තවමත් පරණ කිලිටි ඇඳුම් ඇඳගෙන ඉන්න ට්‍රයි කරන ධීවරේ, සෞඛ්‍යයයේ දූෂිත නිළධාරීන්..!
-විශේෂ ලියුම්කරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.09, ප.ව.11.30) රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙක් රටේ සිදු වූ දේශපාලන පරිවර්තනය නිසි ලෙස වටහා ගත්තත්, තවමත් පුටුවලට අරක්ගත් ඉහල ඇවරියේ ඉන්න කිහිප දෙනෙක් මේ වෙනස වටහා නොගෙන පරණ පුරුදු පාරේම යන්න උත්සාහ කරන නිසා, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අපහසුතාවයට පත් වෙනු දැකිය හැකිය. බොහෝ ආයතන වල සිටි ප්‍රතිපත්ති ගරුක නිළධාරීන්, වැඩක් කරන්න සැදී පැහැදී සිටියත්, මේ කිහිප දෙනෙක් යම් යම් අන්ඩර්ගේම් ගහන්නේ, අප ඔටුවන් ලෙස සිතා ගෙන විය යුතුය. ඒක නිසා, අප හෙළිදරවු කරන්නේ සියළු නම් ගම් සහිතව, සියළු සාක්ෂි අප සතුව තබා ගෙන වන අතර අවශ්‍ය නම්, තව දුරටත් ඒ ගැන විස්තර ද ලබා දෙන්නට ඊ නිව්ස් විමර්ශනශීලි මාධ්‍ය කණ්ඩායම පසුබට නොවේ.
ධීවර අමාත්‍යාංශයේ පිනුම් ගහපු ඇක්වේරියම් එක කාගේද?
ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරියට (නැක්ඩා) අයත් කුසල බංගදෙනියේ පිහිටි ඉතා මෑතක ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයේ ආධාර මගින් නවීකරණය කරන ලද මත්ස්‍ය අභිජනනාගාරය ඉතා සොච්චම් මුදලකට සිලෝන් ඇක්වේරියම් පුද්ගලික සමාගමට දීර්ඝ කාලීන බදු පදනම මත ප්‍රදානය කර ඇත්තේ පසු ගිය 01 දාය. එනම් අනුර කුමාර ජනාධිපති උනාටත් පසුවය. මේ ධීවර අමාත්‍යාංශයේ ඉහළ ඇවරිය කොලේ වසා ගහපු ගේමකි. මේ කාලය තුළ ආයතනයට සභාපතිවරයෙක් පත් කර නොතිබූ අතර අමාත්‍යාංශ ලේකම් වරයා විසින් වැඩ බලන සභාපතිවරයෙක් පත් කර හිඳ ඇත. ජනාධිපතිවරයා විසින් සියළු ලේකම් වරුන්ට උපදෙස් දී තිබුනේ ඉක්මනින් සභාපතිවරුන් පත් කරන බවත්, එතෙක් ආයතන වල එදිනෙදා කටයුතු සඳහා අමාත්‍යාංශ නිළධාරීන්ගෙන් වැඩ බලන සභාපතිවරුන් පත් කරන ලෙසත්ය. ඒ අනුව නැක්ඩා ආයතනය වෙත පත් කර තිබුනේ අමාත්‍යාංශයේ ප්‍රධාන ගනකාධිකාරිවරයා ය. අදාල ප්‍රධාන ලිපිය නිකුත් කර ඇත්තේ ඔහු විසින් වන අතර, ඔහුට මෙය නිකුත් කරන ලෙස බලපැම් කර ඇත්තේ අමාත්‍යාංශ ලේකම් වික්‍රමසිංහ බවට කසු කුසුවක්ද පවතී. හේතුව මේ ලේකමා පසු ගිය චන්දයට පෙර, ප්‍රශ්නගත සමාගමක නිළධාරීන් සමග පාටි දැමූ, ඒ වෙනුවෙන් විදෙස් ධීවර යාත්‍රා 50 ක් ගෙන්වීම සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නට කැස කැවූවෙකු නිසාය.
සිලෝන් ඇක්වේරියම් කියන්නේ කවුද?
මේ සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස තිදෙනෙකුගේ නම් නැක්ඩා ආයතනයට දැනුම් දී ඇත. ඔවුන්ගේ පුද්ගලිකත්වයට තවමත් ගරු කරන නිසා, ඒ නම් ටික මේ මොහොතේ හෙලිදරවු නොකරන අතර අවශ්‍ය නම් ඒවා හෙලි කළ හැකිය. බැලූ බැල්මට මෙය ස්වාධීන සමාගමක් ලෙස පෙනී ගියත්, හුවමාරු වූ ලිපි වල ඔවුන්ගේ විද්‍යත් ලිපින දැක්වෙන්නේ වෙනත් ප්‍රශ්න ගත සමාගමක් ලෙසය. ඒක නිසා ඇත්ත සමාගම කාගේද යන්න කාටත් නොරහසකි. මෙහි හාස්‍ය ජනකම කරුණ මෙම ගනු දෙනුවට අදාල බදු මුදල් ගණනයේදී, කිසිදු ගොඩ නැගීමකට වැය මුදල ගණනය නොකර බිම් කුලිය පමනක් ගණනය කිරීමය.
අමුතු සාධාරණීකරනය
නැක්ඩා ආයතනයේ අධ්‍යක්ෂක වරිය ඇතුළු නිළධාරීන් මේ දේපොල කුලියට දීම සඳහා යොදා ගෙන තිබෙන්නේද අපූරු සාධාරණීකරනයකි. මේ ස්ථානය සංවර්ධනය කර ඇත්තේ මොදා මසුන් අභිජනනය කිරීමටය. එයට හේතුව, මොදා මසුන් මරු වැල් පන්නයේ, ඇම ලෙස යොදා ගැනීම නිසාය. දැනට මේ සජීවී ඇම යොදා නොගන්නා බවත්, ඒ වෙනුවෙන් යොදා ගන්නේ ප්ලාස්ටික් ඇම බවත් ඔවුන් පවසා ඇත. අපිට මෙහිදී පැන නගින ගැටළු කිහිපයකි. එසේ සජීවී ඇම යොදා නොගන්නේ නම්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර ඇතුව, මෙය මෑතකදී සංවර්ධනය කළේ ඇයි? එලෙසම මරු වැල් පන්නයේ යන ධීවරයන් පවසන්නේ ප්ලාස්ටික් ඇම සාර්ථක දෙයක් නොවන බවත්, එය පරිසර දූෂකයක් බවය. මොකද ඇම කන්න එන මාළුවෙක් උනත්, ඒක කන්නේ සුවඳ වගේ බොහෝ සාධක පදනම් කරගෙනය. මේ සති තුනට පමනක් ඇම ලෙස යොදා ගන්නා මසුන් කන්ටේනර් 5-10 අතර ප්‍රමානයක් මෙරටට ආනයනය කිරීමට විවිධ සමාගම් ඉල්ලීම් කර ඇත. ඒක නිසා නැක්ඩා නිළධාරීන්ගේ සාධාරනීකරනය වෙනත් අරමුනකින් සිදු කළ දෙයක් බව ඉතා පැහැදිලිය.
හදිසි මිලදී ගැනීම් වලට දත කන සෞඛ්‍ය ලොක්කෝ
කෙහෙළිය ඇතුළු පිරිසක් ඇතුලට ගිය බව සෞඛ්‍යයයේ කිහිප දෙනෙක්ට අමතකව ඇති බව පෙනී යන සිදු වීම් කිහිපයක් පසු ගිය දා නිරීක්ෂණය විය. ඉන් එකක් සාක්ෂි සහිතව මෙසේ පැහැදිලි කළ හැක. ඒ අනුව සෞඛ්‍ය ආයතනය යටතේ පවතින ව්‍යාපෘති කිහිපයක් සඳහා අයිතම 4 ක් හදිසි මිළදී ගැනීම් ලෙස මිලට ගැනීමට පුවත්පත් දැන්වීම් පල කර ඇත. බැලූ බැල්මට ක්‍රියාවලිය ඉතා විනිවිදය. නමුත් වහලා ගහනවා කියන්නේ මේවාටය. මේ අයිතම 4 අතරින් එකක් වන්නේ එතනෝල් වන අතර අයිතම හතරම එක පැකේජ් එකක් ලෙස ඉදිරිපත් කළ යුතු යැයි කොන්දේසියක් දමා ඇත. ලංකාවට එතනෝල් ගෙන්වීමට ලයිසන් දී ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙනි. එයිනුත් මත්ද්‍රව්‍ය නිපදවන සමාගම් හැර, එතනෝල් සහ අනෙක් රසායනික ගෙන්වන්නේ සමාගම් එකක් දෙකක් වැනි ගණනකි. ඒ අනුව මේ අයිතම හතරම එකට ඉල්ලන කොටම අනෙක් ඒවායේ ගණන ඉහල දැමීමට ඔවුන්ට පුළුවන්කම ලැබේ. ඒ කියන්නේ මේ කොන්දේසිය දැමූ ගමන්, මිල කීයදැයි තීරනය කිරීමට සැපයුම්කරුට හැකි අතර, එයින් කීයක් සාක්කුවට ගන්නේදැයි කීමට නිළධාරියාටත් හැකිය. මොකද ටෙන්ඩරයට එන්න පුළුවන් සැපයුම් කරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනෙක් බව දෙපාර්ශවයම හොඳින් දනී. වතුර ඉන්ජෙක්ශන් හදපු කෙනාගේ ෆෝමලින් ගෙනාපු ආකාරයද, ටෙන්ඩරයේ සිග්මා වැනි ලොව පිලිගන්න බ්‍රෑන්ඩ් වලින් දමා ප්‍රමිතියකින් තොර බඩු යොදා ගත්ත අයුරුද ඉලක්කම් සහිතව හෙලි කිරීමට අප සූදානම්ය.
අවසන් වශයෙන් අපි කියන්නේ ජනාධිපතිවරයා පැවසූ දෙයමය. "කරුනාකර කිලිටි ඇඳුම් ගලවා, ජන වරම තේරුම් ගන්න". නැත්නම් අප නම් ගම් සහිතව ඇඳුම් ගලවා දැමීමට සූදානම්ය.
No comments:
Post a Comment