Saturday, 17 February 2024

NPP හි "ගැහැණු අපි එක මිටට මාලිමාවට": මෙරට පමණක් නොව ජාත්‍යන්තරවත් දෝංකාර නංවන්නක්..!

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.18, පෙ.ව.4.00) දේශපාලන භූමිය තුළ සුසමාදර්ශී වෙනසක් (Paradigm Shift) සිදුකරමින් ජාතික ජන බලවේගයේ (NPP) “ගැහැණු අපි එක මිටට මාලිමාවට” දේශපාලනයේ කාන්තාවන්ගේ භූමිකාව යළි නිර්වචනය කරමින් සිටී. ඓතිහාසික වශයෙන්, දේශපාලනයට පිවිසෙන කාන්තාවන් බොහෝ විට පවුල් පරම්පරාවන් වලින් දේශපාලනයට අවතීර්ණ වී ඇත. එය විශේෂයෙන්ම ආසියානු කලාපයේ පොදු ලක්ෂනයකි. ස්වාමිපුරුෂයාගෙන් බිරිඳට, පියාගෙන් පුතාට හෝ දියණියට හෝ සහෝදරයාගෙන් සහෝදරියට, මාමාගෙන් බෑනාට වශයෙන් දේශපාලනයේ “බැටන් එක” මාරුවෙමින් පැමිණි යුගය අවසන් කරමින් ජාතික ජන බලවේගයේ (NPP) “ගැහැණු අපි එක මිටට මාලිමාවට” පැවති සාම්ප්‍රදායික බාධක සුනුවිසුනු කර, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, දේශපාලන සාක්ෂරතාවයක් තිබෙන කාන්තාවන් සමූහයක් බලගතු දේශපාලන චරිත ලෙස මතු කර ගනිමින් ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් මාඉම් කරමින් සිටී. අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයේ නායක, මේ දිනවල අවධාරණය කරමින් සිටින පුනරුද යුගයේ (Renaissance) පෙර ගමන් කාරියන් බවට කාන්තාවන් පත් වෙමින් සිටිනු දැකීම සතුටට කරුනකි.

ප්‍රමාණයෙන් කියාපාන ශක්තිය

“ගැහැණු අපි එක මිටට මාලිමාවට” ව්‍යාපාරය සඳහා කාන්තාවන් එකට එකතු වීමේ වඩාත් කැපී පෙනෙන වැදගත් ලක්ෂනයක් වන්නේ ගමේ කාන්තාවන් දස දහස් සංඛ්‍යාවක් එක අරමුණක් සඳහා එක්රැස් කිරීමට ජාතික ජන බලවේගයට (NPP) තිබෙන සුවිශේෂි හැකියාවයි. විවිධ පසුබිම්වල කාන්තාවන් පොදු දේශපාලන වැඩපිළිවෙළක් කරා ගෙන ඒම හරහා ඇතිකරන මෙම මහජන බලමුලු ගැන්වීම සරල යලි පිබිදීමක් ම නොවේ (Not just a Reawakening). සහභාගිවන්නන්ගේ අති විශාල සංඛ්‍යාවන් වලින් පෙන්නුම් කරන්නේ සමාජ-ආර්ථික හා සංස්කෘතික බෙදීම් ඉක්මවා යන පුළුල් පරාසයක කාන්තාවන් සමඟ අනුනාද වීමට (Resonate) ජාතික ජන බලවේගයට ඇති හැකියාව යි. මෙතෙක් ලංකාවේ බිහිවූ කිසිදු දේශපාලන පක්ෂයකට මේ සා විශාල කාන්තා ජන සමූහයක් මෙවන් ආකාරයට ගොනුගත කල නොහැකි විය. මෑතක් වන තුරුම දේශපාලන පක්ෂ සාම්ප්‍රදායිකව සමෘද්ධි මුද්දරය දෙන පොරොන්දුව හෝ කපන බවට තර්ජනය කොට, හෝ දරුවාට රැකියාවක් දෙන බවට අයදුම් පත්‍රයක් අතට දී, හෝ රුපියල් 1000 ක් සමග බත් පැකැට්ටුවක් ලබා දී හෝ කාන්තාවන් රැස්වීම් සඳහා කැඳවාගත් යුගය අවසන් වෙමින් ඇත. ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට මාලිමාවට” එකතු වන කාන්තාවන් ස්වේඡාවෙන් තම කාලය ශ්‍රමය හා ධනය කැපකරමින් සිදුකරන මෙහෙය සත්‍ය ලෙසම දේශපාලන සුනාමියක පූර්ව ලක්ෂනයක් පෙන්නුම් කරන බවට අනෙකුත් දේශපාලන පක්ෂ වලට කරන නියත අවවාදයකි.  

අත්‍යන්ත වෙනසක්: කාන්තාවන් සඳහා නව වගකීම්

ජාතික ජන බලවේගය (NPP) කාන්තාවන් හුදු දේශපාලනයට ආකර්ෂණය කර ගන්නවා පමණක්ම නොව ඔවුන්ට සැලකිය යුතු වගකීම් ද පවරා ඇත. සාම්ප්‍රදායික භූමිකාවන්ගෙන් ඔබ්බට, මෙම කාන්තාවන් රැස්වීම් භූමියේ ආරක්ෂාව සැපයීම, රැස්වීම් මෙහෙයවීම හා නිවේදන කටයුතු, ආංශික කටයුතු කළමනාකරණය කිරීම සහ නායකත්වය යනාදී කටයුතු සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ කොට කණ්ඩයමක් ලෙස වැඩ කිරීමට අවස්ථාව ලබා දී ඇත . මෙතෙක් පැවති සම්මතයෙන් බැහැරවීම නැවුම් දේශපාලන පරිවර්තනයක රිදී රේඛාවක් ලෙස මෙය පේන්නට ලැබේ. සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවී භූමිකාවන්ට අභියෝග කරමින් සහ දේශපාලනයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ (NPP) කැපවීම මේවා තුලින් ඉහළින්ම ප්‍රදර්ශනය කරයි.

ඓතිහාසික අභියෝග‍යක ජය ගැනීමක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විවිධ රාජ්‍ය නොවන සංවිධාන (NGOs & INGOs) දේශපාලනයේ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කෙතරම් කටයුතු කලද, සැලකිය යුතු පිරිසක් ආකර්ෂණය කර ගැනීමට ඔවුන් අසමත් වී ඇත. කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට මාලිමාවට” ව්‍යාපාරය සඳහා කාන්තාවන් එකට එකතු වීම, කාන්තා දේශපානයේ සන්ධිස්ථානයක් සලකුණු කරයි. කාන්තාවන් දේශපාලන ක්ෂේත්‍රයට ඇද ගැනීමට ජාතික ජන බලවේගය සතු හැකියාව තුලින් පෙන්නුම් කරන්නේ කාන්තාවන්ගේ ක්‍රියාකාරී දේශපාලන සහභාගීත්වයට තිබූ ඓතිහාසික බාධක බිඳ දැමිය හැකි බවය.

සහයෝගීතාව සඳහා අත්වැලක්

“ගැහැණු අපි එක මිටට මාලිමාවට” ව්‍යාපාරය සඳහා කාන්තාවන් දස දහස් ගණනින් එක්වීම කාන්තා අයිතිවාසිකම් සහ කාන්තා සවිබල ගැන්වීම සඳහා වූ ව්‍යාපාරවලට ජාතික ජන බලවේගය සමග එක්වීමට සුවිශේෂී අවස්ථාවක් සපයයි. මෙම වර්ධනය වන ව්‍යාපාරය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, එකී සංවිධානවලට ජාතික ජන බලවේගය (NPP) විසින් නිර්මාණය කරන ලද ගම්‍යතාව උපයෝගී කර ගත හැකි අතර දේශපාලන හා සාමාන්‍ය ජන ජීවිතයේ විවිධ පැතිවලින් කාන්තාවන් තවදුරටත් සවිබල ගැන්වීමට ඔවුන්ට ඇති හැකියාව වර්ධනය කරගත හැක. එය ජාතික ජන බලවේගය විසින් කාන්තාවන් ඒකාබද්ධ කිරීම තුල ලබාගෙන ඇති ප්‍රගතිය තිරසාර කරනවා පමණක් නොව එය තවදුරටත් පුළුල් කිරීම සහතික කිරීම සඳහා යෝග්‍ය සමගිය සහ සහයෝගීතාව සඳහා වන කැඳවීමක් බව කිව යුතුය.

කාන්තාවන් සවිබල ගැන්වීම: ගෝලීය අවශ්‍යතාවයක්

ජාත්‍යන්තර වශයෙන්, දේශපාලනයේ කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි වීම මගින් සමාජ සුබසාධනය, යහපාලනය සහ වැඩිදියුණු කළ ප්‍රතිපත්ති හා ප්‍රතිඵල සමඟ ධනාත්මක සහසම්බන්ධතා තිබෙන බව විවිධ අධ්‍යයන වලින් පෙන්නුම් කර ඇත. “ගැහැණු අපි එක මිටට මාලිමාවට” ව්‍යාපාරය මෙම ගෝලීය අත්‍යාවශ්‍යතාව සමඟ පෙළගැසෙන අතර, දේශපාලනය තුළ කාන්තාවන් සවිබල ගැන්වීම දේශීය සංසිද්ධියක් පමණක්ම නොව සමාජයේ ප්‍රගතිය සඳහා වූ විශ්වීය අවශ්‍යතාවයක් බවද පෙන්නුම් කරයි.

අවසාන වශයෙන්, ජාතික ජන බලවේගයේ “ගැහැණු අපි එක මිටට මාලිමාවට” ව්‍යාපාරය හුදෙක් දේශීය සංසිද්ධියක් පමණක් නොව ජාත්‍යන්තරව දෝංකාර දෙන බලවේගයකි. එය විරුද්ධ පක්ෂ සහ පාලක ආන්ඩුව තුලට බලගතු කම්පන තරංග යවමින් සම්ප්‍රදායික දේශපාලන ගතිකත්වය සුණු විසුණු කර ඇත. දේශපාලන විශ්ලේෂකයින් මෙම ව්‍යාපාරයෙන් ආභාසය ලැබූ නව පර්යේෂණයන් ගැන සොයා බලන විට, ජාතික ජන බලවේගය තුළ කාන්තාවන්ට දක්වන කැපවීම ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය හැඩගැස්වීම පමණක්ම නොව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ නියෝජනය පිළිබඳ පුළුල් ගෝලීය කතිකාවකට දායක වන බව පැහැදිලිව කිව යුතුය.

-ශාන්ත ජයරත්න

ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
shantha323@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment