Tuesday, 5 March 2024

ජනාධිපති වෙන්න හදන නයි නැටවූ දිලිත් ජයවීර ‘මුලික මිනිස් අයිතිවාසිකම්‘ කඩලා..! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..! නඩු තීන්දුව මෙන්න..!

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.05, ප.ව.9.35) මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන දෙරණ නාලිකාවේ හිමිකරු වන දිලිත් ජයවීර ඇතුළු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරීව සිටි එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා මහතාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා තීන්දු කර තිබේ.

එම තීන්දුව ලබා දී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව තම විනය බලධාරියා ලෙස තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරමින් දිගින් දිගටම තමන්ට අඩන්තේට්ටම් සිදු කරමින් රැකියාවෙන් මාරු කිරීම්, විනය පරීක්ෂණ ආදියට එරෙහිව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරීව සිටි එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා විසින් ගොනු කළ පෙත්සමකට අදාළවය.

ඇන්ටන් පෙරේරාගෙන් පළිගැනීමේ ආරම්භය..

එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා මහතා මීට පෙර සේවය කළ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස තම නිල මුද්‍රාව හා නිල නාමය භාවිතා කරමින් රජයේ දේපළ අභාවිත කළ බවට සඳහන් කරමින් ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ලබාදී ඔහු 2020 පෙබරවාරි 06 දින සිට විනය පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම වැටුප අත්හිටුවා විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වගන්තිය අනුව සේවය අත්හිටුවා ඇත.

ඊට හේතු වී ඇත්තේ ශාලාව යුධ හමුදා කඳවුර පිපිරීමට අදාල හානි තක්සේරු වැරදි ලෙස සිදු කිරීම සම්බන්ධයෙන් වන ආනාවරණයක් මත ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස සිටියදී එම්.ඩී.එස්. ඇන්ටන් පෙරේරා විසින් ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම විමර්ශනවලට අදාල සාක්ෂි සපයා ගැනීම සඳහා විධිමත් ලෙස ‍තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හා සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරීන්ගෙන් තොරතුරු ඉල්ලා තිබීමයි. එහිදී තම නිල නාමය නිල මුද්‍රාව භාවිතා කිරීම මත මෙම සේවය අත්හිටුවා තිබේ.

ඉහත චෝදනා පත්‍රය මත විධිමත් විනය පරීක්ෂණයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යොදවා පැවැත්වීමට ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉන්පසුව කටයුතු කර ඇත. එහිදී ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස තම නිල මුද්‍රාව හා නිල නාමය තොරතුරු දැනගැනීම සඳහා භාවිතා කිරීම තුළින් එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා විනය කඩකර නැති බවට තීන්දුකර ඔහු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදි.

දිලිත් ජයවීරලාගේ කොමිසම තීන්දුව බල්ලාට දැම්මා..

කෙසේ වෙතත් එම තීන්දුව නොතකා රාජ්‍ය සේවා කොමිසම විසින් ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ලෙස කටයුතු කළ එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා වැරදිකරු බව තීරණය කොට ඔහුගේ විශ්‍රාම වැටුපෙන් 2%ක මුදල් කපා දැමීමටද තීන්දු කරන ලදී. මේ වනවිට එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා මහතා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ සිට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරී ලෙස ස්ථාන මාරුවීම් ලැබ තිබුනි.

මේ අතර ඇන්ටන් පෙරේරා මහතා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) නිලධාරී ලෙස සිටියදී ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මහ ලේකම් ඩබ්ලිව්.ඩී ජයසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කෙළේය. කෙසේ වෙතත් මෙම පැමිණිල්ල විභාග කරනවා වෙනුවට වහාම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇන්ටන් පෙරේරා මහතාව වැඩ රාජකාරි පැවරීමකින් තොරව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ස්ථාන මාරුකර යවන ලදි.

එම ස්ථාන මාරුකිරීමට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුවකදී තනතුරක් නොදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ස්ථානමාරු කිරීම අවලංගු කර සුදුසු ස්ථානයක් ලබා දීමෙන් පසු නඩුව අවසන් විය.

දිලිත් ජයවීරලා නැවත නැවත පළිගත්තා..

ඉන් පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නැවත වරක් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම මත ඇන්ටන් පෙරේරා මහතාට චෝදනා පත්‍රයක් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරී එම්.ඩී.එස් ඇන්ටන් පෙරේරා විසින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ මූල මණ්ඩලයටද කර ඇති පැමිණිල්ලක් අනුව, අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ලබා දීම නීතිවිරෝධී අත්තනෝමතික වැරදි තීරණයක් කියා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ මූල මණ්ඩලය විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එරෙහිව වාර්තාවක්ද නිකුත් කර තිබිනි. එම වාර්තාවෙන් ඇන්ටන් පෙරේරාට වන්දි ගෙවීමටද නියෝග කර තිබිණ.

එහෙත් දිලිත් ජයවීර ඇතුළු රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙම වාර්තාවද මායිම් නොකරමින් ඔහුට එරෙහිව දිගින් දිගටම පරීක්ෂණ පවත්වා ඇත.

මෙම තත්ත්වය හමුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීම සහ තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලීම පදනම් කොට ඔහුට ලබා දී තිබූ චෝදනා පත්‍ර තුළින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කරමින් ඇන්ටන් පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය අපූරු තීන්දුවක් දුන්නා...

ඒ අනුව එම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය රාජ්‍ය සේවා කොමිසම කටයුතු කර ඇති ආකාරය වැරදි බවටත් පැමිණිලි කරු වන ඇන්ටන් පෙරේරාට කෙසේ හෝ දඬුවමක් දීමේ බලාපොරොත්තුවෙන් රාජ්‍ය සේවා කොමිසම කටයුතු කර ඇති බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 1 ව්‍යවස්ථාව අනුව සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් විසින් කඩ කර ඇති බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙළේය.

මෙම මූලික අයිතිවාසිකම් කඩ කළ පිරිස අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය සේවා කොමිසට පත්කරන ලද ඔහුගේ ගජ මිතුරෙකු වන දෙරණ නාලිකාවේ අධිපති දිලිත් ජයවීර ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයන්, අනුප්‍රාප්තිකයන් සහ එහි ලේකම් ඇතුළු 19 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර පිරිස අතර සිටී.

ඇන්ටන් පෙරේරා මහතාගේ මුලික අයිතිවාසිකම් කඩකළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කර ඇති අතර එම පිරිස පහතින් දැක්වේ.

01 – ධර්මසේන දිසානායක – සභාපති
01 A – ජගත් බාලපටබැඳි – සභාපති
02 – මහාචාර්ය හුසෙයින් ඉස්මයිල් – සාමාජික
02 A – ඉන්ද්‍රානි සුගතදාස – සාමාජිත
03 – ආචාර්ය ප්‍රතාප් රාමානුජම් – සාමාජික
03 A – වී. ශිවඥානසෝති – සාමාජක
04 – වී. ජෙගරාසාසිංහම් – සාමාජික
04 A – ආචාර්ය ටී.ආර්.සී රුබේරු – සාමාජික
05 – එස්. රනුග්ගේ – සාමාජික
05 A – අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම් – සාමාජික
06 – ඩී. ලක්සිරි මෙන්ඩිස් – සාමාජික
06 A – ලීලසේන ලියනගමගේ – සාමාජික
07 – සරත් ජයතිලක – සාමාජික
07 A – ඩයන් ගෝමස් – සාමාජික
08 – සුධර්මා කරුණාරත්න – සාමාජික
08 A – දිලිත් ජයවීර – සාමාජික
09 – ජී.එස්.ඒ ද සිල්වා පී.සී – සාමාජික
09 A – ඩබ්ලිව්.එච් පියදාස – සාමාජික
10 – එම්.ඒ.බී දයා සෙනරත් – ලේකම්

දිලිත් ජයවීර උපරිමාධිකරණයෙන් වරදකරු කළ අයෙක්..

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තහවුරු වන්නේ මේ දිනවල වල ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට ප්‍රකාශ කරමින් රටපුරා ජනතාව ආමන්ත්‍රණය කරමින් යන මෙම දිලිත් ජයවීර යනු මුලික මිනිස් අයිතිවාසිකම් කඩකළ පුද්ගයෙකු ලෙස අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු ලෙස නම් කරන ලද පුද්ගලයෙකු බවයි.

කැළණි නයා, වඳ කොත්තු, වඳ ඇඳුම් සමාජගත කළා...

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා කැළණි ගං පතුලෙන් නාගයෙකු මතුවීම, වඳ කොත්තු, වඳ ඇඳුම්, දොස්තර ෂාෆිට එරෙහි අභූත චෝදනා නැගීම වැනි විවිධ මිත්‍යාවන් සමාජගත කරමින් තම රූපවාහිනී නාලිකාව හරහා විශාල කාර්යභාරයක් ඉටුකරන ලද දිලිත් ජයවීර ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේ විවිධ වරදාන වරප්‍රසාද ලබාගත්තේ ය.

කොරෝනා වසන්ගතය වසන්තයක් කර ගත්තා..

කොරෝනා ව්‍යසනය හමුවේ විදේශගත ශ්‍රමිකයින් නිරෝධානයට මුවාවෙමින් තම හෝටල් වලට රුපියල් ලක්ෂ ගණනින් අයකරමින් සති දෙකක කාලයක් ඔවුන් නිරෝධානය කිරීම සඳහා රඳවා ගත්තේ ය. ඊට අමතර ඇන්ටිජන් වංචාව හරහා විශාල ධනයක් රැස්කර ගැනීමට ඔහු ක්‍රියාකළ බව මේ වනවිට රහසක් නොවේ. තවද ධම්මික පැණිය වැනි මිත්‍යාවන් සමාජගත කරමින් කොරෝනා වසන්ගතව හමුවේ රට ව්‍යාකූල කිරීමට ද තම නාලිකාව හරහා විශාල ලෙස මැදිහත් විය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීමෙන් පසු රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙස දිලිත් ජයවීර පත්කරන ලද්දේ ද තමන්ට ජනාධිපතිවීමට කරන ලද සේවය වෙනුවෙන් කෘතෝපකාරයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනි. මේ අනුව එම රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකත්වය උපයෝගිකර ගනිමින් රාජ්‍ය සේවකයින්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමට දිලිත් ජයවීර සෘජුවම සම්බන්ධ වී කටයුතු කර තිබෙන බව මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් කදිමට පැහැදිලි වේ.

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි




No comments:

Post a Comment