Monday, 18 September 2023

එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් ලංකාව කළ යුතුයි කියන නිර්දේශ මෙන්න..!

-සුනන්ද දේශප්‍රිය ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.සැප්.18, ප.ව.9.05) එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ එන නිගමන පමණක් නොව  නිර්දේශද රනිල් රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි. 

නිගමන පිළිබඳ ලිපියෙහි ද දැක් වූ පරිදි රට මුහුණ දෙන ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමේ දී ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතීන් සුරැකීම පළමු නිර්දේශයයි. ඒ මෙසේය:

“ පවතින සම්පත් අතුළත, වෙනස් කොට නොසැලකීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පදනම මත මූලික කරගෙන ආර්ථික අර්බුදය තුළ ජනයාගේ ආර්ථික හා සමාජ අයිතීන් සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග  ගන්න.  මූල්‍යකරණය වැඩි කර වර්ධනය වන අවශ්‍යතා ආවරණය කිරීම සඳහා සමාජ ආරක්ෂනයන් ව්‍යාප්ත කරන්න.” 

ජාත්‍යන්තර සහයෝගීතාවය හරහා දූෂණයට තීරණාත්මකව මුහුණ දීමට පියවර ගන්න. සෞඛ්‍ය, සමාජ ආරක්ෂණ සහ අධ්‍යාපනය සඳහා ආයෝජන වැඩි කරන්න. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආධාර වැඩසටහන් නිසා ඇති විය හැකි මානව හිමිකම් බලපෑම් තක්සේරු කර සහ එය අවම මට්ටමට අඩු කිරීමට සහ වැළැක්වීමට පියවර ගන්න.”

තවද ජාතික, පළාත් වශයෙන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තීරණ ගැනීම ඇතුළුව දේශපාලන ජීවිතය තුළ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද නිර්දේශයක් වේ. 

රටේ පවතින අවනීතිය ගැන නිර්දේශ...

යුද්ධාවසානයේ සිට අද දක්වාම මෙරට පවතින්නේ නීතිය නොව අවනීතියයි. එය උතුරු නැගෙනහිරට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. මෙම තත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නිර්දේශය මෙවැනිය:

“අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස සහ ඇසුරු කිරීමේ නිදහස අනිසි ලෙස සීමා කරන නීති පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් අවශ්‍යතාවලට අනුකූලව සමාලෝචනය කර සහ සංශෝධනය කරන්න; එහිලා නීත්‍යානුකූලභාවය, අවශ්‍යතාවය, සමානුපාතිකත්වය සහ වෙනස් කොට නොසැලකීම  තහවුරු කරන්න”

“වින්දිතයන්, සාක්ෂිකරුවන් සහ සිවිල් සමාජය ක්‍රියාකාරිත්වයන්හි පූර්ණ, නිදහස් සහ සුරක්ෂිත සහභාගීත්වය සහතික කරන්න; සියලු ආකාරයේ හිරිහැර කිරීම් සහ නීති විරෝධී සහ අත්තනෝමතික නිරීක්ෂණ අවසන් කරන්න.

කල් දමා ඇති පලාත් පාලන සහ පලාත් සභා මැතිවරණ පැවත්වීම සම්බන්දයෙන් ද නිර්දේශයක් වේ.

“ සෑම මට්ටමකම නිදහස් හා සාධාරණ මැතිවරණ හරහා දේශපාලන සහභාගීත්වය සහ ඡන්දදායකයින්ගේ නිදහස් ප්‍රකාශනය සඳහා ඇති අයිතිය සහතික කරන්න.”

එමෙන්ම පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සඳහා සියයට 25 ක කෝටාවට ගරු කිරීම සහතික කරන ලෙසද  නිදේශයක් වේ.

මිලිටරි වියදම අඩු කරන්න..

අති විශාල ආරක්ෂක වියදමක් දැරීම මෙරට මූල්‍ය සම්පත් ඛාදනය කිරීමක් වන බවට පොදු පිළිගැනීමක් මෙරට තිබේ.   උද්ඝෝෂනයන්ට පහර දීමට නීතිවිරෝධිව පොලු රැගත් යුද හමුදා පිරිස් යෙදවීම ද යුදකරනයේම දිගුවකි.  ඒ සම්බන්ධයෙන් එන නිර්දේශය මෙවැනිය:

“මිලිටරි වියදම් සැලකිය යුතු ලෙස අඩු කරන්න, යුද බලපෑමට ලක් වූ ප්‍රදේශවල හමුදා රැඳී සිටීම අඩු කිරීම ඇතුළුව පුළුල් ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණයක් සිදු කරන්න.”

පීටීඒ සම්බන්ධයෙන් වූ නිර්දේශ...

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමේ මුවාවෙන්  මෙන්ම විද්‍යුත් මාධ්‍ය නියාමනය මුවාවෙන් ගෙන එන ලද   පනත් සමාජයේ මහත් විරෝධයකට තුඩු දුන් අතර අන්තර් ජාතික වශයෙන්ද මහත් විවේචනයකට ලක් විය. ඒ සම්බන්ධයෙන් එන නිර්දේශය මෙසේය:

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීති සම්පාදනය කිරීම සහ විකාශන මාධ්‍ය නියාමනය කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නීති බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන බව සහතික කරන්න; ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි තහනමක් පවත්වා ගෙන යන්න;  එම පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින සහ සිරගතව සිටින අය නිදහස් කිරීම කඩිනම් කරන්න.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවන බව ප්‍රකාශ කර එහි ලේකම් කාර්යාලය ජනාධිපති කාරයාලයේ පිහිටුවා තිබේ. එහි ස්වාධීනත්වය ආරම්භයේදී නැති කර ඇත්තේ එලෙසය. මේ 2015 සැප්තැම්බර් මාසයේ යේදී ලංකාණ්ඩුවේ සහ මානව හිමිකම් කවුන්සිලෙයේ සම සහභාගිත්වයෙන් සම්මත කරන ලද යෝජනාවේ එක් පොරොන්දුවකි. 

මෙම සංක්‍රාන්ති යුක්ති පියවර සම්බන්ධයෙන් එන නිර්දේශ මෙසේය:

“ සාර්ථක සහ තිරසාර සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් සඳහා සාධනීය  පරිසරයක් ප්‍රමුඛතාවයක් ලෙස නිර්මාණය කරන්න; වින්දිතයන් සහ සිවිල් සමාජය සමඟ පූර්ණ උපදේශනයකින්, සත්‍යය, වගවීම, සහන සැලසීම යන අංග සම්බන්ධ කරන සහසම්බන්ධ කාලානුරූප සැලැස්මක් සංවර්ධනය කර ක්‍රියාත්මක කරන්න.

“ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීම සඳහා වන කාර්යාලය  උපරිමයෙන් ශක්තිමත් කිරීම ඇතුළු අනෙකුත් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාමාර්ග අනුගමනය කරන්න; අනාගතයේ දී එවැනි උල්ලංඝනයන් වැළැක්වීම සඳහා ආයතනික සහ වෙනත් පියවර ගන්න.”

උතුරු නැගෙනහිර යුදකරණය නිසා ඇති වී තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් එන නිරදේශ මෙසේය:

“ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් නිරතුරුව සම්බන්ධ වී ඇති පුරාවිද්‍යාව, වන වගාව, වාරිමාර්ග සහ අනෙකුත් සේවාවන් සම්බන්ධයෙන් කටයුතු කරන දෙපාර්තමේන්තු වල භාවිතයන් සමාලෝචනය කරන්න. ඉඩම් ආරවුල් අපක්ෂපාතීව සහ විනිවිදභාවයෙන් යුක්තව විනිශ්චය කරන්න.” 

පාස්තු ප්‍රහාර විමර්ශනයට ජාත්‍යන්තර සහභාගිත්වය ගන්න..

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයන් සඳහා අන්තර් ජාතික සහභාගිත්වය ලබා ගන්නා ලෙස මෙයට පෙර කරන ලද නිර්දේශය යළි සඳහන් කර තිබේ.

“මානව හිමිකම් කඩකිරීම් මෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවල සංකේතාත්මක සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට අනුකූලව විමර්ශන සහ නඩු පැවරීම් කඩිනම් කරන්න; එහිලා මානව හිමිකම් ප්‍රමිතීන් අනුගමනය කරමින් ජාත්‍යන්තර සහාය ඇතිව, සහ වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වය සහතික කරන්න.

( මෙහි නිර්දේශ මුල් වාර්තාවේ අනු පිළවෙළ අනුව සඳහන් කර නැති බවත් මෙහි දක්වා ඇත්තේ පෙළ පරිවර්ථනයක් නොව අනුවාදයක් බවත් සළකන්න.)

අන්තර් ජාතික ප්‍රජාව වෙත එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරනු ලබන නිර්දේශ ඊළඟ කොටසින් සාකච්ඡා කෙරෙනු ඇත.

-සුනන්ද දේශප්‍රිය

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/17

No comments:

Post a Comment