Wednesday, 30 October 2024

ඩොනල්ඩ් ද හිට්ලර්..! ඇමරිකාවේ නූතන ෆැසිස්ට් ආගමනය..!

-ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ඔක්.30, ප.ව.10.45) ඒ වසර 1939 පෙබරවාරි 20 වන දාය. ඇමරිකානු ඉතිහාසයේ සුවිශේෂී දිනයකි. එදින නිව්යෝක් නගරයේ Madison Square Garden හි දැවැන්ත රැස්වීමක් පැවැත්විනි. එය සංවිධානය කළේ German American Bund නම් නාසි ෆැසිස්ට් සංවිධානයයි. දෙවන ලෝක සංග්‍රාමයට පෙර බිහි වූ එම සංවිධානයේ අරමුණ වූයේ ඇමරිකාව නාසි ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් කිරීම ය. යුදෙව් ජාතිකයන්ට, වාමාංශිකයන්ට එරෙහිව සමාජ වෛරය, කෝපය මුළු ගැන් වූ මේ සංවිධානය ඇමරිකානු ජාතිකවාදය සමඟ නාසි ෆැසිස්ට්වාදය මුසු කළේ ය. German American Bund හි නායකයා වූ Fritz Kuhn තමාව හඳුන්වාගත්තේ ඇමරිකානු හිට්ලර් හෙවත් American führer වශයෙනි.

ඇමරිකානු ෆැසිස්ට්වාදීන්ගේ  “Heil Hitler!” ආචාරය….

විසි දහසකට අධික ඇමරිකානු නාසි ආධාරකරුවෝ එදින එහි රැස්ව සිටියහ. නාසි ධජ වලින් ශාලාව සරසා තිබිණ. ඒ අතර “Make America Great Again” බැනර් ද විය.  නාසි පෙළපාලියකින් රැස්වීම ආරම්භ වූ අතර නාසි brown shirt නිළ ඇඳුම් ඇදගත් මැරයෝ ආරක්ෂාව භාරව සිටියහ. ඇමරිකානු නාසි ෆැසිස්ට්වාදීහු “Heil Hitler!” හඬ නඟමින් සිය අසහාය  නායකයා වූ හිට්ලර්ට විටින්විට ආචාර කළහ. Fritz Kuhn ඇතුළු නාසි නායකයෝ යුදෙව්වන්, වාමාංශිකයන් විනාශ කර ඇමරිකාව නාසි ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් කරන බව මෙන්ම එය හිට්ලර්ගේ ජර්මනිය සමඟ එක් පොදු පෙරමුණකට ගෙන ඒම පිළිබඳව පාරම්බෑහ.

German American Bund සහ America First Committee කෙරුවාව..

ජර්මනිය, ඉතාලිය හැරුනු විට හිට්ලර්ගේ නාසි මතවාදයට විශාල සහයෝගයක් හිමි වූයේ ඇමරිකාවෙහි ය. ඇමරිකානු නාසි ෆැසිස්ට්වාදය ප්‍රසිද්ධ කරලියට පැමිණියේ, German American Bund සහ America First Committee යන දේශපාලන සංවිධාන හරහාය. විශේෂයෙන් America First Committee දේශපාලන සංවිධානයේ ක්‍රියාකාරී නායකයන් බහුතරය රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයෝ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෝ වූහ. ඔවුහු ඇමරිකාව පුරා රැස්වීම් පවත්වමින් කියා සිටියේ හිට්ලර්ට එරෙහි යුද්ධයට ඇමරිකාව සහභාගී නොවිය යුතු අතර හිට්ලර්ගේ පාලනය පිලිගෙන ඔහු සමඟ දේශපාලන ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කළ යුතු බවයි.

America First නම් හුදකලාවාදය…

ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ගය වූයේ America First නම් හුදකලාවාදයයි (isolationism). දෙවන ලෝක සංග්‍රාමය අවසන් වන විට හෙළි වූ කරුණු අනුව ඇමරිකානු සෙනෙට් සභිකයෝ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෝ තිහකට අධික ප්‍රමාණයක් හිට්ලර්ගේ පාලනයෙන් මුදල් ලැබූ නාසි ඒජන්තයන් ලෙස ඇමරිකාව තුළ  ක්‍රියා කරමින් සිටියහ.

හිට්ලර්ගේ ඇමරිකානු ඒජන්තයෝ…

හිට්ලර්ගේ විදේශ අමාත්‍යාංශයේ ඒ පිළිබඳ ලිපි ගොනු තිස් දහසකට අධික ප්‍රමාණයක් ජර්මනිය දෙවන ලෝක සංග්‍රාමයෙන් පරාජය වූ පසුව සොයා ගනු ලැබීය. මේ ලිපි ගොනු පිළිබඳ පරීක්ෂා කිරීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥ  (Prosecutor) O. John Rogge ගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් බර්ලිනයට ගියහ. එහිදී ඔවුහු හිට්ලර්ගේ සගයන් වූ, Hermann Göring, විදේශ ඇමති Joachim von Ribbentrop ගෙන් ඇමරිකා සම්බන්ධතා පිළිබඳ දීර්ඝව ප්‍රශ්න කළහ. මේ පරීක්ෂණ පාදක කරගනිමින් O. John Rogge පසු කලෙක "The Official German Report" නමින් ග්‍රන්ථයක් ද පල කළේ ය. ඇමරිකාවේ ෆැසිස්ට් නාසි අතීතය ගැන වැඩි දුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය පාඨකයන්ට වසර 2018 දී නිකුත් වූ  Bradley W. Hart ගේ පර්යේෂණ කෘතියක් වන "Hitler’s American Friends: The Third Reich’s Supporters in the United States" පරිශීලනය කළ හැකිය.

America First හුදකලාවාදය වෙනුවෙන් ඇමරිකානු තරුණයෝ ලක්ෂ හතරක් වන්දි ගෙවති..

වසර 1941 දෙසැම්බර් 7 වන ඉරිදා උදෑසන අට පසුවී විනාඩි කිහිපයකට පසුව ජපානය ඇමරිකාවේ පර්ල් වරායට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ය. එහිදී ඇමරිකානු නාවිකයන් දෙදහස් හාරසීයකට වැඩි පිරිසක් ඝාතනය වූහ. එතෙක් දෙවන ලෝක සංග්‍රාමයට සම්බන්ධ නොවී මධ්‍යස්ථ රටක් වශයෙන් කටයුතු කළ ඇමරිකාව ජපානයට සහ ජර්මනිය ඇතුළු ෆැසිස්ට් කඳවුරට එරෙහිව යුධ ප්‍රකාශ කළේ ය. ඒ සමඟ ඇමරිකානු නාසි ෆැසිස්ට්වාදී සංවිධාන පසුබැස ගියේ ය. America First Committee විසිරුවා හරින ලදී. ජර්මනිය ප්‍රමුඛ නාසි ෆැසිස්ට් කඳවුර පරාජය කිරීමේ සටනේ දී තරුණ ඇමරිකානු හමුදා සාමාජිකයෝ ලක්ෂ හතරකට වඩා සිය ජීවිත පරිත්‍යාග කළහ. මෙය America First හුදකලාවාදය වෙනුවෙන් ඇමරිකානු තරුණයන්ට ගෙවීමට සිදු වූ දැවැන්ත ජීවිත වන්දියකි.

දශක අටකට පසු යළි ඇමරිකාවෙන් මතු වූ හිට්ලර්…

German American Bund නාසි රැලියෙන් වසර අසූ පහකට පසුව ඇමරිකාවේ නූතන නාසි ෆැසිස්ට් නායකයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ඉරිදා (27) නිව්යෝක් නගරයේ Madison Square Garden හි රැස්වීමක් පැවැත්වීය. ඇමරිකානු නාසි විසිදහසක් එහි රැස්ව සිටියහ. අවාසනාවකට එදින ඇසුනේ ද වසර අසූ පහකට පෙර මතු නාසි ෆැසිස්ට්වාදයමය. සුදු වර්ගවාදය, සංක්‍රමණ විරෝධය, සුළු ජාතික සහ කාන්තා විරෝධය, වෛරය සහ තර්ජන එහි ගලා ගියේ ය. “Germany only for Germans” යන හිට්ලර්ගේ නාසි සටන් පාඨය “America only for Americans” බවට පරිවර්තනය වී තිබිණි. ට්‍රම්ප් නාසිවාදීන්ගේ අර්ථදැක්වීම අනුව සැබෑ ඇමරිකානුවා යනු සුදු ක්‍රිස්තියානි ප්‍රජාව පමණි!

දේශපාලන විරුද්ධවාදීන්ට, ට්‍රම්ප්ට එරෙහි නඩු විමසන විනිසුරුවන්ට, රජයේ නීතිඥයන්ට, රජයේ සිවිල් සේවකයන්ට දරුවන් නොමැති කාන්තාවන්ට, එරෙහි අපහාස, තර්ජන සහ රටින් පිටුවහල් කරන බවට තර්ජන  මේ නාසි රැලියේ සාමාන්‍යකරණය වී තිබිණි. එහිදී ට්‍රම්ප් America First හුදකලාවාදය උත්කර්ෂයට  නංවන ලදී. ඉතිහාසයේ සරදමකට මෙන් “Make America Great Again” විශාල බැනර් ද එහි විය. වසර 2016 දී ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂය තුළ සිය නාසි ෆැසිස්ට්වාදී දේශපාලන කල්ලිය නම් කරන්නේ MAGA හෙවත් Make America Great Again නමිනි. එය පැහැදිලිව German American Bund යන ඇමරිකානු නාසි සංවිධානයන්ගෙන් උපුටා ගත්තකි.

ට්‍රම්ප් නැමැති  ලුම්පන් දේශපාලන පාදඩයා…..

වසර 2016 ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වූ අවස්ථාවේ අප කියා සිටියේ ඔහු වර්ගවාදී, සුදු ජාතිවාදී, සංක්‍රමණික විරෝධී, කාන්තා විරෝධී නව නාසි ෆැසිස්ට්වාදී ඒකාධිපති නායකයෙකු බවයි. අපේ අර්ථ දැක්වීම පිළිබඳව “ලෝකල්” සහ “ඉන්ටනැෂනල්” බයියෝ කෝපයට පත් වූහ. ඔවුහු රාජපක්ෂ “අප්පච්වි”ට මෙන් ට්‍රම්පච්චිට ආදරය කළහ. විශේෂයෙන්  “ඉන්ටනැෂනල්” බයියන් අපට කීවේ ලංකාවේ ජීවත්වන අප ඇමරිකානු දේශපාලනය නොදන්නා බවයි.

එහෙත් අපට නම් එදත්, අදත් හෙටත් ට්‍රම්ප් යනු ෆැසිස්ට් ලුම්පන් දේශපාලන පාදඩයකි. ඒ ගැන අවබෝධ කර ගැනීමට අභ්‍යාවකාශ විද්‍යාව හෝ කොන්ටම් යාන්ත්‍රණය  දැන සිටිය යුතු නැත. දේශපාලන විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් තිබෙන ඕනෑම පුද්ගලෙයකුට එය පහසුවෙන් අවබෝධ කරගත හැකිය. එය නොතේරෙන්නේ මරිමෝඩයෙකුට හෝ දේශපාලන අන්ධයෙකුට පමණි.

ඩොනල්ඩ් ද හිට්ලර්….

වසර 2016 සිට අප ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ සිදුකරන දේශපාලන අර්ථ දැක්වීම අද වන විට ඔහුගේ සමීපතම නිළධාරීන් පවා පිලිගෙන තිබේ. ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානියා වූ විශ්‍රාමික මැරීන් ජෙනරාල් ජෝන් කෙලී පසුගිය අඟහරුවාදා (22) The New York Times පුවත්පතට ලබා දුන් සම්මුබ සාකච්ඡාවකදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකාධිපතියෙකු මෙන්ම ෆැසිස්ට්වාදියෙකු වශයෙන් අර්ථදක්වා තිබේ. වසර 2017 සිට 2019 දක්වා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානියා වූ ජෙනරාල් කෙලී,  ට්‍රම්ප් කැබිනට් මණ්ඩලයේ ස්වදේශ ආරක්ෂක ලේකම් ලෙස ද කටයුතු කළේ ය. ඔහු එක්සත් ජනපද දක්ෂිණ හමුදා අණදෙන නිලධාරියා ද විය.

ට්‍රම්ප්ගේ ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානියාගේ හෙළිදරව්ව…

කීර්තිමත් ඇමරිකානු හමුදා නිළධාරියෙකු මෙන්ම ප්‍රබල රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවෙකු වශයෙන් සැළකෙන ජෙනරාල් කෙලී පෙන්වා දෙන්නේ ට්‍රම්ප් නිසැකවම ෆැසිස්ට්වාදයේ සාමාන්‍ය නිර්වචනයට වැටෙන බවයි.  හිටපු ජනාධිපතිවරයා අන්ත දක්ෂිණාංශිකයෙකු වන අතර  ඔහු ඒකාධිපතියෙක් බව ද ජෙනරාල් කෙලී පෙන්වා දෙයි. එමෙන්ම ට්‍රම්ප් ඒකාධිපතියන් ඉහළින් අගය කළ අතර ආඥාදායක ප්‍රවේශයට දැඩි කැමැත්තක් දැක්වූ බව ද එම  සම්මුඛ සාකච්ඡාවේදී කෙලී හෙළි කළේ ය. “As Election Nears, Kelly Warns Trump Would Rule Like a Dictator” නමින් ජෙනරාල් කෙලීගේ හඬ පට ද ඇතුළත් එම සම්මුබ සාකච්ඡාවට මෙතැනින් ප්‍රවේශ විය හැක https://www.nytimes.com/2024/10/22/us/politics/john-kelly-trump-fitness-character.html

ට්‍රම්ප් සොයන හිට්ලර්ගේ ජෙනරාල්ලා….

හිටපු ජනාධිපති ට්‍රම්ප් තුළ හිට්ලර්ව අගය කිරීමේ පුරුද්දක් පැවති බව හෙලි කරන ජෙනරාල් කෙලී, තමන්ට අවශ්‍යව ඇත්තේ හිට්ලර්ට සිටියා මෙන් පෞද්ගලිකව පක්ෂපාත ඇමරිකානු හමුදා ජෙනරාල්වරු බව හිටපු ජනාධිපති ට්‍රම්ප් තමාට පැවසූ බව ද කියා සිටියේ ය. එහෙත් ඇමරිකානු හමුදාව මෙන්ම ජෙනරාල්වරු පක්ෂපාත වන්නේ ඇමරිකානු ව්‍යවස්ථාවට මිස ජනාධිපතිවරයාට නොවෙයි.

ජෙරාල් කෙලීගේ ෆැසිස්ට් හෙළිදරව්වට රිපබ්ලිකන් නිළධාරීන්ගේ සහය…

මේ අතර ජෙරාල් කෙලී, ට්‍රම්ප් ෆැසිස්ට්වාදියෙකු වශයෙන් අර්ථ දැක්වීමට සහය පල  කරමින්  ජනාධිපති ට්‍රම්ප් යටතේ ධවල මන්දිරයේ සේවය කළ හිටපු නිලධාරීන් දහතුන් දෙනෙකු විවෘත ලිපියකට අත්සන් තබා ඇත. දෙවන ට්‍රම්ප් ධූර කාලයක අනතුර පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් කිරීම සම්බන්ධයෙන් ඔවුහු සිය ලිපියෙන් ජෙනරාල් කෙලීට ප්‍රශංසා කරති. අප සැමදෙනාම ජීවිත කාලය පුරා රටට සේවය කළ රිපබ්ලිකන් පාක්ෂිකයන්, එහෙත් මේ මොහොතේ පක්ෂයට වඩා රට ඉදිරියේ තැබිය යුතු බව පෙන්වා දෙන එම ධවල නිළධාරීහු  හිටපු ජනාධිපති ට්‍රම්ප්ට දෙවන පාලන කාලයක් ලබානොදියයුතු බව අවධාරණය කරති.

ට්‍රම්ප් ෆැසිස්ට්වාදියෙකු හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මිලී හෙළි කරයි…

බොබ් වුඩ්වර්ඩ් යනු ලෝකප්‍රකට මාධ්‍යවේදියෙකි. ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ගේ වෝටර්ගේට් සිද්ධිය The Washington Post පුවත්පතින් පළමුවරට හෙළිකල මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් එක් අයෙකි. මේ මාසයේ ඔහු සිය සිව්වන කෘතිය වන “The War” නිකුත් කළේ ය. දැන් විශ්‍රාම ගොස් සිටින ජනාධිපති ට්‍රම්ප් සහ බයිඩන් යටතේ ඇමරිකානු හමුදා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති වශයෙන් කටයුතු කළ ජෙනරාල් මාර්ක් මිලී, බොබ් වුඩ්වර්ඩ්ට පවසන්නේ ට්‍රම්ප් හරයාත්මකව ෆැසිස්ට්වාදියෙකු මෙන් ඇමරිකාවට විශාලම තර්ජනය එල්ල කරන පුද්ගලයා බවයි. ඒ බව වුඩ්වර්ඩ්ගේ නවතම කෘතියේ සඳහන්වෙයි. ට්‍රම්ප් යනු ජනාධිපතිධූරයට මෙන්ම ඇමරිකාව මෙහෙයවීමට නුසුදුසු පුද්ගයෙකු බව සිය කෘතියේ සඳහන් කරන බොබ් වුඩ්වර්ඩ් ඔහු නික්සන්ට වඩා භයානක වන බවට අනතුරු අඟවයි.

උප ජනාධිපති පෙන්ස් ඇතුළු කැබිනට් මණ්ඩලය ට්‍රම්ප්ට සහය නොදෙයි….

මේ අතර හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ මාක් එස්පර් ද ට්‍රම්ප්ගේ ඒකාධිපති ෆැසිස්ට් ප්‍රවේශයන් හේතුවෙන් ඔහු යළි ජනාධිපතිධූරයට පත් නොකරන ලෙසට ඇමරිකානු ජනතාව ගෙන් ඉල්ලීමක් කරයි. හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු කැබිනට් මණ්ඩලයේ අති බහුතරය ඔහුට මෙවර සහය නොදීම ද විශේෂ ලක්ෂණයකි. ට්‍රම්ප් ෆැසිස්ට්වාදියෙකු බවත් ඔහුට නැවත වරක් පාලන බලය ලබා නොදෙන ලෙසට ඇමරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔහු සමඟ ෆෙඩරල් ආණ්ඩුකරණයේ පංගුකාරයන් වූ රිපබ්ලිකන් නායකයන්ය.  එහෙත් මෙය වඩාත් භයානක තත්ත්වයක් නිර්මාණය කරන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. වසර 2016-2020 ට්‍රම්ප්ගේ පළමු පාලන කාලයේ ඔහුගේ කැබිනට් මණ්ඩලය සහ ධවල මන්දිර නිළධාරීන් වශයෙන් කටයුතු කළ පුද්ගලයන් ගෙන් බහුතරය ෆෙඩරල් ආණ්ඩුකරණය පිළිබඳ හසල අවබෝධයක් තිබූ චරිතය. ඔවුහු ට්‍රම්ප්ගේ ව්‍යවස්ථා විරෝධී ෆැසිස්ට් ඒකාධිපති යෝජනා ක්‍රියාත්මක කිරීම දැඩිව ප්‍රතික්ෂේප කළහ. ඔවුහු සෑම දෙයකටම “Yes” යැයි පිළිතුරු නොදුන්හ. එහෙත් මෙවර ට්‍රම්ප් ජය ගතහොත් ධවල මන්දිරය සහ තම කැබිනට් මණ්ඩලය පිරවීමට නියමිතව ඇත්තේ ට්‍රම්ප්ගේ ඕනෑම අනීතික නියෝගයක් ක්‍රියාත්මක කරන පඹයන් පිරිසකින් බව එම දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ට්‍රම්ප්ගේ නාසි ෆැසිස්ට් තර්ජන…

මෙවර මැතිවරණ ව්‍යාපාරය පුරා ට්‍රම්ප් සිය නාසි ෆැසිස්ට්වාදී ඒකාධිපති ස්වරූපය කිසිදු පැකිලීමකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළේ ය. ඔහු සංක්‍රමණිකයන්ට එරෙහිව වෛරය මුදාහැරියේ ය. දේශපාලන විරුද්ධවාදීන්ට ප්‍රසිද්ධියේ තර්ජන, අපහාස සහ අවලාද එල්ල කළේ ය. ට්‍රම්ප් බොරු, වැරදි තොරතුර,  දුස් තොරතුරු කිසිදු පැකිලීමකින් තොරව සමාජ ගත කරයි. ඒවා පට්ටපල් බොරු බව හෙළි වූ පසුව ද ඒවා නිවැරදි නොකරයි. තමාට එරෙහි විරෝධතා දක්වන ඇමරිකානු පුරවැසියන්  මර්දනය කිරීමට ඇමරිකානු හමුදා යොදා ගැනීමට තමන් සූදානම් බව ට්‍රම්ප් පසුගිය දා ප්‍රසිද්ධියේ හෙළි කළේ ය. තම දේශපාලන විරුද්ධවාදීන් ගෙන් පලි ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙයවන බවට මෙන්ම තමන්ව විවේචනය කරන මාධ්‍යවේදීන්ව සිරගත කරන බවට ඔහු තර්ජනය කළේ ය. තමන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කරන විද්‍යුත් මාධ්‍ය ආයතනයන් හි බලපත්‍ර තහනම් කරන බවට ට්‍රම්ප් පාරම්බායි.

හිට්ලර්, සහ මුසලෝනි සරණ යන ට්‍රම්ප්…

ට්‍රම්ප්  සිය මැතිවරණ වේදිකාවේ යොදා ගන්නා තේමා සහ වදන් හිට්ලර් ගෙන් සහ මුසලෝනි ගෙන ණයට ගත් දෑය. හිට්ලර් එදා යුදෙව්වන්, වාමාංශිකයන් හැඳින්වූයේ vermin සහ an enemy within ලෙසය. අද ට්‍රම්ප් තම විරුද්ධවාදීන් හඳුන්වන්නේ ද ඒ ආකාරයටය.  ඔහුගේ මැතිවරණ රැළියන්හිදී දැකිය හැකි ප්‍රධාන ප්‍රචාරක පාඨයක් වන “Trump is always right” යන ඉතාලි ෆැසිස්ට් නායක මුසෙලා්නිගේ  "always right" (ඉතාලියෙන්: Il Duce ha sempre ragione) උපුටා ගත්තකි.

ඒකාධිපති නිකලස් මදුරෝගේ ආදර්ශය….

පසුගිය වෙනිසියුලා ජනාධිපතිවරණයෙන් ඒකාධිපති නිකලස් මදූරෝ පරාජයට පත් විය. එහෙත් මැතිවරණ දින රාත්‍රියේ ඡන්ද ගණනන් කර අවසන්වීමටත් ප්‍රථම ඔහු තමා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් බවට ස්වයං ප්‍රකාශයක් කරමින් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළේ ය. එදා සිට ඔහු බලහත්කාරයෙන් ජනාධිපතිධූරයේ රැදී සිටියි. එය ඒකාධිපති ෆැසිස්ට් නායකයන්ගේ පුරුද්දය. වසර 2020 නොවැම්බර් ඇමරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමට පෙර මැතිවරණ දින රාත්‍රියේ ට්‍රම්ප් වෙනිසියුලානු ඒකාධිපති මදූරෝ මෙන් තමන් ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් බවට ස්වයං ප්‍රකාශයක් කළේ ය. එහෙත් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් පරාජය විය. එහෙත් ඔහු පරාජය නොපිලිගත්තේ ය.

ඇමරිකාව ලේ විලක් කරන බවට තර්ජන…

ඉන් පසුව ඔහු වසර 2021 ජනවාරි 8 වන දා සිය MAGA ෆැසිස්ට් මැරයන් උපයෝගී කරගනිමින් ඇමරිකානු කොන්ග්‍රසයට  ප්‍රහාරයක් එල්ල කරමින් බලහත්කාරයෙන් ජනාධිපතිධූරයේ රැඳී සිටීමට උත්සාහ කළේ ය. මෙවර ද ඔහු ඒ උපක්‍රමය ක්‍රියාත්මක කරමින් සිටියි. ඉදිරි නොවැම්බර් 5 වන දා ජනාධිපතිවරණයෙන් තමා පරාජය වුවහොත් එම ප්‍රතිඵලය නොපිලිගන්නා බව ට්‍රම්ප් දැනටම අවධාරණය කරන අතර තමා පරාජය වුවහොත් ඇමරිකාව ලේ විලක් කරන බවට ද තර්ජනය කරයි.

නාසි ඉතිහාසය පුනරාවර්තනයවීම….

"ඉතිහාසය පුනරාවර්තනය වේ. පළමුව එය ඛේදවාචකයක් ලෙස ය. දෙවනුව එය හාස්‍යයක් ලෙස ය" යැයි කාල් මාක්ස් වරෙක සඳහන් කළේ ය. අවාසනාවකට  ඇමරිකාව  අද ඛේදවාචක අදියරට පිවිස සිටින බව ලබන අඟහරුවාදා (5) පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව පූර්වකථනයක් වශයෙන් අපට සටහන් කළ හැකිය.  

-ආනුභාවනන්ද

anubhawananda1@gmail.com
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33

No comments:

Post a Comment