Wednesday, 30 October 2024

අපරාධ පිලිබඳ සත්‍යය සොයා යුක්තිය ඉටුකිරීමේ දී ආණ්ඩුව මුහුණ දිය හැකි බියකරු අභියෝග..! (දෙවන කොටස) ආජන්ටිනාවේ සිදු වූ  සාහසික ජනතා මර්දනය..!

-මාණ්ඩලික ලේඛකයකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ඔක්.30, ප.ව.10.00) මේ ලිපි පෙලින් අප සලකා  බලමින් සිටින්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිහිටුවා දේශපාලන බලයේ ආරක්ෂාව ඇතිව මිනීමැරූ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන්නට ප්‍රයත්න දරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ආණ්ඩු මුහුණ දෙන අභියෝගයි.

ලංකාවේ ඉකුත් දශක කිහිපය තුල සිදු වූ පාස්කු ඉරිදා අපරාධය ඇතුළු  “අපරාධකරුවන් සඟවන ලද” අපරාධ වෙනුවෙන්  යුක්තිය ඉටුකිරීමට උත්සාහ කරමින් සිටින ජාජබ ජනතා ආණ්ඩුව දැන් සිටම “ප්‍රතිප්‍රහාර රැසකට” මුහුණ දෙමින් සිටියි. මෙය තවත් සංකීර්ණ විය හැකි ආකාරය අපි ප්‍රථම ලිපියෙන් සාකච්ඡා කළෙමු. ලෝකයේ වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු වල නායකයන් සහ විමර්ශන නිලධාරීන් මෙවන් අවස්ථාවල ගත යුතු  ක්‍රියාමාර්ග හැදෑරීමෙන් ශ්‍රී ලංකාවේ තත්වයට ආදර්ශයක් ගත හැකි බව අපි එහි දී කිව්වෙමු. මේ ලිපි මාලාව සඳහා අප පදනම් කරගන්නේ ආර්ජන්ටිනාවේ ආදර්ශයයි.

ආජන්ටිනා අර්බුදයේ පසුබිම...  

ආජන්ටිනා අර්බුදයේ පසුබිම මේ ලිපියෙන් අපි කෙටියෙන් සාකච්ඡා කරමු.

1950 ගණන්වල සිට ආජන්ටිනාව පාලන කරන ලද්දේ පෙරනීයවාදය නමැති දේශපාලන සංකල්පය ඔස්සේය. ලංකාවේ ඊනියා  මහින්ද චින්තනය වාගේ එකක් වූ එය හඳුන්වා දෙන ලද්දේ එරට ජනාධිපති වරයෙකු වූ ජෙනරාල් හුවාන් දොමින්ගෝ පෙරෝන් විසිනි.

පෙරනීය වාදය වූ කලී කතෝලිකයකු වූ හුවාන් පෙරෝන් විසින් 11 වැනි පියුස් පාප් තුමා ගේ ඉගැන්වීමක් විකෘති කොටගෙන ඉදිරිපත් කරන ලද දේශපාලන ආර්ථික චින්තනයකි. මේ සංකල්පයේ අරමුණ යහපත් එකක් ලෙස පෙන්වා දෙන ලද නමුත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙද්දී එය ඒකාධිපති, අත්තනෝමතික සහ ෆැසිස්ට්වාදී එකක් බවට පරිවර්තනය විය. කම්කරු අයිතිවාසිකම් මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස  ද අහෝසි වී ගියේය. දැඩි නිලධාරි වාදයක් තුළ ආර්ථිකය එක තැන පල් විය. දූෂණය සහ අක්‍රමිකතා පැටව්  ගැසුවේය. අධික උද්ධමනයක් ඇති වී විරැකියාව ඉහල ගොස් ජනතාව ගේ ජීවන තත්වය පහතට වැටුනේය. දුප්පත් පොහොසත් පරතරය  වැඩි වී දුප්පතුන් වැඩි වන්නට විය. අන්ත දුප්පත් ජනතාව නගර වල “වතු” නමින් හැඳින්වුණු කුඩා කොළණි වල  සීමා වන්නට විය. ඒවායේ තිබුණු අධික දුප්පත්කමත් ඒ නිසාම ඇති වන  මත්ද්‍රව්‍ය භාවිතය සහ අපරාධත් නිසා ඒවා හැඳින්වුණේ ‘කාලකන්නි වතු” කියා ය. ඒවා ‘කාලකන්නි’ වූයේ ඇත්තෙන්ම කාලකන්නි පාලකයන් ගේ කාලකන්නි ප්‍රතිපත්ති නිසා බව කව්රුවත් දැක්කේ නැත.  

මේ තත්වය තුළ ස්වාභාවිකවම ජනතා විරෝධතා නැගී එන්නට පටන් ගත්තේය. ජනතාව සූරා කෑමට ලක්වන මේ අන්ත ධනපති ක්‍රමයට එරෙහිව කැරලිකාර තත්වයක් හට ගත්තේය. රටේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට එකම ආණ්ඩුවක් වත් සමත්වූයේ නැත. ඒ වෙනුවට දූෂණය වැඩි වර්ධනය වූ අතර ආණ්ඩු විසින් සිදුකරන ලද  ජනතා මර්දනයද ඉහල ගියේය.

ජනතා කැරැල්ලක් හමුදා පාලනයක්...

රාජ්‍යයේ මේ දූෂණයට සහ ජනතා මර්දනයට එරෙහිව ජනතා කැරැල්ලක් ආරම්භ විය. දූෂිත, ජනපීඩක ආණ්ඩුවලට එරෙහිව ජනතාව කැරලි ගසන විට එකල  ලතින් ඇමෙරිකාවේ පාලකයන් ඒවා හැඳින්වූයේ “වමේ කැරැල්ලක්” කියාය. ආණ්ඩු මේ ‘වමේ කැරැල්ලට’ විවිධාකාරයෙන් මර්දනකාරී ප්‍රතිචාර එල්ල කරමින් සිටියේ ය. රට හමුදා පාලනයකට නතු වූයේ මේ අතරය.

නරකම ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වුවද  ‘විශිෂ්ටම’ ඒකාධිපති හෝ හමුදා පාලනයට වඩා විශිෂ්ටයි කියා කියමනක් තිබේ. ඒ අනුවම තමන් පාලනයට පැමිණි දා සිට ජුන්ටා පාලනය රට තුළ දැඩි මර්දනයක් මුදා හැරියේය.

ජනතා ඡන්දයෙන් තේරී පත්වූ ඉසබෙල් පෙරොන් ගේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින්  පෙරලා දමමින් 1976 මාර්තු 26 වැනි දා මිලිටරිය පාලනය  බලය අල්ලා ගත්තේය. ආජන්ටිනාවේ “කැත යුද්ධය” (dirty war) යනුවෙන් හැඳින්වුණු කුරිරු, සාහසික, මර්දනකාරී සමය ආරම්භ වූයේ එදා සිටය.

බල ලෝභී, දූෂිත දේශපාලකයන් අස්ථාවර කළ ‘වමේ කැරැල්ල’ මර්දනය කිරීමට කුමන්ත්‍රණ ආණ්ඩුවේ නායකයෝ සකල ආකාරයේ අධම පියවර ගත්හ. මේ මිලිටරි ජුන්ටාවේ නායකත්වයේ සිටියේ හොර්හේ විදේලා, එමිලියෝ මසේරා, සහ රොබර්තෝ වියෝලා යන ත්‍රිවිධ හමුදා ජනරාල්  වරුය. ඔව්හු රට පුරා රැඳවුම් කඳවුරු 520 කට  අධික සංඛ්‍යාවක් පිහිටුවූහ. ප්‍රධාන වධකාගාරය බවට පත් කරන ලද්දේ ඒ වන තෙක් නාවික හමුදාවේ පුහුණු පාසල් මධ්‍යස්ථානය ලෙස සලකන ලද බුවනොස් අයර්ස් නගරයේ පිහිටි  ESMA ගොඩනැගිල්ලයි.

කැරලි කරුවන් ලෙස සැකකරන පුද්ගලයන් හඹා ගිය හමුදා කල්ලි ඔවුන් බලහත්කාරයෙන් පැහැරගෙන විත් මේ කඳවුරු වල දමා ගෙන දැඩි හිංසා වලට ලක් කළහ. ඔවුනට හිංසා කරමින් වධකයන් ප්‍රශ්න කළේ කැරැල්ලට සම්බන්ධ පුද්ගලයන් ගේ නම් කියන ලෙසයි. පැහැරගෙන එන බොහෝ දෙනෙක් කැරැල්ලක් ගැන දැන  සිටි අය  නොවූහ. මේ නිසා ඔව්හු මිය යන්නට ආසන්න වන තෙක් දැඩි  හිංසනයට ලක් වුහ.

දෑත් ගැටගසා හෙලිකොප්ටරයකින් රැගෙන ගොස් මුහුදට දැම්මා..

එම හිංසනයන් කවරාකාරද කියා ඔබට දැනගන්නට අවශ්‍ය නම්, ලංකාවේ 1988 -89 කාලයේ පවත්වාගෙන ගිය  බටලන්ද වධකාගාරය පිලිබඳ කොමිෂන් සභා වාර්තාව සොයාගෙන කියවන්න.  නැති නම් ගාමිණි මුතුකුමාරණ විසින් රචිත “නොනිමි අරගලයක මතක ගිණි පුපුරු”  නම් කෘතිය කියවන්න. හැකි නම් මේ දෙකම   කියවන්න.  ආජන්ටිනාවේ  වධ බන්ධන පිලිබඳ අදහසක්  ඒ ඇසුරින් ඔබට ලබා ගත හැකිය. වධ හිංසාවලින් පසුව ඒ අතරින් බොහෝ දෙනෙකු නිදහස් කිරීමේ හැකියාවක් නොතිබිණි. මේ නිසා බොහෝ විට සිදු වූයේ වෙනත් කඳවුරකට “මාරු කරන්නට” යයි කියමින් ලාවට නිදිමත එන බෙහෙතක් විද, දෑත් ගැටගසා හෙලිකොප්ටරයකින් රැගෙන ගොස් මුහුදට දැමීමයි.

බොහෝවිට ගැබිණි මව්වරුන් වහාම  වධයට ලක් කෙරුනේ නැත. ඔවුන්ට දරුවන් ලැබීමෙන් පසුව දරුවන් පැහැරගෙන ඉන් පසුව ඔවුනට ද එම වධයම දෙන  ලද්දේ ය.

මේ සාහසික මර්දනයට දැඩි ලෙස විරුද්ධ වූවෝ එම අතුරුදන් කරන ලද්දන් ගේ අම්මලා සහ ආත්තම්මලාය. දරු සෙනෙහස නිසා දැඩි වේදනාවට පත් එම අම්මලා ඔව්හු “අතුරුදන් වුවන්ගේ මව්වරු” සහ “අතුරුදන් වුවන් ගේ අත්තම්මා වරු” යනුවෙන් සංවිධාන ගත වී යුක්තිය වෙනුවෙන් දැඩි හඬක් නැගුහ. කතෝලික රටක් වන ආජන්ටිනාවේ කතෝලික සභාව ද මර්දනයට එරෙහිව හඬ නැගිය යුතුව තිබුණත් ආජන්ටිනාවේ කතෝලික පල්ලියට එසේ කළ නොහැකි විය. මන්ද සභාවේ ඉහලම  නායකත්වය මර්දනයේ වක්‍ර සහායකයන්  වී සිටීමයි. එනම් අපරාධ සහායකයන් වී සිටීමයි. මර්දනයට එරෙහිව හඬ නැගු රදගුරුවරුන් අතලොස්ස අතරින් එක් අයෙක් ව්‍යාජ හදිසි අනතුරකින් ඝාතනය කරන ලද්දේය. සිය ස්වාමියා වන ජේසුස් වහන්සේ  මෙන් සිය සහෝදරයන් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට තරම් එඩිතර හෝ ත්‍යාගශීලි නොවූ සෙසු රදගුරු වරු එම සිද්ධියෙන් පසු නිහඬ වූහ.

ජනාධිපතිවරණයක් සමග යුක්තිය උදෙසා ක්‍රියාවලියක්..

මේ මර්දනය 1983 දක්වා පැවතිනි. එය අවසන් වූයේ හමුදා පාලනය අවසන් කරමින් පවත්වන ලද ප්‍රථම ජනාධිපති වරණයෙන් පසුවය. 1983 දෙසැම්බර් මාසයේ පවත්වන ලද ජනාධිපති වරණයෙන් සිවිල් පුරවැසියකු වූ රවූල් අල්ෆොන්සින් ජනාධිපති ධුරයට තේරී පත්විය. ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දී දින තුනකින් විශේෂ ජනාධිපති නියෝගයක් මගින් ප්‍රථම ජුන්ටා තුන තුළ සිදු කරන ලද අපරාධ සහ අතුරුදන් කිරීම් ගැන විමර්ශනය කිරීම සහ දඬුවම් කිරීම  නීතිගත කෙරෙන නියෝගයකට අත්සන් කළේය. ඒ සමගම යුක්තිය උදෙසා වූ ක්‍රියාවලිය ආරම්භ විය. මේ මගින් අතුරුදන් වුවන් ගේ මව්වරු  සහ අත්තම්මාවරු යුක්තිය පතා  ගෙන ගිය අවිහිංසක අරගලයේ ප්‍රතිඵල ලැබෙන ලකුණු පහල විය. එහෙත් යුක්තිය ඉටු වන තෙක් ම ඔවුහු සිය අරගලය අත්හැරියේ  නැත.

අනුරගේ මාවතත් මල් මාවතක් විය නොහැකිය..

තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපති වී දින කිහිපයකින් පාස්කු  දින ප්‍රහාරය ඇතුළු නොවිසඳුණු අපරාධ පිලිබඳ යුක්තිය ඉටු කිරීමට ජනාධිපති අනුර කුමාර සහෝදරයා ගත් පියවර අල්ෆොන්සින් ගේ මේ පියවර සමග සසඳන්න. අනුර කුමාර ජනාධිපති වරයා ද දිවුරුම් දුන් වහාම යුක්තියේ අරගලයට ප්‍රවේශ විය. රවී සෙනෙවිරත්න පොලිසිය භාර අමාත්‍යංශයේ ලේකම් ලෙස  පත් කිරීම ඒ අතර ප්‍රධානම පියවරකි. මේ අනුව රනිල් රාජපක්ෂ විසින් “රාජ්‍ය පාලනයේ ඇත්දැකීම් නැහැ” යයි චෝදනා කරනු ලබන අනුර කුමාර දිසානායක, ස්වකීය මූලිකත්වයෙන් ක්‍රියා කළ හැකි, පරිනත රාජ්‍ය නායකයකු බව දැනටමත් ඔප්පු කර තිබේ.

ආජන්ටිනාවේ යුක්තිය සහ සත්‍යය වෙනුවෙන් අල්ෆොන්සින් ජනාධිපතිවරයා  සහ ඔහුගේ විමර්ශකයන් ගිය ගමන මල් මාවතක් නොවේ. ඉතා රළු, ලොමු දැහැගන්වන මාර්ගයකි. අනුර කුමාර දිසානායක සහ ඔහු ගේ විමර්ශනකයන් ගේ ගමන ද ඊට  සමාන වන ලකුණු දැනටමත් පහළ වී තිබේ. ඇතැම් විට එය  ඊටත් වඩා බිහිසුණු මාවතක්  විය හැකිය. උදය ගම්මන්පිලලා, අජිත් පී. පෙරේරලා, කාංචන විජේසේකරලා මෙන් ම ආරුගම් බොක්කේ “සුළි සුළඟ” ද අපට කියන්නේ ඒ කතාවයි.

ජනාධිපති අල්ෆොන්සින් ගේ විමර්ශකයන් එහි දී ක්‍රියා කළේ කෙසේ ද? ඔවුන් ගේ විචක්ෂණශීලි බව සහ එඩිතර කම ජනතා ජයග්‍රහණයට හේතු  වූයේ කෙසේ ද?

මිළඟ ලිපියෙන් ඒ ගැන කතා කරමු.

-මාණ්ඩලික ලේඛකයකු විසිනි

සබැඳි ලිපිය

අපරාධ පිලිබඳ සත්‍යය සොයා යුක්තිය ඉටුකිරීමේ දී මුහුණ දිය හැකි බියකරු අභියෝග...! (පළමුවන කොටස) අවදියෙන් ඉන්න. පාතාල රාජ්‍යය පෙරළා පහර දීම ආරම්භ කරලා..!

No comments:

Post a Comment