Wednesday, 28 February 2024

‘සාජන්ට් නල්ලතම්බි’  ඝාතනය කරයි.!

-පියාණෝගේ පුරාණය- නන්දන වීරරත්න ලියන ලිපි මාලාවක දහහතර වැන්න

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.28, ප.ව.6.45) ඒ වෙන විට නිහාල් සිල්වා ජනප්‍රියත්වයේ ඉහලම ඉණිපෙත්තට නැඟ සිටියේය. ‘නල්ල තම්බි’ නම් චරිතයේ පැවැත්ම තිබෙද්දී ඔහුගේ කලාව නිදහසේ වැඩුනේය. නිහාල් එන විට සිංහල කලාවන්ට අති දක්ෂ කවටයෙකුගේ ඇබෑර්තුවක් තිබුණේය. කවටයා හෙවත් හාස්‍ය උත්පාදකයා මානව ශිෂ්ටාචාරය පුරාම සිටියේය. රජගෙදර සිටි කවටයා තනි ‘අන්දරේ’කෙනෙක් බවට පත් වුනේය. 19 වෙනි සියවස අවසාන වෙද්දී ‘කවට කථිකයා’ නමින් පත්තරයක් ම මුද්‍රණය වුණේය. නුර්ති නාඩගම් යුගයේ පටන්ම කවටයා වේදිකාවේ සිටියේය. කෝලම් ගැමි නාට්‍ය සම්ප‍්‍රදාය මුළුමනින්ම හිනාව වෙනුවෙන් කැප වුනේය.

දුර්ලභ ප‍්‍රතිභාවේ තරම...

සිංහල සිනමාව ජනප්‍රිය කලාවක් වෙද්දී ‘එඞී ජයමාන්න’ ජනප‍්‍රිය කවටයා වූයේය. ජෝ අබේවික‍්‍රම සිනමාවට ඇතුළු වුනේ විකට නළුවෙක් හැටියටය. පසුව සිනමාවේ විකට කිරුළ ෆ්‍රෙඩී සිල්වා අතට ගියේය. වේදිකාවත් සිනමාවත් එකවර සිනහවෙන් පිරෙව්වේ නිහාල් සිල්වා ය. ඔහු පෙර සිටි සියල්ලන්ම පරදවමින් ලංකාවේ ආණ්ඩුවට බදු ගෙවන එකම නළුවා විය. සෙසු නළුවෝ දේශපාලනයට යමින් ජීවත්වීමට උපමාරු දමද්දී ඔහු දේශපාලකයා තමාගේ දෙපා මුලට කැඳවා ගත්තේය.

තමා අවට ලෝකය දෙස හාස්‍යයෙන් උපහාසයෙන් හෝ සිනාවෙන් දැකිමේ කුසලතාවය ඉතාම දුර්ලභ මිනිස් ගුණාංගයකි. කෝපය, වෛරය හෝ ඊර්ෂාව වෙනුවට හැමවිටම සිනාව මතු වේනම් ලෝකය මීට සම්පුණනයෙන් වෙනස් තැනක් වනු ඇත්තේය. සිනාව උපදවන්නා හෙවත් හාස්‍යෝත්පාදකයා සමාජයකට අගනා මිනිසෙක් වන්නේ මේ නිසාය. දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකානු යුධ නායකයෝ මෙසේ කියන්නට පුරුදු වී සිටියහ. 

“මේ යුද්ධයේ බරපතල වියදම් දෙකක් තිබේ. ඉන් පලමු වැන්න ආයුධ තැනීමටය. දෙවැන්න සෙබළුන්ගේ විඩාව නිවීමට ‘චාලි චැප්ලින්’ ගෙන යාමය.”

මේසා දුර්ලභ ප‍්‍රතිභාවේ තරම දැන් ඔබට තේරුම් ගැනිම පහසු කරනු ඇත. මේ අතිශය දුර්ලභ ප‍්‍රතිභාව උපතින්ම ගෙන එන්නක් නොවේ. සිග්මන් ෆ්‍රොයිඞ් සුමිතුරු චාලි චැප්ලින් ගැන කියූ  “අපි සිනා සෙන්නේ ඔබේ අත්දැකීම් පිරුණු ළමාවිය ට ය”  යන්න නිහාල් සිල්වාටත් පොදුය. නිහාල් උපන්නේ කිරුළපනේ ප‍්‍රකට කුණු මෝල වත්තට යාව පිහිටි වත්තේය. ඔහු උපන්නේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වටවල ය. එහෙත් ළමාවියේම දෙමාපියෝ කොළඹට සංක‍්‍රමනය වූහ. නාගරික පැල්පත්වල ළමාවිය  හා තරුණවිය ගෙවූ  නිහාල් ට මේ දිළිඳු සමාජයේ අපමණ මිතුරන් සිටින්නට ඇත.  ඔහු ඇසු දුටු සියල්ලෙන්ම හාස්‍ය නිර්මාණය කරන්නට සමර්ථයෙක් කරන්නේ මේ අනේක අත්දැකීම් බහුල ළමා හා තරුණවියයි. සෑම පොදුජන ජීවිතය ඇතුලෙන් මතුවෙන කලාකරුවෙක් මෙන්ම ඔහු මතුවන්නේ ද ආගමික නාට්‍ය තුලින්ය. කිරුලපොනේ වෙසක් නාට්‍යය ඔහුට වේදිකා රංගනයේ අත්පොත් තබන්නට උපකාර කළේය. ඔහු කොළඹ නාට්‍යකරුවන් වැඩි දෙනෙක්ට මුල් නිවහන වූ බොරැල්ලේ ‘තරුණ බෞද්ධ සමීති ශාලාව’ හෙවත් වයි. එම්. බී. යට එන්නේ ඉන් පසුවය. නාට්‍යකරුවන්ගේ අභයභූමිය වූ සුදර්ශිය හෙවත් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයට එන්නේ අවසාන නවාතැන හැටියටය.

ටයර් සෑයවල් මත තරුණයන් බුරුදු පිටින් දැවෙමින් තිබූ කාලය...

1989 දෙසැම්බර් කියන්නේ වසර දෙකක් පුරා පැවති දකුණේ සිවිල් යුද්ධය අවසන් වෙමින් තිබූ කාලයයි.  ඒ දෙවසර  මහ පාරවල් දිගේ ටයර් සෑයවල් මත තරුණයන් බුරුදු පිටින් දැවෙමින් තිබූ කාලයකි.  මීට සති දෙකකට  පමන පෙර  ප්‍රේමදාස ආණ්ඩුව සමඟ යුධ වැදී සිටි දේශප්‍රෙමී ජනතා ව්‍යාපාරයේ නායකයන් හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන නායකයන් අත් අඩංගුවට පත් වූ පසු හදිසි අනතුරු හෝ එකිනෙකාට වෙඩි තබා ගැනීමෙන් මියගිය බව රජයේ ආරක්ෂක අංශ දිනපතා නිවේදනය කළ කාලයයි. ඔවුන් නිහාල් සිල්වා ගේ මරණය දෙසැම්බර් 04 වෙනිදා නිවේදනය කළේ ද ඒ ආකාරයට ම ය. එදින අලූයම දෙහිවල විලියම්ස් හංදිය නමින් ප‍්‍රකට නුගේගොඩට හැරෙන මංසංධියේ දී මාර්ග බාධකයේ සිටි ගුවන් හමුදා අණ නොතකා ධාවන වූ රියකට වෙඩි තැබීමෙන් එහි රියදුරා මිය ගිය බවය. පසුව එම රියේ එළැවූ වෙඩි වැදී මියගිය රියැදුරා  ප‍්‍රකට නළු නිහාල් සිල්වා බවට හඳුනා ගැණුනු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුනේය. මේ නිවේදනයත් ඊට සති කීපයකට පෙර මරා දැමුණු රෝහණ විජේවීර ඇතුළු දේශපාලන නායකයන්ගේ ඝාතන,  නිවේදන අතරේ ලොකු වෙනසක් නොතිබුණේය. නමුත් සෙසු ඝාතන මෙන් නොව නිහාල් සිල්වාගේ ඝාතනය සමඟ එම රියේ ගමන් ගෙන දිවි රැකගත් මිතුරන් 4 දෙනාගෙන් තිදෙනෙක් තවමත් ජීවතුන් අතරේ සිටින්නේය. ඒ තිදෙනාගෙන් කෙනෙකි රංජිත් කුලසිංහ.

රංජිත් කුලසිංහගේ ප්‍රකාශය..

“ඒ කාලේ  අගමැති ප්‍රේමදාසට  ඕන වෙනව නිහාල් දේශපාලන වේදිකාවට ගන්න. නල්ල තම්බි නාට්‍යය නිතර දර්ශන තිබුණු නිසා එයාට විවේකයක් තිබුණේම නෑ.  ඔය අතරෙ චිත්‍රපටි සංස්ථා අධ්‍යක්ෂක තනතුරක් දුන්න. නිහාල්, නව නිෂ්පාදනයක් හැටියට ‘නෙයිනගෙ සුදුව’ අරන් හදල පෙන්වන්න පටන් ගත්ත. එදා ‘නෙයිනගෙ සුදුව’ එල්ෆින්ස්ටන් එකේ පෙන්නල ඉවරවෙල චිත‍්‍රපට සංස්ථාවට ගියා. එතනෙත් බලල ඩේෂන් අමරසිංහ ඇරලවන්න දෙහිවලට යන්න පිටත් වුනා. අපි පස්දෙනෙක් කාර් එකේ හිටිය. නිහාල් කාරය එලෙව්ව. ප‍්‍රියන්ත කොඩිප්පිලියි මමයි ඩේෂන් අමරසිංහයි පිටිපසේ. ඉස්සරහ චිත‍්‍රපටි සංස්ථාවේ නිලධාරී යාළුවෙක් හිටිය. ටිකක් බීල හිටියේ. මුලින්ම ඩේෂන් ඇරලවන්න දෙහිවලට ගියා. ඩේෂන් හිටියේ දෙහිවල හංදිය හරියේ. ආපසු එන කොට මම අඩ නින්දේ හිටියේ. මම නැවිල නිහාල්ගේ බ්‍රීෆ් කේසයට ඔළුව තියාගෙන නිදා ගත්තෙ.

“ එක පාරටම වෙඩි සද්දයක් ඇහිල බලනකොට කාර් එක ලයිට් කණුවක වැදිල. නිහාල්ගෙ ඔළුවෙන් ලේ ගලනව. ඒ වෙන කොටත් හමුදා කන්ඩායමක් අපි වට කර හෝල්ට් කරල තුවක්කු මාන ගෙන ඉන්නව. මම බැහැල කිව්ව මේ ඉස්සර වෙඩි වැදිල ඉන්නේ නිහාල් සිල්වා කියල. එතකොටත් කාරෙකේ එන්ජිම වැඩ. බැහැල ගිහින් නිහාල් එලියට ගන්න මම උත්සාහ කරා. මට තනියම උස්සන්න බැ. නමුත් අමාරුවෙන් එලියට ගන්න කොට ඔළුව කඩා වැටෙනව. මම ඔළුවට අත තිබ්බම මගේ අත ඔළුව ඇතුලට ගියා. නිහාල්ට තියපු වෙඩිපාර නළලට වැදිල පසාරු කරගෙන ගිහිල්ල පිටිපසේ කෑල්ලක් ගලව ගෙන. ඒත් පණ තියෙනව. මම පාරේ යන වාහනය නතර කර ගෙන කළුබෝවිල ඉස්පිරිතාලෙට නිහාල් ගෙනිච්ච. නමුත් ඇතුල් කරල පොඩි වෙලාවකින් පණ ගියා. අපරාදේ වටින ජීවිතේ. විලියම් හංදියෙන් හරවන කොටයි වෙඩි තියන්න ඇත්තේ. නුගේගොඩ පැත්තට කාරෙක හැරිල ඇවිත් තමයි ලයිට් කණුව කැඩෙන්න වැදිල තිබුනේ.”

රයිෆල් උන්ඩය නළලෙන් ඇතුළු වූයේ කෙසේද?

මේ  අනුව රිය එලවූ නිහාල් සිල්වා හැර අනෙක් තිදෙනාම අවදි වන්නේ වෙඩි හඬටය. ඇස් ඇර බලන විට රිය පහන් කනුවක වැදී නතර වී ඇත. සැකය එන්නේ දෙහිවල පැත්තේ සිට වැල්ලවත්ත දෙසට එන වාහනයක් විලියම් හංදියෙන් හැරුණු විගස නොනවත්වා ධාවනයට වෙඩි තබනවා නම් වෙඩි තැබිය යුත්තේ පිටු පසින්ය. පිටු පසින් වෙඩි තැබුවේ නම් රියේ සිටි අනෙක් තිදෙනාට සුළු හෝ තුවාල සිදුවිය යුතුය. අනෙක ධාවනය වන රියකට නොනැවැත්වීම නිසා වෙඩි තබන්නේ නම්  වෙඩි තැබිය යුත්තේ පිටු පසින්ය. එසේ නම් නිහාල් සිල්වාගේ නළලට පැත්තෙන් උන්ඩය ඇතුළු වූයේ කෙසේද? අඩුම තරමින් පැත්තෙන් වෙඩි තැබුවේ නම් උන්ඩය හිසට ඇතුළු වන්නේ දකුණු කණ පැත්තෙන් හෝ වම් කණ පැත්තෙන්ය. එසේ නම් මේ රයිෆල් උන්ඩය නළලෙන් ඇතුළු වූයේ කෙසේද?

මේ ගැන අප සමාජ මාධ්‍යට ලියු සටහනකට තොරතුරු ලියන රෝහණ විජේවීර ඝාතනයේ සක්කිකරුවෙකු වූ  එවකට යුධ හමුදාවේ ප‍්‍රධාන ඡායාරූප ශිල්පියා වූ ඉන්ද්‍රානන්ද සිල්වා කියන්නේ ගාලූපාරේ දෙහිවල සිට වැල්ලවත්ත දෙසට මාර්ග බාධක නොතකා පැමිණි රියකට වෙඩි තැබීමට විලියම්ස් හංදියේ සිටි ගුවන් හමුදා සෙබළුන්ට ක්ෂනික නියෝගයක් තිබූ බවයි. නමුත් ඒ රැයේ නිහාල් සිල්වා යන්නේ දෙහිවල හංදිය අසල නිවසක ජීවත් වූ නළු ඩේෂන් අමරසිංහ ඇරලීමටය. එකල දෙහිවල හංදියත් විලියම්ස් හංදියත් අතරේ හමුදා මාර්ග බාධක නොතිබුනේය.

එසේ නම් මේ වෙඩි තැබීමේ නියෝගය දුන්නේ කවුද ? එම නියෝගකරු වාහනයේ එන්නේ කවුදැයි යන්නත් වාහනයේ රියැදුරු කවුරුන්ද යන්නත් මැනවින් දැන සිටියේය.  නොනවත්වා යන රියකට වෙඩි තැබෙන්නේ පිටු පසින්ය. පලමුව ටයර් වලට ය. හොඳයි අපි  මේ වෙඩිපහරවල් තැබූ ආධුනික ගුවන් භටයා වාහනය නැවැත්වීමට දිගට හරහට වෙඩි තැබුවේ යයි මොහොතකට සිතමු. එයින් අනෙක් තිදෙනා හාස්කමකින් මෙන් දිවි ගලවා ගත්තේ යයි සිතමු. එසේ නම් නිහාල් ගේ නළලට සමීප වෙඩි පහරක් ඉදිරියෙන් තැබුවේ කවුද? කාගේ උවමනාවටද?  ඉදිරියෙන් නළලට වෙඩි තබා හරියටම නිහාල් සිල්වා ඝාතනය කිරීමට කෙනෙකුට උවමනාවක් ඇති වූයේ කෙසේද?

‘සෙරෙප්පු සුපා’

දේශපාලන නරා වලට දමා නිහාල් විනාශ කිරීමට පෙර ඔහු නිසඟ කුසලතාවයෙන් ජනප‍්‍රිය තරුව බවට පත්වී සිටියේය. පිරිහුණු කපටි දේශපාලකයා ඔහු පසුපස ආවේ ඔහුගේ ජනප‍්‍රියත්වයට මුවාවෙන්නටය. ඔහු ඒ බව නොදැන සිටියේය. ඔහු මේ විනාශයෙන් ගලවා ගන්නට නිදහස් හා ශක්තිමත් කලා ව්‍යාපාරයක් රටේ නොතිබුණේය. නිහාල් ප්‍රේමදාස ආණ්ඩුවත් සමඟ ඍජුව ගණුදෙණු කළත් ජනාධිපතිවරයාගේ නියෝජිතයා වූයේ ජනමාධ්‍ය රාජ්‍ය ඇමති ආතර් ජයසේන රණසිංහ හෙවත් ඒ. ජේ. රණසිංහ ය. ඔහු වඩාත් ප්‍රකට වූයේ ‘සෙරෙප්පු සුපා’ නමිනි. එයට හේතු වූයේ ඇමති රණසිංහ, ‘තමා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස වන්දනා කරන බවත් ඔහුගේ සෙරෙප්පු දෙක වුවත් ලෙව කන්නට මැලි නොවෙන බවත් අවශ්‍ය නම් එම සෙරෙප්පු වලින් සුප් හදාගෙන බොන්නට වුවත් සුදානම්’ බව ඔහු ප්‍රසිද්ධියේම කීවේය. සමහර විට ඔවුන් දෙදෙනාම එකම කුලයකට අයත් වීම මේ ගැතියාවේ  පදනම වන්නට ඇත. නිහාල්, ජනාධිපති මන්දිරයට ගියත් ජනාධිපතිට අතිශයින් ගෞරව කළත් ඔහු ආඩම්බරකාර ආර්යාව මායිම් නොකළේය; නොතැකුවේය. රටේ ජනප්‍රියම නළුවා වූ ඔහුට ද අභිමානයක් තිබුණි. ඔහුගේ මේ අභිමානය ආර්යාව ද නොරිස්සුවාය. මේ අප්‍රකාශිත ආරෝව එළියට ආවේ නිහාල් රාත්‍රියේ “දෙක තුනක්” දා ගත්තාට පසුවය.

ඔහුගේ සමීපම මිතුරන් පවසන ආකාරයට ඔහු සමහර රාත්‍රිවල ‘තමා ජනාධිපතිවරණයේ දී කළ සේවය’ සිහිපත් කර ඇය ආඩම්බරකාර ආර්යාවක් කළේ තමා බව රාජ්‍ය ඇමති ඒ. ජේ. රණසිංහට කතා කර බැණ වැදුණේය. ගෑණිට බයෙන් ජීවත්වෙන රටේ සේනාධිනායකයාට ද මේ අතරේම “දෙහි කැපුවේය”. මේවා ජනාධිපතිගේ කණට ගියේ දෙතුන් ගුණයකින් වැඩි වෙමිණි. මේ නිසා තමාගේ බිරිඳට අපහාස නොකරන්නැයි පණිවිඩ කීපයක්ම සේනාධිනායකයාගෙන් ලැබුණේය. එහෙත් එය නතර නොවුණේය.

ඔහුගෙන් ගැලවීමට නම් ඔහු මරා දැමිය යුතු විය

රජ ගෙදර සිට මුඩුක්කුව අතරේ සිටි දසලක්ශ සංඛ්‍යාත රසිකයනුත් හොඳින් දැන සිටි අති දක්ෂ විකට නළුවෙකුවූ මොහු මරා දැමීමට වුවමනාවක් තිබුනේ නම් ඒ ප්‍රේමදාස ආණ්ඩුව සමඟ යුධ වැදී දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයට ය. එහෙත් ඒ වනවිට එහි නායකයන් පමණක් නොව ජවිපේ සියළුම නායකයන් මරා දමා මුළුමණින්ම අඩපණ වූ සංවිධානයක් වූයේය. එසේ නම් රජතුමාට රජගෙයි කවටයා මරා දැමීමට වුවමනාවක් තිබුනේද? කවටයා ඉතාම අහිංසකයෙකි. රහස තිබෙන්නේ ජයග‍්‍රාහී නායකයා හා ජයග‍්‍රහණයේ සහායකයා නොහොඳ නෝක්කාඩු ඇතිකර ගැනීම තුලය. ජයග‍්‍රහණයේ ඒකායන හේතුව නිහාල් සිල්වා නොවෙන බව ජනාධිපති හොඳින්ම දැන සිටියේය.  දේශපාලනයේ අතදරුවෙක් වූ දක්ෂ නළුවෙක් තමාගේ ජයග‍්‍රහණයේ කීර්තිය ගැන වහසිබස් දෙඩීම රාජ්‍ය නායකයෙක් දරන්නට අකමැති විය. ඔහුගෙන් ගැලවීමට නම් ඔහු මරා දැමිය යුතු විය. එය වඩාත් යතාර්ථවාදි කරන්නට හදිසි අනතුරකින් සිදු වූ මරණයක් බවට පත් කළේය...!

1989 වෙද්දී මේ විශිෂ්ඨ විකට නළුවා හා රංගධරයා සිටියේ දෙලොවක් අතරේ ය. එක් පැත්තකින් දේශපාලන බලයයි. දේශපාලන බලය ඔහුට චිත‍්‍රපට සංස්ථාවේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂක ධූරය ලබා දී තිබුනේය. පුද්ගලික පාවිච්චියට ගිනි අවියක් දී තිබුනේය. පුද්ගලික ආරක්ෂාවට ඊලම ප‍්‍රතික්ෂේප කරන පැරණි දෙමළ සටන්කාමි තරුණයෙක් ද දුන්නේය. මේ බලය හා අභිමානය ඔහුට සැබැ ලෝකය අමතක කරවන්නට ඇත. තමා බලයට ගෙනා දේශපාලකයාවත් ලොක්කෙකු නොවේ යයි ඔහුට විටෙක සිතෙන්නට ඇත. ජෝතිපාල කියන ආකාරය මධුලෝලී මනහාරී ජීවිතය තුල ඔහු තමාගේම වීරත්වයේ සීමාවන් උරගා බලන්නට පෙළඹෙන්නට ඇත. එහෙත් දේශපාලන සතුරන් පමනක් නොව විවේචකයන් ද අනුකම්පා විරහිතව මරා දමමින් සිටි ජනාධිපතිවරයා නිහාල්ගේ හැසිරීම නොරිස්සුවේය.

නමුත් 1988 දී නිවසටම පැමිණ දේශපාලකයා තමාගේ මැතිවරණ ව්‍යාපාරයට උපකාර කරන්නැයි ඉල්ලා සිටින විට ‘සාජන්ට් නල්ල තම්බි’ සිටියේ බැහැයි කියන්න බැරි තැනකය. ඒ වන විටත් කපටි දේශපාලකයා බලයේ රස ඔහුට විඳිනට අවස්ථා සලසා දී තිබුනේය. නිහාල් සිල්වා වැටෙන්නේ මේ වලටය. එහෙත් තමා බසින්නේ කලාවකට නොව පතුලක් නැති වලකට බව ඔහු නොදැන සිටියේය. එය 1989 දෙසැම්බර් තුන්වෙනිදා  අවසන් වුයේ නිහාල් සිල්වා මේ රටේ කලාවට සංස්කෘතියට අහිමි වීමෙන් පමනක් නොවේ. වසර පහක් තුල ඔහු පෙන්වූ නිර්මාණාත්මක  ප‍්‍රාතිහාර්‍යයන් දකින්නට ලාංකික රසිකයා තවත් අවුරුදු දෙතුන් සීයක් බලා සිටින්නට සිදුවෙන තැනට තල්ලු කිරීමෙනි. එය ඔහු ට කළ අපරාධයක් නොවේ  මුළු මහත් මානව සංස්කෘතියටම එරෙහිව කළ අපරාධයකි. චාලි චැප්ලීන් ඉපදී දැනට වසර දැනට අවුරුදු 124 කි. ඔහු මියගොස් වසර වසර 47 කි. එහෙත් බටහිර යුරෝපයට තබා උතුරු ඇමෙරිකාවේ වත්  තවමත් දෙවැනි චැප්ලීන් කෙනෙක් බිහි වී නැත. ලංකාව බඳු කුඩා රටකට ‘නිහාල් සිල්වා’ කෙනෙක් බිහිවෙන්නට කොපමන කාලයක් බලා සිටින්නට සිදුවෙනු ඇත්ද?

-නන්දන වීරරත්න

සබැඳි ලිපි පෙළ
* පියාණෝ හා පුතාණෝගේ කුල අශ්ව ඉස්තාලය..!
* රණසිංහ ප්‍රේමදාස හා එජාපයේ කුල දේශපාලනය.!
* ප්‍රේමදාසගේ කුල පෙරමුණ..!
* ලයනල් ජයතිලක, මෙරිල් කාරියවසම් හා උපාලි විජේවර්ධන ඝාත​න අහම්බයක්ද?
* ප්‍රේමදාස මැද කොළඹින් මාගමට..? -වංකනාසික තිස්ස කුමරු සහ "අප්පුවා" - ගජබා කුමරු සහ නීල මහා යෝධයා..!
* හේන වංශයට හින්න වංශය මුහු කිරීම..! ජීවිතයට රැකියාවක් ව්‍යාපාරයක් නොකළ පියාණෝට, පුතාණෝට වියදම් කිරීමට මේ සා ඩොලර් පවුම් කොහෙන්ද?
* සයිමන් නවගත්තේගමගේ "ආර්. පණ්ඩුකාභය"
* ප්‍රේමදාස පාතාලයට වැඩ පවරයි..! -1988 ජනාධිපතිවරණය
* ප්‍රේමදාස, ආර්යාවත් සමඟ පත්තිරිප්පුවට නඟී..!
* 1989 මහ චන්දේ කුල සටන..!

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/98

No comments:

Post a Comment