Monday, 11 November 2024

ඇඬෙන්න දිනීම සහ දිනන්න ඇඬීම අතර වෙනස හොඳින් හඳුනා ගනිමු..!

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.11, ප.ව.11.00) ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර දිසානායක මේ දිනවල වේදිකාවෙ නිතර කියන ප්‍රකාශයක් වන්නේ “මේ සැරේ දිනන්න ඕනේ අනිත් අයට ඇඬෙන්න, හොඳේ.” මෙය සමහර දේශපාලකයන්ට එක්තරා ආකාරයක තැතිගැන්මක් ඇති කිරීමට සමත් වී තිබෙන බවක් ඔවුන්ගේ මෑත ප්‍රකාශ නිරීක්ෂනය කිරීමෙන් පැහැදිලි වේ. අනුර කියන තවත් ප්‍රකාශයක් වන්නේ “මේ සැරේ පාර්ලිමේන්තුව සුද්ධ කරන්න ඕනේ.” විශේෂයෙන්ම මෙයත් ඉතා හොඳින් විරුද්ධ පක්ෂයේ ප්‍රබලයන්ට තදින් දැනී ඇති බව පැහැදිලිය.

රත්තරංගේ “අල්මාරි වල ඇට සැකිලි”

ඊයේ (10) කළුතර ප්‍රදේශයේ පැවැති එක්තරා රැලියකදී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහජනයා ඉදිරියේ අඬා වැලපෙනු රූපවාහිනියේ දකින්නට ලැබුණි. ඔහුට එසේ දුකක් ඇතිවීමට හේතු රාශියක් ඇත. ඔහු ජීවිතය ආරම්භ කරන්නේ ඉතා පහලම අඩියෙනි. රෝහිත වෘත්තීය “කෝච්චියේ මාල කඩන්නකු” බව විවිධ අය පාර්ලිමේන්තුවේ සහ  වෙනත් අවස්ථාවල ප්‍රකාශ කරනු අසා ඇත. ඔහු පසුව දේශපානඥයකුගේ රියදුරෙක් වී ඉන් අනතුරුව පහල මට්ටමේ සිට දේශපාලනයට පිවිස, කැබිනට් අමාත්‍යවරයකු දක්වා ගොස් ඇත. පසුගිය ජනාධිපතිවරණයට ආසන්න දිනක ඔහුගේ දේශපාලන දිවියේ 27 වන සංවත්සරය මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, බැසිල්, රනිල් ඇතුලු දේශපාලනඥයන් සහ හිතවතුන් පිරිවරාගෙන මහත් හරසරින් සැමරුවේය. එහිදී රෝහිත ඔහුගේ කතාවේ ප්‍රකාශ කළේ කවුරුන් මහින්ද රාජපක්ෂ අතහැර ගියත්, ඔහු නොයන බවත්, දිවි හිමියෙන් නාමල් රාජපක්ෂ දිනවීමට කටයුතු කරන බවට ශපථ කරන බවත්ය. එම උත්සවයේදී රනිල් වික්‍රමසිංහ සිය කතාව ආරම්භ කළේ “රත්තරංගෙන්” අවසරයි කියමිනි. කෙසේ වෙතත්, එම සංවත්සරය නිම වී දින කිහිපයක් යන විට රෝහිත මාධ්‍යට ප්‍රකාශ කළේ ඔහුගේ මවගේ අවවාදය නිසා පොහොට්ටුව අතහැර රනිල් වික්‍රමසිංහ දිනවීමට කටයුතු කරන බවයි. මහින්දානන්ද, ප්‍රසන්න රනතුංග, ශෙහාන් සේමසිංහ, කාන්චන විජේසේකර වැන්නනුත් රනිල් පස්සේ ගියේ වෙන කිසිවක් නිසා නොව ඔවුන්ගෙ “අල්මාරි වල ඇට සැකිලි” තිබෙන නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. මොවුන්ට දැන් ඇඬෙන්නේ වෙන කිසිවක් නිසා නොව, ඔවුන් සඟවාගෙන සිටි “ඇට සැකිලි” තවත් මාස කිහිපයකින් එලියට ඒමත් සමග නැවත ඔවුන්ට ජීවිතයට දේශපාලනය කළ නොහැකි වන නිසාය, සමහර විට ජීවිතාන්තය දක්වා සිරගෙදර ගත කිරීමට සිදුවන බව ඔවුන් දන්නා නිසාය. එමනිසා මොවුන් උත්සාහ කරන්නේ ජනයා ඉදිරියේ බොරුවට කඳුලු සලා කෙසේ හෝ පාර්ලිමේන්තුවට රිංගාගෙන මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වී ආරක්ෂා වීමටය. අප හොඳින් තේරුම් ගත යුත්තේ මෙන්න මේ කරුණයි.

දේපල රාජසන්තක වුවහොත්? හිරේ විලංගුවේ වැටෙන්ට වුවහොත්?

ඇතැම් විට රෝහිත අඬන්නේ ඔහුගේ මිලියන 450 ක් වටිනා වත්කම් පිළිබඳ යටගසා ඇති අල්ලස් කොමිෂන් නඩුව නැවත එලියට ඒමට නියමිත නිසා වන්නට ද පිළිවන (සංඛ්‍යාව පිළිබඳ විවිධ වාර්තා ඇත). මෙම විමර්ශනය කළ අල්ලස් කොමිසමේ විමර්ශන නිළධාරියා මන්නාරමේ බංකර රාජකාරියකට වහාම ස්ථාන මාරු කොට අනෙක් නිළධාරිනිය පොලිස් මූලස්ථානයට මරු කොට මෙම පරීක්ෂන යට ගසා ගත්තේ එවකට පැවති අල්ලස් කොමසාරිස් වරුන්ගෙ අනුදැනුම ඇතිවය. මෙම පරීක්ෂන නැවත ආරම්භ වී මොහුගේ දේපල රාජසන්තක වුවහොත්? හිරේ විලංගුවේ වැටෙන්ට වුවහොත්? කාට කියන්නද. එම නිසා බොරුවට අඬා අනුකම්පාව දිනාගෙන පාර්ලිමේන්තු යන්න හදන්නේ මෙවැනි අමු හොරුන්‍ ය.  https://www.sundaytimes.lk/080914/News/sundaytimesnews_03.html මීට අමතරව කොළඹ මහාධිකරණය අල්ලස් කොමිසම පැවරූ තවත් නඩුවක පැවති තාක්ෂණික දෝශයක් (කොමසාරින් වරුන් තිදෙනාගේම අත්සන් නොමැති වීම) හේතුවෙන් කොමිසම විසින් නඩුව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් රෝහිත අබේගුණවර්ධන නිදහස් කොට ඇත. https://www.adaderana.lk/news.php?nid=72397 එම නඩුව නැවත නොපවරණ බව අල්ලස් කොමිසම තීරණය කළ බව වෙනත් වාර්ථාවක සඳහන් විය. (Case No: BC/144/05- asset case against Rohitha Abeygunawardena) මීට අමතරව අල්ලස් කොමිෂන් සභාව කෙතරම් දේශපාලනීකරණය වී ඇත්ද කියා පහත වාර්ථාවෙන් කියවා ගත හැක. https://www.dailymirror.lk/expose/Withdrawal-of-bribery-cases-against-politicians-and-their-allies-raises-eyebrows/333-235776 ඊට අමතරව, අප ඉදිරියේ අඬමින්, අපිට අනුකම්පා කොට පාර්ලිමේන්තුවට යවන්නට කියා “කන් කඩා වැටී” සිටින්නේ ඇයිද කියා දැන ගන්නට අවශ්‍ය නම් ඉහත දිගුවෙන් ගොස් අදාල ලිපිය කියවා බලන්න. මොවුන් තවදුරටත් නිදැල්ලේ සිටිය යුතු පිරිසක් නොවේ.

රත්තරංලා යනු ලඟින් වත් නොයා යුතු කොට්ඨාශයක්..

මෙම චෞරතන්ත්‍රය බේරා ගැනීමට ඉදිරිපත් වූ ස්වාධීන යැයි කියාගන්නා කොමිෂන් සභා වල කොමසාරිස් වරුන් පවා වගවීමට යටත් කළ යුතුය. මොවුන් කෙතරම් වංකව කටයුතු කොට තිබෙනවාද කියා පැහැදිලි වන්නේ දැන්‍ ය. මැතිසබය මුලින්ම පිරිසිදු කොට රාජ්‍ය සේවය, සහ අනෙකුත් ආයතන වල කටයුතු කරමින් සිටින දූෂිත, වංක නිලධාරීන් ද වෙනස් කොට ඒවාද පිරිසිදු කළ යුතුය. Clean ශ්‍රී ලංකාවක් ගොඩනගා ගත හැක්කේ ඉන් අනතුරුවය. එම නිසා මේ මොහොතේ අප කටයුතු කළ යුත්තේ ඉතා ඥානාන්විතවය. ඇඬූ පලියට, අනුකම්පා කොට පාර්ලිමේන්තු යවන ලෙස බැගෑ පත් වූවාට, මොවුන් ලඟින් වත් නොයා යුතු කොට්ඨාශයක් ය. කොයි වෙලේ අපේ ඇහැක් ගලවා ගනීද කියා සැක සහිතය. එම නිසා අප මෙවර මැතිසබය සුද්ධ කොට අසියාවේ CLEANEST ම රට බවට ශ්‍රී ලංකාව ඔසවා තබමු.

-ශාන්ත ජයරත්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment