Tuesday, 12 March 2024

අල, ලූණු විකිණීමට අමතරව ග්‍රාමීය ආර්ථිකය සවිබල ගන්වන අකුරැස්සේ NPP සමූපකාරය..!

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.12, ප.ව.9.40) බොහෝ අය සලකන්නේ සමුපකාරය අල, ලූණු, හාල්, පරිප්පු විකුණන සිල්ලර කඩයක් හැටියට ය. එහෙත්, ජාතික ජන බලවේගය පාලනය කරන සමුපකාර 25කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ග්‍රාමීය ආර්ථිකය ගොඩ නැගීම සඳහා විශාල දායකත්වයත් ලබා දෙන බව රටේ බොහෝ ජනයා නොදනී.

මාගේ සමුපකාර පිළිබඳ අධ්‍යයනයේ දෙවන අදියර මේ වන විට ආරම්භ කොට ඇත. පළමු අදියර අවසන් කොට විදේශ ගත වීමෙන් පසු මාගේ අත්දැකීම් රාශියක් මෙවැනි ලිපි මගින් ඔබ සමග හුවමාරු කරගතිමි. නැවත මාගේ සුපුරුදු සංචාරය ආරම්භ කරමින් එප්පාවල , ගල්නෑව , විලච්චිය, කැකිරාව , සහ මහව සමුපකාර වල පසුගිය දින කිහිපයේ සංචාරය කළේ ය. අකුරැස්ස සමූපකාරයේ සභාපති තුමා මුනගැසීමට අවශ්‍ය වූයේ එහි දිනෙන් දින අලුත් වන නව ප්‍රවනතා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ය.

අකුරැස්ස සමූපකාරය ජාතික ජන බලවේගය  පාලනය කරන්නේ 2005 සිටයි. එහි සභාපති වරයා වන රාජපක්ෂ මහතා අකුරැස්ස  සමුපකාරය අද වන විට ඔසවා තබා තිබෙන ස්ථානය කෙතරම් අගනේද කියා වැටහුණේ ඔහු සමග කළ කෙටි සාකච්ඡාවෙන් පසුවයි .

තොග මිල පාලනය කරන්නේ සමුපකාරය යි..

අකුරැස්ස නගරය සහ අවට නගර වල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලේම සිල්ලර සහ තොග මිල පාලනය කරන්නේ සමුපකාරය යි. නම් දරා සිටින සුපිරි වෙළඳසැල් (Super Markets) වැසී යන තත්ත්වයට පත්වී තිබෙන්නේ අකුරැස්ස සමූපකාරය සමග තරඟ කිරීමට නොහැකි වීම නිසාය. සුපිරි වෙළඳසැල් සහල් කිලෝව රු.165/- ට අලෙවි කරන විට අකුරැස්ස සමූපකාරය අලෙවි කරන්නේ රු. 147/- ටය (මෙම ලිපිය ලියන දිනයේ). සීනි , පරිප්පු , කරවල මිල ද එසේමය. ඔවුන්ගේ ප්‍රාදේශීක (අලෙවි සැල්) 42 ක් ක්‍රියාත්මක වෙන අතර ඒ සියල්ල ඉතා සාර්ථකව හිඟයකින් තොරව  තම සාමාජිකයන්ට සාධාරණ මිලකට අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ල සපයති.

සිල්ලර සහ තොග වෙළඳාමෙන් ඔබ්බට ගොස් අකුරැස්ස සමූපකාරය තවත් ව්‍යාපෘතියක් වසර 4ක් තිස්සේ කරගෙන යන බව සභාපති වරයා මා සමග ප්‍රකාශ කළේ ය.

ස්වයං රැකියා ලාභීන්ට අත්වැලක් වෙමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය , තාක්ෂණය සහ වෙළඳපොළ අකුරැස්ස සමුපකාරය තුලින්ම සපයා දෙමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමට සමූපකාරය නිහඬව මේ වන විටත් විශාල දායකත්වයක් ලබා දී ඇත.

ග්‍රාමීය ප්‍රදේශ වල සිටින ක්ෂුද්‍ර කර්මාන්ත (ස්වයං රැකියා ) වල නියුතු බොහෝ නිෂ්පාදකයින්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොලැබීම යි. ඔවුන්ගේ නිෂ්පාදන අතරමැදියන්ට කුණු කොල්ලයට විකිණීමට සිදුවීම තුල ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීමට පවා මිලක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වී ඇත. මෙයට පිළියමක් ලෙස අකුරැස්ස සමූපකාරය කදිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇත.

නිෂ්පාදකයන් 9 දෙනාගේ කුඩා කණ්ඩායම් 900 ක්..

අකුරැස්ස සමූපකාර බල ප්‍රදේශයේ සිටින ස්වයං රැකියාවල නියුතු නිෂ්පාදකයන් 9 දෙනා බැගින් කුඩා කණ්ඩායමක් සකස් කොට එහි සභාපති ලේකම් වැනි නිල සඳහා සාමාජිකයන්ගේ එකඟතාවයෙන් පිරිසක් පත්කර ගනී. මේ ආකාරයට 2020 සිට 2023 දක්වා සාමාජිකයන් 9 දෙනාගේ කුඩා කණ්ඩායම් 900 ක් සකස් කොට ඇත. 2024 සඳහා තවත් කුඩා කණ්ඩායම් 250-300 අතර ප්‍රමාණයක් සකස් කිරීමට අකුරැස්ස සමූපකාරය බලාපොරොත්තු වන බව සභාපති රාජපක්ෂ මහතා මා සමග ප්‍රකාශ කළේ ය.

ඇප රහිත කණ්ඩායම් ණය ක්‍රමයක්

බිම් මල් වගාව, කඩදාසි බෑග්, ඇන්තූරියම් වැනි ඉල්ලුමක් තිබෙන මල් පැල, ඇඳුම් මැසීම, විසිතුරු මත්ස්‍ය වගාව, කෘතීම මල් නිෂ්පාදනය, කුළුබඩු ඇඹරීම සහ පැකට් කිරීම, ගෘහයට අවශ්‍ය කොසු, ඉදල්, හැඳි, කීර තම්පලා , වැනි විවිධ නිෂ්පාදන වල නියුතු ග්‍රාමීය නිෂ්පාදකයන් එකතු කොට කණ්ඩායම් ණය ක්‍රමයක් සමුපකාර ග්‍රාමීය බැංකු හරහා ක්‍රියාත්මක කොට ඇත. තම ව්‍යාපෘතිය අනුව පළමු වටයේ එක් නිෂ්පාදකයෙකුට රුපියල් 50,000 සිට 100,000 දක්වා උපරිම ලක්ෂ 1,000,000 වැනි මුදලක් ආරම්භක වටයේ එක් කණ්ඩායමකට ලබා දෙයි. මේ සඳහා ඉතා නාමික පොලියක් හීන වන ශේෂ ක්‍රමයට ගෙවීමට සිදුවන අතර කණ්ඩායම් නායකයින් විසින් අදාළ ණය වාරික එකතු කර දීමට කටයුතු කරති. ඇප රහිත ක්ෂණික ණය ක්‍රමයක් වන මෙය අදාළ කණ්ඩායම සිටින ග්‍රාමයටම යන බැංකු නිළධාරීන් විසින් එවේලේම අදාළ මුදල ලබා දීම මෙහි ඇති විශේෂත්වය යි.

නොමිලේ තාක්ෂණික සහාය...

නිෂ්පාදකයින්ට අවශ්‍ය තාක්ෂණය ලබා දීම සඳහා ඒ සඳහාම පත්කළ තාක්ෂණික නිළධාරීන් කණ්ඩායමක් සමුපකාරය විසින් බඳවා ගෙන ඇත. ඔවුන් විසින් අදාළ නිවෙස් හෝ වගාබිම් වලටම ගොස් අවශ්‍ය දැණුම, යෙදවුම්, සහ මග පෙන්වීම් සියල්ල ලබා දෙන බව සභාපති රාජපක්ෂ මහතා මා සමග ප්‍රකාශ කළේ ය. ගොවියාට අවශ්‍ය සියළු තාක්ෂණික සහය නොමිලේ ලැබීම තුල ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු වනු ඇත.

නිෂ්පාදන සියල්ල අතරමැදියන් නැතිව සමුපකාරය විසින්ම මිල දී ගනී..

මෙම කණ්ඩායම් නිෂ්පාදන සියල්ල සාධාරණ මිලකට සමුපකාරය විසින්ම මිල දී ගනී. කිසිදු අතරමැදියකු නොමැති වීම තුල නිෂ්පාදකයාට ඉහළ මිලක් ලබා ගැනීමට මෙමගින්  අවස්ථාව සලසා ඇත. මෙම ක්‍රමය ආදර්ශයට ගනිමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කොට ඇති සියළු සමුපකාර සමිති (25) විවිධ වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටී.

මෙම කුඩා කණ්ඩායම් ක්‍රමය හරහා ගොඩනැගුණු ග්‍රාමීය පවුල් 1000 කට ආසන්න පිරිසක් අකුරැස්ස සමූපකාර බල ප්‍රදේශයේ ඇත. මෙය ජාතික ජන බලවේගය විසින් ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ එක් ආදර්ශ වැඩ සටහනක් බව සභාපති රාජපක්ෂ මහතා මා සමග පැවසීය. එය තවත් විවිධාංගීකරණය (Diversify ) කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි.

ජාතික ජන බලවේගය ඔවුන්ට රටේ බලය  ලැබීමට පෙරම හැකි පමණින් විවිධ අත් හදා බැලීම් රාශියක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කර තිබීම පැසසිය යුතුය. ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීම සඳහා සමුපකාරයට කළ හැකි කාර්‍ය සුළු පටු නොවේ. මාලිමාව  ජයග්‍රහණය කොට ඇති සෑම සමුපකාර සමිතියකටම වාර්ෂික සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට අවශ්‍ය මග පෙන්වීම් ලබා දී ඇත. ග්‍රාමීය ණය ගැතිභාවය තුරන් කිරීමට සමුපකාර ග්‍රාමීය බැංකු ක්‍රමයට විශාල වැඩ කොටසක් කළ හැක. එය දැන් සිදුවෙමින් ඇත. රටේ ජනයා ජාතික ජන බලවේගයට  බලය ලබා දුන් පසු මේවා තවත් විධිමත් කොට ග්‍රාමීය ආර්ථිකය නව මාවතකට යොමු කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. ඒ සඳහාම කැපවුණු පිරිසක් ජාතික ජන බලවේගය සතුව සිටීම ඔවුන්ට ඇති මහඟු ශක්තියකි.

නිෂ්පාදකයාට අවශ්‍ය ප්‍රාග්ධනය, තාක්ෂණය, සහ වෙළඳපොළ සැපයෙන්නේ නම් ග්‍රාමීය ආර්ථිකය ඉතා පහසුවෙන් ගොඩ නැංවිය හැකි බවට එක් හොඳම ආදර්ශය අකුරැස්ස සමූපකාරය හඳුන්වා දී ඇති කුඩා කණ්ඩායම් ණය යෝජනා ක්‍රමයයි. ග්‍රාමීය ජනයාගේ නිෂ්පාදන අලෙවිය සඳහා නිශ්චිත වෙළඳපොළක් තිබීම, තම ආරක්ෂාව සඳහා ග්‍රාමීය බැංකුව සෑම විටම සිටීමත් තුල ඔවුන්ගේ ජීවන තත්ත්වය (Living Standards) ඉහළ දමා ගැනීමට හැකි ය. ග්‍රාමීය ජනයාගේ මිල දී ගැනීමේ හැකියාව (Purchasing Power) වර්ධනය වීමත් සමග ඉහළ යන ඉල්ලුමට අවශ්‍ය සැපැයුම ලබා දීම සඳහා රටේ අනෙකුත්  මධ්‍යම සහ මහාපරිමාන නිෂ්පාදන කර්මාන්ත වලට හැකි ය. මේ සමග ඔවුන්ගේ ධාරිතාවය වර්ධනය වෙයි. අපනයනය ද ඉහළ යයි. සියල්ලට සාපේක්ෂව රාජ්‍ය ආදායමද වර්ධනය වෙයි. ජාතික ජන බලවේගය විසින් යෝජනා කරන නිෂ්පාදන ආර්ථික වැඩපිළිවෙළේ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය සඳහා වූ කොටසට අවශ්‍ය පූර්වාදර්ශ ලබා ගැනීමට අකුරැස්ස NPP සමූපකාරයේ ස්වයං රැකියා කුඩා කණ්ඩායම් ව්‍යාපෘතිය කදිම උදාහරණයකි.

ශාන්ත ජයරත්න

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
shantha323@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment