Tuesday, 5 November 2024

පුනරුද යුගයේ ශ්‍රී ලංකා විදේශ තානාපති සේවාව කොයිබටද?

-ඝෝෂක පුත්‍ර ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.05, ප.ව.10.45)

ගරාවැටීම

විටින් විට සිදුවූ සමහර සුබදායක සංසිද්ධීන් හැරුණු කොට ශ්‍රී ලංකා විදේශ සේවාව රටෙහි අභිවෘද්ධියට තීරණාත්මක කාර්යයක් ඉටු කළ බවක් අපගේ මතකයේ නැත. එහෙත් එහි සමහර දක්ෂ නිලධාරීන් කිහිපදෙනෙකු පෞද්ගලික උත්සාහයන් ගත් අවස්ථා අප දැක ඇත.

කලක් තිස්සේ විදේශ තානාපති සේවයට අනුයුක්තකර යවන ලද නුසුදුසු දේශපාලකයින්ද දේශපාලකයන්ගේ නෑදෑ හිතවතුන්ද නව රජය විසින් ආපසු කැඳවා ඇත. මෙය සාධනීය කරුණකි. නමුත් මින් කොටසක් ආපසු නොපැමිණ අස්ථානගත වීමේ අවදානම අපට බැහැර කළ නොහැක. මේ බොහෝ දෙනා රාජපක්ෂ ගැත්තන් මෙන්ම රනිල් ඇච්චන්ය. යහපාලන ආණ්ඩුව ආරම්භයේදී  මෙවන් ක්‍රියාවක් සිදුකළත් අවසානයේදී බොහෝවිට ආපසු යැව්වේ නුසුදුස්සන්ය. මොවුන් රටට කළ කිසිවක් නොමැති අතර විෂමාචාර ක්‍රියා නිසා කළ අවමානයන් නම් අති මහත්ය. නිව්යෝක් තානාපති ලෙස වංචනිකව විශාල මුදලක් ගසා කා රටවල් දෙකෙහිම වරදකරුවෙකුව සැඟවී සිටින රාජපක්ෂ නෑයා මීට හොඳ උදාහරණයකි.

නව පත්වීම් සහ පුනරුත්ථාපනය

එම නිසා පුරප්පාඩු පිරවීමට යවන්නන් තෝරාගැනීම ඉතා සුක්ෂමව කළයුතු දෙයකි. වර්තමාන විදේශ ලේකම්ද ඇතුළුව ඉතිරිව ඇති විදේශ සේවා සාමාජික සාමාජිකාවන් විශාල වශයෙන් පුනරුත්ථාපනයකට ලක් නොකර කිසිම ආකාරයකින් මෙම පත්වීම් නොකළ යුතු බව බොහෝ ප්‍රධාන රටවල සිටින දැන උගත් අය අප කළ විමසුමකදී දැඩි ලෙස අවධාරණය කර ඇත. මින් බොහෝ දෙනා තමුන් සිටින රටෙහි දේශපාලන, සමාජීය. ආර්ථික සහ පරිපාලනය මෙන්ම අපට ලබා ගතහැකි අවස්ථා ගැන දන්නේ ඉතාමත් අඩුවෙනි. ඉන් බොහෝ දෙනෙකු කල් ගත කරන්නේ ආගමික හෝ ශ්‍රී ලාංකික සංස්කෘතික කටයුතුවල හා පෞද්ගලික කටයුතු වල මිස මිස රාජකාරිමය කටයුතුවල නොවන බව බොහෝ දෙනා දනී. සෑම රටකම පාහේ මොවුන් වට කර ගත් පරපෝෂිතයන් කොටසක්ද ඇත. එම නිසා  මෙහි පළමු පියවර ඔවුනට හා ඉතිරිව සිටින්නන් හට  නව රජයේ ප්‍රතිපත්ති හා පරිපාලන රටාව ගැන ගැඹුරු අවබෝධයක් ලබා දීමයි.

බඳවා ගැනීමේ පටිපාටිය

අපගේ විදේශ සේවාව රටේ අනිකුත් රාජ්‍යය ආයතන මෙන් ඉතා පරිහානියට ලක්වූ ආයතනයකි. මෙය නව ලොවට ගැලපෙන බඳවා ගැනීමේ පටිපාටියක්, පුහුණු ක්‍රම වේදයක්, සැම ක්ෂේත්‍රයකම සිටින දක්ෂයන් ආකර්ෂණය කරගත හැකි ප්‍රතිරූපයක් හෝ උවමනාවක් නොමැති අකාර්යක්ෂම ජවයක් නොමැති මැලවුණු සුදු අලියෙක් බව අපගේ  නිරීක්ෂණයයි. අඩුම තරමින් මින් බොහෝ දෙනෙකුට වචන හතරක් ගලපා  කුමන භාෂාවකින්වත් සභාවක්‌ ඇමතිය නොහැකි බව අප බොහෝ දෙනා දැක ඇති කනගාටුදායක  කරුණකි. සංනිවේදන හැකියාව හෝ කථිකත්වය විදේශ නියෝජිතයෙකුට අත්‍යවශ්‍යම සාධකයකි.

අසල්වැසි ඉන්දියාවේ හෝ අපට හුරු අඩු ජනගහනයක් ඇති සිංගප්පුරුවෙහි විදේශ සේවා නිලධාරීන් දෙස බලන්න. විවිධ ක්ෂේත්‍ර වලින් පැමිණ ඇති ඔවුන් ඉතා තරඟකාරී පෞර්ෂත්වයෙන් හෙබි පුද්ගලයන් වීම අහඹුවක් නොවන බව ඔවුන්ගේ බඳවා ගැනීමේ ක්‍රමය හා පුහුණුව දෙස බැලුවහොත් අවබෝධ කර ගත හැක. අප මෙන් කඩ ඉම පසු කිරීමට පමණක් එහෙන් මෙහෙන් එකතු කරගත් නිබන්ධයක් ගොනුකර කොහේ හෝ ප්‍රායෝගික නොවන අධ්‍යයන ආයතනයකින් ලබා ගත් පශ්චාත් උපාධියකින් අවශ්‍ය නව දැනුම නොලැබෙන බව ඔවුන් හොඳින් දනී. රට නියෝජනය කිරීම ඔවුනට ආඩම්බරයක් මිස වගකීමක් නොවන බව එම තානාපති කාර්යාලයකට පිවිසියහොත් ඔබට වැටහේ. නමුත් අපගේ තානාපති කාර්යාලයකට දුරකථන ඇමතුමක් දුන හොත් මේ ඇල්මැරුණු ස්වභාවය ඔබට අත් විඳිය හැක.

නව නිලධාරීන් අනුයුක්ත කිරීම

අන්තර් කාලය තුල නව විදේශ සේවා නිලධාරීන් අනුයුක්ත කිරීම වර්තමාන විදේශ සේවා නිලධාරීන්ගෙන් පමණක් නොකළ හැකි බව නව රජය වටහා ගත යුතුය. එම නිසා යම් කාලයක් ගත කොට සුදුසු පුද්ගලයන් සුදානම් කරන තෙක් මනා අත්දැකීම් හා අවශ්‍ය හැකියාවන්  ඇති වෘත්තිකයන් වෙනයම් ක්ෂේත්‍රයන්ගෙන් හෝ තාවකාලිකව බඳවා ගෙන විදේශ සේවාව ශක්තිමත් කළ යුතු බව අපගේ හැඟීමයි. ඊට සමගාමීව නව සාමාජිකයින් බඳවා පුහුණු කර ගැනීමේ ක්‍රමානුකූල වැඩ පිළිවෙලක්ද නිර්මාණය කළ යුතුය. එය ප්‍රමුඛත්වය දිය යුතු කරුණකි.

ප්‍රායෝගික යාවත්කාලීන විදේශ ප්‍රතිපත්තියක්

අපට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නොමැත. 1961 දී ගොඩනගා 1964 දී එක්සත් ජාතීන්ගේ වියනා සමුළුවේදී අනුමත කර ගත් විදේශ සම්බන්ධතා පිලිබඳ ප්‍රතිපත්ති සහිත සම්මුතිය අප වැනි කුඩා රාජ්‍යයන්ට තම විදේශ සම්බන්ධතා ගොඩනගා ගත හැකි ආකාරය  සඳහා ඉතා හොඳ අත්වැලක් සපයයි.

කුඩා රටක් වුවද අපගේ භූගෝලීය පිහිටීම නිසාද අසල්වැසි ඉන්දියාවෙහි, පකිස්ථානයෙහි සහ බංග්ලාදේශයෙහි ඇති රාජ්‍යතාන්ත්‍රික මෙන්ම දේශපාලනීය අවුල් නිසා බලවත් රටවල් අප දෙස අවධානය යොමු කිරීම වැළක්විය නොහැක. ගෝලීය නාවික මාර්ගවල මධ්‍යලක්ෂය  වීමද  ආරක්ෂා සහිත ගුවන් අවකාශයක් තිබීම මෙන්ම කලාපයේ උගත්ම ජනගහනයක් සිටින රටක් වීම අපට ඇති සම්පතකි. එම නිසා අපගේ සම්පත් භාවිත කර රටෙහි  අභිවෘද්ධිය වෙනුවෙන් සහය ලබා ගත හැකි අනෙකුත් රාජ්‍යයන්ගේ බල අරගල වලින් මිදිය හැකි හා සහයෝගයෙන් ඔවුනටද උපකාර කළ හැකි විදේශ ප්‍රතිපත්තියක් සලකා බැලීම විදේශ සේවාව නැංවීමට අත්‍යවශ්‍ය සාධකයකි.

අනෙකුත් ප්‍රමුඛතා මෙන්ම නිවැරදි දිශානතියක් සහිත කාර්යක්ෂම විදේශ සේවාවක් ස්ථාපිත කිරීමද නව රජයට ඇති තවත් අභියෝගයකි.

රට වැසියන් ලෙස අපගේ බලාපොරොත්තු පහත සඳහන් කර ඇත.

*විදේශ ප්‍රතිපත්තිය මනාව වටහා ගෙන ඊට අනුකූලව ක්‍රියාත්මක වීම සහ හැසිරීම
*තමුන් අනුයුක්තව සිටින රටෙහි රාජ්‍යය පරිපාලනය සමග කිට්ටු සම්බන්ධතා ගොඩ නගා ගැනීම
*සත්කාරක රටෙහි මෙන්ම ලෝක දේශපාලනය, ආර්ථිකය වැනි දේ වල වෙනස්කම් හා බලපෑම් ශ්‍රී ලංකාවට බල පා හැකි අයුරු පහදා දීම
*රටෙහි ප්‍රධාන දේශපාලන පක්ෂ (පක්ෂ/විපක්ෂ මෙන්ම ප්‍රාන්ත හෝ ප්‍රධාන නගරද ඇතුළුව) සමග ප්‍රතිපත්තිමය කරුණු ගැන නිරන්තර සංවාද ගොඩ නැගීම
*ශ්‍රී ලංකා සංක්‍රමික සමාජ අතර හොඳ හිත ගොඩනැගීම සහ එම සම්බන්ධතා ඵලදායී කාර්යයන් දෙසට යොමු කර වීම
*ශ්‍රී ලාංකික සංස්කෘතික අනන්‍යතාවයන්, සංචාරක ස්ථාන ගැන මනා අවබෝධයක් ලබා දීම
*ශ්‍රී ලංකාවෙහි ඇති ව්‍යාපාරික අවස්ථා හා නීති රීති හඳුන්වා දීම
*ශ්‍රී ලංකා භාණ්ඩ හා සේවා එම රටවල ප්‍රවර්ධනයට මග පෙන්වීම
*සංක්‍රමණික සමාජ සාමාජිකයන් ශ්‍රී ලංකාවෙහි ආයෝජනයට දිරි ගැන්වීම.
*සත්කාරක රටෙහි ව්‍යාපාරික සමාජ/ආයෝජකයින් ශ්‍රී ලංකාවට කැඳවා ගැන්මට උත්සුක වීම
*සත්කාරක රටෙහි තාක්ෂණික, අධ්‍යාපනික, නව උත්පාදන වැනිදේ ගැන දැනුම  රටට ලබා දීම
*තාවකාලික විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම සහ මුදල් සම්ප්‍රේෂණය වැනි ක්‍රියා විධිමත් කරවීම
*ගැමි ආර්ථිකය නගා සිටුවීමටත් ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගත හැකි උපකාරක ක්‍රම ඇති කිරීම

අද මේ බොහෝ දේ කිසිම සංවිධානාත්මක අයුරකින් ඉටු නොවේ. නව විදේශ ඇමතිවරයා මෙම කරුණු මනාව වටහා ගෙන තම අවධානය යොමුකරනු ඇතැයි අපි උනන්දුවෙන් බලා සිටින්නෙමු.

-ඝෝෂක පුත්‍ර

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/87

No comments:

Post a Comment