Monday, 26 February 2024

කොටුවේ නඩු අහන තිළිණ ගමගේ තමන්ගේ නඩුව කතරගම දෙවියන්ට බාරදීලා..!

-LeN අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.26, ප.ව.11.30) කොටුව මහේස්ත්‍රාත් හෙවත් ''අලි හොරා'' ලෙස කා අතරත් කුප්‍රකට තිළිණ ගමගේ පිළිබඳව අප පලකළ පුවත ඉකුත් සතියේ අධිකරණ ක්ෂේත්‍රයේ  ජනප්‍රියම මාතෘකාව විය. අධිකරණයේ විනිසුරුවරුන් මෙන්ම සේවකයන්ද එම ලිපිය කියවීමෙන් අනතුරුව තිළිණ ගමගේ දෙස බැලුවේ වසාගත් නිරුවත හෙළිවූ අයෙකු දෙස බලන ආකාරයට ය. ඒ අනුව එම ලිපිය නිසා තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ''අලි හොරෙක්'' ලෙස මෙතුවක් පටබැඳී තිබූ නමට තවත් සංශෝධන කිහිපයක්ද එක් කරගත්බව අධිකරණ ක්ෂේත්‍රයේ  බොහෝ දෙනෙකුගේ මතය වී ඇත. අද ඔහු පිළිබඳ ඉදිරිපත්කරනා දෙවෙනි ලිපියෙන් කියවෙන්නේ පළමු ලිපියෙන් පසු  මහෙස්ත්‍රාත්වරයා රඟපෑ වෙනත් භූමිකාවන් පිළිබඳවය.

අපගේ අරමුණ..

සියල්ලට ප්‍රථමව කිව යුත්තේ අප මේ හෙළිදරව් කිරීම් කරන්නේ පුද්ගලිකව ඔහු සමග ද්වේශයකින් නොවන බවත් යම් රටක අධිකරණයක සුජාත භාවය සුරැකෙන්නේ එම අධිකරණවල සේවය කරන විනිසුරුවරුන්ගේ සුජාත භාවය අනුව බැවින් තම අධිකරණය සුද්ධ පවිත්‍ර කරගෙන එය ජනතාවගේ විශ්වාසය සුරැකෙන අන්දමට රැක ගැනීම අධිකරණ සේවා කොමිෂන් සභාවේ අත්හළ නොහැකි වගකීමක් බවද මතක් කරදෙමිනි. අප ඉටු කරන්නේ වගකිව යුතු මාධ්‍යයක් ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවධානය වරදකාරී විනිසුරුවරුන් වෙත යොමු කිරීම ය.

බී වාර්තාව වැරදියට තේරුම් ගැනීම..

පතාල නායක හරක් කටා සමග සමීප සබඳතා පැවැත්වූ බව කියනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් සොයා ගැනීම සඳහා දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ලබාදුන් තීන්දුව මේ වන විට ඔහුටම පාරාවළල්ලක් වී තිබේ. අධිකරණයට ත්‍රස්ත විමර්ශණ කොට්ඨාසය  ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වනුයේ දුරකථන වර්තා සහ ගිණුම් පරීක්ෂාවකට බලාපොරොත්තු වන බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති, අධ්‍යක්ෂවරයා ඇතුළු 34 දෙනෙකුගේ දුරකථන වාර්තා ලබාගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ බී වාර්තාව නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් තොරව බව අධිකරණ ක්ෂේත්‍රයේ මේ වන විට කථා බහට ලක්වෙමින් තිබෙන්නේය.

ලබාදෙන නියෝග වෛරයෙන් ලබාදෙන ඒවා..

මේ පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ  පැවති රැස්වීමකදී අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පවසා ඇත්තේ මෙම මහේස්ත්‍රාත්වරයා සමග වැඩ කළ නොහැකි බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ ප්‍රධානීන් සහභාගී වූ මෙම සාකකච්ඡාවේදී අවධානය යොමුව ඇත්තේ අලි හොරකම් නඩුව නිසා මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග දැඩි වෛරයකින් කටයුතු කරනා බවය. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත්තේ තිළිණ ගමගේ මහෙස්ත්‍රාත් තනතුරේ සිටියදීම අත් අඩංගුවට ගැනීම නිසා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සමග මෙසේ වෛරයෙන් පසුවන බවය . එම නිසා ඔහු ලබාදෙන නියෝග වෛරයෙන් ලබාදෙන බව ඔහු පෙන්වාදී තිබේ.

"කථා කරලා බැලන්ස් කරන්නම්"

මෙම සාකච්ඡාවේදී  මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහේස්ත්‍රාත්වරයාගේ පැත්ත ගෙන කථා කිරීම කාගේත් විමතියට හේතු වී තිබේ. ''අරගලය කාලයේ මාහේස්ත්‍රාත්වරයා අපිට සහයෝගය ලබා දුන්නා. කථා කරලා බැලන්ස් කරන්නම්'' අභ්‍යන්තර ආරක්ෂාව බාර ඇමති වරයා පවසා ඇත.

අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති වරයා සමග ද මහේස්ත්‍රාත්වරයා සිටිනුයේ දැඩි වෛරයෙනි. ඊට හේතුව වී ඇත්තේ  අලි හොරකමට ඔහු අත් අඩංගුවට ගත් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් ලෙස වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා කටයුතු කිරීමය.

හරක් කටා ඉදිරියේදීම සීඅයිඩිය හෑල්ලුවට ලක් කළා..

වරෙක අධිකරණයේදී පාතාල කල්ලි නායක හරක් කටා ඉදිරියේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා හෑල්ලුවට ලක් කිරීමට තරම් තිළිණ ගමගේ සාහසික විය. ''හරක් කටා සම්බන්ධයෙන් අධිකරණය ලබාදී තිබෙන නියෝග ක්‍රියාත්මක කරන්න. නැතිනම් තමාටද හරක් කටා සමග හිර කූඩුවේ ඉන්නට පුළුවන්'' යයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කීවේය. මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වරයා ඇමති ටිරාන් අලස්‍ට දැනුම් දුන්නත් ඔහු ද මුණිවත රැක්කේය.

අධිකරණ සේවා කොමිසමට පැමිණිළි

තිළිණ ගමගේ සම්බන්ධ‍යෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිසමට පැමිණිළි කර තිබේ. එකී පැමිණිළි සම්බන්ධව විමර්ෂන කරනා බව දැන දැනත් විනිසුරු තිළිණ ගමගේ මහජන අරක්ෂක ඇමති ටිරාන් අලස් අමතා  කීවේ තමා‍ ලබාදුන් නියෝග මාධ්‍යයේ වැරදි ලෙස පලකර ඇති බවය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් පළිගැනීමේ උවමනාවක් තමාට නැති බව ඔහු සපථ කළේය.

විමර්ශන නතර කරගන්න කතරගම දෙවියන්ට බාර වෙලා...

තිළිණ ගමගේ විනිසුරුවරයා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට කථා කර කීවේ තමාට එරෙහිව කරනා පරීක්ෂන නතර  කරනා ලෙසය. එහෙත් ඔහු සහන ඉල්ලූවේ අධිකරණ මැතිවරයාගෙන් පමණක් නොවනා බව දන් දැන් වාර්තා වෙමින් පවතී. තමාට එරෙහිව ක්‍රියාත්මක කරනා විමර්ෂන නතර කරනා ලෙස විනිසුරු තිළිණ ගමගේ කතරගම දේවාලයටද බාරයක් වී ඇත. ඉන් අනතුරුව ඔහු කොළඹ බාන්ස් පෙදෙසේ නිවසකදී තවත්  රහසිගත සාකච්ඡාවකට  සහභාගී වී ඇත.

දිනේෂ්ගේ නිවසේ රහස් සාකච්ඡාවක්...

අගමැති දිනේෂ් ගුණවර්ධනට අයත් එම නිවසට තනිවම පැමිණි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ  එහිදී පවසා ඇත්තේ ඉදිරියේදී  තමාට උසස් වීමක් ලැබීමට නියමිත බවයි . එය ලැබෙන තුරු කොටුව මහේස්ත්‍රාත් ලෙස සේවය කිරීමට ඉඩ  සළසා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය . සාකච්ඡාව සිදුවූයේ ඔවුන් දෙදෙනා අතර වුවත් මහේස්ත්‍රාත් ව‍රයාගේ දෙඇස් කඳුළින් බරව තිබූ බව අපට ද දැනගන්නට ලැබුනි.

තමන්ගේ පැමිණිල්ල තමන්ම විනිශ්චයට..

නඩුවකට අදාල ලිපි ලේඛණ සකස් කිරීමට රුපියල් ලක්ෂයක මුදලක් ලබාගත්තේ යයි  කොටුව මහේස්‍ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට එරෙහිව නඩුවක් විභාග වෙයි . එම සිදුවීම විභාග කළ අපරාධ පාරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ටද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ බලපෑම් කර තිබේ. එම නඩුවට අදාල පැමිණිල්ල කර ඇත්තේද තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා විසිනි. පුදුමයට කරුණක් වනුයේ තමා විසින්ම කරන ලද පැමිණිල්ලකට අදාල නඩුව ඔහු විසින්ම විමසීමය. මෙය පැහැදිලිවම අධිකරණ පද්ධතිය දූෂණය කිරීමකි.

අධිකරණයේ පිළිගත් සම්ප්‍රදායට අනුව තම පවුලේ හෝ සමීපතමයන් සම්බන්ධ නඩු කටයුතු පවා එම විනිසුරුවරුන් විමසන්නේ නැත. එහෙත් මේ සම්ප්‍රදාය අමු අමුවේම උල්ලංගණය කරන්නට තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත.

මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියට, මංජුල රත්නායකට බලපෑම් කරලා..

මහරගම ප්‍රදේශයේ ස්වර්ණාභරන සහ උකස් ව්‍යාපාරයක් කරගෙන යන රන්ජන් දැඩිගම නැමැත්තා වෙළඳ සැළකට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී . එම නඩුව විභාග වන කොළඹ අංක 2 දරණ අධිකරණයේ, මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියටද තිළිණ ගමගේ වක්‍රාකාරව බලපැම් කර ඇත. ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාර්ගයෙනි . ඒ සඳහා ඔහු යොදාගෙන ඇත්තේ මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය සහ අග්‍රාමාත්‍ය වරයා අතර පවතින ඥාතීත්වයයි .

තවද රන්ජන් දැඩිගමට ඇප ලබා දීමට කටයුතු කළ විනිසුරු මංජුල රත්නායකටද බලපෑම් කරන්නට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කටයුතු කළ බව අධිකරණ ක්ෂෙත්‍රයේ  ප්‍රකට කරුණකි.

වැඩ බලන විනිසුරුවරුන්ටත් බලපෑම් කරනවා..

මෙම මහේස්ත්‍රාත්වරයා කරනා බරපතලම වරද ඔහු නිවාඩු ලබාගන්නා දිනවල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගය සඳහා පැමිණෙන විනිසුරුවරුනට කරනා බලපෑමය. තමා නිවාඩු බැවින් නඩු විභාග කර ඇප ලබා නොදෙන ලෙස ඔහු වැඩබලන විනිසුරුවරුනට බලපෑම් කරයි . මේ ආකාරයේ අසම්මත ක්‍රියා සිදුකරමින් අධිකරණ ක්ෂේත්‍රය බරපතල ලෙස අපකීර්තියට පත්කරනා තිළිණ ගමගේට එරෙහිව පැමිණිළි රැසක් ලැබී ඇතත් අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහුට පක්ෂපාතීව කටයුතු කරනා බවට චෝදනා එල්ලවෙමින් තිබෙන්නේය. එම චෝදනා වලින් නිදහස් වීම අප පෙර කී ලෙසම අධිකරණ කොමිෂන් සභාවේ වගකීමකි.

-LeN අධිකරණ අභ්‍යන්තර තොරතුරු සේවයේ වාර්තාකරුවෙකු විසිනි

No comments:

Post a Comment