Friday, 19 July 2024

බංගලාදේශ ජනතාව ෂීක් හසීනාගේ පච මෝලට ගිනි තබති..! බන්ධනාගාර බිඳ දේශපාලන සිරකරුවන් මුදා ගනිති..! ඒකාධිපති පාලනය අවසන් කිරීමේ ජන අරගලය පෙරට..!  

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.19, ප.ව. 11.50) බංගලාදේශ පුරවැසියෝ දස දහස් ගණනින් වීදි බැස රජයේ රැකියා  කෝටාවේ ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා සටන් කරන විශ්ව විද්‍යාල සිසුන්ට එක්ව සිටිති. අගමැති ෂීක් හසීනාගේ ඒකාධිපති මර්දනයට විරුද්ධව ඔවුහු දැන් එක්ව සටන් කරති. පසුගිය බ්‍රහස්පතින්දා (18) ඔවුහු ෂීක් හසීනාගේ පච මෝල වන රජයේ රෑපවාහිනියේ (BTV) කොටසකට ගිනි තැබූහ. දැන් සරසවි සිසු සටන ෂීක් හසීනාගේ මර්දනීය පාලනය අවසන් කිරීමේ ජන අරගලයක් බවට පත්ව තිබේ. මේ වනවිට අගමැතිනි හසීනා රටපුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර ජනතා අරගලය මර්දනය කිරීමේ වගකීම හමුදාවට පවරා තිබේ.

අන්තර් ජාල පහසුකම් අත්හිටුවා ජංගම දුරකතනයන්ට බාධා; සිසුන් 50 කට වැඩියෙන් මරලා..

මේ සටහන ලියන සිකුරාදා (19) වන විට සිසුන් පනහකට අධික පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇති අතර තවත් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදේශ පුවත් ඒජන්සි වාර්තා කරයි. බංග්ලාදේශය පුරා අන්තර් ජාල පහසුකම් අත්හිටුවා ඇති අතර ජංගම දුරකතන භාවිතා කිරීමට බාධා යොදා තිබේ. විශ්ව විද්‍යාල සහ පාසැල් දින නියමයකින් තොරව වසාදමා තිබේ . පසුගිය බ්‍රහස්පතින්දා වන විට බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක හැට හතරින් හතළිස් හතක් දක්වා ජනතා අරගලය පැතිර ගොස් තිබේ.  

ෂීක් හසීනාගේ ගොට්ටන්ට රජයේ රැකියා…

මේ විරෝධතා ආරම්භ වූයේ පසුගිය ජූලි පළමු වන දා ය. බංගලාදේශයේ කීර්තිමත් ඩකා විශ්ව විද්‍යාලයේ සිසුහු ආණ්ඩුවේ රජයේ රැකියා කෝටාවට විරෝධය දක්වා උද්ඝෝෂණය කළහ. බංගලාදේශයේ රජයේ රැකියාවලින් තුනෙන් එකක් බංගලදේශයේ නිදහස් අරගලයට සම්බන්ධ වූ පවුල්වලට වෙන් කර ඇත. තවත් කෝටාවක් කාන්තාවන්ට, සුළු ජාතීන්ට සහ ආබාධිතයන්ට ද වෙන් කර තිබේ.  මේ රැකියා කෝටා ක්‍රමය හඳුන්වාදුන්නේ ෂීක් මුජබුර් රහුමාන් හෙවත් ෂීක් හසීනාගේ පියා ය. ඒ නිදහස් සටනින් මිය ගිය සටන්කාමීන්ගේ පවුල් වෙනුවෙනි. ඒ සටනින් මිය බහුතරය මුජබුර් රහුමාන්ගේ මෙන්ම ඔහුගේ අවාමි ලීගයේ ආධාරකරුවෝ වූහ.

දක්ෂතා අනුව රජයේ රැකියාවන්  ලබා දෙනු..!

අද වන විට රජයේ රැකියාවලින් සියයට පනස්හයක් කෝටා ක්‍රමයට යටත් කර ඇති අතර ඉන් බහුතරයක් නිදහස් සටන්කාමීන්ගේ ඥාතීන් සඳහාය. පසු කලෙක කාන්තාවන්, සුළු ජාතීන් සහ ආබාධිතයන් සඳහා කුඩා කෝටාවක් හඳුන්වා දෙන ලදී. විරෝධතා දක්වන සිසුන් මූලිකව කියා සිටින්නේ නිදහස් සටන්කාමීන්ගේ ඥාතීන්ට වෙන් කර තිබෙන කෝටාව අහෝසි කර දක්ෂතා අනුව රජයේ රැකියාවන්ට සිසුන් බඳවා ගන්නා ලෙසය.

බංගලාදේශයේ රැකියා උත්පාදය පහළට..

“Jobs Diagnostic Bangladesh” නම් ලෝක බැංකුවේ නවතම වාර්තාවට අනුව බංගලාදේශයේ රැකියා උත්පාදය පසුගිය වසර කිහිපය තුළ පහළ වැටී අතර රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. එබැවින් රජයේ රැකියා සඳහා වන ඉල්ලුම සහ තරඟය ඉහළ ගොස් ඇත. එබැවින් රජයේ රැකියා ප්‍රමාණයෙන් සියයට පනහකට වඩා කෝටා ක්‍රමයකට යටත් කිරීම ඉතා අසාධාරණ බව උද්ඝෝෂණයේ නිරත  සිසුහු කියා සිටිති. බංග්ලාදේශයේ මිලියන එකසිය හැත්තෑවක ජනගහනයෙන් පහෙන් එකක් තරුණයෝ වෙති.

ෂීක් හසීනාගේ අතේ නැටවෙන රූකඩ අධිකරණය..

මේ කෝටා ක්‍රමයට එරෙහි මෙයට පෙර එනම් වසර 2018 දී රට පුරා සිසු විරෝධතා ඇති විය. එම උද්ඝෝෂණ ප්‍රචණ්ඩ නොවූ අතර ඒ අවස්ථාවේ අගමැති ෂීක් හසීනා මේ කෝටා ක්‍රමය අත්හිටුවීමට කටයුතු කළාය. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ පෙත්සමක් අනුව පසුගිය ජුනි මාසයේ එම කෝටා ක්‍රමය අධිකරණය යළි ස්ථාපිත කළේ ය. අධිකරණය ෂීක් හසීනාගේ අතේ නැටවෙන රූකඩයක් බැවින් කෝටා ක්‍රමය යළි ස්ථාපිත කිරීම  පිටුපස ඇය සහ ඇගේ අවාමි ලීග් ආණ්ඩුව සිටින බවට විපක්ෂය සහ සිසුහු චෝදනා කරති.

මේ සටන දැන් පැහැදිලිව දේශපාලනීකරණය වී තිබේ..

කෝටා ක්‍රමයට පක්ෂපාත  කණ්ඩායම් යනු ෂේක් හසීනාගේ ආධාරකරුවෝ වෙති. අවාමි ලීගයේ ශිෂ්‍ය සංවිධානය ද කෝටා ක්‍රමයට සහාය දක්වයි. ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය, සිසු සටන සමඟ එක්ව ඇත.

අවාමී ලීගයේ මැරයෝ සිසුන්ට පහර දෙති…

යම් සාමකාමී ස්වරරූපයකින් පැවති සිසු උද්ඝෝෂණ වඩා දරුණු තත්ත්වයට පත් වූයේ අවාමී ලීගයේ ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් උද්ඝෝෂකයන්ට පහර දීම හේතුවෙනි. විශේෂයෙන් සරසවි සිසුවියන්ට පහරදීම හේතුවෙන් ජනතා විරෝධය අවාමි ලීගයට යොමු විය. පොදු ජනතාව සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වීදිවලට පැමිණියහ. මෙය අපේ මැයි 9 වන දා සිද්ධි සිහිගන්වයි.

හසීනා ඉවක් බවක් නොමැතිව සිසුන්ට වෙඩි තබයි..

සිසු උද්ඝෝෂණ දරුණු ලෙස මර්දනය කිරීමට අගමැති හසීනා තීරණය කළාය. ඒ සඳහා පොලීසිය, පැරා මිලිටරි අංශ, හමුදාව මෙන්ම ත්‍රස්ත විරෝධී බලකායන් ද ඇය කැඳවූවාය. ඔවුහු ඉවක් බවක් නොමැතිව සිසුන්ට වෙඩි තැබූහ. මියගිය පිරිස අතර Dhaka Times පුවත්පතේ මාධ්‍යවේදියෙකු ද වෙයි. මේ වන විට පොලිස් ප්‍රහාරයන් ගෙන් මාධ්‍යවේදීන්  තිහකට අධික පිරිසක් තුවාල ලබා ඇත.

එක්සත් ජාතීන්ගේ විරෝධය…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුතාරේස් බංගලාදේශ සිසු ඝාතන හෙළා දැක තිබේ. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඇතුළු මානව හිමිකම් සංවිධාන ද අගමැති හසීනාගේ ජනතා මර්දනය වහාම නවතා දමන ලෙසට බල කර සිටියි.

අගමැතිනිගේ ජාතිය ඇමතීමට ජනතා විරෝධය…

අගමැති ෂීක් හසීනා පසුගිය බදදා (17) ජාතික රූපවාහිනිය හරහා ජාතිය ඇමතුවාය. ඇය සිය සුපුරුදු උද්දච්ච ස්වරයෙන් උද්ඝෝෂකයන්ට අපහාස කළා ය. වසර 1971 නිදහස් යුද්ධයේ පාකිස්තානයට සහයෝගය දුන් පිරිස් හැඳින්වීමට භාවිතා කරන නින්දිත යෙදුමක් වන “රසාකාර්” සඳහා ද රැකියා වෙන් කළ යුතු දැයි ඇය ප්‍රශ්න කළාය. බොහෝ දෙනෙක් එම ප්‍රකාශය හරහා කෝටා වෙනස් කරන ලෙස ඉල්ලා සිටින සිසුන්  'රසාකාර්' වලට සමාන කළ බව  විශ්වාස කළහ. අගමැතිනියගේ ප්‍රකාශය විරෝධතාවයන් අවුලුවාලීය. ජනතාව පසුදින රජයේ රූපවාහිනී ආයතනය (BTV) ගිනි තබන්නේ අගමැතිනියගේ ජාතිය ඇමතීමට ප්‍රතිචාර වශයෙනි.

ජනතාව සිසුන් සමඟ එක්ව ප්‍රති ප්‍රහාර එල්ල කරයි..

පළමු වටයේ දී  ෂේක් හසීනා පොලීසිය, පැරා මිලිටරි අංශ, හමුදාව උපයෝගී කර ගනිමින් සිසුන් මර්දනය කළාය. හෙලිකොප්ටර් යවමින් උද්ඝෝෂකයන්ට වෙඩි තැබීය. එහෙත් දෙවන වටයේ සිසුහු ජනතාව සමඟ එක්ව මර්දනවට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කළහ. ඔවුහු පොලීසියට ප්‍රහාර එල්ල කළ අතර පොලිස් මුරපොළවල් විශාල සංඛ්‍යාවකට  ගිනි තැබූහ. විශ්වවිද්‍යාලවලට කඩාවැදුන මැරා මිලිටරි භටයන්ට  ප්‍රති ප්‍රහාර එල්ල කළහ. විශ්වවිද්‍යාලවල තුළ කොටුවූ එම භටයන් මුදවා ගැනීමට  ෂේක් හසීනාට හෙලිකොප්ටර් යැවීමට සිදුවිය. ජනතා ප්‍රති ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ආරක්ෂක අංශයන්හි සියයකට අධික පිරිසක් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අගමැති ෂීක් හසීනා ඒකාධිපති මර්දනීය පාලනය…

පසුගිය දශකයකට අධික කාලයක් පුරා අගමැති ෂීක් හසීනා ඒකාධිපති ආකාරයට බංග්ලාදේශය පාලනය කරන්නීය. විපක්ෂ නායකයන්, ක්‍රියාකාරීන් සිරගත කළ අතර මාධ්‍යය, සිවිල් සමාජය මර්දනය කර තිබේ . රටතුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සාමාන්‍යකරණය වී ඇත. අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කර අවසානය. හමුදාව, පොලීසිය සහ පැරා හමුදා යොදා ගනිමින් ඇය රට පාලනය කරන්නීය. තම ඒකාධිපති වියරුව සාධාරණීකරණය සඳහා අගමැති ෂීක් හසීනා ඉදිරිපත් කළ තර්කය වූයේ වේගවත් ආර්ථික වර්ධනය සඳහා ස්ථාවර පාලනයක් අවශ්‍ය බවයි. එහෙත් මේ වන විට ආර්ථික වර්ධන බුබුල බිඳවැටී හමාරය.

අවාමි ලීගය දේශපාලන විරුද්ධවාදීන්ගෙන් සිරගෙවල් පුරවයි..

Human Rights Watch ආයතනය පවසන පරිදි පසුගිය ඔක්තෝබර් මාසයේ දී පමණක්  විපක්ෂයේ ආධාරකරුවන් දසදහසකට වඩා අත්අඩංගුවට ගෙන තිබේ. අවාමි ලීගය සිය දේශපාලන විරුද්ධවාදීන්ගෙන් සිරගෙවල් පුරවන බව ඔවුන් පෙන්වා දෙයි. ලොව පුරා සිවිල් නිදහස නිරීක්ෂණය කරන ClVCUS සංවිධානයේ පසුගිය වසරේ වර්ග කිරීම් අනුව බංගලාදේශය සිටින්නේ පහළ මට්ටමේ ය. ඔවුන් සමඟ සම මට්ටමේ සිටින්නේ චීනය, සහ වෙනිසියුලාවය! ජනවාරියේ පැවති මහ මැතිවරණයට පෙර විපක්ෂයේ නායකයන් ආධාරකරුවන් දහස් ගණනින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බව එම සංවිධානය පෙන්වා දෙයි.

දේශපාලන සහ නීත්‍යානුකූල බවක් නැති හසීනාගේ ආණ්ඩුව ..

පසුගිය ජනවාරියේ පැවති මහ මැතිවරණය ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශය ජාතික පක්ෂය වර්ජනය කළේ ෂීක් හසීනාගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙළට විරෝධය දැක්වීම සඳහාය. එම වර්ජනය සාර්ථක වූ අතර නාගරික ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට හතළිහකට වඩා අඩුවිය. ෂීක් හසීනා සිව්වන වරටත් අගමැතිධූරයට තේරීපත් වුවද ඒ පසුපස සැබෑ දේශපාලන බලයක්, නීත්‍යානුකූල බවක්  නොවීය. ඒ හේතුකොට ගෙන සිසුන්ගේ කෝටා සටන අද වන විට ෂීක් හසීනා බලයෙන් පන්නා දමා බංගලදේශයට යළි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමේ ජන අරගලයක් බවට පත්ව තිබේ .  

සිසුන් ජය ගනී, ජන අරගලය ඉදිරියට…

සිසුන්ගේ කෝටා අරගලය දැනටමත් ජයග්‍රහණය කරමින් තිබේ.  පසුගිය ජූලි 10 වන දා සිසු විරෝධතා හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කෝටා ක්‍රමය නැවත ස්ථාපිත කිරීම සති හතරකට අත්හිටුවන ලදී. කෝටා ක්‍රමය යළි ස්ථාපිත කිරීමේ අධිකරණ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසට අගමැතිනී හසීනා තම නීතිපතිවරයාට නියෝග කළාය.

ආර්ථික පීඩනය නව ජන අරගලයට ජනතාව ගොනු කරයි…

එහෙත් දැන් එළඹ තිබෙන්නේ ජන අරගලයේ නව වටයකි. තරුණයන් අතර පවතින අධික විරැකියා, භාණ්ඩ මිල දැරිය නොහැකි මට්ටමට ඉහළ යෑම, විදේශීය සංචිත පහළ වැටීමේ අර්බූදය ඇතුළු ආර්ථික පීඩනය නව ජන අරගලයට හේතු සාධක සපයා තිබේ. වසර 2023 ජනවාරි මාසයේ හසීනා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් බිලියන 4.7 ක ණයක් ලබා ගත්තේ ය.

“Operation HuntDown, Stop Killing Students” ..

සිකුරාදා සිදු වූ නව ගැටුම් හේතුවෙන් තිදෙනෙකු ඝාතනය විය. ෂීක් හසීනාගේ පච මෝල වන රජයේ රූපවාහිනියේ (BTV) හි  විකාශන කටයුතු තවම අත්හිටුවා තිබේ. හසීනාගේ පච ප්‍රවෘත්ති  විකාශන දැන් නැත. මේ අතර මහ බැංකුව, අගමැති කාර්යාලය සහ පොලීසි වෙබ් අඩවි ඉලක්ක කර සයිබර් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. “Operation HuntDown, Stop Killing Students” යන පණිවිඩය රජයේ වෙබ් අඩවි හි දක්නට ඇත. මේ අතර ජන අරගලකරුවෝ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් අඩපණ කළහ. බංගලදේශයේ Narsingdi දිස්ත්‍රික්කයේ බන්ධනාගාරයකට කඩා වැදුනු ජන අරගලකරුවෝ එයට ගිනි තබා රැඳවියන් විශාල පිරිසක් මුදා ගත්හ. ඒ අතර දේශපාලන රැඳවියන් සිටින බව වාර්තාවෙයි.

බංගලාදේශයේ ජන අරගලය පෙල ගැසෙන ආකාරය අපේ අරගලයට යම් සමානකම් දැකිය හැක. ඔවුන් බොහෝ දේ අපෙන් උකහා ගෙන තිබේ . විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඇමති මණ්ඩලයම පන්නා දැමීමේ  ජයග්‍රාහී ආශ්වාදයයි.  ඒකාධිපති, මර්දනීය පාලකයන් පලවා හැරීමට තිබෙන එකම මඟ ජනතා අරගලයයි. එයින් තොර මාවතක් නැත. සටනින් තොර ජයග්‍රහණයක් නැත. බංගලාදේශ ජන අරගලයට ජයවේවා!!!

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33




No comments:

Post a Comment