Wednesday, 28 February 2024

ඡන්ද 4ක් ගත් දේශබන්දු පොලිස්පති කළේ ව්‍යවස්ථා සභා නීතිවලට පටහැණිව..! -විපක්ෂ නායක

-විශේෂ ලියුම්කරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.28, ප.ව.3.20) ශ්‍රේෂ්ඨාධිකරණයට ගල් ගැස්සවු සිය මාමා අනුකරණය කරමින් රනිල් රාජපක්ෂ පෙරේදා(26), ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වධහිංසා පැමිණ වීම සම්බන්ධයෙන්  වරදකරුවකු බවට පත් කර රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නියෝග කළ දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පතිවරයා බවට පත් කරන ලදී.

මේ අනීතික පාලනය පිළිබඳ ලෝක වාර්තාවකි.

සමාජ මාධ්‍ය එක්ස් අඩවියෙහි සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ජනාධිපති විසින් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දී තිබේ.

ලැජ්ජයි කතානායකතුමනි!

එම සටහනෙහි සිංහල පරිවර්තනය මෙසේය:

“ව්‍යවස්ථා සභාව පොලිස්පතිගේ පත්වීම අනුමත කළේ නැහැ. ඡන්ද ලැබුණේ 4 පක්ෂව සහ 2 එරෙහිවයි. දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ව්‍යවස්ථා සභාවෙහි තීරණයක් සඳහා අවම වශයෙන් ඡන්ද 5 ක් අවශ්‍ය වේ. කථානායකවරයාට තීරණාත්මක ඡන්දයක් ඇත්තේ ඡන්ද ප්‍රකාශ කිරීම සම වූ විට පමණි. 4/2 සම තත්වයක් නොවේ! දෙවන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර තිබේ. ලැජ්ජයි කතානායකතුමනි!”

ව්‍යවස්ථා සභාව තීරණ ගත යුතු අන්දම පිළිබඳ අදාළ ව්‍යවස්ථා පරිච්ඡේදය මෙසේය:

(41)ඉ (3) සභාවේ යම් රැස්වීමක් සඳහා ඝණ පූරණය සාමාජිකයින් පස් දෙනෙක් විය යුත්තේ ය.

(4) සභාව විසින් කරනු ලැබිය යුතු සෑම නිර්දේශයක් හෝ අනුමත කිරීමක් ද, ගනු ලබන සෑම තීරණයක් ද, ඒකමතිකව තීරණය කිරීමට සභාව විසින් සෑම විටකම උත්සාහ දැරිය යුත්තේ ය. ඒකමතික තීරණයක් නොමැති අවස්ථාවක දී රැස්වීමට පැමිණ සිටින සාමාජිකයන් පස් දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් සනාථ කළහොත් මිස සභාව විසින් කරන ලද යම් නිර්දේශයක් හෝ අනුමත කිරීමක් හෝ ගනු ලැබූ යම් තීරණයක් හෝ බල සහිත නොවිය යුත්තේය.

(5) සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාසනය දරණ වෙනත් සාමාජිකයාට මුල් ඡන්දයක් නොමැති නමුත් සභාවේ යම් රැස්වීමක දී තීරණය කරනු ලැබිය යුතු යම් ප්‍රශ්නයක් සඳහා සම සමව ඡන්දය ලැබුණු විට දී සභාපතිවරයාට හෝ රැස්වීමේ මූලාසනය දරණ වෙනත් සාමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේ ය.

මේ අනුව ඉතා පැහැදිලිව දැක්වෙන්නේ කතානායකවරයාට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ සම ඡන්ද ප්‍රමාණයක් පක්ෂව සහ විපක්ෂව ලැබු අවස්ථාවක දී බවයි. දේශබන්දු පොලිස්පති කිරීමට අවම ඡන්ද 5ක් අවශ්‍ය වන බැවින් ව්‍යාවස්ථා විරෝධී ලෙස කතානායක සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මෙලෙස අවම ඡන්ද 5ක අවශ්‍යතාවය දක්වා ඇත්තේම සුලුතර ඡන්ද ප්‍රමාණයකින් ව්‍යවස්ථා සභාව තීරණ ගැනීම වැළැක්වීමටය. මාර්ගගත පනත සම්බන්ධයෙන් ව්‍යවස්ථා විරෝධී ව කටයුතු කළ  කතානායකවරයා යළි ව්‍යවස්ථාව කෙළෙසා තිබේ.

අපූරු අනුලා..

දැන ගැනීමට ඇති පරිදි ව්‍යවස්ථා සභාවෙහි සිවිල් නියෝජිතයින් තිදෙනා වන ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය ඩී. අනුලා විජේසුන්දර, සහ වෛද්‍ය දිනේෂා සමරරත්න යන අතුරෙන් පක්ෂව ඡන්දය දී ඇත්තේ අනුලා විජේසුන්දර ය. ඇය උග්‍ර සිංහල බෞද්ධ මත දරන්නියක් වන අතර  එක්දහස් නමසිය මැද භාගයේ දී පිහිටුවන ලද රාජ්‍ය නොවන සිංහල කොමිසමේ සාමාජිකාවකද වූවාය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද අවස්ථාවේදී වෛද්‍ය අනුලා විජේසුන්දර ඊට විරුද්ධව ප්‍රකාශ පවා නිකුත් කළාය. ඇය එකල ග‍ෙවිඳු කුමාරතුංගගේ යුතුකම සංවිධානයේ සාමාජිකාවකි. ගෙවිඳු කුමාරතුංග විසින් අරුණ පුවත්පතට යවන ලද ලිපියක ඒ බව සඳහන් වන්නේ මෙසේය:

"විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා නායකත්වය දෙන ජාතික ඒකාබද්ධතා කමිටුව අගෝස්තු 20 වැනි දින යෝජිත විසි වෙනි සංශෝධනය පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය. නැවත සැප්තැම්බර් 06 වන දින “යෝජිත 20 වන සංශෝධනය, 13 වන හා 16 වන සංශෝධන පිටුදැකීමේ හදිසි අවශ්‍යතා” යන මැයෙන් නිවේදනයක් නිකුත් කළේය. 20 වන සංශෝධනය සභාගත කළ පසු නැවත සැප්තැම්බර 26 වැනි දින නීතීඥ සංගමය වෙත ලිපියක් යොමු කරමින් 20 වන සංශෝධනය මගින් හදිසි පනත් ගෙන ඒමට ඉඩකඩ විවර කිරීම වළක්වාලීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන්, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන්, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන්, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ඇතුළු යුතුකමේ අපි ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහි වූවෝ ද? ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් පාවා දීමට කටයුතු කළ අය ද?"

13වන සංශෝධනය අහෝසි කළ යුතු බව පවා කියන එවැනි අයකු ව්‍යවස්ථා සභාවෙහි සිටීම මෙරට පවත්නා විකාර දේශපාලනයේ ලකුනකි.

රනිල් රාජපක්ෂ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස හඳුන්වමින් ඔහු පසු පස ගිය හිටපු මානව හිමිකම් නායක නායිකාවන් දැන් ඇටි කෙහෙල් කෑ රිලවුන්ගේ තත්වයට පත්ව තිබේ.

මෙම පත්කිරීම පෙන්නුම් කරන්නේ රාජපක්ෂලා තමන්ට අනීතිකව සහාය දුන් පුද්ගලයින් රාජ්‍ය බලයේ ඉහළටම එසවීම තවමත් කර ගෙන යන බවයි.

රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව නීතියේ පාලනය තුට්ටු දෙකට දමා ගෙන යන මෙම ක්‍රියාවලිය ආපස්සට නොහැරවුවහොත් ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යක්  කරා වර්ධනය වීම වැළැක්විය නොහැකිය.

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි

No comments:

Post a Comment