අනුරලාගේ ජය වළකනු නොහැකි බව දැන පරළ වූ හැත්ත ගහන්න යන ගේම..! මාමා හැත්තෑ අටේ කළ දේ බෑනා විසි හතරේ නොකළොත් "NOT" උගේ බෑනා..!
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.13, ප.ව.9.15) රනිල් වික්‍රමසිංහ යනු කොහොල්ලා බබෙකි. ඔහු පුටුවක වාඩි වුවහොත් ගලවා ගැනීම ලෙහෙසි නැත. කෙසේ හෝ ගලවා එලියට විසි කළ ද වැටෙන්නේ පාර්ලිමේන්තුව දිහා බලාගෙන ය. 2019 සිදුවූයේ ද එවැන්නකි. ජනතාව එකදු ආසනයක් වත් නොදී එජාපය දේශපාලනයෙන් අතු ගා දැම්මද රනිල් වික්‍රමසිංහ කෙසේ හෝ ගුලියක් අඹරා පාර්ලිමේන්තුවට රිංගා ගත්තේ ය. ඉන් පසු ගෝටාභය පන්නා ජනාධිපති පුටුවටද නැග ගත්තේ පස්සා දොරින් ය. මේ සියල්ල ඔහුට මාමා කියා දුන් උප්පරවැට්ටි ය. රනිල් ජනාධිපති පුටුවෙන් බැස නොයා සිටීමට සෑම උප්පරවැට්ටියක්ම දමනු ඇත. මේ දින වල ඔහු දිවා රෑ කල්පනා කරන්නේ ඒ ගැනය. ජනාධිපතිවරණයකට නොයා කුමන හෝ දහංගැටයක් ගසා ඡන්දයක් නොතියා බලය තහවුරු කර ගැනීම රනිල් වික්‍රමසිංහගේ එකම උත්සාහයයි. එහෙත් මෙවර රනිල්ට එය එතරම් පහසු වන්නේ නැති බව ඔහුම දනී. එම නිසා ඔහු පෙරමුණු කිහිපයකින් වැඩ අරඹා ඇත.
අම්මට සිරි නීති කෙටුම්පතක් ලහි ලහියේ...
කරූ ජයසූරිය පෙරට දමා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා නීති කෙටුම්පතක් ලහි ලහියේ සකස් කරමින් සිටී. ඒ සඳහා එජාපයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නීතීඥ වරුන් පිරිසකගේද උපදෙස් ලැබෙන බව ආරංචිය. මෙහිදී ඔවුන් ව්‍යවස්ථාවේ හිල්, ගුල්, සහ වංගු විමසා බලා කැබිනට් මණ්ඩලයට නීති කෙටුම්පතක් ලඟදිම ඉදිරිපත් කරනු ඇත. ජනමත විචාරණයකට නොයා විධායක ජනාධිපති බලතල කෙසේ විධායක අගමැති වරයෙකුට මාරු කරගත හැකි ද යන්න ඔවුන් මේ දිනවල නීති පොත් පෙරළා සොයමින් සිටිනවා වන්නට පිළිවන.
රනිල් වික්‍රමසිංහගේ මාමණ්ඩිය වූ ජේ ආර් ජයවර්ධන 1977 ජූලි මහ මැතිවරණයෙන් 5/6 ක බලයක් ලබා ගෙන 1972 ආණ්ඩු ක්‍රම වයවස්ථාවේ ගුලකින් රිංගා ජනාධිපති බලතල ලබා ගත්තේ අපූරු ආකාරයකට ය. ඔහු 1977 ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ අගමැති වරයා සතු සියළු විධායක බලතල ජනාධිපති වරයාට පැවරීමට අනුමැතිය ලබා ගැනීමට ය. එම පත්‍රිකාව "කඩිනම් ජාතික අවශ්‍යතාවක්" ("Urgent in the National Interest") යන ශීර්ෂය යටතේ ඉදිරිපත් කොට එවෙලේම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත්තේ ය. ඉන් නොනැවතුණු ජේ ආර් 1978 පෙබරවාරි 04 වන දින කොළඹ ගෝල්ෆේස් පිටියේදී උත්සවාකාරයෙන් ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය. ඔහු මහ ජනයා විසින් සෘජුව ඡන්දයකින් පත් කල ජනාධිපති වරයකු නොවන බව ද කිව යුතුය. බෑනා 2022 කළේ ද එවැන්නකි. ව්‍යවස්ථාවේ හිල් දන්නා රනිල් 2024 කරන්නට හදන්නේත් එයමය.
මාමා කළ වැඩේ ප්‍රතිවිරුද්ධ දේ කල්තියා තේරුම් ගන්න...
රනිල් වික්‍රමසිංහ මෙවර කරන්නට උත්සාහ කරන්නේ මාමා කළ ක්‍රියාවේ ප්‍රතිවිරුද්ධ දෙයයි. විධායක ජනාධිපති වරයාගේ බලතල විධායක අගමැති වරයාට ලබා දී රනිල් වික්‍රමසිංහ නැවත වරක් විධායක අගමැති වීමට ය. 2015 දී යහපාලන රජයේ ජනාධිපති සිරිසේනගේ බලතල රනිල් වික්‍රමසිංහ පවරා ගත්තේ ද ජනමත විචාරණයකට නොයා ය. සුප්‍රීම් අධිකරණය පෙන්වා දුන් අන්දමට ජනමත විචාරණයකට තුඩු දෙන කරුණු වලට අත නොතබා රනිල් විසින් සිරිසේනව හොඳින්ම රවටා ඔහුගේ බලතල කිහිපයක් හැරෙන්නට අනෙක් සියල්ල ඩැහැ ගත්තේ ය. මෙවර ඔහු එය කරන්නේ වෙනත් ආකාරයකට ය. එය වේලාසන තේරුම් ගැනීම අප කාටත් වැදගත් වනු ඇත.
ජනමත විචාරණයකට නොයා සංශෝධනය කළ නොහැකි වගන්ති 83 වන ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) අනු ව්‍යවස්ථා වල සඳහන්ව ඇත. ඒ අනුව 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, වගන්ති වලට අමතරව 30 සහ 62 වන වගන්ති සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලයකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය වෙයි. රනිල් වික්‍රමසිංහ ඔහුගේ නීතීඥ වරුන් ලවා උත්සාහ කරනවා ඇත්තේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ කුමන හෝ හිලකින් රිංගා විධායක අගමැති වරයා වීමට විය හැක. මේ පිළිබඳ අවධානයෙන් සිටීම වැදගත් ය. https://www.ft.lk/columns/Abolishing-the-executive-presidency/4-754584
"ගැහැණු අපි එක මිටට" සමුළු දැක චන්ද්‍රිකා තැති අරන්...
රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන තවත් පෙරමුණක් වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ලවා විපක්ෂයේ සිටින කණ්ඩායම් එක පිලකට ගෙන මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහට අවශ්‍ය සහය ලබා ගැනීමය. ඒ අනුව පසුගිය දා චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඇයගේ පැරැණි න්‍යායාචාර්‍යවරුන් පිරිසක් කැඳවා සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කෙසේ හෝ වැලැක්වීමය. ජාතික ජන බලවේගය සංවිධානය කරන "ගැහැණු අපි එක මිටට" සමුළු දැක චන්ද්‍රිකා තැති ගත් බව ආරංචිය. එහිදී කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ එක් දේශපාලන විශේෂඥයකු ප්‍රකාශ කොට තිබුනේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය නතර කල නොහැකි බවය. දෙවෙනි සාකච්ඡාවට එම න්‍යායාචාර්‍ය වරයා නොකැඳවීමට චන්ද්‍රිකා වගබලා ගත්තේ ඔහු නිසා ඇයගේ ව්‍යාපෘතිය අසාර්ථක වීමට ඉඩ ඇති නිසාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ලන්සාගේ කණ්ඩායම , ඩලස්ගේ නිදහසේ කොටසක් සහ තවත් අඩුම කුඩුම කිහිපයක් එකතු කොට චන්ද්‍රිකාගේ නායකත්වයෙන් දැන් පෙරමුණක් සකස් වෙමින් ඇත. සිරිසේන පසුගිය දා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නම් අත් දෙකම උස්සන බවකි. එය ඉබේ සිදුවූවක් නොවේ. බළලා මල්ලෙන් එළියට පැණීමකි.
සියල්ලන්ටම තිබෙන්නේ එකම බියකි...
මොවුන් සියල්ලන්ටම තිබෙන්නේ එකම අරමුණකි. ඒ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වලකාලීමයි. ඔවුන් දන්නා එක් කාරණයක් ඇත . එනම් ජාතික ජන බලවේගය මෙම මැතිවරණය කුමක් වුවත් එය ජයග්‍රහණය කරන බවය. එම නිසා අනෙකුත් දේශපාලන පක්ෂ කණ්ඩායම් සියල්ලන්ටම එකතු වීමට පොදු හේතුවක් ඇත. එනම් කොක්කෙන් හෝ කෙක්කෙන් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වැලැක්වීමයි. මන්ද ඔවුන් මෙම මැතිවරණය ජයග්‍රහණය කළ දින සිට ඔවුන්ගේ දේශපාලනය අවසන් වන බව ඔවුන් සියල්ලෝම දන්නා නිසාය . ඔවුන්ගේ අයථා වත්කම් , දේපළ ඔවුන්ට අහිමි වන නිසාය . පරණ නඩු ගොණු එලියට එන නිසාය. හිරේ විලංගුවේ ලගින්නට වන නිසාය . කොටින්ම ඉන් පසු රටේ ජනතාව ඔවුන්ට නැවත බලය ලබා නොදෙන නිසාය. එසේ බලය දීමට හෝ ජනයාට එපා නොවන ලෙස ජාතික ජන බලවේගය රට කරවන නිසාය.
හොරගල් අහුලන්නේ ඒකයි..
පොහොට්ටු රාජපක්ෂලා හොරගල් අහුලමින් සිටී. ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න විමසූ විට පිළිතුරක් නොදෙන්නේ ඔවුන්ගේ එකම ගැලවුම් කරුවා රනිල් වික්‍රමසිංහ නිසාය. මන්ද ඔවුන්ට අවශ්‍ය අන් කිසිවක් නොව දැනට තිබෙන වරප්‍රසාද භුක්ති විඳිමින් ආරක්ෂිතව සිටීමට ය. හොරකම දිගටම කරගෙන යෑමය. අමතරව 2025 දක්වා පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කොට මැතිවරණයකට යාමට හෝ රනිල් වික්‍රමසිංහ හරහා මාමණ්ඩිය කලා සේ ලාම්පු කළගෙඩි සෙල්ලමක් දමා පාර්ලිමේන්තුවේ කාලය දික් කර ගැනීමට ය.
සජබයේ උපුල් ජයසූරිය ප්‍රමුඛ නීතීඥ කණ්ඩායමක් පසුගිය දා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ඔවුන් ද සහයෝගය දෙන බවකි. සජබටද අවශ්‍ය ජනාධිපතිවරණයකට වඩා මහ මැතිවරණයකට ගොස් අඩුම තරමේ ජාම බේරා ගැනීමට ය. මොවුන් සියල්ලන්ටම පරාජයේ අහිමිහිරි බව දැනෙන්නට පටන් ගෙන ඇත. අවසානයේ මොවුන් සියල්ලෝම එකම කඳවුරකට එකතු වනු ඇත. ඒ රටට හෝ ජනතාවට තිබෙන ආදරයකට නොව ඔවුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කර ගැනීමේ පරම අභිලාෂයෙනි.
ජනයා අවබෝධ කරගත යුතු වැදගත් කරුණ...
රටේ ජනයා මෙහිදී අවබෝධ කරගත යුතු වැදගත් කරුණ වන්නේ මෙම දූෂිත දේශපාලකයන් එකතු වන්නේ අන් කිසිවක් නිසා නොව ඔවුන්ගේ සුඛවිහරණය ආරක්ෂා කරගැනීමට බවය. ඔවුන් වටා සිටින චෞරතන්ත්‍රය (ජාවාරම් කරුවන්ද ඇතුළුව) විශ්වාස කරන්නේ ඔවුන්ගේ පැලැන්තියට දූෂිත ව්‍යාපාර කරගැනීමට ඉඩ දෙන පාලනයක් රටේ පවත්වා ගැනීමය. එම නිසා මොවුන් සියල්ලෝම පන්නා දැමිය යුතුය. දේශය ගොඩනැගීමේ නව පුනරුද ව්‍යාපාරයක අවශ්‍යතාවයක් ඇත. එය කළ හැක්කේ අදූෂිත පාලනයකටය. එවැනි කණ්ඩායමක් තෝරා ගැනීමට රටේ ජනයා පෙරමුණ ගත යුතුය.
ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
shantha323@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:
Post a Comment