සනා ක්‍රිකට් 'කරාලා' පුනරුත්ථාපනය කරයි..! ජයග්‍රහණයේ රිදී රේඛා මතු කළ චමරිලාගේ රහස..!
-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.27, ප.ව. 10.45) සනත් ටෙරාන් ජයසූරිය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ ජාත්‍යන්තර සන්නාමයකි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කළ සනත් දක්ෂ ආරම්භ පිතිකරුවෙකි. ඔහු එක් දින ලකුණු 13,430 ක් සහ ටෙස්ට් ලකුණු 6973ක් රැස් කළේ ය. දඟ පන්දුවෙන් දස්කම් දැක් වූ සනත් එක්දින කඩුළු 323ක් සහ ටෙස්ට් කඩුළු 98ක් දවා ගැනීමට සමත් විය. ඔහු අපේ රට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ද ලොව බැබලුවේය.
කොණ්ඩ කප්පවා, කරාබු ගැලවයි…
පසුගිය T 20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ නින්දා සහගත පරාජයත් සමඟ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ්ස් ඉල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ විශාල හිඩැස පිරවීමේ නව වගකීම දැන් සනත්ට පැවරී තිබේ. දැන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන ප්‍රධාන පුහුණුකරුය. ඔහුව පත්කර තිබෙන්නේ ඉදිරි සංචාර දෙකක් සඳහාය. අප වනිඳු හසරංගලාගේ ප්‍රශ්නය හෙවත් “කොළඹ සන්නිය” ලිපියෙන් දැඩිව මතු කළ ක්‍රීඩකයින්ගේ විනය ප්‍රශ්න පිළිබඳ නව වැඩ බලන ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය දැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තාවෙයි. එය අපගේ සතුටට කරුණකි. පුහුණුවීම් සඳහා පැමිණෙන ක්‍රීඩකයන්ගේ කොණ්ඩ කප්පවා, කරාබු ගැලවීමට ඔහු දැනටමත් කටයුතු කර ඇති බව අපගේ ආරංචි මාර්ග වාර්තා කරයි.
සනත්ලා නියෝජනය කළේ අද තිබෙන ත්‍රාඩ “කරා” ක්‍රිකට් නොවෙයි..
සනත්ගේ මේ ප්‍රවේශය ගැන අපට සතුටුය. එහෙත් ඒ ගැන පුදුමයක් නැත. අප කණගාටුවට පත්වන්නේ සනත් එවැනි ක්‍රියාමාර්ගයක් නොගත්තේ නම් පමණි. සනත්ලා නියෝජනය කළේ අද තිබෙන ත්‍රාඩ “කරා” ක්‍රිකට් නොවෙයි. එදා තරුණ සනත්ලා දැඩි විනයකට යටත්ව සිටියහ. අර්ජුන රණතුංග වැනි නායකයන්, දුලිප් මෙන්ඩිස්ලා වැනි කළමනාකරුවන් සහ ඩේව් වට්මෝර් වැනි පුහුණුකරුවන් සමඟ එදා සෙල්ලම් නැත. විනය අංක එක විය. අප ලෝක කුසලාන දිනාගන්නේත්, සනත්ලා ලෝක පූජිත ක්‍රිකට් තරු බවට පත්වන්නේත් මේ විනය නිසාය. 'විද්‍යා දදාති විනයං' කීවේ නිකම් නොවේ. එනම් ඥානය හෙවත් අවබෝධය විනය විසින් ලබා දෙන බව ය.
සනා වෙසමුණිට අඳියි…
සනත්, ඉන්දීය සංචාරය සඳහා තෝරාගෙන සිටින සංචිතය අමතමින් තමන් පුහුණුකරු වශයෙන් සිටිනතාක් විනය අංක එක බවත්, තරඟ ජයග්‍රහණ දෙවන ප්‍රමුඛත්වය බවත් අවධාරණය කර තිබේ. ක්‍රීඩකයන්ගේ විලාසිතා, සමාජ මාධ්‍ය භාවිතය, ක්‍රීඩා පිටියේ හැසිරීම වැනි කරුණු ගණනාවක් පිළිබඳව ඔහු දකුණේ ලුණු ඇඹුල් ඇතිව “ජාතිය අමතා” ඇති බව අපේ ආරංචිමාර්ග වාර්තා කරයි. පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක දී තමන් පුහුණුකරු වශයෙන් කටයුතු කරන කාලයේ කණ්ඩායමේ විනය ඉහළින් පවත්වාගෙන යෑමට කටයුතු කරන බව සනත් අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූයේ ෆැෂන් නිසායි…
ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට නම් විනයගරුක විය යුතු බවත් පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැළඳීම සහ කොණ්ඩා මෝස්තර දැමීම සිදු නොකළ යුතු බවත් ඔහු එහිදී පෙන්වාදුන්නේ ය. වසර 2015න් පසු කණ්ඩායමට රිංගා ගත් කොණ්ඩා මෝස්තර, පච්ච කෙටීම් සහ කරාබු පැළඳීම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූ බවත් සනත් ජයසූරිය එහි දී සඳහන් කළේය . “ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට සහභාගි වීමට නම් පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැළඳ ක්‍රීඩා කිරීම අතහැර, කොණ්ඩය නිසි පරිදි කපා විනයක් ඇතිව පැමිණිය යුතුයි” යැයි ඔහු අවධාරණය කළේ ය.
කොණ්ඩා මෝස්තර, කරාබු, පච්ච ගෙදර තියල එන්න..
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ෆැෂන් ෂෝ එකක් බවට පත් වීම පිළිබඳ අදහස් දක්වමින් “අපි ලොකු දේවල් කරන්න හදන්නේ නැහැ. ඒත් පොඩි පොඩි දේවල් වුණත් පිළිවෙලක් ඇතුව කෙරෙන්න ඕන. දැනට අපි කියලා තියෙන්නේ අන්තර්ජාතික තරගවලට එනකොට, ඔය කොණ්ඩා මෝස්තර, කරාබු, පච්ච වගේ දේවල් ගෙදර තියල එන්න කියලයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූයේ 2015 පමණ සිට. ඒ කාලයේදී කණ්ඩායමට රිංගා ගත් කොණ්ඩා මෝස්තර, පච්ච කෙටීම් සහ කරාබු පැළඳීම් නිසා එක් එක් ක්‍රීඩකයන් මහත් සේ ජනප්‍රිය වුනා. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිංදුවටම වැටුණා” වැඩ බලන ප්‍රධාන පුහුණුකරු වැඩිදුරටත් පැවසීය.
අනාගත ක්‍රිකට් ආරක්‍ෂා කර ගැනීමට නම්..
ජාතික කණ්ඩායමේ “කරාලා” පුනරුත්ථාපනය කිරීම ඉතා වැදගත්ය. ඔවුන්ගේ වැරදි පූර්වාදර්ශ අද සිටින පාසැල් ක්‍රීඩකයන් උකහා ගැනීම වැළැක්විය යුතුය. පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වීරයන් වන්නේ ජාතික කණ්ඩායමේ තරුය. ඔවුන්ගේ ක්‍රීඩා විලාශයන්, විලාසිතා අනුකරණය කිරීමට පාසැල් ක්‍රීඩකයෝ උනන්දු වෙති. එබැවින් අපේ අනාගත ක්‍රිකට් ආරක්‍ෂා කර ගැනීමට නම් ජාතික කණ්ඩායමේ “කරාලා”පුනරුත්ථාපන කළ යුතුය. එසේ නොමැති නම් මේ විෂබීජ ඉවත් කළ යුතුය.
චමරිලාගේ රහස කුමක් ද?
වනිඳු හසරංගලාගේ “කරා” ක්‍රිකට් කණ්ඩායම පීචං මට්ටමට ඇදවැටෙන විට චමරි අතපත්තුගේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රාහී මාවතට පිවිස තිබෙන්නේ කෙසේ ද? එයට බලපෑ ප්‍රධාන සාධක වන්නේ කණ්ඩායමේ සමගිය, කණ්ඩායම් හැඟීම සහ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමය. චමරි අතපත්තුගේ ප්‍රබල නායකත්වය තවත් වැදගත් සාධකයකි. ඇය වැඩිමහල් සොහොයුරියක් මෙන් කණ්ඩායම රැකගන්නීය. චමරිගේ නායකත්වය අර්ජුන රණතුංග සිහිගන්වයි.
හේමන්ත දේවප්‍රියගේ නිරීක්ෂණ…
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හේමන්ත දේවප්‍රිය මේ ජයග්‍රහණය පිටුපස ඇති ඉතා වැදගත් සාධකයක් මාධ්‍යයට හෙළි කළේ ය. එනම් කාන්තා පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය කාලය තුළ රටේ ව්‍යාප්තවීමය. ආරම්භක සමයේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවෝ ආසාවට ක්‍රිකට් වලට එක් අය වූහ. එහෙත් දැන් සිටින බහුතරය වසර වසර දහතුනේ පමණ සිට පාසැල් මට්ටමින් ක්‍රීඩා කළ සැබෑ දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් බව හේමන්ත දේවප්‍රියගේ නිරීක්ෂණයයි. මෙවැනි දක්ෂ ක්‍රීඩිකාවන් බිහි වන්නේ පාසැල් හරහා පමණක් බව ඔහු කියා සිටියි. පිරිමි හෝ කාන්තා පාසැල් ක්‍රිකට් ව්‍යුහය ශක්තිමත්වීම යනු ප්‍රබල ජාතික කණ්ඩායමක් බිහිකිරීමට බලපාන ප්‍රධාන සාධකයක් බව අප දැඩිව කියා සිටින්නේ එබැවිනි.
චමරිලාට ලැබෙන අසීමිත ජනතා ආදරය…
චමරි ඇතුළු ක්‍රීඩිකාවෝ මෙවර ආසියානු කුසලානයේ අවසාන තරඟය දක්වා පැමිණියහ. රට වෙනුවෙන් ක්‍රීඩා කරන ඔවුන්ට ජනතාව ආදරය කරති. ඔවුන්ව දිරි ගැන්වීමට දඹුල්ල ක්‍රීඩාංගණයට පැමිණෙන විශාල ජනකාය එයට සාක්ෂි සපයති. සෑම තරඟයක්ම ජය ගත නොහැකි වුවත් ඔවුන් සිය උපරිම රටට ලබා දෙන බව ඔවුහු අවබෝධ කරගෙන සිටිති. ඔවුන් ආසියානු කුසලානයේ අවසාන තරඟය දක්වා පැමිණියේ තරිඳු හසරංගලාට ලැබෙන පහසුකම් වලින් සියයට දහයක්වත් නොමැතිවය.
කාන්තා ක්‍රිකට් පහළට දමන ෂම්මිලා…
ෂම්මි සිල්වලා කාන්තා ක්‍රිකට් වලට දක්වන්නේ කුඩම්මාගේ සැළකිය. මෙයට පෙර ලිපියකින් ද අප පෙන්වාදුන්නේ ය. අපේ ක්‍රීඩිකාවන්ට ගෙවන්නේ තුට්ටු දෙකේ වැටුප්ය. ෂම්මි සිල්වලා ලබා ගන්නා “දීමනා” චමරිලාගේ වැටුප මෙන් කිහිප ගුණයකි. එංගලන්ත, ඔස්ටේලියාව, නවසීලන්තය සහ ඉන්දියාව දැන් පිරිමි සහ කාන්තා ක්‍රිකට් සඳහා සමවැටුප් දීමනා ගෙවයි.
තුට්ටු දෙකේ දීමනා ලබන චමරිලා…
එහෙත් අපේ රටේ දැඩි වැටුප්, දීමනා විෂමතාවයක් දැකිය හැක. එක් දින තරඟයක් සඳහා චමරිලාට ඇමරිකානු ඩොලර් 750ක් ගෙවන විට වනිඳු හසරංගලාට ඇමරිකානු ඩොලර් 5000 කි! මේ විශාල විෂමතාවය වැළැක්වීමටවත් ෂම්මි සිල්වලාට හෝ හරීන් ප්‍රනාන්දුලාට අවශ්‍යතාවයක් නැත.
ජයග්‍රහණයේ රිදී රේඛා..
හෙට ඉරිදා (28) පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන තරඟායේදී ප්‍රබල ඉන්දියාව පරදා ජය ගැනීමට චමරි ඇතුළු කණ්ඩායමට හැකිවේවා! යන්න අපේ අවංක ප්‍රාර්ථනයයි. ඉතා අඩු පහසුකම් මැද අවසාන තරඟයට පැමිණීම ද ජයග්‍රහණයකි. කළු වළාවන් ගෙන් හෙම්බත් වූ රටකට ජයග්‍රහණයේ රිදී රේඛා ගෙන ආ චමරි ඇතුළු කණ්ඩායම රටට ආඩම්බරයකි! ආශ්වාදයකි!!

No comments:
Post a Comment