Saturday, 27 July 2024

පොලිසියට නියෝග දීමේ බලය මැතිවරණ කොමිසමට..! පොලිස්පති නැතිකම ජනාධිපතිවරණයට බාධාවක් නෑ..! SDIG කරවිට යටතේ මෙහෙයුම් මධ්‍යස්ථානයක්..!

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.28, පෙ.ව. 11.45) මැතිවරණයක් කැඳවීමෙන් පසු පොලිසියට නියෝග නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිසමට බලය ඇත.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් නිරීක්ෂණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති K.V.D.A.J. කරවිට යටතේ කොළඹ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට මැතිවරණ කොමිසම ක්‍රියා කර තිබේ. අනතුරුව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කොමිසම ක්‍රියා කරනු ඇත.

එකී දිස්ත්‍රික් මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු (SSP) යටතේ ක්‍රියා කරනු ඇත. එම එස්එස්පී ලාගේ වට්ස්ඇප් අංක සහ ෆැක්ස් අංක ඇතුළු දුරකථන අංක ප්‍රසිද්ධියට පත් කරන අතර එමඟින් ජනතාවට පැමිණිලි කිරීමට සහ තොරතුරු සැපයීමට හැකි වේ.

නාමයෝජනා දිනයේ ආරක්ෂක විධිවිධාන මීළඟ ප්‍රමුඛතාවය වනු ඇති අතර, දැනටමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති K.V.D.A.J. කරවිට සහ කොට්ඨාශවල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු (SSP) සමඟ කොමිසම සාකච්ඡා කර ඇති අතර ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ආරක්ෂක විධිවිධාන පිළිබඳ උපදෙස් ලබා දී ඇත.

මැතිවරණයක් කැඳවීමෙන් පසු පොලිසියට නියෝග නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කොමිසමට බලය තිබෙන බැවින් පොලිස්පතිවරයෙකු නොමැතිකම ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා බාධාවක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බවත්, එබැවින් නාමයෝජනා සඳහා කටයුතු සම්පාදනය කළ හැකි බවත් කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.  

මේ අතර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කර තිබේ. ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද පෙට්ටි සකස් කිරීම ලබන සතියේ සිදු කරනු ඇත.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරේ

No comments:

Post a Comment