Tuesday, 12 March 2024

අපේ ක්‍රිකට් පිලේ කොචෝක් විගඩම් නවතනු..!

-LeN ස්පෝට්ස්මන් ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.11, ප.ව.8.40) බංග්ලාදේශය සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තත් තරගාවලිය අවසන් වූයේ දෙපිලේ ක්‍රීඩකයන් අතර කලක් මුළුල්ලේ පවතින නොහොඳ තවත් අලුත් කරමිනි.

මෙයට හේතුව වූයේ බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ වනිඳු හසරංග නොසළකා හරින ප්‍රකාශයක් නිකුත් කිරීමත් පිටිය මැද ක්‍රීඩකයන් රළු ආකාරයෙන් හැසිරීමත් දුර්වල විනිසුරු තීරණ හා පෙර පැවති තරගාවලියේදී ඇන්ජෙලෝ මැතිව්ස් ගේ ටයිම්ඩ් අවුට් දැවී යාම පිළිබඳ දෙපිලේම ක්‍රීඩකයන් තවමත් එකිනෙකාට කෝචෝක් කර ගැනීමත් නිසාය.

අපේ ක්‍රීඩකයන් කුසලානය දිනා සමූහ ඡායාරූපයට පෙනී සිටින විට ක්‍රීඩකයන් සියලු දෙනා ටයිම්ඩ් අවුට් අභිනයෙන් හුවා දැක්වීම මේ අතර මාතෘකාවක් බවට  පත් විය.

මීට පෙර තරගාවලියක ලංකාව පැරදවූ විට බංගලි ක්‍රීඩකයන් කළ නාග නැටුම විගඩම මෑතක් වන තුරු අපේ ක්‍රීඩකයන් හා ප්‍රේක්ෂකයන්ගේ විනෝදයට   හේතුවක් විය.

දැන් පටන් ගෙන ඇත්තේ ටයිම්ඩ් අවුට් විගඩමය.

මෙවැනි විගඩම් ප්‍රතිවාදීන් කොතරම් කළත් අපේ ක්‍රීඩකයන් එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඔවුන් තරම් පහත් මට්ටමට නොවැටී  පිත්තෙන් හා පන්දුවෙනි.

මෙවැනි විගඩම් ප්‍රතිචාර තව තවත් දුර දිග ගියහොත් ඇතැම් විට බංගලි ක්‍රීඩකයන් තොප්පිය අනික් පැත්ත හරවා හිඟා කන අයුරු අපේ ක්‍රීඩකයන්ට පෙන්වුවහොත් කුමක් කරන්නද?

අපි ලෝකෙටම ණය රටක් ලෙස මෑතකදී බංග්ලාදේශයෙන්ද ණය ලබා ගත් බව අමතක නොකළ යුතුය.

එනිසා තරගයක් දෙකක් දිනූ පමණින් උවමනාවට වඩා රඟන්නට නොගොස් බංගලියන්ට කෝචොක් කිරීම නවත්වා මහාත්ම ලීලාවෙන් ක්‍රීඩා කරන ලෙස ක්‍රීඩකයන් කළමනාකරණය කිරීම අපේ ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමකි.

මේ කෝචෝක් කිරිල්ල තව දුර ගියහොත් බංගලියන් අපට හිඟා කෑමේ කෝචෝක් එකක්  සිදු නොකරනු ඇතැයි කාට කිව හැකිද?

කණ්ඩායමේ කළමනාකරුවෙක් සිටින්නේ ක්‍රීඩකයන්ගේ බෑග් ඇදීමට හෝ ඔවුන්ගේ පිම්පි වැඩ කිරීමට නොව හරි දේ කියා දීමටය.

-LeN ස්පෝට්ස්මන්

No comments:

Post a Comment