රටෙහි බෞද්ධකමෙහි පිරිහීමේ ගැඹුර සහ ගැලවෙන්නට ඇති එකම මග..! -අහෝ, ශ්‍රී ලාංකික බුදු සසුන 4 වන කොටස-
-කුඩගම්මන සීලරතන හිමියෝ ලියති
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.10, ප.ව.10.00) අවලෝකිතේශ්වර මානසික රෝහලට යවා, විශ්ව බුද්ධා රක්ෂිත බන්ධනාගාර ගත කරවීමෙන් අනතුරු ව මීවනපලානේ ව කුරුසියෙහි තබා ඇණ ගසන්නට කැස කවන හඬ දැන් ඇසෙමින් තිබේ. මේ සියල්ලක් තුළ ඇසිය යුතු, එහෙත් හිතාමතා ම ඇසෙන්නට නොසලස්වන දෙයක් ද ඇත. මෑතක දී අන්තර්ජාලයට මුදා හැර තිබෙන වීඩියෝ පටයක පැවසෙන්නේ, මීවනපලානේ නිසා පන්සල් වැසෙමින් පවතින බවත්, බුද්ධ පූජා පැවැත්වීම නොකෙරෙන බවත්, හාමුදුරුවරුන්ට වසපානය කිරීමට සිදුවනු ඇති බවත් ය. කිසිවෙකුත් කථා නොකළ සමයක ලංකා ඊ නිවුස් මේ පිළිබඳ ව කතා කළේ මේ එකක් වත් කෙරෙන්නට නොවේ. අපි හැම විට ම කතා කළේ දැනට තිබෙන ලොව ම පිළිගත් පැරණිතම බෞද්ධ මූලාශ්‍රය වන පාලි ත්‍රිපිටකය පදනම වශයෙන් තබාගෙන ශ්‍රී ලාංකික සමාජය සවිබල ගැන්වීම මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහ සඟරුවනට කළහැකි බව තරයේ විශ්වාස කරන නිසා ය. එ් අදහස සමාජ ගත කරන්නට වැර වෑයම් කරන අතරතුරත්, දවසින් දවස අලුත් වෙමින් සමාජ මාධ්‍ය හරහා පළවන අදහස්වලින් පෙනේනේ ද, ශ්‍රී ලාංකික බුදු සසුන තවතවත් වැටී තිබෙන අගාධයෙහි පහළට ම තල්ලු වීම නවතින බවක් පෙනෙනමානයකවත් නොමැති බව ය. මේ සම්බන්ධ ව යමක් කරන්නට මහ නාහිමිවරුන් සිතන බවක් දැන් සතියක දෙකක සිට පෙන්වන්නට වෑයම් කළ ද, එය බොදු මග උත්කර්ෂයට නංවන්නක් නොවීම කනගාටුදායක ය.
දහ අතට පිරිහී සිටින දේශපාලනඥයින්ට බුදු සසුන රැක දෙන්න බෑ..
මහ නාහිමිවරුන් ඒ තනතුරුවල සිටීම අපට ගැටලුවක් නොවේ. ගැටලුව තිබෙන්නේ ගන්නා පියවරවල තිබෙන අවිද්‍යාත්මක බව ය. ඕළාරික බව ය. ගතයුතු නිසි පියවර පෙනි පෙනී උන් වහන්සෙලා ම බුදු සසුන හෑල්ලු වෙන්නට හැරීම ය. කළයුතු හොඳ ම දෙය නිර්දේශ කර, එය ඉටු නොකරන්නේ නම් ඒවාට ද ගතයුතු පියවර නොගෙන ඔවුනොවුන්ට හිතෙන හිතෙන දේ කරමින් සියල්ල විනාශ මුඛයට යොමු කරවා තිබෙන දේශපාලනඥයන් මත යැපෙන්නට යාම ය. එය වෙනස් කළ හැකි එක ම මග මහ නාහිමිවරුන් සැවොම එක් රැස්ව ස්වකීය නිකායයන් හෝ පාර්ශවයන් තුළ තිබෙන ගැටලු සාකච්ඡා කර තීරණ ගැනීම ය. ඒවා ඔවුන්ගේ ගැටලු ය, අපට අදාළ නැතැ’යි නොකියා හුදෙකලා වීමට නොපෙළඹීම ය. දිනෙන් දින බිඳ වැටෙන ශාසනික තත්වය සංවිධානාත්මක ව නගා සිටුවීමට සාමුහික වීම ය. එය කළ හැක්කේ සංඝාධිකරණ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරවා ගැනීමෙන් හෝ දේශපාලනඥයින් ලවා කතිකාවත් සකසවා ගැනීමෙන් නොවේ. සරල ව ම කියතොත් බුදු සසුන රැක දෙන්නැ’යි දහ අතට පිරිහී සිටින දේශපාලනඥයින්ට අයැදීමෙන් නොවේ.
මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගෙන් උගනිමු..
බුදුදහම රකින්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ගිවිසගත් එක ම රාජ්‍ය මෙයයි, ඒ වගකීම රජය ඉටු කළ යුතුයි, යයි නගන හඬ අපට නම් “මුග්ධ” හඬකි. බුදු සසුන ආණුඩුක්‍රම ව්‍යවස්ථාවෙකින් රැකිය හැක්කක් නොවන බව පෙන්වා දුන් එක ම භික්ෂුව මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් ය. අන්තර් ජාලයට මුදා හැර තිබෙන ඒ හඬ පටයෙන් “මොකද්ද බුද්ධ ශාසනය?” යන ප්‍රශ්නය තමන් වහන්සේ ම නගන රාහුල හාමුදුරුවන් පිළිතුරු සපයන්නේ, 1. “සබ්බ පාපස්ස අකරණං - සියලු පවින් වැළකීම.” 2. “කුසලස්ස උපසම්පදා - කුසල් රැස් කිරීම.” 3. “සචිත්ත පරියෝදපනං - තමාගේ සිත දමනය කර ගැනීම,” යනුවෙන් ඇඟිල්ලෙන් ඇඟිල්ල නවමිනි. එයින් නොනැවතුණ උන් වහන්සේ, “කොහොමද මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් කරන්නෙ?” යයි ආපසු ප්‍රශ්න කරමින් මහ හඬින් සිනාසෙති. මේ නිද්‍රාශීලී, ඔතෑනි පියවරවල්වලට හේතුව රාහුල හාමුදුරුවන් පෙන්වන මේ සරල කාරණය නොවැටහීම යයි සිතමි.
“බුදුසසුන අපි බලා ගන්නම්, ඔය ඇත්තො ඔය ඇත්තන්ගෙ වැඩේ කරන්න,”
බුදු සසුන රැකීම රජයට පවරා ගැනීමේ ‘දිරච්ච ලණුව’ ගිල්වූයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ය. ඒ සිංහල, බෞද්ධ ඡන්ද බලාගෙන මිස බුදු සසුනකට ඇති ආදරයක් නිසා නොවේ. මේ විනාශයට මුල ඉන් හතළිස් හය වසරකට පසුවත් එයින් සිදුව ඇත්තේ දිනෙන් දින ශාසනික පරිහානිය වේගවත් වීම මිස වෙනත් දෙයක් නොවන බව වගකිව යුත්තන්ට නොපෙනීම ය. එයින් සිදු වූයේ, ශාසනය සුරැකීම බලලෝභී දේශපාලකයන්ට පවරා, තමන් ඒ අය ඉඳහිට පිළිගන්වන පුද පඬුරු පමණක් භාර ගන්නා පිරිසක් බවට ශාසන භාරධාරී මහ තෙරවරුන් පත්වීම පමණ ය. සිදුවී තිබෙන මේ විනාශය දකින්නට තරම් උන් වහන්සේලා සබුද්ධික නම්, කළයුතු ව ඇත්තේ “බුදුසසුන අපි බලා ගන්නම්, ඔය ඇත්තො ඔය ඇත්තන්ගෙ වැඩේ කරන්න,” යයි පවසා දිවා රෑ සිවුපසය පිළිගන්වමින් පන්සල් පෝෂණය කරන, ස්වකීය ජනතාව සමග එකතු වීම වුව ද අද සිදුව ඇත්තේ, තමන්ට ඇහුම් කන් නොදෙන අවස්ථාවාදී දේශපාලකයන්ට කංකෙඳිරි ගාන මහ නාහිමිවරුන් තමන්ට වඳින පුදන ජනතාවගෙන් පවා දිනෙන් දින ප්‍රතික්ෂේපවීම ය. පාරම්පරික ව යැපෙන්නට ධනය දේපළ තිබෙන නිසා, “අපට මොකටද ඔය කවුරුවත්,” යයි සමහර විට උන් වහන්සේලා සිතනු ඇති නමුත්, එයින් තව තවත් අසරණ වන්නේ සිංහල බෞද්ධයන් පමණක් නොව, සියලු ශ්‍රී ලාංකිකයන් ය.
දැන් කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ පන්සල් බොහොමයක් නොදරුවන්ට පාසැල් උපකරණ නොමිළයේ බෙදන, ගැබිනි මව්වරුන්ට පූර්ව ප්‍රසව පරිෂ්කාර ප්‍රදානය කරන මධ්‍යස්ථාන බවට පත්ව තිබෙන අතර, තවත් කිහිප දෙනෙකු වීඩියෝ කැමරාවකුත් රැගෙන දිළිඳු පැල්පත් කරා ගොස් කතාබස්කර සමාජ මාධ්‍යවල පළකරවමින් මුදල් රැස්කර ඒ අයට නිවාස තනවා දෙන නමුත්, ඒ එකකින්වත් රටේ දිළිඳු බවෙහි අඩුවක් වී නොමැත. මේ සතියේ පළ වූ එහි ඛේදණීය ම වාර්තාවක් පවසා තිබුණේ කාන්තා ජනගහණයෙන් 40%කට ආසන්න ප්‍රමාණයක් දරුණු ලෙස මන්දපෝෂණයෙන් පෙළෙන බව ය. අපේ කාන්තා දින පණිවිඩයෙන් පැවසූ පරිදි අඩු බර දරු උපත් ඉහළ ප්‍රතිශතයක් ගැනීම අනාගතය පිළිබඳ ව ඇති කරවන තැතිගැන්ම කෙතරම් ද?
ගමේ පන්සල ග්‍රාමීය සමාජ සංවර්ධන මධ්‍යස්ථානය බවට..
මේ තත්වයන් සමනය කරවා ශාසනික සංවිධානය ශක්තිමත් කරවීමේ අවශ්‍යතාව අප දකින්නේ ඒ ඔස්සේ මැතිවරණයක් ආසන්නයේ දේශපාලනඥයන් මෙන් ගමේ මිනිසුන්ගේ දිළිඳු බව තව තවත් තියුණු කරවමින් ඔවුන් අනුන්ගෙන් යැපෙන බවට පත් කරවන තැනක් බවට පන්සල පත් කරවීම වෙනුවට, ග්‍රාමීය සමාජ සංවර්ධන මධ්‍යස්ථානය බවට ගමේ පන්සල පත් කරවීම කළ නොහැකි දෙයක් නොවන බව පැහැදිළි ව ම දැනෙන නිසාත් එය සාර්ථක කරවිය හැකි තාක්ෂණික වශයෙන් හපන් තරුණ දැන උගත් භික්ෂූන් වහන්සේලා ද ප්‍රමාණවත් ව සිටින බව දන්නා නිසා ය. එසේ නොමැතිව, කිසිවෙකුත් රක්ෂිත බන්ධනාගාර ගත කර, මීවනපලානේ ව දඬු කඳෙහි ගසා එය කළ නොහැකි ය.
තරුණ භික්ෂූන් ඉගෙන ගත යුතු දෑ..
මහ නාහිමිවරුන්ගේ මෑත ම ලිපියෙන් ප්‍රාණවත් වූ තරුණ භික්ෂු පිරිසක් පවත්වන විවිධ සාකච්ඡා සමාජ මාධ්‍යයන් ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එයින් එකක ක්‍රියාකාරී භික්ෂුවක වන ගලගම කුසලධම්ම හිමියන් උන්වහන්සේට තිබෙන සහතික ලයිස්තුවක් ඉදිරිපත් කරන මුත්, පෙරමුණෙහි සිටින උන් වහන්සේට මා දන්නා කරුණු දෙකක් මග හැරී තිබෙන බව පෙනේ. උන් වහන්සේ ද ඉගෙනගෙන තිබෙන බව පවසන ඇක්වයිනස් විද්‍යායතන ඇදුරු මඬුල්ලෙහි 82/83 වසරවල මිනිස් ඝාතන දෙකක් නිසා සුප්‍රකට වූ මැතිව් පීරිස් පියනමගේ ඥාති සොහොයුරෙකු සිටියේ ය. එතුමන් පන්තියට ආ බොහෝ දිනවල කවුරු හෝ කෙනෙකු එකල ප්‍රසිද්ධ ව තිබුණ ඒ නඩු විභාගය ගැන කිසියම් දෙයක් කතා කරන්නට යොමු වන හැම අවස්ථාවක ම පීරිස් සර් පැවසුවේ, “අප ඒ ගැන කථා කිරීමට කාලය නාස්ති කළයුතු නැත, එහි අපට ඉගෙන ගන්නට යමක් නැත, එය රාගයෙන් මුසපත් වූ මිනිසෙකුගේ කුරිරුකමකි,” කියා නිහඬ වීම ය. මීවනපලානේගේ යූටියුබ් හැමෙකක් ම පවසන්නේ ඔහු තමන් නොපිළිගන්නේ යයි කියන ත්‍රිපිටකයට අයත් සූත්‍ර පිටකයේ අතනින් මෙතනින් සුප්‍රකට පාලි සූත්‍ර සෑහෙන ගණනක් කියවා තිබෙන බව ය. ගැටළුව තිබෙන්නේ දැන උගත් කෙනෙකු හමු වී ඒවා පැහැදිළි කරවා නොගන්නට තරම් ඔහුගේ වියරුව බලවත් වීම ය. ඒ දේශනාවන් අවසානයේ සාකච්ඡාවන්ට ඉදිරිපත් කරන ප්‍රශ්නවලින් පෙනෙන්නේ බුදු දහම පිළිබඳ අයනු ආයනුවත් නිරවුල් ව නොදන්නා පිරිසක් ඒ වියරු මිනිසාට අරිහතුන් වහන්සේ යයි අමතමින් පොඩි චූන් එකක් ගන්නා බව ය. ගලගම හිමියන් සිය සගයිනුත් රැගෙන මේ කරන ව්‍යාපාරයට පෙර, වියට්නාම් යුද්ධයෙන් ලොව ම සසල ව තිබිය දී අපවත් වී වදාළ ඥත් හන්හ් හාමුදුරුවන් ඇමරිකානුවන්ට සාමයේ මහිමය ඉගැන්වූ අයුරු කියවා ගැනීම ද මැනවි යයි හැඟෙන්නේ උන්වහන්සේ ඇතුලු පිරිසගේ ප්‍රවේශය කලකට පෙර ගල්කිස්ස මුහුදු වෙරළෙහි දී පොලිසියේ පිරිසක් මානසික රෝගියෙකුට වටකර පොලුවලින් පහර දී මරා දැමීමට නොදෙවෙනි වැඩක් බව සක් සුදක් සේ පැහැදිළි හෙයිනි.
ඥත් හන්හ් හාමුදුරුවෝ...
“අනලින් ඇළලුණ සමුදුරක නෙළුම” පොතෙහි ඥත් හන්හ් හාමුදුරුවන් පවසන්නේ එසමයෙහි වියට්නාමය තුළ සාමය ගැන කතා කිරීම දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස හංවඩු ගැසී තිබුණ බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් උන් වහන්සේ ව රටින් පිටුවාහල් වූ අයුරුත් ය. ඒ බව දැන දැන ම යුද්ධයේ සාහසිකත්වය කියා දීමට ඇමරිකාවට වැඩම කරවා නිව් යෝර්ක් නගරයේ නවාතැන් ගත් උන් වහන්සේට ඒ නවාතැනින් පිටතට වැඩම කරවීම අනාරක්ෂිත බව කියා පොලිස් බළ ඇණියක් ම යොදවා තිබී ඇති මුත්, පසුදින උදෑසන විශාල පිරිසක් දොරටුව අවහිර කරද්දී උන් වහන්සේ එතැනට වැඩම කරවා තිබෙන්නේ සුපුරුදු මදහස පමණක් මුවට නංවාගෙන හිස් අතිනි. දයාර්ද්‍ර නෙතින් කෝපයෙන් වියරු හුණු පිරිස දෙස බලමින් උන් වහන්සේ එක් පියවරක් ඉදිරියට තබන විට, කරන්නට යන්නේ කිමෙක් දැ’යි නොදත් දොර අවහිර කරගෙන හිඳ තිබුණ ඒ කෝපාවිෂ්ඨ වූවන් පියවර දෙකක් පිටු පසට ගෙන තිබේ. උන් වහන්සේ තවත් පියවරක් ඉදිරියට තබත් ම, අර පිරිස තව පියවර කිහිපයක් පසුපසට වී ඉඩ ලබා දී තිබෙන්නේ කරන දෙය බලන්නට ය. සුපුරුදු සන්සුන් බවින් ම මහ මගට පිවිසැවුණ ඥත් හන්හ් හාමුදුරුවෝ සැතපුමක් තරම් දුර සාමයෙන් සන්සුන් ව වැඩම කරවද්දී සෙසු පිරිස උන් වහන්සේ ව ලුහු බැඳ ගොස් තිබෙන්නේ ඒ නිහඬ පිළිවෙතෙහි ම යෙදෙමිනි. අවසානයේ වචනයකුදු නොදොඩා තිබෙන ඥත් හන්හ් හාමුදුරුවන් සාමය අත්දකින්නට මිනිසුන්ට ඉඩ සළසා දී තිබේ. ඒ බවක් නොදැන, වියරු මිනිසෙකුට තඩි බාන්නට කැසකැවීම තබා, උපක්‍රමශීලී ව ඔහු වටා රැස්ව සිටින පිරිස දිනා ගැනීමට තරම් නැණවත් නොවන තරුණ භික්ෂූන් වහන්සේට මග පෙන්වන්නට සිටින මහනාහිමිවරු බලලෝභී දූෂිත දේශපාලනඥයන් පසුපස ආයාචනාත්මක ව පින්සෙණ්ඩු වීමෙන් විය හැක්කේ සසුන ම තව තවත් හෑල්ලු වී ම නොවේ ද?
තරුණ භික්ෂූන් වහන්සේට මග පෙන්වීමක් නැත. අතන මෙතන දුවමින්, කෑකොස්සන් ගසන්නේ උන් වහන්සේලාට ද මෑත භාගයෙහි අත්දකින්නට ලැබුණේ මැර බලයෙන් කරළියෙහි රැඟූ උග්‍ර ජාතිවාදී, අවස්ථාවාදී, කූට ව්‍යාපාරික රාජපාක්ෂිකත්වයෙන් උද්දාමයට පත් ව, වී එයිට්වලින් වැඩමවූ භික්ෂූන් කිහිප දෙනෙකුන් වීම නිසා යැයි සිතේ. පෙනෙන්නට ඇත්තේ ඒ අය අතුරුදන් වීමෙන් හිස් වූ කරළිය දැන් අලුත් පිරිසක් විසින් අත්පත් කර ගනිමින් සිටින බවකි. එහෙත්, විය යුත්තේ මෙය ද?
බුදුන් වහන්සේගෙන් ඉගෙන ගන්න...
බුදුන් වහන්සේ තරම් ගැටලුවක් විසඳන අයුරු සරල ව ප්‍රායෝගික ව පෙන්වා වදාළ වෙනත් ශාස්තෘවරයෙකු නොවූ බව ලොව ම අවිවාදයෙන් පිළිගෙන තිබෙන සමයක පෙරමුණෙහි සිටින ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිසිවෙකුටත් ඒ බව නොපෙනීම දනවන්නේ සංවේගයකි. උන් වහන්සේ කළේ කුමක් දැ’යි මොහොතකට නැවතී සිතා බලන්න. චතුරාර්ය සත්‍යය යයි ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන ඒ ක්‍රමයෙහි කිසිවෙකුට අවබෝධ කරන්නට ලබ්බක්වත් නැත. එහි ඇත්තේ යමක් අවබෝධ කර ගන්නට කැමති ප්‍රඥාවන්තයෙකු ඒ අවබෝධය ලබා ගැනීම සඳහා අනුගමනය කළයුතු පිළිවෙළ ය. තව කොතෙක් කලක් ප්‍රාර්ථනා කළ ද එය අවබෝධ නොවන අතර, කළයුතු ව ඇත්තේ කවර ප්‍රශ්නයකට වුව ද ප්‍රශ්නයක් ලෙස තිබෙන්නට හැර, ඒ දෙස විවෘත මනසින් බැලීම ය. මෙතැන ප්‍රශ්නය වියරු මිනිසෙකු ධර්මය විකෘති කිරීමත්, ඔහු පසුපස යන්නට සෑහෙන පිරිසක් එකතු වීමත් ය. කෝපයෙන් වියරු නොවැටෙමින්, මඳකට නැවතී විමසිලිමත් වුවහොත් පෙනෙන එක දෙයක් තිබේ. ඒ මේ ප්‍රවණතාව දශක ගණනාවක් තිස්සේ වැඩෙන්නක් බව ය. පානදුරේ අරියධම්ම හිමි පසුපස වැටී රටවටා බෝගස්වලින් බුදු රැස් විහිදුවන්නට ගියේත්, එයින් හෙම්බත් ව මීවැල්ලෑවේ ගියේත්, එතැනින් දොළුකඳු නැග්ගේත්, සෝමහිමි වැඩිය වැඩිය තැන්වලට බණ අසන්නට ගියේත්, එතැනින් මහමෙව්නා ගොස් බුද්ධ රාජ මාළිග අටවා හෙම්බත් වී උමංදාවේ නිල්බත් කහ බත් රස බලන්නට හැරුණේත්, දැන් මීවනපලානේගේ පරම නිබ්බාණයේ “සං” කරන්නේත්, බදාදා සිකුරාදා නාරම්මල, මැදගොඩ සහ ඉරිදා නයිවල වෙන්නේ කුමක් දැ’යි නොදන්නා විශ්ව ශක්තිගේ ආධාර අනුබල සොයන්නේත් එක ම අසරණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මිස අලුත් මිනිසුන් හෝ අහසින් වැටුණ පිරිසක් නොවේ. එයට හේතුව ගවේෂණය කරන ලෙස අපි මේ අපමණ සහතික ලාභී තරුණ භික්ෂුන් වහන්සේලාට ඇරයුම් කරමු. බුදුන් වහන්සේ කළේ එයයි. සුත්ත නිපාත අත්ත දණ්ඩ සූත්‍රයෙහි පැවසෙන්නේ, “මේ මිනිස්සුන්ට මොක ද මේ වෙලා තියෙන්නෙ,” යයි සිතන්නට තරුණ සිදුහත් බෝසතාණන් පෙළඹුණ බව ය. එනිසා, ගමේ දායකයන් පන්සලට නොඑනවා නම්, එයට හේතුව පන්සලේ ප්‍රශ්නයක් මිස අන් යමක් විය නොහැක. ඒ කිමෙක් දැ’යි සොයා පිළියම් යොදනු මිස, පොල්ලක් රැගෙන ගොස් ඒ අය යන තැන සිටින උමතු රෝගියෙකුට පහර දීම බුද්ධිමත් කිසිවෙකුත් අනුමත කරන්නක් නොවේ.
රටෙහි බෞද්ධකමෙහි පිරිහීමේ ගැඹුර..
එසේ නොකර, මේ තරුණ භික්ෂූන් වහන්සේලා මහ නාහිමිවරුන් එතරම් නොසිතා නොබලා අත්සන් කර යවන ලිපිවලින් වෙර ගෙන කෑකොස්සන් ගැසීමට ද හේතුවක් තිබෙන බව පෙනේ. ඒ, මේ වියවුල් සහගත තත්වය ඇතිවීමට තමතමන් අතින් ද කිසියම් අතපසු වීමක් සිදු වී ඇති බව උන් වහන්සේලාට පෙනෙන්නට පටන් ගැනීමයි. සරල ම නිදසුනක් ගතහොත්, අඩු ම තරමේ දහම් පාසැලට එන දරුවන්ට වත් බුදුදහම ඉගැන්වී නම් 2023 වසරේ 39%ක් දරුවන් සාමාන්‍ය පෙළ බුදු දහම අසමත් වන්නට නොතිබුණා නොවන්නේ ද? මෙම තත්වය ඇති වන්නේ රජයේ පාසැල් බහුතරයක බුදු දහම ඉගැන්වීමට භික්ෂූන් වහන්සේලා යෙදී සිටින තත්වයක් තුළ නොවේ ද? ඔය අතරතුර කිසිවෙකුගේ අවධානයට යොමු නොවූ අපූරු පුවතක් ද තිබේ. ඒ ලේක් හවුස් ආයතනයෙන් පළ කරමින් තිබුණ ශ්‍රී ලංකාවේ එක ම බෞද්ධ පුවත්පත පසළොස්වක දිනට පමණක් මුද්‍රණය කරවීමත් අනෙක් පත්තර තුන අන්තර්ජාල කලාපයන් ලෙස පළ කිරීමට පියවර ගැනීමත් ය. අඩු ම තරම දිවයිනෙහි එක බෞද්ධ විහාරස්ථානයකට එක පත්තරයක් වත් මිළ දී ගැනුණි නම් මෙවන් තත්වයක් ඇති වේ ද? රටෙහි බෞද්ධකමෙහි පිරිහීමේ ගැඹුර සොයා ගැන්මට එය ම හොඳ මිනුම් දණ්ඩක් නොවන්නේ ද? පත්තරයෙන් ඵලක් ඇත්නම්, එය මිළ දී ගන්නට නොසිතා මානසික රෝගියෙකුගේ විගඩම් කතා අසන්නට බෞද්ධයන් යොමු වනු ඇද්ද? මේ කෑකොස්සන් ගසන භික්ෂුන් වහන්සේ මෙතරම් හති ලෑමක් නොමැති ව සිතන්නට යමක්, බුදුන් වහන්සේගේ දහම් පණිවිඩයෙන් බිඳක් බුදු සරණට ලියූවේ නම් එය මෙතරම් නොපිරිහෙන්නට තිබුණේ නොවේ ද?
ගැළවෙන්නට තිබෙන එක ම මග...
සරල ව ම කියන්නට ඇත්තේ එකකි. පළමුවන දම් දෙසුම පවත්වන්නට බුදුන් වහන්සේ පයින් වැඩම කළ දුර සැතපුම් 125කි. ඒත්, කියා දුන් දෙය මුල් වරට වැටහුණේ එක් අයෙකුට පමණි. සෙසු පිරිසට අනාත්ම ලක්ෂණත් කියා දෙන්නට සිදුවූ බව බොහෝ දෙන දනිති. එය අවසන් වූ පසු උන් වහන්සේ හමුවන විනෝදකාමී තරුණයින් පණස් හතර දෙනෙකු තමන් සමග විත් අතුරුදන් ව තිබුණ තරුණියක සොයා යන අතර හමු වූ බුදු රදුන්ගෙන් එවැනි කෙනෙකුන් ඒ පැත්තෙන් පළා යනු දුටුවේ දැ’යි විමසන්නේ උන් වහන්සේ ගැන කිසිවක් නොදැන ය. ඒ ඇසූ උන් වහන්සේ කරන්නේ “පළා ගිය කෙනෙක් ගැන හොයනවට වඩා ළමයිනේ තම තමන් ගැන ම සොයා බැලුවොත් නරක ද?” වැනි දයාර්ද්‍ර විමසුමකි. එයින් ඇස් ඇරුණ ඒ තරුණ පිරිසත්, මුල් පස් දෙනාත් එකතු කර බුදුන් වහන්සේ පැවසුවේ දැන් පලයල්ල ගල් පර්වත, කඳු, හතර මං හන්දි හොය හොය. එකතු කරපල්ල සල්ලි, හදපල්ල මගෙ පිළිම. ගොඩ ගහපල්ල ගල්තලාවල කොන්ක්‍රීට්, පළඳවපල්ල කොත්, දාපල්ල ලයිට් කියා හෝ, හොයා ගනිව් වීඩියෝ කැමරාකාරයො. පලයව් ඉටිරෙදි අහුරපු, පැල්පත් හොය හොය. දාපල්ල ෆේස්බුක්. හොයපල්ල සල්ලි. හදපල්ල උන්ට ගෙවල් කියා නොවේ. දෙව් මිනිසුන්ට හිත සුව පිණිස දහම් මග පෙන්වන ලෙස ය. ඒ මග පෙන්වීම සියල්ලන් නිවන් දැක්වීමට නොවේ. ගිහියනට ගිහි සැප විඳීමට ය. අවශ්‍ය කෙනෙකු ඇත් නම්, ඊට වඩා වැඩිමනත් වූ පැවිදි සැපය විඳ ගැනීමට ඉඩ සළසා ගැනීමට ය. අද මේ අලකලංචිය නොයෙක් වැඩකටයුතු නිසා ධර්මය මග හැරුණ භික්ෂූන් නොදැනුවත් ව ම සියල්ල ඉද්දර පාමුල් වී තිබීම ය. අපට පෙන්වා දිය හැක්කේ, ගැළවෙන්නට තිබෙන එක ම මග ඒ දහම් මගට නැවත පිවිසීම මිස පොලු මුගුරුවලින් සන්නද්ධ ව මානසික රෝගියෙකු හඹා යාම හෝ බලය වෙනුවෙන් කවර දෙයක් වුව කරන දේශපාලනඥයන්ට කනපින්දම් කීම නොවන බව ය.
No comments:
Post a Comment