කවුරු ආණ්ඩු කළත් 2028 දී රට යළිත් බංකොලොත් වෙනවා..! පෙරදීත් හරියටම අනාවැකි කී චම්පික කියයි..!
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.18, ප.ව.7.15) අධික විදුලි බිල සහ අධික තෙල් මිල හේතුවෙන් 2028 වන විට ණය ගෙවීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා රජයට ඇතිවෙන බවත් කවුරුන් ආණ්ඩු කළ ද පවතින තත්ත්ව යටතේ 2028 දී ම රට බංකොලොත්භාවයට නැවත ලක්වෙනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනාවැකි පල කරයි. 2002 තරම් ඈත කාලයේ දී 'ආලාපාළු ආර්ථිකය' මැයෙන් ග්‍රන්ථයක්ම රචනා කරමින් 2020 වන විට රට බංකොලොත් වන බවට අනාවැකි පල කෙළේ ද චම්පික රණවක ය.
විදුලිබල මණ්ඩලයේ දත්ත අතිශයින් වැරදියි..
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව රණවක පවසයි. විදුලි බල මණ්ඩලයෙහි නිලධාරීන් වැරදි දත්ත ඉදිරිපත් කිරීමේ අවස්ථා ගණනාවක් නිරීක්ෂණය විය. ඒ හේතුවෙන් ජනතාවට වගකියන ආයතනයක් ලෙස මහජන උපයෝගීතා කොමිසම ඊට අවධානය යොමු කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.
විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා අතිශය වැරදි සහගත බවක් හෙළි වී තිබේ. බලාගාරවල ස්ථාවර ගාස්තු අසීමාන්තිකව වැඩි කර ඇත. විදුලි බල මණ්ඩලයෙහි නිලධාරීන්ට ගණිතය පිළිබඳ නිවැරදි වැටහීමක් පවතින බව රණවක මහතා පෙන්වා දෙයි. එහෙත් එම දැනුම භාවිත කරමින් වංචනික ක්‍රියාවල නිරතවීමට පෙළඹ ඇතැයි චෝදනා නැගේ.
වගකීම මහජන උපයෝගීතා කොමිසමේ..
එවැනි තත්වයකදී නිවැරදි තත්ත්වය පිළිබඳ අවබෝධ කරගැනීම සඳහා විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීමයි. ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම කොමිසමේ කාර්ය භාරය බවද හෙතෙම සිහිපත් කරයි.
රටේ ආර්ථිකයට බලපාන සෘජු සාධකයක් ලෙස විදුලි ක්ෂේත්‍රය පෙන්වා දිය හැකිය. පසුගිය වසරේදී කර්මාන්ත දහනවදහසක විදුලිය විසන්ධි කර තිබේ. ඊට සමගාමීව කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි අලෙවිය සියයට විස්සකින් අඩු විය. ශ්‍රී ලංකාවට සාපේක්ෂව කර්මාන්ත විදුලි බිල වැඩි වී ඇත්තේ සිංගප්පූරුවේ සහ හොංකොං හි පමණි. කර්මාන්ත ආශ්‍රිත තරගකාරීත්වයක් සහිත වියට්නාමය, බංග්ලාදේශය හෝ දකුණු ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විදුලි බිල සියයට 40 කට වඩා වැඩි බව රණවක මහතා පෙන්වා දෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත බිඳ වැටෙමින් පවතින බව ඔහුගේ අදහසයි. අඩු විදුලි බිලක් සහිත තරගකාරී රටවල් වෙත ආයෝජකයෝ පිවිසෙති. එය කර්මාන්ත ක්ෂේත්‍රය බිඳවැටීමට ප්‍රධාන සාධකයක් බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා පෙන්වා දෙයි.
2028 දී යළිත් බංකොලොත් වෙනවා..
එවැනි තත්ත්වයක් පවතින වටපිටාවක වුවද රාජ්‍ය ආදායම රුපියල් බිලියන දෙදහසකින් වැඩි වී තිබේ. සමස්තයක් ලෙස එය ජනතාවගෙන් අය කළ බදු බව රණවක මහතා සඳහන් කරයි. ඉන් සනාථ වන්නේ පසුගිය වසර හතරේදී රජය සෑම පුරවැසියෙකුගෙන්ම රුපියල් ලක්ෂයක් බැගින් එක් කර ඇති බවයි. ආර්ථිකය සංකෝචනය වීම නිසා තවත් රුපියල් ලක්ෂයක් පවුලකට අහිමිවී තිබේ. ඒ අනුව හතර දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් ලක්ෂ අටක් අහිමි වී ඇති පරිසරයක, ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බව රණවක මහතා අවධාරණය කරයි.
එවැනි තත්ත්වයකදී විදුලිය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ජනතාව කෙරෙහි අවධානය යොමු කරමිනි. අධික විදුලි බිල සහ අධික තෙල් මිල හේතුවෙන් 2028 වන විට ණය ගෙවීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා රජයට ඇතිවෙයි. කවුරුන් ආණ්ඩු කළ ද පවතින තත්ත්ව යටතේ 2028 දී ම රට බංකොලොත්භාවයට නැවත ලක්වෙනු ඇතැයි රණවක මහතා අනාවැකි පල කරයි.
ඒ නිසා විදුලි බල මණ්ඩලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාකිරීමේ වගකීම මහජන උපයෝගීතා කොමිසමට පවතී. මණ්ඩලයේ වියදම් අවම කිරීමත්, ජනතාවට සහන සැලසෙන පරිදි තීරණ ගැනීමත් කොමිසමේ ප්‍රමුඛ කාර්යභාරයකි. එම වගකීම ඉටු කිරීමට නොහැකි වුවහොත්, මහජන උපයෝගීතා කොමිසමට ද ජනතාවගේ කෝපය යොමුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් හමුවූ පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

No comments:
Post a Comment