Sunday, 3 March 2024

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ ඇස් ඇරේ..! රනිල්ට 'සැර' ලිපියක් යවති..!

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.03, ප.ව.11.00) "අහෝ, ශ්‍රී ලාංකික බුදු සසුන" මැයෙන් ලංකා ඊ නිව්ස් හි ලේඛක කුඩගම්මන සීලරතන හිමිපාණන් විසින් ලංකා ඊ නිව්ස් හරහා පළ කරමින් සිටින ලිපි මාලාව කිසියම් දුරකට ඵල ලබා තිබේ. "විශ්ව බුද්ධිට එකක් මීවනපලානේට තවත් එකක්.." මැයෙන් සීලරතන හිමියෝ මහානායක හිමිවරුන්ගේ ක්‍රියා කලාපය ප්‍රශ්න කළහ. ඒ කෙසේ වෙතත් පසුගියදා ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් 'සැර' ලිපියක් නීතිපතිට ද පිටපතක් සහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර තිබේ.

එමගින් ශාසනෙන් පන්නා දැමුවද සිවුරක් පොරවාගෙන මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් පෙනී සිටින සිරිසේන හපුතන්ත්‍රී නම් හොර දෙටුවා කරමින් සිටින ශාසන විනාශය ගැන කරුණු දක්වමින් ඔහුට එරෙහිව නීතියෙන් ක්‍රියා කරන ලෙස ඉල්ලා ඇත.  

මෙම පුද්ගලයා පිළිබඳ අදාල අංශ තවදුරටත් නිද්‍රාශීලී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර සිටින ත්‍රෛනිකායික මහානායක හිමිවරු මෙම ශාසන විනාශකාරී ක්‍රියා පිළිවෙත හුදු සිදුවීමක් ලෙස ලඝු කොට සැලකීමට මහා සංඝරත්නය ලෙස අපි තවදුරටත් සූදානම් නොවන බව මෙයින් බරපතල ලෙස අවධාරණය කර සිටින බවද සඳහන් කර ඇත.

එකී ලිපිය සම්පුර්ණයෙන් පහත දැක්වේ.

2024 02 29
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති
රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ

ගරු ජනාධිපතිතුමනි,

මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්සු ප්‍රතිරූපකයා විසින් සිදුකරන ශාසන විනාශය හා නීති විරෝධී ක්‍රියා පිළිබඳවයි

ථෙරවාදී පාලි ත්‍රිපිටකට සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කරමින් බුද්ධ චරිතය හා ත්‍රිපිටකාගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතල ශාසන විනාශක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නියැලී සිටින මීවනපලානේ සිරිධම්මලංකාර නමින් පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයා පිළිබඳ අවස්ථා ගණනාවක දී අප විසින් ගරු ජනාධිපතිතුමන් ඇතුළු වගකිව යුතු අංශ දැනුවත් කර ඇත.

විමතියට කරුණක්..

සාමණේර භික්ෂු ලියාපදිංචිය ද අවලංගු කොට නිකාය පාර්ශවයෙන් නෙරපා හැර ඇති මොහු තවදුරටත් භික්ෂුවක් ලෙස පෙනී සිටීම හේතුවෙන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරු වන බව විහාර දේවාලගම් ආඥා පනතේ 42 වැනි වගන්තිය අනුව ද පැහැදිලි වේ. (අදාල ලේඛන මේ සමග අමුණා ඇත)

එවැනි පසුබිමක් තුල තවදුරටත් බුදු දහම පිළිබඳ සාවද්‍ය අර්ථ විවරණ සපයමින් බුද්ධ චරිතය විකෘති කරමින් ථෙරවාදී පාලි ත්‍රිපිටකය පිළිබඳ සාවද්‍ය හා අපහාසාත්මක මතවාදයන් ජනගත කරමින් කටයුතු කිරීමට මෙම පුද්ගලයාට ඉඩ ප්‍රස්ථාව ලැබී තිබීම විමතියට කරුණකි.

භික්ෂුවකට හිමි සමාජ ගෞරවය හා ප්‍රත්‍ය පහසුකම් වංචනිකව පරිභෝග කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගිහි-පැවැදි පිරිස් නොමග යවමින් බෞද්ධ සමාජය තුල ගැටුම් නිර්මාණය කරමින් ලාංකේය භූ දේශපාලන ව්‍යුහය පිළිබඳව ද සාවද්‍ය මතවාද ජනගත කරමින් සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ මෙන්ම රාජ්‍ය අස්ථාවර කිරීමේ දීර්ඝකාලීන කුමන්ත්‍රණයක මෙම පුද්ගලයා නිරතව සිටින බව මේ වන විට අනාවරණය වී ඇත.

බරපතල වැරදි 7 ක්..

සම්බුදු චරිතය පිළිබඳවත් පාලි ත්‍රිපිටකට පිළිබඳවත් මොහු විසින් ඉදිරිපත් කරනු ලබන මිත්‍යා මතවාදයන් හා එහි සමාජ බලපෑම පහත පරිදි සම්පිණ්ඩනය කළ හැකිය.

1. සම්බුදු චරිතය පිළිබඳ භාරතයේ පවතින ස්ථාන නාමයන් සාවද්‍ය ලෙස හා අශාස්ත්‍රීය ලෙස ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධස්ථාන ලෙස අරුත් ගන්වමින් බෞද්ධ ජනයා නොමග යැවීම හා බෞද්ධ සමාජය තුල සමගියට බාධා පමුණුවමින් බෞද්ධයන් අතර ගැටුම් නිර්මාණය කිරීම.

2. ධර්ම දේශනා කිරීමේ මුවාවෙන් බුදු දහමේ මූලික ඉගැන්වීම් පිළිබඳ විකෘති අර්ථකථන සිදුකිරීම.

3. ශ්‍රී ලාංකේය ශාසන භාරධාරී මහ තෙරවරුන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කොට ජාතික උරුමයක් ලෙස නම් කොට ඇති ශ්‍රී ලංකා ජනරජය මගින් 2500 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට ප්‍රකාශයට පත් කරන්නට යෙදුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව නිවැරදි ත්‍රිපිටකය නොවන බවත් නිවැරදි ත්‍රිපිටකය තමන් එංගලන්තයෙන් ගෙනා බවත් ප්‍රකාශ කරමින් බෞද්ධ ලෝකය වංචනික ලෙස නොමග යැවීම.

4. තමන් සිවු පිළිසිඹියා පත් අරහතන් වහන්සේ නමක් ලෙස ප්‍රකාශ කරමින් මහජනතාව නොමග යවමින් නොයෙක් වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින් ශ්‍රී සම්බුද්ධ දේශනාවන්ගේ උතුම් දාර්ශනික හර පද්ධතීන් විනාශ කිරීම හා අරහත් සංකල්පය සමාජය තුළ හාස්‍යයට හා උපහාසයට ලක් කිරීම.

5. සිදුහත් කුමාරොත්පත්තියෙන් අනතුරුව මහාමායා දේවිය ලිංග විපර්යාසයකට ලක් වූ බව වැනි විකෘති මත ප්‍රකාශ ඉදිරිපත් කරමින් බුද්ධ චරිතය අවමානයට පත් කිරීම.

6. යුනෙස්කෝ ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ලුම්බිනිය, බුද්ධගයාව, බරණැස වැනි ස්ථාන පිළිබඳ මෙන්ම ලංකාද්වීපය තුළ පිහිටි ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, වැනි ලෝක බෞද්ධයන්ගේ වන්දනීය ස්ථානයන්ගේ පිහිටීම පිළිබඳ සාවද්‍ය අර්ථ විවරණ සපයමින් බෞද්ධ ලෝකය තුළ ථෙරවාදී ධර්ම කොෂ්ඨාගාරය ලෙස ලංකාව පිළිබඳ පවතින විශ්වාසය පළුදු කිරීම හා ලක්දිව පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ සාවද්‍ය මතවාද ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ සමාජය තුළ වෛරයක් ගොඩනැගීම.

7. බෞද්ධ සම්මතයන් හා චාරිත්‍රයන් විවේචනය කරමින් සංඝ සමාජයේ පරිපාලන ව්‍යුහය පිළිබඳ අපහාසාත්මක හා සමාජය නොමග යවන ප්‍රචාර සිදුකරමින් භික්ෂුව හා මහජනතාව අතර විරසක භාවයක් නිර්මාණය කිරීම.

මේ වන විට ස්ත්‍රී දූෂණ චෝදනා ඇතුළු සාපරාධී අපරාධ ගණනාවක් පිළිබඳ චෝදනා ලැබ ඇති මෙම තැනැත්තා සිරිසේන හපුතන්ත්‍රී යන අනන්‍යතාව භාවිතා කරමින් රජයේ විශ්‍රාම වැටුප ද ලබා ගනිමින් විවිධ නාමයන්ගෙන් පෙනී සිටිමින් චේතනාන්විතව මහජනතාව රැවටීමේ ක්‍රමන්ත්‍රණයක නිරතව සිටින බවත් බුද්ධ ශාසනය විනාශ කිරීමේ පටු පරමාර්ථයෙන් කටයුතු කරන සංවිධානාත්මක කණ්ඩායම් මෙම තැනැත්තා විසින් සිදුකරනු ලබන ධර්ම විකෘතීන්ට අනුග්‍රහය දක්වමින් දැවැන්ත මුදල් සම්භාරයක් මොහු වෙත ලබා දෙන බවටත් කරුණු හෙළිවෙමින් තිබේ. තවද පරම නිබ්බාන නමින් ආයතනයක් පිහිටුවාගෙන සාවද්‍ය විකෘති ධර්ම කරුණු ප්‍රචාරය කරමින් එම ස්ථානයට පැමිණෙන උපාසක උපාසිකාවන් නොමග යවමින් මුදල් ලබාගෙන පෞද්ගලික දේපොළ මිලදී ගෙනසිය දරුවන්ට ලබා දීම පිළිබඳව ද මේ වන විට කරුණු අනාවරණය වී ඇත.

අපගේ දැඩි අප්‍රසාදය පළ කර සිටිමු.

බරපතල ශාසන විනාශයක් මෙන්ම ලාංකේය භූ දේශපාලන අධිකාරිය සම්බන්ධයෙන් සාවද්‍ය ඉතිහාසයක් ගෙන හැර දක්වමින් සමාජ ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කරන විවිධ සාපරාධී අපරාධයන් පිළිබඳව ද චෝදනා ලැබ සිටින මෙම පුද්ගලයා පිළිබඳ අදාල අංශ තවදුරටත් නිද්‍රාශීලී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ අපගේ දැඩි අප්‍රසාදය පළ කර සිටිමු.

එහෙයින් රටෙහි ජාතික ආරක්ෂාවටද තර්ජනයක් ගෙන දෙමින් චිරාත් කාලයක් පැමැති සමාජ හර පද්ධතීන් හා විශ්වාස පද්ධතීන් පිළිබඳ සමාජය තුළ කුකුසක් නිර්මාණය කරමින් සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙහි නිරත මීවනපලානේ සිරි ධම්මාලංකාර, පන්සල්හේනේ ධම්මාලංකාර හා පන්සල්හේනේ ධම්මික යන අනන්‍යතාවයන්ගෙන් පෙනී සිටිමින් චෞර භාවයෙන් භික්ෂු වේශධාරීව චීවරය අවභාවිතා කරමින් කටයුතු කරන සිරිසේන හපුතන්ත්‍රී නම් මේ පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙයින් දන්වා සිටින අතර එය බුදු දහම සුරක්ෂිත කොට පෝෂනය කිරීමේ වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා ජනරජයේ පරම යුතුකමක් වන බව ද මෙහි ලා සිහිපත් කර සිටිමු.

හුදු සිදුවීමක් ලෙස ලඝු කොට සැලකීමට මහා සංඝරත්නය ලෙස අපි තවදුරටත් සූදානම් නෑ..

මෙම ශාසන විනාශකාරී ක්‍රියා පිළිවෙත හුදු සිදුවීමක් ලෙස ලඝු කොට සැලකීමට මහා සංඝරත්නය ලෙස අපි තවදුරටත් සූදානම් නොවන බව මෙයින් බරපතල ලෙස අවධාරණය කර සිටිමු. මේ පිළිබඳ ඔබතුමන්ගේ කඩිනම් අවධානය අගය කරන අතර ම ඔබතුමන්ට රත්නත්‍රයේ ආශිර්වාදය සැලසේවා යි ආශිංසනය කරම්හ.

ඒ වගත් මෙසේ ම,

අත්සන් කෙළේ

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක ස්ථවිර, මල්වතු විහාරය, මහනුවර

අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශවයේ මහනායක ස්ථවිර, අස්ගිරි මහා විහාරය, මහනුවර

අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන මහානාය ස්ථවිර, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙන, මිරිස්වත්ත, බලංගොඩ.

අතිපූජ්‍ය මකුලෑමේ ශ්‍රී විමලාභිධාන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්ථවිර, මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙන, මීරිගම.

දැනගැනීම සහ අවශ්‍ය කටයුතු සඳහා පිටපත්:
1. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා
2. නීතිපතිතුමා
3. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා

No comments:

Post a Comment