Sunday, 14 July 2024

ඩොනල්ඩ් ට්‍රම්ප් තම ප්‍රචණ්ඩත්වයේ අස්වැන්න නෙලා ගනියි..! 

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.14, ප.ව. 11.30) පෙන්සෙල්වේනියාවේදී පසුගිය සෙනසුරාදා (13) ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කණ ලඟින් වෙඩි උණ්ඩ පියාසර කර තිබේ.  එයින් ඔහුගේ කණට සුළු තුවාලයක් සිදුවී ඇති අතර පැය කිහිපයක් රෝහල් ගතව සිටි ඔහු යළි නිවසට ගියේ ය.

වසර 1981 දී රේගන්ට වෙඩි…

මෑත කාලීන ඇමරිකානු දේශපාලනයේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා දුලභය. වසර 1981 දී මානසික ආබාධිතයෙක් ජනාධිපති රොනල්ඩ් රේගන්ට වෙඩි තැබූ නමුත් ඔහුගේ ජීවියතයට හානියක් සිදුනොවුණි.

ට්‍රම්ප් ප්‍රචණ්ඩත්වය සමාජ ගත කළ හැටි…

ඇමරිකාවට දේශපාලන ප්‍රචණ්ඩත්වය මෑතක දී එක් කළේ ලුම්පන් දේශපාලන පාදඩයෙකු වන ඩොනලඩ් ට්‍රම්ප්ය. ඔහු වසර 2016 සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය  ආරම්භ කළේ තමන්ට මෑන්හැටන්හි පස්වන පටුමගට පැමිණ ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබා බේරී යා හැකි බවට උදාන වැකියක් කියමිනි. තම රැස්වීම්වල විරෝධතා දක්වන්නන්හට පහරදී පන්නා දමන ලෙසට සිය ආධාරකරුවන්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේ ය. එවැනි ගැටුමකදී අවශ්‍ය නීතිඥ ගාස්තු තමන් ගෙවන බවටද ඔහු සහතික විය.

ෆැසිස්ට් නාසි කල්ලි පෝෂණයට…

ට්‍රම්ප් ඇමරිකානු සුදු අන්තවාදී, ෆැසිස්ට් නාසි කල්ලි පෝෂණය කළේ “They are good people” යැයි කියමිනි. වසර 2020 ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසුව බලහත්කාරයෙන්  බලයේ සිටීම සඳහා ඔහු තම ප්‍රචණ්ඩ ෆැසිස්ට් ආධාරකරුවන් වසර 2021 ජනවාරි 6 වන දා ඇමරිකානු කොන්ග්‍රසය බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට මෙහෙයවීය.

ජනාධිපතිධූරය ලබා ගැනීමට සිදු කළ ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩ ක්‍රමන්ත්‍රණය…

ජනවාරි 6 කැරැල්ල  හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ ආශීර්වාද සහ මෙහෙයවීම යටතේ සිදුවූ දේශපාලන ක්‍රමන්ත්‍රණයකි. එය වසර පන්සීයකට පමණ ආසන්න ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරණයකින් පසුව සිදුවන ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව කඩාකප්පල් කර ට්‍රම්ප්ට නීතිවිරෝධී ලෙස ජනාධිපතිධූරය ලබා ගැනීමට සිදු කළ ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩ ක්‍රමන්ත්‍රණයකි. එදින සුදු අන්තවාදී, ජාතිවාදී ෆැසිස්ට්  ට්‍රම්ප් ආධාරකරුවෝ දෙදහක් පමණ කොන්ග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදී එම ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව වැළැක්වීමට උත්සාහ කළහ.

මයික් පෙන්ස් ඝාතනය…

ඔවුහු උප ජනාධිපති මයික් පෙන්ස් සහ කොන්ග්‍රස් නායකයෝ ඝාතනය කිරීමට උත්සාහ කළහ. එහි සිදුවූ අන්තවාදී  ප්‍රහාරයන්ගෙන්  එක් පොලිස් නිළධාරියෙකු මියගොස් තවත් 138 ක් තුවාල ලැබීය. අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක් වූ ආරක්ෂක නිළධාරීන් පස්දෙනෙකු තමන්ට විඳීමට සිදුවූ මානසික ආතතියෙන් ගැලවීමට නොහැකිව මේ වන විට සිය දිවි නසාගෙන තිබේ.

ක්‍රමන්ත්‍රණකරුවන්ට ජනාධිපති සමාව…

ට්‍රම්ප් අද දක්වා මේ ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩ ක්‍රමන්ත්‍රණය හෙළා දැක්කේ නැත. ඒ වෙනුවට එම ක්‍රමන්ත්‍රණයට සම්බන්ධවූවන් සැබෑ ඇමරිකානු දේශප්‍රේමීන් වශයෙන් අර්ථ දැක්වීය. ජනවාරි 6 වන දා ප්‍රචණ්ඩ ක්‍රමන්ත්‍රණයට සහභාගීවූවන් කිහිපදෙනෙකුට අධිකරණය විසින් සිරදඬුවම් ලබා දෙන ලදී. තමා යළි ජනාධිපතිධූරයට පත් වූ පසුව ඔවුන්ට ජනාධිපති සමාව ලබා දෙන බවට ට්‍රම්ප් ප්‍රසිද්ධියේ පොරොන්දු විය.

ට්‍රම්ප් MAGA රිපබ්ලිකන් අනුගාමී කල්ලිය…

අද ඇමරිකාවේ තිබෙන්නේ ඒබ්‍රහම් ලින්කන් ආරම්භ කළ කීර්තිමත් රිපබ්ලිකන් පක්ෂය හෝ රොනලඩ් රේගන් නායකත්වය දුන් රිපබ්ලිකන් පක්ෂය නොවෙයි. අද තිබෙන්නේ ට්‍රම්ප් MAGA රිපබ්ලිකන් අනුගාමී කල්ලියකි (cult). එවැනි cult හි අනුගාමිකයෝ තම නායකයා දේවත්වයට නංවා ඔහු කියන වචන දේවභාෂිතය ලෙස සළකති. හිට්ලර්, මුසලෝනි වටා ලක්ෂ ගණනින් එක් වූයේ ඒ අනුවය. ට්‍රම්ප් MAGA රිපබ්ලිකන් අනුගාමී කල්ලිය ද එවැනි ප්‍රපංචයකි. මේ අනුගාමී කල්ලියට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය, දේශපාලන සදාචාර අදාල නැත. ඔවුන් විසිල් ගසන්නේ පුටීන්, වික්ටර් ඕබාන්, ඇතුළු ඒකාධිපතීන්ටය. වර්තමාන රිපබ්ලිකන් පක්ෂය හෙවත් MAGA ට්‍රම්ප් කල්ලිය තුළ සැබෑ කොන්සෙවටිව් දේශපාලන දර්ශනයක් නැත.

ට්‍රම්ප් නියෝග අකුරට පිළිපදින අනුගාමිකයෝ …

අද එය ඩොනලඩ් ට්‍රම්ප්ගේ ආධිපත්‍යයට යට වූ ෆැසිස්ට් ඒකාධිපති කල්ලියකි. එය තුළ ට්‍රම්ප්ගේ අදහස් විවේචනය හෝ අභියෝග  කිරීමට කිසිවෙකුට නොහැකිය. ට්‍රම්ප් තම කල්ලියට නියෝග දෙන අතර අනුගාමිකයෝ එම නියෝග අකුරට පිළිපදිති. ඇමරිකානු කථානායකගේ සිට පහළට මෙය ක්‍රියාත්මක වෙයි. නිදසුනකට මෑතක දී ඇමරිකානු සෙනෙට් සභාවේ දී සම්මත කිරීමට සූදානම් වූ මෙක්සිකෝ දේශසීමාවේ සංක්‍රමණිකයන් සීමා කිරීමේ පනත ගත හැකිය. මෙය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් සෙනට් සභිකයන් කිහිපදෙනෙක් ඒකාබද්ධ එකඟතාවයකින් ඉදිරිපත් කළ පනතකි. මේ පනත හරහා ඇමරිකාවේ දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙයි. එහෙත්  ට්‍රම්ප් මේ විසඳුමට මාරාන්තිකව විරුද්ධ විය.  සංක්‍රමණික ප්‍රශ්නයට විසඳුමක් ලැබුනහොත් එය බයිඩන්ට දේශපාලන ජයග්‍රහණයක් බව ඔහුගේ තක්සේරුව විය. ට්‍රම්ප් මේ පනතට සහයෝගය නොදෙන ලෙසට රිපබ්ලිකන් සෙනට් සභිකයන්ට පෞද්ගලිකව දුරකතන  ඇමතුම් දී බලපෑම් කළේ ය. ට්‍රම්ප්ට ඇති බය පක්ෂපාතිත්වය හේතුවෙන් ඔවුහු එම පනත අත්හැර දැමූහ.

නාසි මාදිලියේ පක්ෂය…

ට්‍රම්ප්ට එරෙහිව යෑමට කිසිවෙකුට ශක්තියක් නැත. එරෙහි වූවන්ට තිබෙන එකම විකල්පය දේශපාලනය හැර යෑම පමණය. මේ තත්ත්වය හිට්ලර්ගේ ජර්මනිය, මුසලෝනිගේ ඉතාලිය සහ පුටීන්ගේ වර්තමාන රුසියාව සිහිගන්වයි.

දේශපාලන විරුද්ධවාදීන්ට මරණ දඬුවම්දීමට හමුදා අධිකරණ..

මෙවර ජනාධිපතිවරණ සටන තුළ ද  ට්‍රම්ප් තම ප්‍රචණ්ඩ දේශපාලනය උත්කර්ෂයට නංවනු ලැබීය. තමන් ජනාධිපතිධූරයට පත් වන පළමු දිනයේ සිට ඒකාධිපතිවරයෙක් වශයෙන්  කටයුතු කරන බව පැවසූ ඔහු තම දේශපාලන විරුද්ධවාදීන්ට මරණ දඬුවම්දීමට හමුදා අධිකරණ පිහිටු වන බව ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. ඔහුගේ ප්‍රචණ්ඩ දේශපාලන තර්ජන ලැයිස්තුව දීර්ඝය .

දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කළ යුතුයි…

ප්‍රචණ්ඩ දේශපාලනය උත්කර්ෂයට නංවන තම අනුගාමිකයන්ට සහයෝගයට දීමට ද ඔහු කටයුතු කළේ ය. නිදසුනකට උතුරු කැරොලයිනා ප්‍රන්තයේ ආණ්ඩුකාරධූරයට තරඟ කරන ට්‍රම්ප් MAGA අපේක්ෂක මාර්ක රොබින්සන් ගත හැකිය. ඔහු පසුගිය ජූනි 30 වන දා පැවති මැතිවරණ රැලියකදී කියා සිටියේ දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කළ යුතු බවයි! “Some liberal somewhere is gonna say that sounds awful. Too bad. Get mad at me if you want to. Some folks need killing! It’s time for somebody to say it. It’s not a matter of vengeance. It’s not a matter of being mean or spiteful. It’s a matter of necessity!” ඒ කථාවට මෙතැනින් පිවිසිය හැක  https://ncnewsline.com/2024/07/05/lt-gov-mark-robinson-at-nc-church-meeting-some-folks-need-killing/

මාටින් ලූතර් කිං ට කළ උපරිම අපහාසය..

ට්‍රම්ප් MAGA අපේක්ෂක මාර්ක රොබින්සන් දේශපාලන ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නැංවූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. ඒත් ඒ කිසිම අවස්ථාවක රිපබ්ලිකන් පක්ෂය හෝ ට්‍රම්ප් ඔහුගේ ප්‍රකාශ වචනකින් හෙළා දැක්කේ නැත. ඒ වෙනුවට ට්‍රම්ප් ඔහුට තම පූර්ණ සහය පල කළ අතර මැතිවරණ රැලියක දී මාර්ක රොබින්සන්ව නූතන මාටින් ලූතර් කිං යැයි කියමින් උත්කර්ෂයට නැංවීය! එය මාටින් ලූතර් කිං ට කළ හැකි උපරිම අපහාසයයි. මාටින් ලූතර් කිං යනු අවිහිංසාවාදී නායකයකි.

දේශපාලන ප්‍රචණ්ඩත්වයේ වැපිරූ අස්වැන්න..

බලය පිළිබඳ අයිසැක් නිව්ටන්ගේ තුන්වන නියමය අනුව “සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත” (every action there is an  equal and opposite reaction).  එය සමාජ දේශපාලනයට ද අදාළ ය.  ප්‍රජාතන්ත්‍රවාදී බල හුවමාරුව කඩාකප්පල් කර නීතිවිරෝධී ලෙස ජනාධිපතිධූරය ලබා ගැනීමට ආයුධ සන්නද්ධ ප්‍රචණ්ඩ ක්‍රමන්ත්‍රණ සිදු කරන විට ඒවාට ප්‍රතික්‍රියා සිදුවීම පුදුමයක් නොවෙයි. දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කළ යුතු බවට හුරේ දමන විට ඒවාට ප්‍රතික්‍රියා සිදු වෙයි. වසර ගණනක් පුරා දේශපාලන වෛරය, ප්‍රචණ්ඩත්වය වපුරන විට එහි අස්වැන්න ද කපා ගැනීමට සිදු වෙයි. පසුගිය සෙනසුරාදා පෙන්සෙල්වේනියාවේදී  ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබුණේ තමන් වැපිරූ ප්‍රචණ්ඩත්වයේ අස්වැන්නයි.

කණ ලඟින් උණ්ඩ පියාසර කළ පසුව මතක් වූ එක්සත්කම!

කණ ලඟින් උණ්ඩ පියාසර කළ පසුව ට්‍රම්ප් ඇමරිකානු ජනතාවට එක්සත් වන ලෙසට ආයාචනා කර තිබේ. එහෙත් ඔහු තම ජීවිත කාලය පුරාම සිදු කළේ ජනතාව බෙදා වෙන් කිරීමය. කළු ජාතිකයන්ට, සංක්‍රමණිකයන්ට, මුස්ලිම් ජනතාවට, යුදෙව්වන්ට එරෙහිව සුදු වර්ගවාදීන් උසි ගැන්වීම සහ වෛරය වැපිරීමය. ට්‍රම්ප්ට හදිසියේ එක්සත්කම මතක් වුයේ කණ ලඟින් උණ්ඩ පියෑඹීම නිසාය.

පුද්ගල ඝාතන හරහා ලබා ගත හැකි  දේශපාලන ජයග්‍රහණයක් නැත..

එහෙත් ලෙනින් ඉතා නිවැරදිව පැවසූ ආකාරයට පුද්ගල ඝාතන හරහා කිසිදු දේශපාලන ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බව අපි තරයේ විශ්වාස කරමු. එය දේශපාලන ළදරු වලිප්පුවකි.  මේ ප්‍රහාරයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ලඟ ලඟ තරඟයකින් ජෝ බයිඩන්ව පරාජය කිරීමට බලාපොරොත්තු වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට බන්දේසියක තබා  පහසු ජයග්‍රහණයක් ප්‍රදාන කිරීම පමණි. ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂය සහ වම තවම නිරත වන්නේ ළදරු මහත්තමා දේශපාලනයේ ය. ට්‍රම්ප් MAGA ෆැසිස්ට්වාදයට අභියෝග කිරීමට ළදරු මහත්තමා දේශපාලනයට නොහැකිය. ඔවුන්ට ඒ පිළිබඳ බොහෝ පාඩම් යුරෝපයේ වාමාංශික පක්ෂ කණ්ඩායම් වලින් ඉගෙන ගත හැකි බව අපේ විශ්වාසයයි.

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

No comments:

Post a Comment