බඩ ඉරිඟු එතනෝල් සමග කරළියට ආ නොම්මර දෙකේ අරක්කු ජාවාරම..! මාලිමාවට ඔත්තුවක්..!
-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.08, ප.ව.10.00) එතනෝල් නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු යොදාගැනීම පිළිබඳ මාධ්‍ය වල තොරතුරු වාර්තා වුවද එය සිදුකළ පුද්ගලයෙක් පිළිබද කිසිදු එළිදරව්වක් සිදු නොවීය. නමුත් බළලා මල්ලෙන් එළියට පැන්නේ පසුගිය නොවැම්බර් 06 වැනිදා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් නඩුවකදීය. රජයට අය විය යුතු බදු මුදල් පැහැර හැරීම සම්බන්ධව චෝදනා ලැබ වැලිකඩ බන්ධනාගාරගතව සිටින මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝෂියස්ට එරෙහිව එම අධිකරය හමුවේ නොච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් සමාගම විසින් නඩුවක් පවරා තිබූ අතර ඒ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් කැබලි බඩ ඉරිඟු ගෙන මුදල් වංචා කිරීමේ සිද්ධියකටයි. මේ අනුව පැහැදිලි වන කතාව වන්නේ බඩ ඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදනය කිරීමේ මහාපරිමාණ ව්‍යාපෘතියේ දැවැන්තයෙක් වන්නේ අර්ජුන් ඇලෝෂියස් බවයි.
අතිරේක ලාභයක්..
සෙවණගල හා හිඟුරාන යන සීනි කර්මාන්තයේ සීනි නිපැයුමේ අතුරුපලයක් ලෙස ඉතිරිවන මොලැසස් වලින් මත්පැන් කර්මාන්තය සඳහා එතනෝල් නිපදවීම සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස පැවති අතර පසුගිය කාලයේදී වජිර ගුණසේකර, (හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ගුණසේකරගේ පුත්‍රයා) අර්ජුන් ඇලෝෂියස් වැනි මහා පරිමාණ එතනෝල් නිෂ්පාදකයින් බඩ ඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදය කිරීම ආරම්භ කර තිබුණි.ඒ මොලැසස් වලින් එතනෝල් නිෂ්පාදනයට වඩ බඩ ඉරිඟු වලින් එතනෝල් නිපදවීමේදී ලීටරයකට රුපියල් 60 ක ලාභයක් හිමිවන නිසාය. මත්පැන් කර්මාන්තය ආශ්‍රිත තොරතුරු වාර්තා වලට අනුව එවිට මත්පැන් බෝතලයකින් අතිරේකව රුපියල් 15 ක ලාභයක් නිෂ්පාදකයන්ට ලැබිය හැක.
ඍජුව බලපාන හැටි..
කුකුළු කෑම ඇතුළු සත්ත්ව ආහාර නිෂ්පාදනයට මෙන්ම ත්‍රිපෝෂ වැනි ආහාර නිෂ්පාදනයට බඩ ඉරිඟු යොදාගන්නා අතර ලංකාවේ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා බඩ ඉරිඟු ආනයනය කිරීමට ද සිදුවේ. මෙවැනි තත්වයක් තුළ මත්පැන් නිෂ්පාදකයින් අනිසි ලාභ උපයාගැනීම සඳහා බඩ ඉරිඟු භාවිතා කිරීම තුළින් ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය බඩ ඉරිඟු පිට රටින් ආනයනය කිරීම නිසා රටින් පිටට විශාල ඩොලර් ප්‍රමාණයක් පිටවීම වැලැක්වීමට නම් මේ බඩ ඉරිඟු එතනෝල ජාවාරම නැවැත්විය යුතුය. එපමණක් නොව මෙලෙස එතනෝල් කර්මාන්තයට මහා පරිමාණ ලෙස ඉඩ ඉරිඟු යොදාගැනීම නිසා වෙළදපොළ තුළ කුකුළු කෑම සඳහා බඩ ඉරිඟු හිඟයක් මතුවීමේ අවදානමක් පවතින අතර එය බිත්තර සහ කුකුළු මස් මිළ ඉහල යාමට සෘජුව බලපානු ලබයි.
විමතියට කරුණක්...
පාසිකුඩා හි පිහිටි අර්ජුන් ඇලෝෂියස්ට අයිති එතනෝල් නිෂ්පාදනාගාරයේ මෙම කටයුත්ත සරුවටම සිදුකරනු ලබන අතර එම නිෂ්පාදනාගාරයේ දිනකට එතනෝල් ලීටර් 20,000 ක් පමණ නිපදවිය හැකි බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි. එහෙත් විමතියට කරුණ වන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා එම කර්මාන්ත ශාලාවේ නිපදවා වෙළදපොළට නිකුත් කළ මත්පැන් බෝතල් ප්‍රමාණයට අදාල එතනෝල් ධාරිතාව වන්නේ ලීටර් 68,000 ක් වීමයි.එය මේ කර්මාන්ත ශාලාවේ දින 3 ක පමණ නිෂ්පාදනයට සමාන වේ.
නොම්බර 2 බඩු..
මේ අනුව පැහැදිලි වන්නේ අර්ජුන් ඇලෝෂියස් එතනෝල් නිෂ්පාදනය කර නොමැති බව නොවේ. එසේ නම් කෝටි ගණනක බඩ ඉරිඟු වලට සිදු වූයේ කුමක්ද? සුරාබදු දෙපාර්තමේන්තු ශබ්ද කෝෂයට අනුව ඇලෝෂියස් කර ඇත්තේ නොම්බර 2 නිෂ්පාදනයයි.නොම්බර 2 බඩු යනු මත්පැන් නිෂ්පාදනාගාර වලින් බදු වංචා කර නිපදවන අරක්කු වේ.පසුරාබදු දෙපාර්තමේන්තු නිළධාරින් සමග සංවිධානාත්මකව සිදුකරන මේ ජාවාරම පසු පස සිටින ප්‍රබලයන වන්නේ අර්ජුන් ඇලෝෂියස් සහ වජිර ගුණසේකරයි. මේ අනුව වසරකට බිළියන ගණනක් රජයට අහිමි වන මේ ජාවාරම වත්මන් මාළිමා ආණ්ඩුව යටතේ හෝ මැඩ පැවැත්වෙනු ඇතැයි නීති ගරුක සුරාබදු නිළධාරින් විශ්වාස කළ සිටියද මේ වන විට ඒ පිළිබඳ විශ්වාසයද බිඳ වැටී තිබේ.
කව්ද මේ ෆින්ලන්ඩියා..?
ඒ පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් 07) සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සිදුවූ සිදුවීමකිනි. ෆින්ලන්ඩියා නම් මත්පැන් නිෂ්පාදනය කරන සමාගමක ඉහල නිළධාරියෙකු වන තරිදු ලක්ෂාන් නැමැත්නා එදින රාජගිරිය පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණ තමාට සුරාබදු කොමසාරිස් ජෙනරාල් හමුවීමට අවශ්‍ය බව පැවසූ අතර සුරාබදු කොමසාරිස්වරයා එම හමුව ප්‍රතික්ෂේප කර තිබේ.එහෙත් ඉන්පසු ජාතික ජන බලවේගයේ ප්‍රබල නීතිඥ යෙකුගෙන් ලද ඇමතුමකින් පසු එම පුද්ගලයා හමුවීමට සුරාබදු කොමසාරිස් වරයා එකඟ වී තිබේ.
තත්වය එසේ තිබියදී උතුරු නැගෙනහිර සුරාසැල් වලට බදු වංචා කර නිපදවන නොම්බර 02 අරක්කු සපයන වජිර ගුණසේකර දැඩි අභියෝගයකට මුහුණ දී ඇතැයි ද වාර්තා වේ. ඒ ෆින්ලන්ඩියා නොම්බර 02 අරක්කු සමග කරට කර හැප්පෙන්නට සිදුවීම නිසයි. මේ යන තත්වයට අනුව දැනුවත්ව හෝ නොදැනුවත්ව මාළිමාවද මත්පැන් මාෆියාවේ ගොදුරක් බවට පත්වීම නොඅනුමානය.ඒ අනුව ජනාධිපතිවරයාගෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රටේ ජනතාව ඉල්ලා සිටින්නේ මේ මහා අරක්කු හොරුන්ට වැට බඳින ලෙසයි.
No comments:
Post a Comment