බ්‍රිතාන්‍යයේ හිටපු මහ කොමසාරිස් සරෝජා සිරිසේනගේ ගෙදර නීති විරෝධී සංක්‍රමණිකයන් දෙදෙනෙක්..! සරෝජා වසර 5ක් හිරේ..?
-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.22, ප.ව. 11.30) බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහා කොමසාරිස් සරෝජා සිරිසේන මේ වනවිට තමා විසින් ලංකා රජයට කරන ලද දූෂණ වංචා නිසා විදේශ කටයුතු අමාත්‍යංශයට යාමට නොහැකිව විදේශ සේවයෙන් නිවාඩු ලබා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර Ruislip ප්‍රදේශයේ නිවසක වාසය කරනු ලබයි.
ඇය මහකොමසාරිස් ධූරයේ සේවය නිමකර විදේශ සේවයෙන් ද නිවාඩු ලබා ඉහත කී ස්ථානයට පදිංචි වීමට යන අවස්ථාවේදී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමාසාරිස් කාර්යාලයේ පණිවිඩකරු තනතුරට පැමිණි රන්ජිත් බලපිටිය යන පුද්ගලයාද, ගෘහ සේවක වශයෙන් සේවය කරන ලද එස්.ඩබ්.ඒ. බන්දුල සමරසිංහ නමැත්තාද නීති විරෝධී ආකාරයට රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර සමග තමාගේ නිවසට රැගෙන යාමට කටයුතු කර ඇත.
නීති විරෝධී ආකාරයට මෙම පුද්ගලයන් රැගෙන යාමට සහ රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර ලබාදීමට කටයුතු සලසා ඇත්තේ මහකොමසාරිස් කාර්යාලයේ එවකට පාලන අංශ ප්‍රධානී අරුණ ප්‍රනාන්දු සහ වර්තමාන නියෝජ්‍ය මහකොමසාරිස් මනෝරි මල්ලිකාරච්චි විසිනි. ඉහත කී නීති විරෝධී කටයුතු සැලසුම් සකසා දුන් දෙදෙනාම දැනට මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරන අතර ඔවුන්ට විරුද්ධව කිසිදු විනය පරීක්ෂණයක් මේ දක්වා කිරීමට විදේශ කටයුතු ලේකම්වරිය ක්‍රියා කර නැත.
බ්‍රිතාන්‍යයේ ආගමන විගමන පණත උල්ලංඝණය කිරීමක්..
සරෝජා සිරිසේනගේ නිවසට මෙලෙස රාජකාරී ගුවන් ගමන් බලපත් රැගෙන යාම නීති විරෝධී වන අතර විදේශ සේවයේ කොන්දේසි සහ ශ්‍රී ලංකාවේ මූලික නීතිය උල්ලංඝණය කිරීමක් ද වේ. එමෙන්ම එය බ්‍රිතාන්‍යයේ ආගමන විගමන පණත උල්ලංඝණය කිරීමක් අතර එය බ්‍රිතාන්‍ය තුල වසර 05 ක සිර දඬුවම් හා සීමාවකින් තොරව දඩයක් නියම කළ හැකි වරදක් වේ. ඒ අනුව මෙම නීති විරෝධී කටයුත්තට උදව් උපකාර කරන ලද අරුණ ප්‍රනාන්දු ට සහ නියෝජ්‍ය මහකොමසාරිස් වරියට ද දඬුවම් ලැබීමට උරදෙන වරදකි.
ඔවුන් දෙදෙනා රාජ්‍යතාන්ත්‍රික මුක්තිය යටතේ මේ අවස්ථාවේදී ගැලවී ගියත් ඔවුන් සම්බන්ධයෙන් ලංකා රජය දැනුවත් කර රාජ්‍යතාන්ත්‍රික මුක්තිය අහෝසි කර දැමීමට බ්‍රිතාන්‍ය රජයට හැකියාවක් පවතින අතර එහිදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද බ්‍රිතාන්‍ය පොලීසියට හැකියාව ලැබෙනු ඇත.
බරපතලම කරුණ නම්..
බරපතලම කරුණ නම් මෙලෙස නීති විරෝධීව සරෝජා සිරිසේන ගේ නිවසේ රඳවා ගනිමින් සේවය කරන ලද එස්.ඩබ්.ඒ. බන්දුල සමරසිංහ නමැත්තා මෑතකදී සරෝජා සිරිසේන විසින් සිදුකරන ලද ජීවිත තර්ජනයක් හේතුවෙන් ජීවිත ආරක්ෂාව පතා බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය ඉල්ලා සිටීමයි. මෙකී කාරණාව ශ්‍රී ලංකා විදේශ සේවය සහ විදේශ කටයුතු අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා රජය ද ජාත්‍යන්තරයේ හෑල්ලු වන කරුණක් බවට පත්වී තිබේ. බන්දුල සමරසිංහ නමැති ගෘහසේවකයා වෙනුවෙන් පෙනී සිටින බ්‍රිතාන්‍යයේ නීති උපදේශකයන් හිටපු මහකොමසාරිස්වරියට සහ අදාල පුද්ගලයන්ට විරුද්ධව නීති මගින් පුද්ගලයෙකු රඳවා තබාගෙන සිදු කරන ලද අඩත්තේට්ටම් වලට සහ මරණ තර්ජන කිරීම යන චෝදනා වලට වෙනම නීති මගින් කටයුතු කරනු ඇති බවට ද වාර්තා වේ.
සිද්ධිය යට ගැසීමට ක්‍රියා කරමින්...
මේ බරපතල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය දැනුවත් කිරීමට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මේ දක්වා කටයුතු නොකර සිද්ධිය යට ගැසීමට ක්‍රියා කරමින් සිටී.
නිසැකවම මෙය තවත් රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් නිර්මාණය කරනු ඇත. මෙයට අදාල බලධාරීන්ගේ ඇස යොමු විය යුතු ය. ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ලංකා ඊ නිව්ස් විමසිල්ලෙන් බලා සිටී.

No comments:
Post a Comment