කොතලාවල ආරක්ෂක පීඨයේ මියගිය සිසුන්ගේ හත්දොහේ දානය දවසේ ගුවන් හමුදාපති ආදි සිසුන් සමග නරුම සාදයකට සූදානම්..!
-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.05, ප.ව.11.25) පසුගිය සිකුරාදා දිනය (01) උදාවන විට මුලු රටම කම්පනයට පත් කළ පුවතක් සියලුම මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් සහිත බස් රථයක් අනතුරට පත්වීමය.
එහිදී ජීවිතය පිලිබඳව දහසක් බලාපොරොත්තු පොදි බැඳගත් සිසුවියන් දෙදෙනෙක් මිය ගිය අතර 40 කට ආසන්න සිසුන් ප්‍රමාණයක් රෝහල්ගත කෙරින. මෙම සිදුවීමෙන් පසුව ඒ අවට පිරිස් විසින් ඉතා යුහුසුලුව හා ඕනෑකමින් අනතුරට පත් සිසුන් හට උදව් කිරීම බොහෝ දෙනාගේ අවධානයට හා ප්‍රශංසාවට ලක්විය.
සමහර සිසුහු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙවන් ඛෙදවාචකයක් සිදුවී තිබියදී, ලබන සිකුරාදා දින එනම් 8 වැනිදා , කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ආදි සිසුන් එක් රැස් කොට, අත්තිඩිය ගුවන් හමුදා හෝටලයේදී මහ ඉහලින් සාදයක් පැවැත්වීමට ගුවන් හමුදාපතිවරයා කටයුතු කරමින් සිටී.
මෙහි කණගාටුදායකම තත්ත්වය නම් මෙම මහා සාදය පවත්වන්නේ මියගිය සිසුන්ගේ හත් දවසේ පිංකම යෙදී ඇති දිනයේදීම වීමය.
මේ පිලිබඳව අවධානය යොමු කරමින් වත්මන් නාවික හමුදාපතිවරයා ද, කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාද , මෙම සාදය කල් දැමීමට කටයුතු කරන ලෙස ගුවන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටියද ඔහු ඒ කිසිවක් තුට්ටුවකට මායිම් කර නැති බව සැලවේ.
එම ඉල්ලීම වලින් පසු ඔහු සඳහන් කර ඇත්තේ, සාදය ආරම්භයේ විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ,ඉන්පසු සැලසුම් කර ඇති පරිදි මධුවිත, රසමසවුළු, සංගීත, නර්ථන ඇතුලු සියලු විනෝදාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසය.
තම විශ්වවිද්‍යාලයේම ඉගෙන ගනිමින් සිටින සිසුන් පිරිසක් එම විශ්වවිද්‍යාලයටම අයත් බස් රථයකින් අධ්‍යයන චාරිකාවක යෙදී සිටියදී සිදු වූ අනතුරකින් මෙතරම් ව්‍යසනයක් සිදුවී, මියගිය සිසුන්ගේ සත්දවසේ පිංකම් කටයුතු වත් අවසන් කිරීමට පෙර, තුවාල ලැබූවන් තවමත් රෝහල් ගතව සිටියදී, මෙවන් සාදයක් පැවැත්වීමට ගුවන් හමුදාපතිවරයා ගේ තීරණය, එම විශ්වවිද්‍යාලයේ ආදි සිසුන් වන බොහෝ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ විවේචනයට ලක්ව ඇත.
නමුත් ගුවන් හමුදාපතිවරයා තමුන්ගේ තනිමතයට කටයුතු කරමින් සිටි.
මේ අතර, මෙම අනතුර සම්බන්ධයෙන් කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියටද චෝදනා එල්ල වෙමින් පවති. අනතුර සිදුවීමට මද වේලාවකට පෙර එම බස් රථය අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ අන්දම දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයන්හි සංසරණය වේ. රියැදුරා සිට ඇත්තේ ඊට පෙර සිදුකළ අනතුරක් හේතුවෙන් සිය රියැදුරු බලපත්‍රය අධිකරණයෙන් තහනම් කර තිබියදී ය.
එසේම මෙම සිසුන්ගෙන් මුදල් නිසිකලට අයකළ ද ඔවුන්ගේ ආරක්ෂාව පිලිබඳව සැලකිල්ලක් නොදක්වමින්, නිසිකලට ටයර් අලුත් කිරීම සහ නඩත්තු කටයුතු සිදු නොකළ බස් රථයක්, මෙවන් අනතුරුදායක මාර්ගයක ධාවනය සඳහා යෙදවීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වේ.
මේ අවස්ථාවේ කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලය කළ යුත්තේ සාද දැමීම නොව පොලිස් පරීක්ෂණ වලට සහය දැක්වීමත්, විශ්වවිද්‍යාලයේ සෙසු බස් රථවල නඩත්තු කටයුතු, රියදුරන්ගේ වැරැදි පිලිබඳව සොයා බලා මෙවන් අනතුරු නැවත සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමත් ය.
No comments:
Post a Comment