Wednesday, 6 September 2023

නඩුවක් විභාග වෙද්දී උසාවියට ගිනි තබා විත්තිකරු බේරා ගැනීමට රාජ්‍ය සේවා කොමිසම උත්සාහ කරලා..! මෙන්න සාක්කි..!

-සුනිල් කන්නන්ගර - විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවය

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.06, ප.ව.5.20) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව නම් වූ ආයතනය ක්‍රියාත්මක කරන අක්‍රමවත් පරිපාලනය ගැන මේ වනවිටත් සෑහෙන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇත. අද මා ඉදිරිපත් කරන්නේ මේ ආයතනයේ වත්මන් බලධාරීන් විසින් සිදුකරනු ලැබූ බවට දැන ගන්නට ලැබුණු තවත් අපූරු කටයුත්තක් පිළිබඳව ය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව නම් වූ ආයතනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ස්ථාපනය කරනු ලැබූ පාර්ලිමේන්තුවට පමණක් වග කියනු ලබන ස්වාධීන කොමිෂන් සභාවක් වෙයි.මෙහි සාමාජිකයින් පත්වන්නේ උත්තරීතර ව්‍යවස්ථාදායකයේ කතානායක තුමාගේ සභාපතිත්වයෙන් පවතින ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශවලට අනුව ය. මෙසේ මේ ආයතනයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන නීතිමය පදනම ශක්තිමත්ව ගොඩ නඟා දී ඇත්තේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු හා විනය පාලනයත් සේවයෙන් පහකිරීමේ බලයත් යන සමස්ත කාර්යයන් පිළිබඳව වූ අනන්‍ය අධිකාරීත්වය උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම මේ කොමිෂන් සභාව සතු කර දී ඇති බැවිනි.

කොමිසම ව්‍යවස්ථා විරෝධීව අනීතිකව වැඩ කරනවා..

එසේ වුව ද වර්තමානයේ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කොමිසම ක්‍රියාත්මක වන්නේ ඊට අදාලව නෛතිකව තහවුරු කර දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට හෝ සාධාරණයැයි සැලකෙන කවර හෝ මිණුම් දඬුවලට අනුකූලව නොවන බවට බලවත් සැකයක් රටේ ජනතාව තුළ ඇති වෙමින් පවතින බව කණගාටුවෙන් වුව ද පෙන්වා දිය යුතු වේ. රාජ්‍ය සේවාව පිළිබඳව ඉහලම බල අධිකාරිත්වයට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන් නොසලකමින් ඊට ගරු නොකරමින් අනීතිකව කටයුතු කරගෙන යාමට ඉඩ කඩ ඇති සමාජයක් දියුණු හෝ ශිෂ්ට සම්මත සමාජයක් සේ සැලකිය නොහැක. ආසියාවේ දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රාවාදී පාලනයක අයිතිවාසිකම දරණ; වසර 2500 කටත් වඩා කාලයක් තිස්සේ දියුණු ශිෂ්ටාචාරයකට අයිතිවාසිකම් කියන ජනතාවක් සිටින මේ රටේ ප්‍රමුඛ රාජ්‍ය ආයතනයක් මේ අන්දමින් කටයුතු කිරීම පුරවැසියන් වන අපේ බලවත් කම්පනයට හේතුවක් වී ඇත.

තනූජා මුරගේසු ගේ ලිපි දෙකක් කියන කතාව..

මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වැඩ බැලූ ලේකම් තනූජා මුරගේසු මහත්මියගේ අත්සනින් පසුගිය ජුලි 31වන දින නිකුත් වූ ලිපි දෙකක් මගින් හෙලි කරන කතන්දරයෙන් පෙන්නුම් කරන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වර්තමාන පාලනයේ අනීතික ව්‍යවස්ථා විරෝධී ක්‍රියා කලාපය මිස අනෙ'කක් නොවේ.තනූජා මුරගේසු මහත්මියගේ අත්සනින් යැවූ මේ ලිපි දෙකෙහි අන්තර්ගත වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් විනයානුකුලව ක්‍රියා කිරීම යන මැයෙන් තමන් වෙත ඉදිරිපත් වූ බව කියන අභියාචනයන් දෙකක් පිළිබඳව ගනු ලැබූ තීරණයන්‍ ය .එක් අභියාචනයක් වෛද්‍ය එස් ඩබ්ලිව් එම් එස් එස් විජේසිංහ නම් නිලධාරිනියකගේ ය. ඇයගේ අභියාචන අංකය ලෙස ලිපියේ දැක්වෙන්නේ PSC/DIS/HSC/10/2023 යන්න ය. ලිපියට අනුව මේ අභියාචනය පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණ තුනක් ගෙන ඇත.ඒ මේවා ය.

1) වෛද්‍ය එස් ඩබ්ලිව් එම් එස් එස් විජේසිංහ මිය වෙත නිකුත් කරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 2023/7/25 දිනැති ලිපියෙන් දැන් වූ රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණය අවලංගු කිරීම.

2) වෛද්‍ය විජේසිංහ මහත්මිය විසින් විනයානුකූලව කටයුතු කිරීම මැයෙන් ඉදිරිපත් කළ 2023/2/23 දිනැති අභියාචනය පිළිගැනීම.

3) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ අංක HSC/DIS/079/2021හා 2022/2/28 දිනැතිව විජේසිංහ මහත්මිය වෙත නිකුත් කළ චෝදනා පත්‍රයට අදාල විනය ක්‍රියා මාර්ගය අවසන් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවට දැන්වීම..

ඊළඟ ලිපිය ද මේ ප්‍රස්තුතයටම අදාල බැවින් එය ද මේ අවස්ථාවේම සඳහන් කිරීම සුදුසු ය.

අභියාචක අංකය ලෙස එම ලිපියේ දැක්වෙන්නේ PSC/DIS/HSC/9/2021අංකය. අභියාචකගේ නම වෛද්‍ය ඩී ඒ හේරත් මහත්මිය ලෙස දැක්වේ.

මේ අභියාචනය පිළිබඳව තීරණ දෙකක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගෙන ඇති බව වැඩ බලන ලේකම් විසින් දන්වා ඇත.

1) වෛද්‍ය හේරත් මහත්මිය විසින් ඉදිරිපත්කර ඇති විනයානුකූලව කටයුතු කිරීම නම් වූ 2023/2/23 දිනැති අභියාචනය පිළිගැනීම.

2) වෛද්‍ය හේරත් මිය වෙත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය කමිටුව විසින් නිකුත් කරනු ලැබ ඇති අංක HSC/DIS/097/2021හා 2022/2/28දිනැති චෝදනා පත්‍රයට අදාල විනය ක්‍රියාමාර්ගය අවසන් කළ බව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවට දැන්වීම.

අනීතික , ව්‍යවස්ථා විරෝධී හා හිතුවක්කාර ක්‍රියාවක්..

ඉහත ලිපි දෙක අනුව බැලූ බැල්මට පැහැදිලි වන්නේ විනය ක්‍රියා මාර්ගයක් අරබයා ඉදිරිපත් කරන ලද අභියාචනයන් පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණයක් දී ඇති බව පමණි. එසේ වුවද මේ පිළිබඳව මඳක් සොයා බැලූ විට හෙලිවන්නේ බලවත් අනීතික , ව්‍යවස්ථා විරෝධී හා හිතුවක්කාර ක්‍රියාවක් පිළිබඳව වූ ශෝචනීය පුවතකි. ඒ මෙසේය:

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට රජයේ නිලධාරීන්ගේ පත්වීම් උසස්වීම් ස්ථාන මාරු හාවිනය පාලනය හා සේවයෙන් පහ කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55(3) ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී ඇත. එසේ පැවරුණු බලතල කිසියම් නිලධාරි ගණයකට අදාලව ක්‍රියාත්මක කිරීම සඳහා තුන් දෙනෙකුගෙන්‍ යුතු කමිටුවක් පත්කර ඊට පැවරීමට 56(1) ව්‍යවස්ථාව අනුව හැකියාව ඇත.ඒ අනුව සෞඛ්‍ය සේවාවේ නිලධාරින් පිළිබඳව පත්වීම් උසස්වීම් ස්ථාන මාරු ,විනය පාලනය හා සේවයෙන් පහ කිරීමේ බලතල සෞඛ්‍ය සේවා කම්ටුවට පවරා රාජ්‍ය සේවා කොමිෂන් සභාව 2016/10/19 දිනැති අංක 1989/29දරණ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.ඒ අනුව සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිළිබඳ කාර්‍ය භාරය එදින සිට ක්‍රියාත්මක කරනු ලබන්නේ සෞඛ්‍ය සේවා කමිටුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 60 වන ව්‍යවස්ථාවට අනුව එසේ කමිටුවකට පවරාදෙන බලතල ක්‍රියාත්මක කිරීමේ කාර්ය භාරය එම බලතල පවරාදීම වලංගුව පවතින තාක් එම කමිටුවෙන් ක්‍රියාත්මක කළ යුතු අතර රාජ්‍ය සේවා කොමිසමට ඊට මැදිහත් විය හැක්කේ 58(1) ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි කොමිෂන් සභාව විසින් විශේෂයෙන් පනවනු ලබන රීති ප්‍රකාරව සෞඛ්‍ය කමිටුවේ තීරණයකින් අතෘප්තියට පත් අයෙකු විසින් ඉදිරිපත් කරන අභියාචනයක දී පමණි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ දක්වා විනය පාලනයට අදාලව අභියාචන පටිපාටිය සඳහා රීති පනවා නැත. මෙසේ අභියාචන පටිපාටිය කොමිෂන් සභාව විසින් රීති මගින් නියම කර නැති තත්වයක දී වලංගුවන අභියාචනා පටිපාටිය වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ IX පරිච්ඡේදය ක්‍රියාත්මක වීම ආරම්භ වුනු දිනට වලංගුව පැවති රාජ්‍ය සේවාවේ රීති හා නියෝග බව 61(ආ) ව්‍යවස්ථාවේ දැක්වේ.ඒ අනුව ඒවනවිට වලංගුව පැවතුනේ ආයතන සංග්‍රහයේ විනය කාර්‍ය පටිපාටිය වනIX ඛාන්ඩයේ XLVIIIපරිච්ඡේදයේ 26 වගන්තියෙන් නියම කර ඇති අභියාචන පටිපාටියයි.එම අභියාචන පටිපාටිය අනුව විනය කාර්‍ය පටිපාටියේදී අභියාචනයක් ඉදිරිපත් කළ හැක්කේ විනය නියෝගයකට එරෙහිව පමණි. විනය නියෝගයක් විස්තර වන්නේ ආයතන සංග්‍රහයේ ඉහත කී පරිච්ඡේදයේ 23 වගන්තියේදී ය. ඒ අනුව විනය නියෝගයක කොටස් දෙකකි මුල් කොටසින් චෝදනා පත්‍රයේ එක් එක් චෝදනාවට වරදකරුද? නිවැරදිකරුද? යන්නත් දෙවැනි කොටසින් වරදකරු වූ චෝදනාවලට පනවන දඬුවමත් සඳහන් වන විනය බලධරයා විසින් නිකුත් කරන නියෝගය විනය නියෝගයක් වන්නේය.අභියාචනයක් ඉදිරිපත් කළ හැක්කේ එබඳු විනය නියෝගයකට එරෙහිව පමණක් වන අතර 26:7වගන්තිය පරිදි එය චුදිත නිලධාරියා විසින් සිය ආයතන ප්‍රධානියා හා විනය බලධාරියා මගින්‍ රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කළ යුතුය.

නඩුව විභාග වෙද්දී උසාවියට ගිනි තබා විත්තිකරු බේරා ගැනීමට උත්සාහ කිරීමක්..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 60වන ව්‍යවස්ථාවේ සඳහන් පරිදි රාජ්‍ය සේවා කොමිසමට සෞඛ්‍ය සේවා කමිටුවේ කටයුතුවලට මැදිහත් විය හැක්කේ එම කමිටුව නිකුත් කළ විනය නියෝගය කට එරෙහිව ආයතන ප්‍රධනියා හා සෞඛ්‍ය සේවා කමිටුව මගින් තමා වෙත ඉදිරිපත්වන අභියාචනයක් සලකා බැලීමට පමණි.ඉහත සඳහන් වෛද්‍ය විජේසිංහ මහත්මිය හා වෛද්‍ය හේරත් මහත්මියට අදාලව සෞඛ්‍ය කමිටුව විනය නියෝගයක් නිකුත් කර නැත. ඒ දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණය ආරම්හ කර පවත්වමින් තිබෙන අතර එම පරීක්ෂණය තවමත් අවසන්ව නැත. එසේ අවසන් නොවූ දැනට පවත්වමින් ඇති විනය පරීක්ෂණයකට මැදිහත්වීමට අභියාචන බලධාරියෙකුට කිසිදු නෛතික බලයක් නොමැත. රාජ්‍ය සේවා කොමිසම මේ ක්‍රියාවලිය මැදට බලෙන් පැන අභියාචනයක් සලකා බලා ගත් තීරණ ලෙස සඳහන් කරමින් විනය ක්‍රියා මාර්ගය අවසන් කිරීමට ගත් තීරණය නඩුව විභාග වෙද්දී උසාවියට ගිනි තබා විත්තිකරු බේරා ගැනීමට උත්සාහ කිරීමක් වැනි අපරාධයකි.

විධිමත් නොවන අභියාචන සලකා බැලුවේ කවර නීතියකට අනුවද?

ආයතන සංග්‍රහයේ XLVIII.පරිච්ඡේදයේ 26 වගන්තියේ සඳහන් අභියාචන පටිපාටියට අනුකූල නොවන අභියාචනා හා කෙලින්ම රාජ්‍ය සේවා කොමිසමට එවන අභියාචනා ප්‍රතික්ෂේප කළ යුතු බව ද ආයතන සංග්‍රහයේම දැක්වේ.දැන ගන්නට ලැබී ඇති පරිදි මේ වෛද්‍යවරියන් දෙදෙනා නීත්‍යානුකූල අභියාචනයක් සිය ආයතන ප්‍රධානින් හාවිනය බලධරයා හරහා රාජ්‍ය සේවා කොමිසමට එවා නැත.එසේ නම් මේ තීරණ ගෙන ඇත්තේ කොමිසමේ බලධාරියෙකු වෙත පෞද්ගලිකව එවූ ලිපි පදනම් කර ගෙන විය යුතු ය.එලෙස විධිමත් නොවන අභියාචන සලකා බැලුවේ කවර නීතියකට අනුවදැයි කොමිෂන් සභාව විසින් පැහැදිලි කළ යුතුය. මේ ක්‍රියාවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 60 වන ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝණය කිරීමක් බව ඉතාම පැහැදිලිව සඳහන් කළ හැකි වේ.එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61(ඇ)ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය සේවා කොමිසම බලය පැවරූ කමිටුව තීරණ වලට අයුතු ලෙස මැදිහත්වීම ,බලපෑම් කිරීම රුපියල් ලක්ෂයක දඩයකට හා වසර හතක බන්ධනාගාර ගත කිරීමකට යන දඩුවම් එකක් හෝ දෙකටම ලක් කළ හැකි බරපතල වරදකි.

මහාධිකරණය ඉදිරියේ චෝදනා ලැබීමට හේතුවන වරදක් කරලා..

මේ සිද්ධියෙන් පෙනී යන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නීත්‍යනුකූල රාජකාරි කටයුත්තක් නොවන අයුතු මැදිහත්වීමක් සිදුකර සෞඛ්‍ය සේවා කමිටුව ගෙන ඇති තීරණ කණපිට ගැසීමට දැනදැනම ක්‍රියාකිරීම මගින් 61(ඇ)(2) ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මහාධිකරණය ඉදිරියේ චෝදනා ලැබීමට හේතුවන වරදක් කර ඇති බවයි.මෙසේ සිදුවන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමජිකත්වය දරණ හිටපු අමාත්‍යංශ ලේකම්වරු පස්දෙනෙක් සිටියදී ය. ඉතිරි සාමාජිකයින් ද රාජ්‍ය සේවාවේ බොහෝ පලපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු වෙති.සභාපති වරයා නම් රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වී පෞද්ගලික අංශයේ දිගු කලක් සේවය කළ අයෙකි.ඇතැම් විට මේ සිද්ධවන දේවල් පෞද්ගලික අංශයේ ආභාෂයෙන් සිදුවන දේවල් දෝයි සැකයක්ද පවතී. කෙසේ වුවද මේ අන්දමින් අනීතිකව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝණය කරමින් රාජ්‍ය සේවා කොමිසම කටයුතු කරන්නේ නොදන්න කම නිසාද? නැතිනම් රාජ්‍ය විසින් තමන් වෙත භාරදී ඇති අතිශය වැදගත් කාර්ය ඉටු කිරීමේදී දක්වන නොසැලකිල්ල නිසාද? නැතිනම් සාමුහික ව ගතයුතු තීරණ හිතුවක්කාරීව සුලු පිරිසක් විසින් ගනිමින් සිටියදී අන් අය නිහඬව සිටින නිසාද? එසේත් නැතිනම් කොමිෂම කවුරුන් හෝ ඒකාධිපතියෙකුගේ හිතුවක්කාරී පාලනයට නතුවීම නිසාදැයි යන්න හරියට පැහැදිලි නැත. මේ කොමිෂන් සභාවේ සාමාජිකයින් සියලු දෙනාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ට හා නීතියට අනුව සිය කාර්ය භාරය ඉටුකරන බවටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කරන බවටත් 61( ඈ)ව්‍යවස්ථාව ප්‍රකාරව දිවුරුමක් /ප්‍රතිඥාවක් දී ඇති බව ඔවුන්ටම අමතක වී ඇති සේය. මෙම අනීතික හා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් පිළිබඳව නීතිගරුක යුක්තිගරුක සාධාරණ පුරවැසියන්ගේ බලවත් පිළිකුල හා අප්‍රසාදය ද පළ කළ යුතුය. ඒ අතර විශේෂයෙන් රාජ්‍ය සේවාවේ ස්වාධීනත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියා කළ රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින් මේ තත්වය පිළිබඳව තම විරෝධයද ප්‍රසිද්ධියේ පළකරමින් රාජ්‍ය සේවා කොමිෂම නිවැරදි මගට ගැනීමේ උදාර මෙහෙවරට දායක විය යුතුව ඇත.

-සුනිල් කන්නන්ගර

විශ්‍රාමික ශ්‍රී ලංකා පරිපාලන සේවය

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/100

No comments:

Post a Comment