Thursday, 7 November 2024

පාර්ලිමේන්තුවේ සුජාතභාවය නැවත ඇතිකිරීමට ලැබෙන අවසන් අවස්ථාව අප විසින් මගහැරිය යුතුද..?

-ශාන්ත ජයරත්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.07, ප.ව.11.20) පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම ආයතනය හැටියටයි සැලකෙන්නේ. පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ ජනතා පරමාධිපත්‍ය නියෝජනය කිරීම. එහෙත් වසර පහකට වරක් අප විසින් තෝරා පත්කර යවන නියෝජිතයන් 225 දෙනාගෙන් අති බහුතරය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කොහෙත්ම සුදුසු නොවන බව පසුගිය පාර්ලිමේන්තුවල සිදු වූ කටයුතු විමසීමේදි පැහැදිලි වෙනවා. 2022 අරගලයේ ප්‍රධාන සටන් පාඨ වුනේත් 225 ම ගෙදර යවමු, වංචනිකයන්ට දඬුවම් දෙමු, සොරාගත් දේපල යලි අත්පත් කරගමු වැනි ඒවායි.  අපට එසේ අරගල කරන්නට වුනේ ඇයි?

චොකා මල්ලි සහ නීතිය ගණන් නොගන්නා කතානායක

පොහොට්ටු පක්ෂයේ අමාත්‍යවරයකු වූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් “චොකා මල්ලී” 2020  දී මරණීය දණ්ඩනයට නියම වන්නේ 2015 ජනාධිපති ඡන්ද ව්‍යාපාරය පැවති සමයේ පුද්ගලයකු වෙඩි තබා ඝාතන කිරීමේ චෝදනාවකටයි. දීර්ඝ නඩු විභාගයකින් පසු ඔහු සමග තවත් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද රත්නපුර මහාධිකරණය විසින් පෝරකයට යවනවා. එහෙත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ඔහුට පැවරුණු බලතල ප්‍රකාරව 2022 දී  “චොකා මල්ලිට” ජනාධිපති සමාව දී නැවත පාර්ලිමේන්තුවට ගෙන රාජ්‍ය ඇමතිධූරයක්ද පිරිනමනවා. https://www.newsfirst.lk/2022/03/31/premalal-jayasekrara-who-was-convicted-sentenced-to-death-acquitted-released සිර ගෙදර සිටිද්දීම රත්නපුර ජනතාව “චොකා මල්ලී” 2020 මහමැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු හැටියට තෝරා පත්කර ගන්නවා. මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු හැටියට දිවුරුම් දීමට නීතිය අනුව ඉඩක් නැහැ.  එහෙත්, එවකට කතානායක මහින්ද යාපා අබේවර්ධන නීතිය “බල්ලට දමා” “චොකා මල්ලී” පාර්ලිමේන්තු සැසිවලට සහභාගී කරවන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කරනවා. https://www.dailymirror.lk/breaking_news/Prisons-Dept-in-quandary-over-allowing-Choka-Malli-to-attend-Parliament/108-194926

පොහොට්ටු ආණ්ඩුවේ කතානායක 2024 මහ මැතිවරණයේ රනිල්ගේ ගෑස් සිලින්ඩර පක්ෂයේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙක්. චොකා මල්ලී ටික කාලයක් රනිල් වික්‍රමසිංහගේ පක්ෂයට සම්බන්ධ වී සිට 2024 නොවැම්බර් 14 මැතිවරණයට පොහොට්ටුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ඉදිරිපත් වී සිටිනවා. රටේ නීති හදන පාර්ලිමේන්තුවේ නීතිය තුට්ටුවකට මායිම් නොකරන කතානායකලා වගේම මිනීමරුවන් සිටී නම් අපි කාට කියන්නද?

රත්තරන් හොරා අලි සබ්‍රී රහීම්

රිෂාඩ් බදූර්දීන්ගේ පක්ෂයේ (ACMC)  මන්ත්‍රී අලි සබ්‍රී රහීම් 2024 මැසි මාසයේදී කටුනායක ගුවන් තොටුපලේදී රේගු අත් අඩංගුවට පත්වන්නේ රුපියල් මිලියන 78 ක් වටිනා රත්තරං කිලෝ 3 ක් සහ මිලියන 4.2 වටිනා ස්මාට් ජංගම දුරකථන 91 ක් මන්ත්‍රී වරප්‍රසාද යොදාගෙන හොර පාරේ ගෙන යාමට තැත් කිරීම නිසා. පසුව ඔහු රුපියල් මිලියන 7.5 ක දඩයක් ගෙවා එවේලේම නිදහස් වී පසුවදා පාර්ලිමේන්තුවට පැමිණ පනතකට පක්ෂව ඡන්දය පවා ප්‍රකාශ කරනවා. ඔහු මන්ත්‍රීවරයකු වූ නිසාද සොරබඩු වටිනාකමට සාපේක්ෂව ඉතා පොඩි දඩයක් ගෙවන්නේ?  https://www.newswire.lk/2023/05/24/gold-smuggling-mp-fined-and-released/ පසුගිය සමයේ ඔහු රනිල් වික්‍රමසිංහ සමග එකතුවී මෙවර එම පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කරනවා. මෙවැනි කම්බා හොරුන් නීති හදන පාර්ලිමේන්තුවට මෙවරත් තෝරා එවන්නේ නම් ඒ ජනතාව ගැන කුමක් කියන්නද?

කුඩු ලංසා..

නිමල් ලංසා එවකට බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරයෙක්. පොලිස් විශේෂ බලකාය (STF) විසින් ඔහුගේ නිවස වටලා සෝදිසි කරන්නේ මත්ද්‍රව්‍ය සඟවා තිබෙන බවට ලද ඔත්තුකට අනුව. එය කනවැකුණු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ වහාම නිමල් ලංසාගේ නිවසට යන්නෙ හෙලිකොප්ටරයකින්. මහින්ද රාජපක්ෂ නිමල් ලංසාව සිප වැලඳගන්නේ ලංසාට කිසිදු කරදරයක් වීමට ඉඩ නොතබන බවට ඒත්තුගන්වමින්. එවකට ඇමැති බැසිල් රාජපක්ෂ වගේම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මර්වින් සිල්වා වැනි පිරිස්ද වහාම ලංසාගේ ආරක්ෂාව සඳහා ඔහුගේ නිවසට යනවා. අවසානයේ වරද කරුවන් වූයේ පොලීසියයි. ලංසා පසුව රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු ලබා, ඉන් පසු පැවති සෑම රජයකටම සම්බන්ධ වී ඔහුගේ ව්‍යාපාරය හොදින් කරගෙන ගිය බව කවුරුත් දන්නවා. මේවන විට ඔහු රනිල් වික්‍රමසිංහගේ පක්ෂයෙන් ගම්පහට තරඟ වදිනවා. මොවුන්ගෙන් ව්‍යවස්ථාදායකයේ සුජාතභාවයක් ඔබට බලාපොරොත්තු විය හැකිද? https://www.sundaytimes.lk/111023/Columns/political.html

කතානායකවත් නොරකින චර්යා ධර්ම සංග්‍රහය

පාලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා චර්යා ධර්ම සංග්‍රහයක් 2018 මාර්තු 07 වන දින  පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නේ මහජනයාගේ පරමාධිපත්‍ය සුරකින මැතිසබයේ සුජාතබාවය ආරක්ෂා කිරීමට වන්නට පිළිවන. https://www.parliament.lk/files/pdf/code-of-conduct.pdf කනගාටුව පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායක වත් එය ආරක්ෂා නොකරන විට චර්‍යා ධර්ම සංග්‍රහ වලින් කුමක් බලාපොරොත්තු විය හැකිද?

මෙවර පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට තරඟ වදින පිරිස දිහා ඔබ මඳක් බලන්න? රටේ සිටින කුප්‍රකට ව්‍යාපාරිකයන් මෙම මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. කොවිඩ් වසංගතය වසන්සතයක් කරගත් ඔවුන් ව්‍යාවස්ථාදායකයට රිංගා ගන්නට හදන්නේ කුමක් සඳහාද? ඔවුන්ගේ කූඨ ජාවරම් සඳහා ආරක්ෂාව ලබාගැණීමට සහ තවත් රටේ ධනය කොල්ල කෑමට නොවේද?  විචිධ චෝදනා වලට ලක් වී සිරගත වූ චිත්‍රපට නළු නිලියන් මෙම මැතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. ජාත්‍යන්තර ජාවාරම් කරුවන්ගෙන් බිලියන ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා කරන්නේ එම නළුවන්ගේ පක්ෂයෙන්ම නාම යෝජනා දුන් පිරිස්මයි. කෙසේ හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගැනීමට උත්සාහ කරන මුදල් විශුද්ධිකරණ නඩු සහ තවත් අල්ලස් හා දූෂන නඩු කප්පරක්  තිබෙන නාමල් රාජපක්ෂ, ජාතික ලැයිස්තුවට නම නොදා එහෙත් කිසියම් මොහොතක බලය ඩැහැගැනීමට බලාපොරොත්තු වන රනිල් වික්‍රමසිංහ වැනි දේශපාලනයේ පාරාජික වූ පුද්ගලයන් තව දුරටත් නොවැම්බර් 14 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යවනවාද? එසේත් නැත්නම්, අදූෂිත, නැවුම්, මවිබිම පනමෙන් රකින, මානව හිතවාදී පිරිසකගෙන් මැතිසබය පුරවනවාද? තීරණය ඔබ සතුය.

-ශාන්ත ජයරත්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/102

No comments:

Post a Comment