Wednesday, 6 November 2024

“රට අනුරට” දුන් පසුවත් මැතිසබය මාලිමාවෙන් පුරවා දෙන්නට කියා කියන්නේ ඇයි.?

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.06, ප.ව.11.00) අප විශ්වාස කළේ රට අනුරට දුන් පසු රටේ සියලු ප්‍රශ්න විසඳී අපිට පොහොසත් රටක්-ලස්සන ජීවිතයක් ලැබෙනු ඇත කියාය. එය අප වෙත ලඟාකර දීම ජනාධිපති අනුරට පමණක් තනියෙන් කළ නොහැකි බව දැන් අපි දනිමු. අති විශාල රාජ්‍ය සේවයක්, පනහකට ආසන්න අමාත්‍යංශ සංඛ්‍යාවක් සහිතව ක්‍රියාත්මක වූ රාජ්‍ය තන්ත්‍රය දැන් කළමනාකරණය කරන්නේ අමාත්‍යවරු තිදෙනෙක් විසිනි. එම නිසා හැකි විගස ජනාධිපති අනුර සමග එකට ගමන් කල හැකි පාර්ලිමේන්තුවක්ද සකස් කර දීම අපගේ වගකීමය. විවිධ කල්ලි කන්ඩායම් පාර්ලිමේන්තුව තුල ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නට සූදානම් වුවහොත් අපි බලාපොරොත්තු වන පොහොසත් රට අපිට නොලැබෙනු ඇත. සුවහසක් ජනයා ප්‍රාර්ථනා කල ලස්සන ජීවිතය ඔවුන්ට අහිමි වනු ඇත. එම නිසා අනුර කියන ආකාරයට මැතිසබය මාලිමාවෙන් පුරවා ඔහුට අවශ්‍ය පිටුබලය ලබා දීම අපගේ වගකීමයි.

අනුරට විධායක බලය තිබුනද...

ව්‍යවස්ථාව අනුව ජනාධිපති අනුරට විධායක බලය තිබුනද, රාජ්‍ය මූල්‍ය බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටය. ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයේ 148 වන ව්‍යවස්ථාවෙ මෙසේ සඳහන් වේ. “ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය....” https://www.parliament.lk/files/pdf/constitution-si.pdf මේ අනුව පැහැදිලිවන කාරණය නම්, ජනාධිපති අනුරට ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සපයා ගැණීමට නම් ඔහුට ගැලපෙන පාර්ලිමේන්තුවක් තිබිය යුතුය. යම් පනත් සම්මත කරගැණීමට විශේෂ බහුතර බලයක් අවශ්‍ය බවට සුප්‍රීම් අධිකරණය නියෝග කරන අවස්ථා එළඹෙන්නට පිළිවන. එවැනි අවස්ථාවල පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රමාණයට සහයෝගය නොළැබෙන්නේ නම් ජනාධිපති අනුරට එවැනි පනත් හකුලා ගැනීමට සිදුවනු ඇත.

බදු අඩු කර ගැනීමට නම්..  

මීට පෙර පැවති ජනාධිපතිවරණ වේදිකාවේ අනුර ප්‍රකාශ කලේ ලංකාවේ බදු ක්‍රමයේ තිබෙන සංකීර්ණ බව ලිහා සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙන බවයි. මාසික වැටුප් ලබන සේවකයන්ට බලපාන උපයන විට ගෙවන බද්දේ (PAYE) වාර්ෂික සීමාව ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීවේය. ආදායම් බද්දේ තිබෙන විෂමතා සොයා බලා සුදුසු විසඳුම් දෙන බව කීවේය. VAT බද්ද පිළිබඳව නැවත විශ්ලේෂනය කරන්නට බලාපොරොත්තු වන බවත් කීවේය. එහෙත් මේවා සියල්ල ඉටු කිරීමට නම් ජනාධිපති අනුරට සහාය වන මැතිසබයක් සිටිය යුතුය. මේ දිනවල විපක්ෂ කණ්ඩායම් ප්‍රශ්න කරන්නේ බදු අඩුකරන බවට දුන් පොරොන්දු ඉටු නොකරන්නේ මන්ද කියාය. අනුර ජනාධිපති වී මේවන විට ගත වී ඇත්තේ සති 7 කි. නව පාර්ලිමේන්තුව තෝරා ගැණීමට තව ඇත්තේ දින 10කට අඩු කාලයකි. එතෙක් 148 ව්‍යවස්ථාව අනුව ජනාධිපති වරයාට රාජ්‍ය මූල්‍ය සම්බන්ධව කිසිදු තීරණයක් ගත නොහැක. ජනාධිපති අනුර මෙම බදු සංශෝධන යෝජනා පාර්ලිමේන්තුවට ගෙන එන විට ඔහුට සහාය වන පාර්ලිමේන්තුවක් අප තෝරා පත් කර යවා සිටියහොත් ඔහු පොරොන්දු වූ සහන අපිට ලබාගත හැකි වනු ඇත.

ව්‍යවස්ථාවේ 36 වන වගන්තිය වෙනස් කරගැනීම..

ලංකාවේ බදු ගෙවන්නන් විසින් නඩත්තු කරන විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් කිහිප දෙනෙක්ම සිටිති. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති අන්දමට ඔවුන් සියළුම දෙනා මාසික විශ්‍රාම වැටුපකට හිමිකම් කියති. ඊට අමතරව වරින් වර ලබාගත් කැබිනට් අනුමැතීන්, නිකුත් කළ ගැසට් නිවේදන, හෝ පාර්ලිමේන්තු අනුමැතීන් මගින් විශාල වාහන සංඛ්‍යාවක් වගේම රජයේ වියදමින් නඩත්තු වන නිළ නිවාස, ආරක්ෂක භටයන් සිය ගණනක්, ඇතුළු වරප්‍රාසාද රාශියක් ඔවුන් ලබාගෙන ඇත. ඒවා ඉවත් කිරීම තරමක් දුෂ්කර වී ඇත්තේ මෙවැනි නීතිමය බාධා නිසාය. රජයේ සේවකයෙක් විශ්‍රාම යන්නේ වයස අවුරුදු හැට සම්පූර්ණ වූ විටය. එහෙත් ජනාධිපති වරයකුට වසරක් බලයේ සිට ඉවත් වුවද සියළු වරප්‍රසාද වලට හිමිකම් කීමට හැකිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ සිටියේ වසර දෙකකට ආසන්න කාලයකි. ඩී.බී. විජේතුංග ජනාධිපති වූයේ ඊටත් අඩු කාලයකටය. ඔවුන් අපගේ බදු මුදලින් නඩත්තු වීම කෙතරම් සාධාරණද? මෙවැනි වරප්‍රසාද ඉවත් කොට ඔවුන්ගේ සේවයත් අනෙකුත් රජයේ සේවාවන් මට්ටමට ගෙන ඒමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වන ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුය. ඒ සඳහා ජනාධිපති අනුරට සහාය විය හැකි පාර්ලිමේන්තුවක් සිටිය යුතුය.  

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ යම් විදේශ රාජ්‍යයක ආණ්ඩුවක් අතර, එම විදේශ රාජ්‍යයේ හෝ එහි වැසියන්ගේ හෝ රාජ්‍යයේ නීති යටතේ සංස්ථාගත කරන ලද නැතහොත් සංස්ථාපනය කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රී ලංකාව තුළ ආයෝජන වඩාලීම හෝ ආරක්ෂා කිරීම සඳහා ඇති කර ගත් යම් ගිවිසුමක් හෝ සම්මුතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. https://www.parliament.lk/files/pdf/constitution-si.pdf

රනිල් හැදූ උගුල්..

එහෙත්, රාජපක්ෂ රජයත්, සිරිසේනගේ යහපාලන රජය සහ රනිල් වික්‍රමසිංහ රජය පසුගිය සමයේ අත්සන් කල ගිවිසුම් කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත. උදාහරණයක් හැටියට රනිල් වික්‍රමසිංහ රජය ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ යාන්ත්‍රණය විදේශීය පෞද්ගලික සමාගම් හතරකට පවරා දීමේ අවසන් ගිවිසුම් කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත. මේ ගිවිසුම් හරහා රජය උගුලකට හසුවී තිබෙන බව පසුගියදා ඛණිජතෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කලේය. මෙම ගිවිසුම් හේතුවෙන් රජයට විශාල අලාභයක් සිදුව තිබෙන බව මේ වන විට පැහැදිලිය. මෙම ගිවිසුම් නැවත සමාලෝචනය කොට කොතෙක් දුරට ඒවා රටේ ආර්ථිකයට දායක වන්නේද යන්න විමසා බැලීම වැදගත්‍ ය. එමෙන්ම, කිසියම් ගිවිසුමක් රටට අහිතකර වන්නේ නම් ඒ  පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැණීමට ජනාධිපති අනුරට සහාය විය හැකි  ශක්තිමත් පාර්ලිමේන්තුවක් සිටිය යුතුය. එම විදේශීය සමාගම් හෝ ආයතන වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම තුල ජනාධිපතිවරයාට අවශ්‍ය වෙනස්කම් කල නොහැක. ‍ඡන්දදායකයන්ට අවශ්‍ය වන්නේ පොහොසත් රටක් නිර්මාණය කරගැණීමට නම් රට ආර්ථික වශයෙන් පොහොසත් වීම මූලික නිර්ණායකයකි. එමනිසා, අප මෙවර තෝරාපත්කරන මන්ත්‍රීවරුන් ජනාධිපති අනුරට ශක්තියක් විය යුතුය.

නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීම..

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට 21 වතාවක් සංශෝධනය කොට ඇත. මෙම ව්‍යවස්ථාවේ නිර්මාපකයන්ම අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන බව පවසමින් විටින් විට උත්සාහයන් ගත් බව රටේ ජනයා දනී. ජනාධිපති අනුර නියෝජනය කරන ජාතික ජන බලවේගය එදා සිටම සිටි ස්ථාවරය වූයේ ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීමට මෙම 1978 ව්‍යවස්ථාව බාධාවක් බවයි. ඔවුන් පසුගිය සෑම මැතිවරණයකදීම ජනවරම ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් සකස් කිරීමටය. ඒ සඳහා ස්වර්ණමය අවස්ථාවක් දැන් අපිට ලැබී ඇත. ජනාධිපති අනුර නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පුරෝගාමී වැඩකොටසක් මේ වන විටත් ආරම්භ කොට ඇත. ඔහුගේ අභිප්‍රාය සාර්ථක කරගැනීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII පරිච්ඡේදයේ 82 වන ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට නම් ජනාධිපති අනුරට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර බලයක් අවශ්‍ය වේ https://www.parliament.lk/files/pdf/constitution-si.pdf. ජනාධිපතිවරයාට අවශ්‍ය සහාය පාර්ලිමේන්තුවේ නොලැබුනහොත් අපට මෙවරද නව ව්‍යවස්ථාවක් සම්මත කරගැණීමට නොහැකි වනු ඇත.  

මාලිමාවෙන් මැතිසබය පුරවන ලෙස ජනාධිපති අනුර අපෙන් ඉල්ලන්නේ ඔහු ඉදිරිපත් කල පස් අවුරුදු ප්‍රතිපත්තිය “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” ක්‍රියාත්මක කොට පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැණීමටය. ඉදිරි වසර පහ තුල රටේ දල දේශීය නිෂ්පාදිතය (GDP) අවම ඩොලර් බිලියන 100 ක මට්ටමට වත් ගෙන ඒමටය. ව්‍යවස්ථා සංශෝධන වලට අමතරව, රාජ්‍ය පාලනයේ සිදුකල යුතු ව්‍යූහාත්මක වෙනස්කම් කඩිනමින් සිදුකොට මුළු රටම වැඩබිමක් බවට පත්කිරීමටය. ගෝලීය සැපැයුම් ජාල වලට එක්වීමට තිබෙන බාධා ඉවත් කරගැණීමටය. ශ්‍රී ලංකාව රටක් හැටියට අහිමි කරගත් කීර්තිනාමය, වසර කිහිපයක් තුල  යලි ප්‍රතිස්ථාපනය කිරීමටය. මැතිසබය මාලිමාවෙන් පුරවන ලෙස ජනාධිපති අනුර අපෙන් කරන ඉල්ලීම සාධාරණ වන්නේ ඒ නිසාය. එමනිසා අපගේ වගකීම උපරිම මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මාලිමාවෙන් මැතිසබයට යැවීමය.

-ශාන්ත ජයරත්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment