Thursday, 29 February 2024

පලස්තීන ජාතිකයන් තිස්දහසක් ඝාතනය කළ නෙතන්යාහු හමාස් දීගය..! ඔස්ලෝ සාම ගිවිසුම සහ අගමැති රබීන් මරා දමා එක පතේ කෑ හැටි..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.29, ප.ව.11.30) දිනය: වසර 1995 නොවැම්බර් 5 වන දා

වේලාව: රාත්‍රී 9:30
ස්ථානය: ඊශ්‍රායලයේ ටෙලි විවි හි Kings of Israel Square

ලක්ෂයකට අධික ජනතාවක් එහි රැස්ව සිටියේ ඔස්ලෝ සාම ගිවිසුමට සහයෝගය දැක්වීම සඳහාය. ඊශ්‍රායල අගමැති යිට්සාක් රබීන් (Yitzhak Rabin) එහි රැස්ව සිටි ජනතාව අමතා "ජනතාවගෙන් බහුතරයකට සාමය අවශ්‍ය බවත් ඒ සඳහා අවදානමක් ගැනීමට ඔවුන් සූදානම් බවත් මම සැමවිටම විශ්වාස කළෙමි" යැයි ආශ්වාදයෙන් යුතුව පැවසීය. ඔහු එහි රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත සාම ලැදි ඊශ්‍රායල ජනතාව සමග එක්ව “සාමයේ ගීතය” ගායනා කළේය.

අගමැති රබින්ට වෙඩි…

රැලිය අවසානයේ අගමැති රබින් නගර ශාලාවෙන් බැස ඔහුගේ මෝටර් රථය දෙසට ගමන් කළේය. ඔහු මෝටර් රථයට ඇතුළු වන විට, නාදුනන තරුණයකු පිටුපස සිට සිය බෙරෙටා 84F අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයකින් රබින්ට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළේය. රබින්ගේ උදරයට සහ පපුවට වෙඩි ප්‍රහාර පහර එල්ල විය. අගමැති රබින් අත තිබූ “සාමයේ ගීතයේ” පද රචනය සහිත පත්‍රිකාව ලෙයින් තෙත් විය. ආරක්ෂකයෝ වහාම ඔහුව ලඟම තිබෙන රෝහලට රැගෙන ගිය නමුත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුනි. ඔස්ලෝ සාම ගිවිසුමේ විනාශයේ ආරම්භය ඒ සමග සටහන් විය.

කොකා ගැස්සුවේ බෙන්ජමින් නෙතන්යාහු..

ප්‍රහාරකයා වූයේ ඊශ්‍රායල නීති ශිෂ්‍යයෙකු සහ අන්ත ජාතිකවාදියෙකු වන යිගාල් අමීර් ය. අගමැති රබින් මරාදැමීම සඳහා ඉලක්කය ගත්තේ අමීර් ය. එහෙත් ගැස්සූ කොකා  වූයේ ලිකුඩ් පක්ෂයේ නායක තරුණ බෙන්ජමින් නෙතන්යාහු ය. අසීමිත බල තණ්හාවකින් සිටි තරුණ බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල ආගමික අන්තවාදී සහ අන්ත දක්ෂිණාංශිකයන් සමග එක්ව ඔස්ලෝ සාම ගිවිසුම විනාශ කිරීමට දැවැන්ත විරෝධතාවයක් නිර්මාණ කළේය.

රබින් ද්‍රෝහියෙක් කරයි….

ලිකුඩ් පක්ෂය සහ අනෙකුත් දක්ෂිණාංශික කණ්ඩායම් විසින් සංවිධානය කරන ලද විරෝධතාවයන්හිදී කම්කරු පක්ෂය නාසීන්ට සහ රබින් ඇඩොල්ෆ් හිට්ලර්ට සංසන්දනය කරමින්, "රබින් මිනීමරුවෙකි" සහ "රබින් ද්‍රෝහියෙකි" යනුවෙන් ප්‍රකාශ කළහ. රබින්ව SS  නාසි නිළ ඇඳුමකින් නිරූපනය කළේය.

නෙතන්යාහුගේ අවමංගල පෙරහැර…

වසර 1995 ජුලි මාසයේ පැවති රබින් විරෝධී රැලියකදී මිනී පෙට්ටියක් සහ එල්ලුම් ගහක් සහිත අවමංගල්‍ය පෙරහැරකට නායකත්වය ලබා දුන්නේ නෙතන්යාහු විසිනි. එහිදී විරෝධතාකරුවෝ "Death to Rabin” (රබින්ට  මරණය) යනුවෙන් හඬ නැගූහ. මේ රබින් විරෝධය ඔහුගේ ජීවිතයට තර්ජනයක් බව අවබෝධ කරගත් ඊශ්‍රායල අභ්‍යන්තර ආරක්‍ෂක අංශයේ ප්‍රධානියා වන කාර්මි ගිලන්, නෙතන්යාහු මුණගැසී රබින්ගේ ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ඔහුට අනතුරු ඇඟවීය. එබැවින් රබින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නැංවීමෙන් වළකින ලෙසට කාර්මි ගිලන් ඉල්ලීමක් කළේය. එහෙත් දේශපාලන පාදඩයෙකු වන නෙතන්යාහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

වෙඩි නොවදින කබායක් පැළඳීම ප්‍රතික්ෂේප කළා.

අගමැති රබින් ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙකු වූ අතර හිටපු කීර්තිමත් හමුදා ජෙනරාල්වරයෙකු ද විය. ඊශ්‍රායල හමුදා ප්‍රධානියා වශයෙන් ද කටයුතු කළ ඔහු නාහයට අහන්නේ නැති මුරණ්ඩු චරිතයකි. අවසානවකට, ඔහු තම ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණ නොසලකා හැරියේය. ඔහු සාම ලැදි ඊශ්‍රායල ජනතාව පිළිබඳ දැඩි විශ්වාසයක් තැබීය. ඔහු වෙඩි නොවදින කබායක් පැළඳීම පවා ප්‍රතික්ෂේප කළේය. ඔහු වෙනුවෙන් රජය මිලදී ගත් වෙඩි නොවදින මෝටර් රථය භාවිතා කිරීමට කැමති නොවීය.

රබින් ඝාතනය පිළිබඳව නෙතන්යාහුට චෝදනා..

අගමැති රබින් ගේ බිරිඳ වන ලෙයා රබින් (Leah Rabin) තම සැමියාගේ ඝාතනය පිළිබඳව ලිකුඩ් පක්ෂයේ නායක බෙන්ජමින් නෙතන්යාහුට ඍජුවම චෝදනා කළාය. කම්කරු පක්ෂයේ වර්තමාන නායිකාව වන මෙරාව් මයිකේලි ද බෙන්ජමින් නෙතන්යාහු හිටපු අගමැති යිට්සාක් රබින් ඝාතනයට හවුල් වූ බවට චෝදනා කළාය. “රබින් ඝාතනය දේශපාලන ඝාතනයක්. එය බෙන්ජමින් නෙතන්යාහු සහ ඉතාමාර් බෙන් ග්වීර් (Itamar Ben-Gvir) ගේ සහයෝගය ඇතිව සිදු කරන ලද දේශපාලන ඝාතනයක්” යැයි පැවසුවාය. ඉතාමාර් බෙන් ග්වීර් යනු අන්ත දක්ෂිණාංශික අන්තවාදී දේශපාලනඥයෙක් වන අතර ඔහු වසර 2022 සිට නෙතන්යාහු ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාය. රබින් ඝාතනය කිරීමට දින කිහිපයකට එවකට දහනම වන වියේ සිටි ග්වීර්, අගමැති රබින්ගේ නිළ රථයේ bonnet ornament එකක් සොරා ගෙන එය රූපවාහිනී කැමරාවන්ට ප්‍රදර්ශනය කරමින් “We got to his car. We’ll get to him, too.” යැයි පාරම්බෑවේය. තර්ජන කළේ ය. නෙතන්යාහු සහ ග්වීර් එදා මෙන් අදත් ජාඩියට මූඩිය ය.

ඔස්ලෝ සාම ගිවිසුම යනු කුමක් ද?

ඔස්ලෝ සාම ගිවිසුම යනු කුමක් ද? එහි බලපෑම කුමක්ද යැයි විමසා බලමු. වසර 1993 සැප්තැම්බර් 13 වන දා ඓතිහාසික ඔස්ලෝ ගිවිසුම ඇමරිකානු ධවල මන්දිරයේදී අත්සන් කෙරින.  පලස්තීන විමුක්ති සංවිධානය සහ ඊශ්‍රායල රජය අනෙකාගේ පැවැත්ම සඳහා ඇති අයිතිය පිළිගැනීමට මේ ගිවිසුම හරහා  එකඟ වූහ. දශක ගණනාවක ගැටුම් අවසන් කිරීමට කාලය බව මෙන්ම සාමකාමී සහජීවනයෙන් සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන්, ආරක්‍ෂාවෙන් ජීවත් වීමටත් සාධාරණ, කල්පවත්නා සහ විස්තීර්ණ සාමයක් අත්කර ගැනීමට උත්සාහ කිරීම මේ ගිවිසුමේ මූලික අරමුණ විය.

ගාසා තීරය යළි පලස්තීනු ජනතාවට..

ඊශ්‍රායලය වසර 1967 යුද්ධයෙන් පසුව අල්ලාගත් භූමියෙන්  ඉවත්වීමටත්,  ජෙරිකෝ සහ ගාසා තීරය යළි පලස්තීනු ජනතාවට ලබාදීමටත් එකඟ විය. වසර තිහක් පුරා ඊශ්‍රායලයේ ප්‍රධාන සතුරා වූ යසර් අරෆත් නව පලස්තීන අධිකාරිය පිහිටුවීම සඳහා පිටුවහල් ජීවිතය නිමාකර බටහිර ඉවුරට පැමිණීමට නියමිත විය. ස්ථීර දේශසීමා, යුදෙව් ජනාවාස, පලස්තීන සරණාගතයින් සහ ජෙරුසලම යන වඩාත් සංවේදී ගැටළු පසුව සාකච්ඡා කිරීමට  දෙපාර්ශව එකග වූහ. වසර 1994 ඔක්තෝබර් 14 වන දා ඊශ්‍රායල අගමැති යිට්සාක් රබීන් (Yitzhak Rabin), ඊශ්‍රායල විදේශ අමාත්‍ය ශිමෝන් පෙරේස් (Shimon Peres) සහ පලසතීන නායක යසර් අර්පත්ට  ඔස්ලෝ ගිවිසුමේ ඔවුන්ගේ කාර්යභාරය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබීය.

බටහිර ඉවුරේ පලස්තීන ස්වයං පාලනයක්..

වසර 1995 සැප්තැම්බර් 28 වන දා ඔස්ලෝ ගිවිසුමේ දෙවන කොටස ධවල මන්දිරයේදී අත්සන් කෙරෙනි. ඒ හරහා බටහිර ඉවුරේ කොටස්වල පලස්තීන ස්වයං පාලනයක් ස්ථානය කරන අතර පලස්තීන මැතිවරණ සඳහා රාමුව ද සකසනු ලැබීය. මේ ගිවිසුම යටතේ, බටහිර ඉවුර ප්‍රදේශ තුනකට බෙදා තිබිණ. සුවිශේෂී පලස්තීන පාලනය යටතේ පවතින ප්‍රදේශ (Area A), පලස්තීනුවන්ට සිවිල් පාලනය සහ ඊශ්‍රායල ආරක්ෂාව පාලනය කරන ප්‍රදේශය (Area B) සහ ඊශ්‍රායලය විසින් පමණක් පාලනය කරනු ලබන ප්‍රදේශය (Area C), වශයෙනි. අන්ත දක්ෂිණාංශික ලිකුඩ් පක්‍ෂයේ දැඩි විවේචන සහ විරෝධය මධ්‍යයේ ඊශ්‍රායල පාර්ලිමේන්තුව වන Knesset හි දී ඉතා කුඩා වැඩි ඡන්දයකින්  ගිවිසුම අනුමත විය.

යසර් අරෆත් සහ පෙරේස් හමුවක්..

වසර 1995 නොවැම්බර් 4 වන දා ටෙල් අවිව්හි පැවති සාම රැලියක් ඇමතූ අගමැති යිට්සාක් රබින්ව දක්ෂිණාංශික  යුදෙව් අන්තවාදියෙකු විසින් ඝාතනය කරනු ලැබීමෙන් හිස් වූ අගමැතිධූරයට විදේශ ඇමති ශිමෝන් පෙරේස් පත් විය. වසර 1995 දෙසැම්බර් 8 වන දා යසර් අරෆත් සහ පෙරේස් මුණගැසෙන අතර ඔස්ලෝ ගිවිසුම පිළිබඳ ඔවුන්ගේ කැපවීම යළි සපථ  කළේය. ගිවිසුම අනුව ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් දාහක් නිදහස්  කරන ලද අතර ඊශ්‍රායලය පලස්තීන නගර පහකින් සිය හමුදා ඉවත් කර ගත්තේ ය.

නෙතෙන්යාහු සහ හමාස් එක පෙරමුණකට….

අන්ත දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂයේ නායක බෙන්ජමින් නෙතෙන්යාහු ඇතුළු ජාතිකවාදීහු ඔස්ලෝ ගිවිසුමට මාරාන්තික ලෙස විරුද්ධ වූහ. අගමැති පෙරස්ගේ හමුදා ඉවත් කිරීමේ තීරණය භයානක මූලෝපායික වැරුද්දක් වශයෙන් ඔවුහු අර්ථ දැක්වූහ. පලස්තීන අන්තවාදී, මුස්ලිම් මූලධර්මවාදී කණ්ඩායමක් වන හමාස් ද ඔස්ලෝ ගිවිසුමට දැඩිව විරෝධය දැක්වීය. ඔවුහු ඊශ්‍රායලය සමඟ ඇති ඕනෑම සම්මුතියකට විරුද්ධ වෙති.

හමාස් මැතිවරණ වර්ජනය ඉල්ලීම පලස්තීන  ජනතාව නොසලකා හරියි…

වසර 1996 ජනවාරි 20 වන දා ඔස්ලෝ ගිවිසුමට අනුව පලස්තීනයේ මැතිවරණ පැවැත්වීය. ඔස්ලෝ ගිවිසුමට සහ ඊශ්‍රායලය සමඟ සාම සාකච්ඡාවලට විරෝධය පළ කරමින් හමාස් සංවිධානය මැතිවරණ වර්ජනය කරන ලෙසට පලස්තීන  ජනතාව ගෙන් ඉල්ලා සිටියේ ය. එහෙත් පලස්තීන ජනතාව ඔස්ලෝ ගිවිසුම අනුමත කරමින්  පලස්තීන  විමුක්ති සංවිධානයට  විශිෂ්ට මැතිවරණ ජයග්‍රහණයක් ලබා දුන්නාහ.

සාම ගිවිසුම විනාශ කිරීමට හමාස් ප්‍රහාර…

පලස්තීන මැතිවරණයෙන් ප්‍රතික්ෂේපවීමත් සමග හමාස් සංවිධානය  ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර තීර්ව කළේ ය. ඊශ්‍රායලය හමාස් සංවිධානයේ ප්‍රධාන බෝම්බ නිෂ්පාදකයා ඝාතනය කළ අතර සති කිහිපයකට පසු හමාස් ප්‍රතිප්‍රහාර එල්ල කළේ ය. දින අටක කාලය තුළ මරාගෙන මැරෙන ප්‍රහාර තුනකින් ඊශ්‍රායල පුරවැසියන් 46 දෙනෙක් මිය ගිය අතර සිය ගණනක් තුවාල ලැබීය. ඉන්පසුව, 1996 මාර්තු 4 වන දින, සිව්වන මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ටෙල් අවිව්හි සාප්පු සංකීර්ණයක ප්‍රහාරයක් එල්ල කළේ ය. එහිදී   13 දෙනෙකු මිය ගොස් තවත් 157 දෙනෙකු තුවාල ලැබීය. අවසානයේ හමාස් සංවිධානයට එරෙහිව කටයුතු කරන ලෙසට යසර් අරෆත් පලස්තීන අධිකාරියේ නායකයා වශයෙන් තම ආරක්ෂක හමුදාවන්ට අණ කළේය.  එහිදී හමාස් සමාජිකයන් 2,000 ක් පමණ අත්අඩංගුවට ගනු ලැබීය.  ඔස්ලෝ සාම ගිවිසුම ක්‍රියාත්මක කරමින් සිටි අගමැති ෂිමොන් පෙරේස් ඊශ්‍රායල දක්ෂිණාංශික බලවේගයන්හි දැඩි ප්‍රහාරයට ලක්විය.  

අගමැති පෙරේස්ට ලෝක සහයෝගය…

ඔස්ලෝ සාම ක්‍රියාවලියට එරෙහි ඊශ්‍රායල බලවේග ලිකුඩ් පක්ෂයේ නව නායකයා වන බෙන්ජමින් නෙතන්යාහු වටා එකතු විය. ඔවුන්ගේ අරමුණ වූයේ ඉදිරි මැතිවරණයේ දී කම්කරු පක්ෂය පරාජය කර සාම ක්‍රියාවලිය විනාශ කිරීමය. ඔස්ලෝ සාම ගිවිසුම ආරක්ෂා කිරීම සඳහා ලෝක නායකයෝ ෂර්ම් එල්-ෂෙයික් හි සීනායි නිවාඩු නිකේතනයේ සමුළුවක් කැඳවූහ. ඊජිප්තු සහ ඇමරිකා එක්සත් ජනපද නායකයෝ මේ සමුළුවට එක් වූහ. ඒ සමුළුව හරහා ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති පෙරේස්ට දේශපාලන සහයෝගයක් ලබාදීමට රාජ්‍ය නායකයෝ උත්සාහ කළහ.   

සාම ගිවිසුමට එරෙහි හිස්බුල්ලා බෝම්බ..

වසර 1996 අප්‍රේල් 11 වන දා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ උතුරු දේශසීමාවට ප්‍රහාර එල්ල කළේ ය. හමාස් සංවිධානයට සහයෝගය දක්වන හිස්බුල්ලාවරු ද ඔස්ලෝ ගිවිසුමට දැඩි විරෝධයක් දැක් වූහ. හිස්බුල්ලා සංවිධානය , ඊශ්‍රායල ගම්මාන සහ නගර වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ අතර, දකුණු ලෙබනනයේ හිස්බුල්ලා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය  දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් දියත් කළේ ය.

වැරදුනු ඉලක්කය….

මේ සටනේදී වැරදි ඉලක්කයට එල්ල කරන ඊශ්‍රායල කාලතුවක්කු ප්‍රහාරවලින් කානා ගම්මානය අසල එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයක් විනාශ විය.  රැකවරණ පතා එහි රැඳී සිටි පලස්තීන සිවිල් වැසියන් 100 කට අධික සංඛ්‍යාවක් මේ ප්‍රහාරයෙන් ඝාතනය විය.  අගමැති පෙරේස් සහ ඔහුගේ කම්කරු පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් වන ඊශ්‍රායල අරාබි ප්‍රජාව මේ ප්‍රහාරයෙන් කෝපයට සහ අපේක්ෂාභංගත්වයට පත් වූහ. ඉදිරි මහමැතිවරණය වර්ජනය කරන බවට ඔවුහු ප්‍රකාශ කළහ.

ඊශ්‍රායල අරාබිවරු මැතිවරණය වර්ජනය කරති….

වසර 1996 මැයි 29 වන දා පැවති මහ මැතිවරණයෙන් නෙතෙන්යාහුගේ ලිකුඩ් පක්ෂය ජය ගන්නේ සියයට 1.5 ක් වැනි කුඩා ප්‍රතිශතයකිනි. ඊශ්‍රායල ජනගහනයෙන් සියයට 20 ක් ඊශ්‍රායල අරාබිවරු වෙති. ඔවුන්ගේ මැතිවරණ වර්ජනය නෙතන්යාහු ගේ ජයග්‍රහණයට පාර කැපුවේය. එවකට 47 හැවිරිදි වියේ සිටි නෙතන්යාහු ඊශ්‍රායලයේ ලාබාලතම අගමැතිවරයා බවට පත්විය. එදා ඊශ්‍රායල අරාබිවරු මැතිවරණය වර්ජනය කිරීමේ වැරදි දේශපාලන තීන්දු නොගත්තේ නම් ඉතිහාසය බොහෝ සෙයින් වෙනස් වනු ඇතැයි බොහෝ විදේශ විත්ති විචාරකයෝ පෙන්වා දෙති.

ඔස්ලෝ සාම ගිවිසුම විනාශයට…

නෙතන්යාහු බලයට පත්වූ පළමු දිනයේ සිට ඔස්ලෝ සාම ගිවිසුම විනාශ කිරීමට මෙන්ම පලස්තීන ජනතාවට කිසිදු අයිතිවාසිකමක් ලබා නොදීමට කටයුතු කළේය. ඔහු ඒ අතීතය පිළිබඳව ආඩම්බරයෙන් දැන් නිතර කථා කරයි. ඔස්ලෝ සාම ගිවිසුම විනාශ කිරීම තම දේශපාලන ජීවිතයේ විශිෂ්ට ජයග්‍රහණයක් බව ඔහු පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

හමාස් සංවිධානය ශක්තිමත් කිරීම..

ඔස්ලෝ සාම ගිවිසුම අනුව පලස්තීන අධිකාරිය පිහිටුවීය. ජනතා කැමැත්තෙන් එහි බලය හිමිවූයේ යසර් අර්පත් ගේ ෆාටා සංවිධානයට ය. ඔස්ලෝ සාම ගිවිසුමට මාරාන්තික ලෙස විරුද්ධ වූ හමාස් සංවිධානය මැතිවරණය වර්ජනය කළේය. හමාස් සහ ෆාටා නයි, මුගටින් මෙනි. නෙතන්යාහුගේ මූලික උපායමාර්ග වූයේ පලස්තීනය බෙදා වෙන් කර පාලනය කිරීමයි. බටහිර ඉවුරේ ෆාටාට එරෙහිව හමාස් සංවිධානය  ශක්තිමත් කිරීම ඔහුගේ උපාය මාර්ගය විය. ඒ හරහා  එක්සත් පලස්තීන නායකත්වයක් ඇති වීමේ හැකියාව වැළැක්වීමට ඔහු කටයුතු කළේය. එමගින් ඔස්ලෝ සාම ගිවිසුම අනුව ස්වාධීන පලස්තීන රාජ්‍යයක් බිහි කිරිම සඳහා සාකච්ඡා කිරීමට එක්සත් පලස්තීන නායකත්වයක් නොවීය. ඒ අනුව  ස්වාධීන පලස්තීන රාජ්‍යයක් බිහි කිරිම සිහිනයක් බවට පත් කිරීමට නෙතන්යාහු සමත් විය.

“හමාස් සංවිධානයට මුදල් දෙන්න” නෙතන්යාහු ඉල්ලයි…

වසර 2019 දී නෙතන්යාහු සිය පාලක ලිකුඩ් පක්ෂයේ සමුළුවකදී සිය සගයන්ට ප්‍රසිද්ධියේ මෙසේ පැවසීය: "පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම වැලක්වීමට, බාධා කිරීමට කැමති ඕනෑම අයෙකු හමාස් සංවිධානය ශක්තිමත් කළ යුතුයි.  ඒ සඳහා හමාස් සංවිධානයට මුදල් ලබාදීමට සහාය විය යුතුයි... මෙය අපගේ උපාය මාර්ගයේ කොටසකි. එමගින් ගාසා තීරයේ පලස්තීනුවන් බටහිර ඉවුරේ පලස්තීනුවන්ගෙන් හුදකලා කළ හැකිය”

මොසාඩ් බුද්ධි නිලධාරියෙකු වන උඩි ලෙවින්ගේ හෙළිදරව්ව…

ඊශ්‍රායලයේ හිටපු ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙකු වන උඩි ලෙවින් පසුගියදා විකාශනය වූ බීබීසී “පැනොරාමා” වැඩසටහනේ දී හෙළි කළ ආකාරයට ඔහු හමාස් සංවිධානයට ලබාදෙන මූල්‍ය සම්පත් නවතා දැමීම මගින් පමණක් එම සංවිධානය විනාශ කළ හැකි අන්දම පිළිබදව අගමැති බෙන්ජමින් නෙතන්යාහුට උපදෙස් දුන් බවයි. තම යෝජනාව පිළිබද අගමැතිවරයා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බව ඔහු හෙළි කළේය.

ඔක්තෝබර් 7 වනදා විනාශ වළක්වා ගත හැකිව තිබුණා…

වසර 2016 වන තෙක් ඊශ්‍රායල ඔත්තු ඒජන්සිය වන මොසාඩ් හි Economic warfare ප්‍රධානියා වූ ලෙවින් පවසන්නේ මූල්‍ය මෙවලම් පමණක් භාවිතා කරමින් ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය විනාශ කිරීමට ඊශ්‍රායලයට හැකියාව ඇති බවයි. “ඒ බව මම  බොහෝ වාරයක් අගමැති නෙතන්යාහුට පෙන්වා දුන්නා. ඒත් ඔහු ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් දැක් වූයේ නැහැ. එදා ඒ ක්‍රියා මාර්ගය ගත්තා නම් ඔක්තෝබර් 7 වන දා සිද්ධිය ඇති වන්නේ නැහැ. එහෙම නම් මේ විනාශයත් සිද්ධ වෙන්නෙ නැහැ” යැයි ඔහු බීබීසී පැනොරාමා වැඩසටහනේ දී වැඩිදුරටත් පැවසීය.

හමාස් සහ නෙතන්යාහුගේ පොදු සාධකය…

ඔස්ලෝ සාම ගිවිසුමට, පලස්තීන අධිකාරියට, යසර් අර්පත් ගේ ෆාටා සංවිධානයට මාරාන්තික විරෝධයක් දැක්වූ හමාස් සංවිධානය සහ නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල අන්ත දක්ෂිණාංශික අන්තවාදී අතර අපූරු පොදු සාධකයක් විය. එනම් දෙපාර්ශවයම මාරාන්තික ලෙස සාමයට විරුද්ධ වීමය!

වාමාංශික සාම ලැදි ජනතාවට එල්ල කළ හමාස් ප්‍රහාරය..

පසුගිය ඔක්තෝම්බර් හත් වන දා ගාසා තීරය සමඟ ඊශ්‍රායලයේ දකුණු මායිමේ ජීවත් වූ ඊශ්‍රායල ජාතිකයන්ට එරෙහිව හමාස් සංවිධානය මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රදේශය ඊශ්‍රායල සමූහ ගොවිපොළ (kibbutz) කි. එහි ජීවත් වූයේ පලස්තීනය සමග සාමයෙන් ජීවත්වීමට කැමැත්තක් දැක් වූ ඊශ්‍රායල වාමාංශිකයන්ය. සමාජවාදීන්ය.  එදා හමාස් සංවිධානය ම්ලේච්ඡ ලෙස මරා දැමූ ඊශ්‍රායල ජාතිකයන්ට අතරින් සැලකිය යුතු පිරිසක් වසර ගණනාවක් පුරා දෙපාර්ශවය අතර සාමය වෙනුවෙන් කැපවූ සාම ක්‍රියාකාරී ප්‍රගතිශීලීන්ය. ඔවුහු  අන්ත දක්ෂිණාංශික මිනීමරු නෙතන්යාහු ආණ්ඩුවේ ආධාරකරුවෝ නොවූහ.

දේශපාලන මරණ මංචකයෙහි සිටි නෙතන්යාහු ගොඩ ගිය හැටි…

හමාස් සංවිධානයේ මේ ප්‍රහාරය පලස්තීනය සමග සාමකාමී විසඳුමක් ඇති කර ගතයුතුයි යන මතය ඊශ්‍රායල සමාජයෙන් පිටමන් කිරීමට හේතුවී තිබේ. ඔක්තෝබර් 7 වන දාට පෙර නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික අන්තවාදී ආණ්ඩුව සිටියේ දේශපාලන මරණ මංචකයෙහි ය. එහෙත් හමාස් ප්‍රහාරය හරහා ඔවුහු යළි අළු ගසා කරලියට ප්‍රවේශ වී සිටිති. හමාස් අන්තවාදීන් මට්ටු කළ හැක්කේ තමන් ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවට බවට ජනමතයක් නිර්මාණය කිරීමට ඔවුහු දැන් සමත්ව සිටිති. ඔවුහු නව වටයකින් ශක්තිමත් වී සිටිති. පලස්තීනය සමග කිසිදු සාමයක් අවශ්‍ය නැත යන මතය සමාජ ගත කර තිබේ.

ගාසා වැසියෝ තිස්දහසක් මරුට…

හමාස් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් නෙතන්යාහු තිස්දහසකට අධික අහිංසක පලස්තීන වැසියන් ගාසා තීරයේ මරා දැමුවේ ය. ඒ අතරින් බහුතරයක් කාන්තාවන් සහ දරුවන්ය. තවත් හැත්තෑ දහසක් තුවාල ලබා සිටිති. ගාසා තීරයේ පලස්තීන ජාතිකයෝ ලක්ෂ දාහතක් අවතැන්වී සිටිති. එය සමස්ත ජනගහනයෙන් සියයට අසූ පහකි. දරුවන්ට නිසි ආහාර නැත. ඔවුහු මන්දපෝෂණයෙන් පෙලෙති. දරුවන් කන්නේ සත්ව ආහාරය. රෝහල් බහුතරයක් විනාශ කර හමාරය. අත්‍යවශ්‍ය ඖෂධ නැත. නිර්වින්ද ඖෂධ නොමැතිව ශල්‍යකර්ම සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබේ. නෙතන්යාහු ගාසා තීරය මිහිපිට අපායක් බවට පත් කර අවසාන ය.

මේ ඝාතනයන්හි සහ විනාශයන්හි දේශපාලන වාසිය හිමිවන්නේ හමාස් සංවිධානයටය. ඔස්ලෝ සාම ගිවිසුමට අනුව කටයුතු කරන පලස්තීන අධිකාරිය වෙනුවට පලස්තීන ජනතාවගේ “වෛරය” විසින් ඉදිරියේ දී තෝරා ගන්නේ හමාස් සංවිධානයයි. ඔවුන්ගේ ශක්තිය ඉදිරියේ දී තවත් ඉහළ යනු ඇත.

අන්තවාදයේ නිවුන් සොහොයුරෝ..

නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික අන්තවාදී ආණ්ඩුව සහ අන්තවාදී හමාස් සංවිධානය යනු එකම කාසියේ දෙපැත්ත ය. මේ දෙපාර්ශවයට අනෙකා නොමැතිව පැවැත්මක් නැත. හමාස් හි පැවැත්ම ඇත්තේ ඊශ්‍රායල අන්තවාදය මතය. නෙතන්යාහුගේ පැවැත්ම ඇත්තේ පලස්තීන අන්තවාදය මතය. මේ විෂම සම්බන්ධතාව බිඳ දැමිය හැක්කේ ඊශ්‍රායල පලස්තීන ඒකාබද්ධ සාම මෙහෙයුමකින් පමණි.

ඊශ්‍රායල පලස්තීන සාමය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ අගමැති යිට්සාක් රබීන් නොබෙල් සාම ත්‍යාගය පිලිගත් අවස්ථාවේ සිදු කළ ප්‍රකාශයකින් මේ සටහන අවසන් කරමු.

“මෙහි ඇත්තේ මිනිස් ජීවිත පූජනීය කිරීමේ එක් රැඩිකල් මාධ්‍යයක් පමණි. එය සන්නද්ධ තහඩු, හෝ ටැංකි, හෝ ගුවන් යානා හෝ කොන්ක්‍රීට් බලකොටු නොවේ. එකම රැඩිකල් විසඳුම සාමයයි.”

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

No comments:

Post a Comment