Monday, 12 February 2024

බුද්ධ ශාසනය නම් යකඩ මල්ලට ගුල්ලන් ගසද්දී මහනාහිමි පදවි තිස් එකක්..! -අහෝ, ශ්‍රී ලාංකික බුදු සසුන 2 වන කොටස-

-කුඩගම්මන සීලරතන හිමියෝ ලියති

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.12, ප.ව.11.45) “අහෝ, ශ්‍රී ලාංකික බුදු සසුන..!” මැයෙන් ලංකා ඊ නිව්ස් වෙත පසුගිය ජනවාරි 25 දා මා ලියූ පසුගිය ලිපිය පළ වී නොබෝ දිනෙකින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දෙනම ම, “මෙව්ව කිවුවම අපිට අන්තර්ජාලයෙන් බනිනවා,” යයි ඤුරු ඤුරු ගෑ පුවත් දෙකක් දක්නට ලැබුණි. තම ආධිපත්‍යයෙහි පවත්නා පොල්ගොල්ල, බෝධිමල්කඩ විහාරයේ දහම්පාසැල් ත්‍යාග ප්‍රදානෝත්සවයකදී අස්ගිරි මහනාහිමිත්, තමන් වහන්සේ බැහැදකින්නට ආ කවුද කෙනෙකු සමග නිල නිවසේ දී ඒ ආසන්න ම දිනෙක මල්වතු මහනාහිමියනුත් මේ ඤං ඤුං ගෑම කර තිබුණ අතර, දෙදෙනා ම ඒ ලිපියේ කියා තිබුණාක් මෙන් අද මහනායක පෞරුෂයේ තරම පෙන්වා තිබුණි. ඇත්තට ම ප්‍රාථමික පන්තියක දරුවන් මෙන් ඤුරු ඤුරු නොගා ඒ දෙදෙනාවත් එකතු වී අපට මෙහෙම කියන්නේ කුමක් නිසා දැ’යි සාකච්ඡා කරන්නට තිබුණි.

ශ්‍රී ලංකාවේ මහනාහිමි පදවි තිස් එකක් තිබේ..

ඒ ලිපිය පළවී නොබෝ දිනෙකින් මා ඇමතූ තරුණ හිමි නමක් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මහනාහිමි පදවි තිස් එකක් තිබෙන බව ය. ඒ සියම් මහා නිකායේ (අස්ගිරි, මල්වතු, කැලණි, කෝට්ටේ, රංගිරි දඹුළු, දක්ෂිණ ලංකා, ඌව වෙල්ලස්ස සහ වනවාස) මහනාහිමිවරු අට නමකි. අමරපුර සංඝ සභා‌වේ මහනාහිමිවරු විසි දෙනමකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ එක් නමකි. සියල්ල තිස් එක් නමකි. රටේ ම සමස්ත භික්ෂු සංඛ්‍යාව විසිපන්දහසක් නැති අතර, ගණනක් හරියට කියන්නට ක්‍රමයක් ද නැත. මහනායකවරු ගණන කෙතරම් වුව ද, කිසිදු නිකායක්, පාර්ශවයක්, මහනායක තනතුරක් නොපිළිගන්නා, බුද්ධ ශාසන අමාත්‍යාංශයෙහි ලියා පදිංචි නොවෙන, බුදුන් වහන්සේට, සැරියුත් මහරහතන් වහන්සේට ද සාමණේර උපසම්පදා ලියාපදිංචියක්, නිකායක් නොතිබුණ බවත්, උන්වහන්සේලාගේ අනන්‍යතාව කාටවත් ගැටළුවක් නොවුණ නිසා හැඳුනුම් පතක් නොතිබූ සේ ම තමාට ද අවශ්‍ය නැතැ’යි ප්‍රසිද්ධියේ තර්ක කරන භික්ෂුන් වහන්සේලා ද දහසකට වැඩි ගණනක් ද රටෙහි සිටින නිසා ය. මේවාට විසඳුම් සෙවීමට නොහැකි වී තිබෙන්නේත් මේ මහනායකවරු බහුලත්වය ම මිස අනෙකක් නොවනවා නිරනුමානය.

නව සහශ්‍රකයෙහි භික්ෂු අධ්‍යාපනය සැකසිය යුතු ආකාරය..

විසි එක්වන සහශ්‍රකය පෙනෙන මානයේ ශාසන මාමක තරුණ භික්ෂූන් කිහිප දෙනෙකු නව සහශ්‍රකයෙහි භික්ෂු අධ්‍යාපනය සැකසිය යුතු ආකාරය පිළිබඳ යෝජනාවලියක් සකසා එවක බෞද්ධ කටයුතු කොමසාරිස්තුමන්ට ඉදිරිපත් කර එය එවක රජයට උපදෙස් දුන් උත්තරීතර සංඝ මණ්ඩලය (මෙය කවුරු පත්කළ කවුරු කටයුතු කරන තැනක් දැ’යි නොදන්නා අතර, මහාචාර්ය අගලකඩ සිරිසුමන විසි වසරක් ම එහි ලේකම් ලෙස කටයුතු කරන බව යූටියුබයක සඳහන් කරයි) හරහා ක්‍රියාත්මක කරවීමට පෙරමුණ ගන්නා ලෙස ඉල්ලීමක් කළේ ය. කිසිදු බලතලයක් නොමැතිමුත් සැබෑ ශාසන මාමකත්වයක් ඇතිව මේ ලියවිල්ල සැකසූ භික්ෂූන්ගෙන් අද ලක්බිමෙහි වැඩ සිටින්නේ මාහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පමණි.  ඒ ලිපිය ලද එවක බෞද්ධ කටයුතු කොමසාරිස්තුමන් එදින ම එව එවූ භික්ෂූන්ට වහා ම සිය කාර්යාලයට වැඩමවන ලෙස ඉල්ලීමක් කර තිබුණි. විනාඩි කිහිපයකට සීමා වී තිබුණ එම කැඳවීම හුදෙක් එතුමන්ගේ ප්‍රසාදය පළ කිරීම සඳහා ම වූවකි. එතුමන් පවසා තිබුණේ, උත්තරීතර සංඝ මණ්ඩලයට එවන් ගැටළු නැති බවත්, උන්වහන්සේලාට ඇත්තේ විවිධ හේතූන් මත සිය විහාරස්ථානවලට දායකයන් පූජා කර දායක ගමෙහි තැන තැන තිබෙන පර්චස් පහ දහයේ කුඩා ඉඩම් කැබලි රජයට පවරා දෙන්නේ කෙසේ ද, ඒ වෙනුවට ඒ ප්‍රදේශවල තිබෙන රජයේ ඉඩම්වලින් එක් තැනකින් අක්කර දෙක තුනක් පන්සලට ලබා ගන්නේ කෙසේ ද වැනි ප්‍රශ්න බවත්, ඒ ලියවිල්ලේ තිබුණ ආකාර උතුම් අදහස් දරණ තරුණ භික්ෂූන් ද දිවයිනෙහි සිටින බව දැන උන් වහන්සේලා පෞද්ගලික ව දැක ගැනීමේ ආශාවක් තමාට ඇති වූ නිසා ඒ කැඳවීම කර තිබුණ බවත් ය.

මහනායකවරු තිස් එක් නමක් ශ්‍රී ලංකාවට අවශ්‍ය ද?

මහනායකවරු තිස් එක් නමක් ශ්‍රී ලංකාවට අවශ්‍ය දැ’යි සිතා ගත නොහැකි අතර ම, බුදු සසුන මේ සා අතවරයකට පත් ව ඇත්තේ සතර දිග් භාගයෙහි මහනාහිමිවරු තිස් එක් නමක් වැඩ සිටිය දී වීම ම විහිළුවක් නොවන්නේ ද? ඒ සා විශාල සංඛ්‍යාවක් මහනායකවරුන් ම සිටින්නේ කෙසේ ද? අද දිවයිනට සිදුව තිබෙන මහත් ම ව්‍යසනය වන සෑම ඉසව්වක් පුරා ම පැතිර පවත්නා අසමගිය ම මිස, එය වෙන අන් යමක් නොවේ. කුල, නිකාය, පළාත් වශයෙන් බෙදී සිටින මේ අය අතර ව්‍යාපාරිකයන් රජයේ සේවයෙන් විශ්‍රම ලැබූවන්, අලි හිමියන් ආදි නොයෙක් තරාතිරම්වල අය සිටින අතර, බුද්ධිමය දේපොළ මංකොල්ල කා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ශාසන භාරධාරී අනුනායක කෙනෙකු ද සිටින බවත් ලොව පුරා ප්‍රසිද්ධ ය. නොයෙක් තැන්වල නිතර හමුවන මේ පිරිස් එක් ව වරින් වර ශාසනය රැක දෙන ලෙස පාර්ලිමේන්තුව විගඩමක් කරගෙන සිටින දේශපාලන බලධාරීන්ගෙන් ඉල්ලීම ම කෙතරම් විහිළුවක් ද? ඉන් පැහැදිළි වන්නේ, එක් අතකින් බුද්ධ ශාසනය යනු කුමක්දැ’යි ඒ අයවත් නොදන්නාකම ය. එසේ නොමැති නම්, දරන්නට බැරි වගකීම් භාරගෙන විඳවන බව ය.

තායිලන්ත 'සඟරජ' පාඩම..  

ගැටළු මධ්‍යයේ වුව ද, රටක් වශයෙන් මෙන් ම භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාවෙන් විශාල වූ ද තායිලන්තයෙහි කිසිදු භික්ෂුවකට සඟරජ හිමියන්ගේ අවසරයෙන් තොර ව කිසිවක් කළ නොහැක. රටින් පිටවන හැම භික්ෂුව ම සඟරජ හිමියන්ගේ අවසරය ගතයුතුවාක් මෙන් ම, භික්ෂුත්වයෙහි රැඳී සිටිමින් එයට නොගැළපෙන කිසිවක් ලොව කොතැනක දී වත් කළ නොහැක. 2013 ජුනි 18 ධනවත් තරුණ තායි භික්ෂූන් දෙදෙනෙකු කුලී පදනමින් ගත් ගුවන් යානයක නැගී උතුරු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ගොඩ බැස්සා පමණි. ගුවන් යානය තුළ හිඳිමින් ලබාගෙන ඔවුන් අන්තර්ජාලයට එක් කර තිබුණ සේයා රූ භික්ෂුත්වයට නොගැළපෙන බව තීරණය කළ උත්තරීතර සංඝ මණ්ඩලය ආපසු හරවා යැවූයේ ගිහි මිනිසුන් දෙදෙනෙකි.

“මමත් දැන් පොරක්” මානසිකත්වය..

ඉහළ සිට පහළට පොදුවේ ශ්‍රී ලාංකික භික්ෂූන් බහුතරයකට විශාල පෞරුෂ ගැටළුවක් තිබෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය සිදු වන්නේ පැවිදි කරවීමෙහි තිබෙන අවිචාරවත් බව නිසා ම ය. නොදරුවන් පැවිදි කරවයි. පැවිද්ද ගැන පැවිදි වන තැනැත්තාට තබා පැවිදි කරවන උපාධ්‍යායන් වහන්සේටවත් පැහැදිළි වැටහීමක් නොමැත. විනාඩි පහකට පෙර, රැස්ව සිටින සියලු වැඩිහිටියන්ට දණගසා වැඳ ඊ ළඟ විනාඩි පහට පසු ඒ සියල්ලන් ම සිවුර පොරවා ගත් නිසා මේ නොදරුවා ඉදිරියෙහි පසඟ පිහිටුවා වැඳ වැටෙයි. ඒ මොහොතේ ඔහුගේ අළුත් මනසට කා වැදෙන “මමත් දැන් පොරක්” මානසිකත්වය පැවිද්දෙහි රැඳී සිටින මොහොතක් පාසා උත්සන්න වෙමින් ඔහු ව මානසික රෝගියෙකු කරවන්නේ පන්සල්/පිරිවෙන් පරිසරයයි. බොහෝ තැන ප්‍රකට වන ගැටළු සහගත භික්ෂු පෞරුෂය එහි ප්‍රතිඵලයකි. ලිංග භේදයකින් තොර ව පැවිදි කෙනෙකුන් දෙස බැලූ බැල්මට තමන් අමුතු කෙනෙක්, වෙනස් කෙනෙක්, කැපී පෙනෙන්නට දඟලන කෙනෙක් නොවන කෙනෙකු සිටී නම් ඒ ඉතාමත් කලාතුරෙකින් ය.

දිළිසෙන පට සිවුරක් කරපින්නා ගත් අසනීපකාරයන්..

විශේෂයෙන් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ අය, විද්‍යාලංකාර පිරිවෙණේ අය සහ තව සමහර පැවිදි අය ද සඟල සිවුරක් හෙවත් දෙපට සිවුරක් යයි සිතන දිළිසෙන පට සිවුරක් කරපින්නාගෙන යයි. බුදුන් වහන්සේ වදාළේ දෙපට සිවුර, සීතල මග හරවා ගැනීමට, රැය පහන් කිරීමට සිදු වූ තැනක බිමට එලා ගැනීමට අතිරේක සිවුරක් ලෙස මිස, බොරු සෝබනයට දිළිසෙන සිවුරක් ම ප්‍රවේසමෙන් නවා සකස් කර, කරපින්නාගෙන යාමට නොවන අතර, මේ නාඩගම් දකින්නවුන් ඒවා පිළිබඳ ව සිනාසෙන්නේ අසනීපකාරයන් බව දැනගෙන ම ය.

‘අග්ගමහා පණ්ඩිතලා’

ඔය  අයගේ නම් වලට තියෙන පට්ටන්දර බලන්න. දැන් දිවයිනේ සුනඛයෙකුට පය ඔසවා සුළුදිය පහ කරන්නට පඳුරක් සොයා ගැනීමට නැති තරම් ‘අග්ගමහා පණ්ඩිතලා’ ය. මුලින් ම, බුරුම රජයෙන් ඔය තනතුර දී තිබුණේ ඡට්ඨසංගායනා නමින් ක්‍රි.ව. 1871 මින්ඩොන් රජතුමන්ගේ ඇරයුමෙන් පැවති ත්‍රිපිටක සංගායනාවට ශ්‍රී ලංකාවෙන්  සහභාගිවූ වියත්, ධර්මධර භික්ෂූන් වහන්සේලා ස්වල්ප දෙනා වහන්සේ නමකට ය. එහෙත් අද . . . ? කීර්තිමත් බෞද්ධ දර්ශන මහාචාර්යවරයෙකු ව සිටි අභාවප්‍රාප්ත ඩබ්. එස්. කරුණාරත්නයන්ගේ හඬපටයක් අන්තර්ජාලයෙහි තිබේ. අසූව දශකයේ පමණ එහි එතුමන් පවසන්නේ ඇමරිකානුවන් වූ සිය දරු තිදෙන සමග රටපුරා සංචාරය කරමින් බෞද්ධයෙකු පෙන්වන්නට එතුමන් දැරූ වෙහෙස අසාර්ථක වූ සැටි ය.!

උඩුවියන් පාවඩ වල නිස්සාරතාවය..

ශ්‍රී ලාංකික භික්ෂුව හැම විටෙක ම විශාල අභිමානයක්  බලාපොරොත්තු වන්නෙකි.  උඩුවියන්, පාවඩ, පිරුවට නොමැති ව පංශුකූලයක්, දානයක්, බණක් කෙරෙන්නේ ම නැත. බෝධිරාජ කුමාරයාගේ මාළිගයට ගෙවැදෙන දින පාවඩ එලූව ද එයට බුදුන් වහන්සේ පය නොතැබුවේ, උපන්දා පටන් උඩුවියන් පාවඩ අතර ගතවුණ ජීවිතයෙහි තිබුණ නිස්සාරතාව උන් වහන්සේ මැනවින් වටහා ගෙන තිබුණ නිසා විය හැකි ය.

තථාගත බුදුන් වහන්සේ කළ දේශනා දහයක්..

ආගමික පිළිවෙත් ඔස්සේ ජීවිතාර්ථය සොයන්නවුන් පිළිබඳව තථාගත බුදුන් වහන්සේ කළ දේශනා දහයක් අංගුත්තර නිකාය, පඤ්චක නිපාතයෙහි, අරඤ්ඤක වග්ගයෙහි දැක්වේ. මේ සූත්‍ර දහයෙන් ම කියැවෙනුයේ එක ම කාරණා පහ ය. මුල් ම සූත්‍රය අරණ්‍ය ගත වෙමින් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමේ අදහසින් කෙනෙකු ඉදිරියට එන්නේ මක් නිසාදැ’යි විස්තර කෙරෙන අතර, පංසුකූල සිවුරු දැරීම, පිණ්ඩපාතික වීම, ඒකාසනික වීම ආදි වශයෙන් විවිධ මාර්ග ඔස්සේ යොමු වන්නේ එක ම පිරිසක් බව පැහැදිළි කරමින් ඒ කාරණ පහ ම නැවත නැවත දහ වරක් ම වදාරා තිබේ. ඒ සූත්‍රයන්හි පැවසෙන්නේ වර්ග පහක පුද්ගලයන් ආගමික ජීවිතවලට ඇතුළත් වන බව ය. ඒ මෝඩකමින් මුසපත් වූවන්, පවිටු අදහස් ඇතිවුන්, වියරුවෙන් මනස අවුල්වූවන්, බුදුන් වහන්සේ විසින් වර්ණනා කළ නිසා ඒ මගට යොමුවූවන් සහ අඩු බලාපොරොත්තු සහිත ව, සතුටින්, කෙළෙස් සුණු විසුණ කර දැමීම පිණිස විවේකීව සිටීමට මෙය ම මග බව දැනගෙන ආගමික ජීවිතයකට යොමු වන්නවුන් ය. මේ පස්කට්ටුව අතරින් ශාසන සම්පදාව සාර්ථක වන්නේ අවසානයේ සඳහන් කෙරෙන බලාපොරොත්තු අඩු, ප්‍රීතිමත්, සැහැල්ලු පැවතුම් ඇති, විවේකී ව දවස් ගෙවනු කැමති අයට පමණක් බව බුදුන් වහන්සේ වදාළහ. ඒ අනුව, ඔබට ඇසුරට ලැබී තිබෙන කෙනා කවුදැ’යි වටහා ගැනීම ඔබට ම භාර ය.

පැවිදිවන අයගේ ව්‍යාජ සිහින..

ශ්‍රී ලංකාවේ පැවිදි වන කිසිවෙකුත් ඔය කිසිවක් දැන පැවිදි වෙනවා නොවේ. විවිධ උසස් තනතුරු, ධනධාන්‍ය සම්පත් ඇති තැන්වල බොහෝවිට පැවිදි කරවන්නේ ම නෑ කෙනෙකි. ඒ බූදලය සහ පාරම්පරික පදවි තානාන්තර අනාගතයෙහි හිමි කරදෙන පොරොන්දුව මත බොහෝවිට පවුලෙන් ම එන පෙළඹවීම මත ය. එය හරියට ම නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සිහිනයට බොහෝ දුරට සමාන ය. දිවයිනේ වෙන කෙනෙකුට ඒ ගැන සිහිනයක් වත් දකින්නට බැරි ය. නමුත්, සෙසු තැන්වල පැවිදි වන බහුතරය කිසිත් නොදන්නා දිළින්දන් ය. වත් පොහොසත්කම් තිබුණ ද, අවුල් වූ පවුල්වල දරුවන් ය. මේ අවුල් සහගත පසුබිම නිසා ම, බහුතරය පන්සලේ දී මුහුණ පාන්නට සිදුවන සුවහසක් අතවර විඳදරාගෙන දැන උගත්කමක් ඇති කරගෙන පණ ගැට ගසා ගන්නට සමත් වන අතර, පන්සල්වල ඉතිරි වන්නේ බොහෝවිට කිසිත් කර කියාගත නොහැකි අහිංසකයන් හෝ අර මුලින් කී හතර කොටසට අයත්වන්නවුන් බව එදිනෙදා පුවත්වලින් දැක ගත හැකි ය. ඒ දිනවල චන්දිම විජේබණ්ඩාර මහාචාර්යතුමන් දේශනවලදී නිතර පැවසුවේ දක්ෂ ගොවියන් අස්වනු නෙලාගෙන ගෙදර යන අතර, පඹයින් ඉපනැල්ල රැකබලා ගනිමින් වෙලෙහි ම වේලි වේලී දිරා යන බව ය. මෙයට හොඳ නිදසුනක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වෙයි. එය බලංගොඩ කස්සප නම් භික්ෂුව ගිහි පිරිසක් නිවෙසක පිරිත් දේශනයක් පැවැත්වීමට සූදානම් වන මණ්ඩපයක් ඉදිරියෙහි කතාවක් පවත්වන යූ-ටියුබයකි. ඔහු පවසන්නේ, ඒ ගිහි පිරිස මහා වරදක් කරන බව ය. තම නිවසේ ආගමික කටයුත්තක් තමන් කැමති කෙනෙකුන් සමග, කැමති ලෙසකින් කර ගන්නට ඔය දූපතෙහි වැසියෙකුට ඉඩක් නොමැති බවක් පැහැදිළි ව ම පෙන්නුම් කෙරෙන එම හැසිරීමට වැඩි දවසක් නොගොස් ඥානවන්ත බෞද්ධයෙකු අතින් විසඳුමක් ලැබෙනු ඇත.

ඉදිකිරීම්වල නිෂ්ඵල බව..

ගඟසිරිපුර ධම්මාලෝක හිමි කිසිවක් නොවැවෙන ගල්තලා මත සෑ ඉදිකරවන බවත්, එනිසා පරිසරයට කිසිදු හානියක් නොවන බවත් අවධාරණය කරමින් ව්‍යාපාරයක් කරගෙන යයි. ඔය රටට අඩු චෛත්‍ය, බෝධි සහ බුදුපිළිම ද? ඔය ගොඩනැගිලිවලින් ශාසනය රැකෙනවා නම් තව අඩු මොන ගොඩනැගිල්ල ද? කොයි පන්සලට ද? රුවන්වැලි සෑයෙහි හුණුපිරියම් කිරීමට පමණක් වසරකට රුපියල් කෝටියකට වඩා වැය වන බව  මෑතක දී පුවත් පතක පළ වී තිබුණි. මේ ගොඩනැගිලි එකක්වත් සදාචාරාත්මක වශයෙන්, සංස්කෘතික වශයෙන් කිසිදු මෙහෙවරක් නොකරන බව හෙවත් බුද්ධ ශාසනය නොරකින බව තහවුරු කර ඇත්තේ වරක් දෙවරක් නොවේ. මෑතක දී ම පළ වී තිබුණේ, ලොව දෛනික ව මිනීමැරුම් සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානය ලැබුණ බව ය. මේ ඉදිකිරීම්වල නිෂ්ඵල බව තහවුරු කෙරෙන තවත් සාධක අවශ්‍ය ද?

දේශපාලකයකුගේ හෝ හොරි කසමින් ගිනි පිඹින නායකකාරකාදීන්..

සෑම දේශපාලන කල්ලියක ම නායකකාරකාදීන් අටපිරිකරක්, පළතුරු වට්ටියක් රැගෙන මහනායකවරු හමුවට ගොස් ඡායාරූප මාධ්‍යවල පළ කර තිබෙනු දැකිය හැක. රටේ හැම ක්ෂේත්‍රය ම දේශපාලනික, ආගමික, ජාති, කුල පන්ති සහ පළාත් වශයෙන් භේද භින්න වී කුඩු පට්ටම් වී තිබෙන බවත් ඒ හැම දෙනාමත් තව තවත් ජනතාව භේද කරවමින් නටන විගඩම් අතහැර ජාතික වශයෙන් පිළිගත හැකි වැඩ පිළිවෙළවල් ඉදිරිපත් කර, පාරවල් අවහිර කරමින් නාඩගම් නොනටා, දියුණු රටවල මෙන්, අන්තර්ජාලය හෝ වෙනත් මාධ්‍ය ඔස්සේ, සාකච්ඡා, වාද විවාද කරමින් ජාතික වගකීමක් ඉටු කිරීමට සූදානම් වියයුතු බව එක නායක කෙනෙකු අතින්වත් කියවෙන්නේ නැත. පසුගිය මැතිවරණයට පෙර අස්ගිරි මහාවිහාරයෙහි මහනායක, අනුනායක, කෝට්ටේ පාර්ශවයේ අනුනායක සමග කිරිබත්ගොඩයා ගෝඨාභය රාජපක්ෂට ඔටුනු පැළැන්දවීමට නොකළ දෙයක් නැති බව කවුරුත් දනිති. ඔහුගේ පස්ස බිම ඇනී, කුල්ල කුජීත වූ අද දවසේ ඒ එකෙකුදු මීක් නැත. ඔය නායකවරු හැමෝමත් කවර දේශපාලකයකුගේ හෝ හොරි කසමින් ගිනි පිඹින බව කවුරුත් දන්නා අතර, පාරම්පරික ව උරුම කරගෙන තිබෙන නායකකම් සමග ඒ දේශපාලනය කරපින්නාගෙන  කටයුතු කර රට විනාශ කිරීමේ වගකීමෙන් ඒ කාටවත් ම මිදිය නොහැකි බව ද සිහිපත් කරවනු කැමැත්තෙමි.

බුද්ධ ශාසනය නම් යකඩ මල්ලට ගුල්ලන් ගසා තිබෙන අද දින..

මාධ්‍යයෙහි නිතර මතු වන තවත් එක විශේෂ පුවතකින් අද ලිපිය අවසන් කරමි. ශ්‍රී ලංකාව පුරා සත්ව උවදුර බරපතළ ප්‍රශ්නයක් බවට අද පත් ව තිබේ. මොණරුන් සහ වෙනත් පක්ෂීන් ධාන්‍ය වගාවන් වනසන අතර, මුවන් ගෝනුන්, අලි-ඇතුන්, දඬුලේනුන්, රිළවුන් සහ වඳුරන්ගෙන් සෙසු භෝග පමණක් නොව නිවෙස්වල වහළ පවා රැක ගත නොහැකි තත්වයකට පත් ව තිබේ. සමහර විට, පන්සලට ලැබෙන වී සහ පොල් ආදායම දැනෙන සුළු ලෙස අඩු වී, නිතර වහළයෙහි අලුත්වැඩියා කටයුතු ද කරන්නට සිදු වන විට මහනාහිමිවරුන්ට නොබෝ දිනෙකින් ඇස් ඇරෙනු ඇති අතර, එතෙක් මේවායින් පාඩු විඳින්නවුන් විවිධ යෝජනා කරන මුත් වගකිව යුත්තන් තව ම නිහඬ ය. මේ තත්වය ඇති වූයේ, කිසිදු පාරිසරික අධ්‍යයනයකින් තොර ව මුදල් වංචා කරන අදහසින් ම රාජපක්ෂලා එතෙක් හෙමින් හෙමින් කෙරෙමින් තිබුණ පරිසර හානිය වේගවත් ව මහා පරිමාණයෙන් කරන්නට පෙරමුණ ගැනීම නිසා ය. එය මග හරවා ගත හැකි එක ම ක්‍රමය අඩු ම තරමින් පන්සල් ඉඩම්වලවත් පරිසර සංරක්ෂණය කිරීමක් ලෙස සලකා, නැවත වනවගා කරවීම වැනි වැඩ සටහන් දියත් කරවීම ය. බුද්ධ ශාසනය නම් යකඩ මල්ලට ගුල්ලන් ගසා තිබෙන අද දින අපට කළ හැක්කේ තියෙන මලු සියල්ල විසිකර දමා නැවත පටන් ගැනීමට ය.

බුදු දහම සොයා සංචාරකයන් ශ්‍රී ලංකාවට නොඑන්නේ ඇයි?

ලංකාවෙන් බටහිරට දිය හැකි හොඳ ම සම්පත බුදු දහම ය. එහෙත්, තායිලන්තයට, බුරුමයට, තිබ්බතයට පමණ බුදු දහම සොයා සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත. එසේ නොපැමිණෙන්නට හේතු ද කෙළවරක් නැති අතර, ඒ එකක්වත් විමසිලිමත් ව බලා මග නොහැරවිය හැකි ඒවා නොවේ. අඩු ම තරමින්, මහනායක තනතුර සම්මානිත පදවියක් සේ තබාගෙන තම තමන්ගේ සංඝ සභාවලට අයත් තරුණ දැන උගත් පටිබල සම්පන්න භික්ෂූන් වහන්සේ යොදවාගෙන අවස්ථාවෝචිත ව කිවයුතු නොකියවයුතු දේවත් කල්වේලා ඇති ව දැනගෙන කථා කරමින් කාගෙ කාගේත් සුරක්ෂාව සඳහා කටයුතු කරන්නට හැකි නම් මේ සිදුවන විනාශය බොහෝ දුරට මග හරවා ගත හැකි ය.    

-කුඩගම්මන සීලරතන හිමි


හිමි ලියූ ලිපි එකතුව
https://www.lankaenews.com/category/80

No comments:

Post a Comment