල්ලා සිටිමි.
අත්සන් කෙළේ
මැල්කම් කාදිනල් රංජිත්
කොළඹ අගරදගුරු හිමි
2023 සැප්. 06 දා කොළඹ අගරදගුරු මැදුරේ දී.
No comments:
Post a Comment