Monday, 22 July 2024

ක්ලබ් වසන්ත ඝාතනය දේශපාලන ඝාතන වැළක ආරම්භයක්..! අමල් පෙරේරා, සාලිය පීරිස්, ශානක්කියම්, අවසාන ඉලක්කය අනුර..?

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.22, ප.ව. 11.50) ක්ලබ් වසන්ත හෙවත් වසන්ත පෙරේරා ඝාතනය දේශපාලන ඝාතන වැළක ආරම්භය විය හැකි යැයි ලංකා ඊ නිව්ස් ආරක්ෂක විශ්ලේෂකයෙකු සඳහන් කරයි.

ක්ලබ් වසන්ත ඝාතනය කළ තුවක්කුකරුවන් දෙදෙනා තවම අත්අඩංඟුවට ගෙන නැත. ඔවුන් දෙදෙනා මුහුද හරහා පැන යන්නට ඇතැයි කතාන්තර පා කර තිබේ.

කංජි පානි ඉම්රාන් නාටකය..

වසන්ත ඝාතනයට භාවිතා කළ උණ්ඩ වල කේපීඅයි යනුවෙන් ලියා තිබූ අතර පොලිසියම කියා සිටියේ ඒ කංජි පානි ඉම්රාන් ගේ නම විය යුතු බවයි. ඝාතන සැලසුම් කරුවන් තමන් හෙළිවන පරිදි ක්‍රියා කරන්නේ නැත. අනෙක් අතට කංජි පානි ඉම්රාන් ප්‍රංශයට පළා ගොස් සරණාගත භාවය ඉල්ලා ඇතැයි ද කියන්නේ මේ ටිරාන්ගේ පොලිසිය ම ය. ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු පාතාලය යයි කියා ගනිමින් පෝස්ටර් ගැසූහ. අප දන්නා පාතාලය නම් පෝස්ටර් වලින් ගණු දෙනු කර ගන්නේ නැත.

එක් යුරෝපීය බුද්ධි අංශයක් ලංකා ඊ නිව්ස් වෙත කියා සිටියේ කංජි පානි ඉම්රාන් යුරෝපීය සංගමයේ කිසිදු රටකින් සරණාගත භාවය ඉල්ලා නැති බවත් ඔහු කිසිදු යුරෝපීය සංගමයේ රටකට ඇතුළු වූ බවට කිසිදු සාක්කියක් නැති බවයි. ඔහු ඉන්ටර්පොල් පොලිසියට අවශ්‍ය අයෙකි. මේ අනුව උපකල්පනය කළ හැක්කේ කතා ගොතන ටිරාන්ගේ පොලිසිය විසින්ම ඇප ලබා නිදහස් වූ කංජි පානි ඉම්රාන් අතුරුදහන් කර ඇති බව යි. කංජි පානි ඉම්රාන් යලි කතා නොකරන බව ස්ථිරවම දන්නා පොලිසිය කංජි පානි ඉම්රාන්ගේ නමින් ඝාතන සැලසුම් කරනවා විය හැකිය.

මේ බැව් සැක හැර දැන ගත හැකි වන්නේ ක්ලබ් වසන්තගේ සැබෑ ඝාතකයන් හසු වූ දිනට ය. වෘත්තීය ඝාතයින් බව පෙනෙන මෙම පුද්ගලයින් නැගෙනහිර පලාතේ මිනීමරු දේශපාලනඥයකුට සම්බන්ධ බවට අනුමත නොකළ ආරංචි මාර්ග සැකකරයි.

මන්ත්‍රී රවිරාජ් ඝාතකයන් තවමත් නිදැල්ලේ..

දෙමළ ජාතික සංන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී රවිරාජ් වසර ගණනාවකට පෙර කොළඹදී මහ දවල් ඝාතනය කරන ලද්දේ ද මෙම මිනීමරු දේශපාලනඥයාගේ කුලී හමුදාව විසිනි. එම ඝාතකයින් කිසිවකු තවමත් අත්අඩංගුවට ගෙන නැත.

කොළඹ පිහිටුවා තිබූ ට්‍රිපොලි නම් හමුදා ඛන්ඩය සමඟ එක්ව දෙමළ මක්කල් විඩුතලෙයි පුළිගල් පක්ෂයේ නායක පිල්ලෙයාන් එවැනි දේශපාලන ඝාතන කළ බවට, පාර්ලිමේන්තු මංත්‍රී ෂානක්කියම් පසුගිය අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේය.

දැන් පිල්ලෙයාන් රනිල් රාජපක්ෂගේ අගසව්වෙකි. කල්බ් වසන්ත ඝාතනය කරන ලද්දේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ පාතාලය කණ්ඩායම් සතුව ගිනිඅවි මෙන්ම ඒවා පාවිච්චි කළ හැකි බව රඟ පා පෙන්වීමේ, අත්හදා බැලීමක් ලෙසත් කියනු ලැබේ.

අමල් පෙරේරා ඝාතන සැලසුමක්..

ලංකා ඊ නිව්ස් ආරක්ෂක වාර්තාවන්ට අනුව මීළග ආසන්නතම ගොදුර විය හැක්කේ ද මත් ද්‍රව්‍ය හා සම්බන්ධ යැයි කියැවෙන ප්‍රසිද්ධ ගායකයෙකු වූ අමල් පෙරේරා ය. එයද පතාල කණ්ඩායම් අතර ගැටුමක් ලෙස ප්‍රචාරය කරනු  ඇත. මේ සඳහා යූ ටියුබ්කරුවන් ගණනාවක් දැනටම මිලදී ගෙන තිබේ.

සාලිය පීරිස් ඝාතන සැලසුමක්...

ඉන් අනතුරුව මානව හිමිකම් ආරක්ෂා කිරීමේ නීතිවේදියකු ලෙස  ඉහළ පිළීගැනීමක් ඇති ඉතා ප්‍රසිද්ධ නීතිවේදියකු වන සාලිය පීරිස් සැලැස්මේ ගොදුර වනු ඇත. ඔහු ඝාතනය කර ඉන් පසු කළ යුතු ප්‍රචාරය දැනටමත් ටිරාන් අලස් විසින් ආරම්භ කර තිබේ. ඔහු කියන්නේ පාතාලය මුදා ගැනීමට මිලියන ගණනින් මුදල් ගන්නා නීතිඥයින් සිටින බවයි. පාතාල කණ්ඩායම් දෙකක් අතර ඇති ගැටුමක විපාකයක් ලෙස සාලිය පීරිස් මරා දැමූ බව ඉහත කී යූ ටියුබ් විශේෂඥයින් ප්‍රචාරය කරනු ඇත.

මන්ත්‍රී ෂානක්කියම් ඝාතන සැලසුමක්..

මෙම ඝාතන වැලේ ඊළඟ ඉලක්කය බවට පාර්ලිමේන්තු මංත්‍රී  ෂානක්කියම් පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද අපේ ආරක්ෂක අංශ වාර්තා සඳහන් කරයි. ඔහු ඝාතනය කිරීම දැනටමත් නැගෙනහිර මිනීමරු හිටපු එල්ටීටීඊ නායකයා පිල්ලෙයාන් විසින් සැලසුම් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හි ඉංග්‍රීසි සංස්කරණයේ පළ වූ Foreign Intelligence Uncovered Pillian’s Plan to Kill Shanakian Rasamanikkam..! කියවන්න.

අවසාන ඉලක්කය අනුර..

මෙම ඝාතන වැළේ අවසාන ඉලක්කය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකය.  ඊට එක් හේතුවක් වන්නේ ඔහු ජනාධිපතිවරනයෙන් ජය ලැබීම නිසා නීතියේ අධිපත්‍ය යළි පිහිටුවීමෙන් පසු පිල්ලෙයාන්ලා වැනි ඝාතක දේශපාලනඥයින්ට යන එන මං නැති වන නිසාය.

අනුර කුමාර දිසානායක ඝාතනය කිරීම අද මෙරට දූෂිත සියලු බලවේගයන්ගේ උවමනාව වේ. කුප්‍රකට දේශපාලුවෙකු වන ලොහාන් රත්වත්තේ 'මං ජීවත් වන තුරු අනුරට ජනාධිපති වෙන්න ඉඩ දෙන්නේ නැතැයි' කියන්නේ එනිසා ය. එය අනුරට එල්ල කළ අනියම් ජීවිත තර්ජනයකි.  ඉහත කී දේශපාලන ඝාතන වැළ සංවිධානය වනු ඇත්තේ ඒ අවසාන ඉලක්කය කරා යාමට ය. ලංකාව යනු ජනාධිපතිවරණ වල දී අපේක්ෂකයන් ඝාතනය නොවූ රටක් නොවන බව සියළු දෙනාම සැලකිල්ලට ගත යුතුය.

-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි

No comments:

Post a Comment