මේ 'අනුරානුරාගීන්' අවස්ථාවාදීන්ය; ට්‍රෝජන් අශ්වයින්ය; දොර නාරින් අනුර දිසෝ..!
-මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි (විශ්‍රාමික) -පේරාදෙණිය විශ්වවිද්‍යාලය
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.09, ප.ව.11.55) 'යස ඉසුරු අරං, සුදු මහත්තුරුන්, ඒරොප්පෙ ඉඳන් ඇවිදින්. මුදු බැල්ම හෙලයි, ළංවෙන්න බලයි, උඹ පරිස්සමින් ඉඳපං'.(සුනිල් එදිරිසිංහගේ අමල් බිසෝ ගීතයෙන්)
පසුගිය මස 21 වෙනිදින පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 9 වෙනි ජනාධීපතිවරයා ලෙස ජ.වි.පෙරමුණේ සහ ජා.ජ.බලවේගයේ සම්මිශ්‍රණයෙන් තරඟ වැදුනු එහි නායක අනුර කුමාර දිසානායක පත්විණි.
අනුර ජනාධිපති වූවා පමණක් නොව ඔහු මේ වනවිට වෙනසක් සඳහා අවශ්‍ය පදනම සෙමින් එහෙත් ස්ථාවරව සකස්කරගෙන යමින් ජනප්‍රියත්වයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් සිටී. එපමණක් නොව නොවැම්බර් මස 14 වෙනිදින පැවැත්වෙන මහාමැතිවරණයෙන්ද විශාල ජයක් අනුරට ලැබීම හිතලුවක් නොව යථාර්ථයක් බව ද දිනෙන් දින ඔප්පු වෙමින් පවතී. මේ කරුණු දෙක නිසාම බොහෝ දේශපාලන අවස්ථාවාදීන් සහ අනුරගේ පෙර හතුරන් පවා දැන් දැන් අනුරව අගය කිරීමටත්, අනුරගේ වැඩපිළිවෙල අනුමත කිරීමටත්, අනුරගේ දෑත් ශක්තිමත් කිරීමට පමණක් නොව අනුර සමග එකතුව ආණ්ඩු කිරීමටත් ඍජුව සහ වක්‍රව උත්සාහ කරති. සිහින මවමින් සිටිති. මෙම 'අනුරානුරාගයේ' එනම් 'අනුරට සමිපවීමේ ලලාසාවේ' පරිමිතිය සමාජ සහ මුද්‍රිත මාධ්‍යයෙන් අප නොබෝදා දුටුවෙමු.
1. මාළිමාවට එක්වීමට සහ අනුරට සහාය දීමට 'ආණ්ඩුවේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පුල පුලා බලා සිටී' සැප්- 27 වෙනි දින Black&White Youtube Blog
2. 'ස.ජ.බ යේ සමහරු මාළිමාවට එකතු වීමට එක පයින් සුදානම්'. 'අපි අනුර එක්ක ආණ්ඩු කරනවා'. FM රේඩියෝ 107 දිනය 2/10/24 (මේ නම් ට්‍රෝජන් අශ්වගාලකි.)
3. ගෝඨාභයගේ පෞද්ගලික ලේකම්ව සිටි අනුරව විවේචනය කළ සුගීස්වර බණ්ඩාරත් අනුරට කිට්ටුවීමේ අරමුණින්දෝ අනුර ගැන හොඳ කියන්න පටන් ගත් බවක්ද මාධ්‍යය වාර්තා කරන ලදි. (මොහුද ට්‍රෝජන් අශ්වයෙකු වීමට විභවයක් ඇති තවත් අයෙකි).
4. ලංකාවේ හැම ප්‍රධාන පක්ෂයකම සහ සෑම සන්ධානයකම සිටි, ජ.වි.පෙට නිර්දය ලෙස පහර ගැසූ එස්.බී.දිසානායක ද දින පහකට පෙර අනුරගේ සහ ජා.ජ.බලවේග රජයේ වැඩපිළිවෙල අගයමින් අනුරට මුදු මොළොක් කමක් පෙන්වනුයේද යටි බලාපොරොත්තු සහිතවය. මොහුද අපෘෂ්ටිවංශික ගුරුත්වාකර්ෂණයක් නොමැති දේශපාලනඥයෙකි. ඔහු උතුරේ පක්ෂ හැර දකුණේ සෑම දේශපාලන පක්ෂයකම සිටි අතර ඒ ඒ ප්රතිවිිරුද්ධ රජයන්වල ඇමති තනතුරු රාශියක් දැරූ අයෙකි.අනුර කොළ එළිය දැල්වුවහොත් ඔහු අනුරගේ දෙපාමුලය. රොනී ද මෙල්, ජී එල් පීරිස්, නිමල් සිරිපාල, මහින්ද අමරවීර, විජේදාස රාජපක්ෂ වැනි අපෘෂ්ටිවංශික දේශපාලන බහු බිඩ්ඩන්ගේ ලැයිස්තුවේ එස්.බී ද උඩින්ම සිටින්නෙකි.
5 ජනතා විමුක්ති පෙරමුණට උදව්ව හා ශක්තිය අවශ්‍යව තිබු 1971 හා 1988-89 සමයේ එයට කළහැකි සියළු බාධාවක්ම සහ කොඩිවිනයක්ම කළැයි චෝදනා ලැබූ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාකයෙකු වූ වාසුදේව දැන් අනුර නිවැරදි බවත් ඔහුගේ රජයට සහයෝගය දියයුතු බවත් පවසන තවත් අයෙකි. වාසුදේව පරක්කු වැඩිය. මෙතන ද ඇත්තේ කුහක කමකි. අවස්ථාවාදයකි.
6. එපමණක් නොව ශ්‍රීලනිපයේ ප්‍රාදේශීය සභා බලවන්තයින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අපි අනුරට සහාය දෙන්න තීරණය කළා යැයි ප්‍රසිද්ධියේ සැල කළේ එස්.බී. සිය ආශාව ප්‍රකාශ කිරීමට සති 4 කට පමණ පෙරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 40 ක් පමණ එන්න ඉන්නවා. අනුරගේ ජයග්‍රහණයේ පංගුකරුවෙක් වෙන්න අපටත් ඉඩ දෙන්නැ'යි ඔවුන් අයැද සිටියෝය. (අද දෙරණ ඔක් 4 හෝ 5).
'ට්‍රෝජන් ටැක්ටික්ස්'
මේ අනුර ජනපති වූුවායින් පසුය. එහෙත් අනුර ජනාධිපති වීමට පෙර ද මාළිමාවට හේත්තුවීමට කුරුමාණම් ඇල්ලු මාළිමා විරුද්ධවාදීන් නොසිටියා නොවේ. එනම් අනුරට සහ මාළිමාවට ග්‍රාම්‍ය භාෂාවෙන් කිවහොත් 'කොක්ක ගැසීමට' සමහරු උත්සාහ කළේ මාස ගණනාවකට පෙරය. අනුරගේ ජය ඉව වැටුණු ඩලස් සහ ඩිලාන් කැපී පෙනෙන ලෙසත් ෆොන්සේකා සහ චරිත හේරත් වක්රවත් අනුර සමග එක්වීමට උත්සාහයන් දැරූ බව සත්‍යයකි. සැලෝන් දොරටු නැති සහ ප්‍රතිපත්ති දේශපාලනයක පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ විධායක සභාව ඔවුන්ගේ ඒ බලාපොරොත්තුව කළල අවස්ථාවේම ගබ්සා කළේය. එනම් ලත් තැනම ලොප් කළේය. පැලවත්තට ගිය ට්‍රෝජන් අශ්වයින්ගේ බලාපොරොත්තු කඩවූහ. අද ඔවුන් තම තමන්ගේ හුඹස් තුළ හිඳ රිසි සේ හැව අරමින් සුපුරුදු දේශපාලනයේ යෙදෙති.
අනුරගේ දෑත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අනුර විරෝධීන්ට ඉස්මතුවෙනුයේ මේ තත්වය තුළය. මෙය නිර්ව්‍යාජ චේතනාවකින් බිහිවන්නක් නොව අවස්ථාවාදයෙන් බිහිවන්නකි. 'ට්‍රෝජන් අශ්ප' වැඩකි. මුහුණට මුහුුණ ගැටී ජයගැනීමට බැරිිවූ විට 'ට්‍රෝජන් ටැක්ටික්ස්' පාවිව්චියෙන් හෝ මේ නව නැම්ම හෝ ගැම්ම විනාශ කිරීමට මොවුන් ගනු ලබන උත්සාහයකි.
විශේෂයෙන් සැප්තැම්බර් 21 ජන්දයෙන් පසු අනුර ජනාධිපති වී මාළිමා රජයක් පිහිටුවීමෙන් පසු ගතවූණු මාස එක හමාර තුළ පෙරටත් වඩා ඕනෑකමකින් මෙසේ අනුරට සහ මාළිමාවට සම්බන්ධ වී රටට සිදුවූ වින්නැහිය කල්ගත වී හෝ තේරුම් ගත් කිහිපදෙනෙකුට මේ ආණ්ඩුවට අතදීමට අවංක වුවමනාවක් සමහරවිට තිබිය හැකි මුත් මාළිමාවට සහ අනුරට සමීපවීමට එදා මානබැලූ සහ දැනුත් මාන බලන අයගේ දේශපාලන අතීතය සහ ඔවුන් ජාතික ජන බලවේගයට, විශේෂයෙන් එහි මාතෘ මූලාකෘතිය වන ජනතා විමුක්ති පෙරමුණට දැක්වූ නිශේධනීය ආකල්පයන් සහ ද්වේශ සහගතව පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් කරන ලද පදනම් විරහිත නිර්දය විචාර සහ මඩගැසීම් දෙස බලන කළ මොවුන් කෙසේ හෝ බලයේ රැඳී සිටීමට සහ තමන් මේ දක්වා සමුච්චනය කරගත් සමාජ හා සංකේත ප්රාග්ධනයන් තවදුරටත් රැකගැනීමේ වංචනික චේතනාවකින් ප්‍රේරණය වූ අවස්ථාවාදීන් රොත්තක් මිස අනුරගේ දෑත් ශක්තිමත් කිරීමේ අවංක චේතනාවෙන් පෙරට එන්නවුන් නම් නොවේ. ඔවුන්ගේ චේතනා පරිශුද්ධ වුනා නම් මාළිමාවේ කැම්පේන් එක ශක්තිමත් කිරීමට ඔවුන්ට පුළුවන් කම තිබිණ. එහෙත් ඔවුන් එසේ කළේ නැත. එහෙනම් ඇයි අද?
නා නා වර්ණයේ වවුලන්..
ඉහත දැක්වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හතළිහක් ප්‍රසිද්ධියේ බැගෑපත් වනුයේ ඔවුන්ගේ දේශපාලන මිත්තණිය වු සිරිමා බණ්ඩාරනායක විසින් 1971 දී ජේවීපී තරුණ-තරුණියන් 60000 ක් ඝාතනය කළ බව අමතක කරමිනි. ඇරත් පසුගිය අව්රුදු 50 පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේම ජ.වි.පෙය දිගට හරහට විවේචනය කිරීමයි. (චන්ද්‍රිකා, ඩිලාන්, ඩලස්, නිමල් සිරිපාල, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද වැන්නන් පදනම් විරහිත විචාර මොනතරම් නම් සමාජ ගත කළේද?) මෙවන් ඈත නොව මෑත ඉතිහාසයක් තිබියදී කොන්දේසි විරහිතව සහ ඕනෑම රෙගුලාසියකට යටත්ව අනුරගේ දෑත් ශක්තිමත් කිරීමට සහ මාළිමා රජයට උදව් කිරීමට මෙසේ අංශක 360ක හැරවුමක් ගනිමින් පෙරට ඒමේ රහස කුමක්ද? මොවුන් එක්කෝ ඉන්නේ සිහි විකල්ලෙන් නැත්නම් ට්‍රෝජන් මනසකින්. මේ දෙකින් කොයික වුනත් මොවුන් මාළිමා රජයට වැද්ද ගැනීම නම් අතිශය භයානකය. නා නා වර්ගයේ සහ නා නා වර්ණයේ දේශපාලන කුරුල්ලන් (ඇත්තටම නම් වව්ලන්) ජ.වි.පෙරමූණ හා ජා.ජන බලවේග අත්තේ වසමින් පශ්චාද් නිදහස් ශ්‍රී ලාංකික දේශපාලනයේ බිහිවූ පළමු ජනතා ආණ්ඩුව අඩපණ කොට අවසානයේ එය විනාශ කිරීමේ අදිටනින් කරන මේ පූචානම් කතා වලට සවන් දෙන කළ මට එක වරම සිතට නැගුනේ ලිපියේ ඉහත උද්ධෘත කළ සුනිල් එදිරිසිංහගේ අමල් බිසෝ ගීතයේ ආරම්භක පේලියයි. ඒ සමගම මගේ මතකයට නැගුනේ මෙම උත්සාහයන්ගේ පිටුපස අරමුණු මොනවාද යන්න හොඳින් තේරුම් ගත හැකි ග්‍රීක (ක්‍රි-පූ-12) ට්‍රෝජන් අශ්වකරත්ත පුරාවෘතයයි.
1 ට්‍රෝජන් පුරාවෘතය (Trojan Myth)
ට්‍රෝජන් යුද්ධයේදී ග්රීකයින්ගේ යටි අරමුණ කුමක්දැයි නොදත් ට්රෝජනයෝ ග්‍රීකයින් විසින් ඇතීනියා දෙවඟනට පූජාවක් ලෙස අඟවමින් සිය බලකොටුවෙන් පිට පරිශ්රයක තබා ගිය විශාල ලී අශ්වයෙකු සන්ධ්‍යා භාගයේදී සිය බලකොටුව තුලට ඇද බා ගත්තේය. සියල්ල සිදුවුයේ මහා රාත්‍රියේය. කරත්තය තුළ සිටි ග්‍රීක හේවායෝ හිමිහිට එළියට පැමිණ ප්‍රධාන දොරටුව ඇර ග්‍රීක හමුදාව ඇතුළට රැගෙන ට්රෝජනුන්ව එදා රාත්‍රියේම විනාශ කළෝය. ට්රෝජනයින් සිය මෝඩකමට වන්දිය ගෙවනු ලැබුවේ රාජ්‍යයෙනි. අනුර ට්රෝජනයෙකු නොවේ. එනම් දුරදිග නොබලා කටයුතු කරන්නෙකු නොවේ. එහෙත් මධ්‍යම පංතික ජාතික ජන බලවේගයේ නියෝජිතයින් (සමහරවිට වාමවාදී ජ.වි.පෙයත් එයට එකඟ වී) නම්‍යශීලි පිළිවෙතකට ගොස් මාළිමා රාජ්‍ය බලකොටුවේ දොර ඇර මොවුන්ව ඇතුළට ගතහොත් මෙම දේශපාලන සතුරන් ඔවුනට ලැබෙන පළමු අවකාශයෙන්ම සිය යටි අරමුණ ශාක්ෂාත් කරගැනීමට කටයුතු නො කරන්නේයැයි සිතිය නොහැකිය. භයානක යැයි හැඳින්වුයේ ඒ නිසාය. එසේ වුවහොත් ඒ අනුුවන තීරණයට අපට ගෙවීමට සිදුවන වන්දිය විය හැක්කේ 'පොහොසත් රටක්-ලස්සණ ජීවිතයක්' පිළිබඳ බලාපොරොත්තුවයි. යථාර්ථයක් නොවී බොඳ වී යන ඒ සුන්දර සිහිනයයි.
2 ට්‍රෝජන් අශ්ව උපමා රූපකය (Trojan-Horse Metaphor)
මෙම ලිපියේ හරය සහ තර්කය තේරුම් ගැනීමට 'ට්‍රෝජන්' අශ්ව උපමා රූපකය කුමක්ද යන්න සහ එහි දේශපාලන භාවිතය ගැන දැන ගැනීම අත්‍යාවශ්‍යය. මිථ්‍යා කතාවකින් නිෂ්පන්නවු ට්‍රෝජන් අශ්ව උපමාව බහු අර්ථ සහිතය. විරුද්ධ අයෙකු වෙත මිතුරු වේශයෙන් ලංවී විරුද්ධවාදියා විනාශ කිරීමේ උපායනටත්, සතුරෙකු තමන් සමීපයට උපායශීළිව ගෙන්වාගෙන ඔහුව හෝ ඇයව විනාශකිරීම සංකේතාත්මකව දැක්වීමටත් ට්‍රෝජන් අශ්වයා යන්න යෙදේ. එසේම දේශපාලන කේෂ්ත්‍රය තුළ තම ප්‍රතිවාදියාව අවමානයට පත්කරමින් ඔහුට හෝ ඇයට බැනවැදීම සඳහාද 'ට්‍රෝජන් අශ්වයා' (Trojan Horse) යන්න භාවිත කෙරේ. විස්කොන්සින්හී පැවැත්වූ ප්‍රචාරණ රැළියකදී ට්‍රම්ප් විසින් ජෝ බයිඩන්ව හැඳින්වූයේ සමාජවාදයේ මිතුරෙකු වෙසින් පෙනී සිටියද ඔහු සමාජවාදය පිළිබඳ ට්‍රෝජන් අශ්වයෙකු බවය. පසුගිය ඉංදීය මැතිවරණයේ බිහාර් ප්‍රාන්ත මහ ඇමති ට්‍රෝජන් අශ්වයෙකු විය. ඔහු මෝදි සමඟ කුළුපග වී ඔහු සමග එකතුව සන්ධාන දේශපාලනයක නිරතව සති කිහිපයකින් මෝදිව විනාශකිරීමේ අරමුණින් මෝදිට එරෙහිව ක්‍රියාකිරීම සහ පසුව අතහැර යාම. මෝදි පසුව මේ බිහාර් ට්‍රෝජන් අශ්වයා තම පක්ෂයට යා කර ගැනීම ගැන පසුතැවිලි වුවේය. 2015 දී සිරිසේනගේ භුමිකාවද 'ට්‍රෝජන් අශ්ව' භුමිකාවකි. එහි ඵල විපාක අපි දුටුවෙමු.
දොර ඇරිය යුතුද?
ඇත්තටම ජාතික ජනබලවේගයට එක්වෙමින් අනුරව ශක්තිමත් කිරීම සඳහා වෙනත් පක්ෂ හා පුද්ගලයින් උත්සාහ කළහොත් ජාතික ජන බලවේගය ඔවුන්ට දොර ඇරිය යුතුද?
අනුර හා විධායක සභාව අවස්ථාවාදී පිටස්තරයන් තම ව්‍යාපාරයට (පක්ෂයක් නොවන නිසා) ඇතුළු කර නොගන්නා බවට විශ්වාසයක් ජනතාව තුළ දැනටමත් තහවුරුව ඇති නිසා ඩලස්, ඩිලාන්, ෆොන්සේකා සහ චරිත හේරත් ආදීන්ගේ අමල් බිසෝ පන්නයේ ෙ'ආදරයන්' උපක්රමයන් දෙන ලද ඕනෑම මොහොතක 'ට්‍රෝජන් අශ්වයින්' වියහැකි මොවුන්ව ඈතින් තැබිය යුතුවීම නම් ඇඟට ගුණය. හේතුව මොවුන්ගේ අතීත පිළිවෙත සහ හැසිරීම ආදී සියල්ලම ද්වේශ සහගත සහ සැකසහිත නිසාය. මොවුන් බලය රඳවා ගැනීමේ ඒකායන අරමුණින් දේශපාලනය කළා මිස ජනතාව හෝ ප්රජාතන්ත්රවාදය තඹ දොයිතුවකට නොසැලකුවුවන් නිසාය. ප්රජාතන්ත්ර විරෝධී ව්‍යවස්ථා සංශෝධන සියල්ලටම අත එසවූ මොවුන් ජනතාප්රේමි දේශපාලනඥයින් නොව දේශපාලන අවස්ථාවාදීන් වන නිසාය. එකිනෙකා වෙන වෙනම ආවත් පොකුරු ගැසී එක රොත්තට ආවත් මොවුන් ස්වේඡාවෙන් ම පැමිණෙනුයේ විශාල සැළැස්මක් සිත්හී තබාගෙන විය හැකිය. සැලැස්මක් නොමැතිව ආවද එයද මරණීය විය හැක්කේ මෙම අවස්ථාවාදීන්ට ට්‍රෝජන් අශ්වයින් වීමට ගතවෙනුයේ නිමේෂයකටත් අඩු කාලයක් බැවිනි. ඇරත් ඕනෑම වේලාවක දේශපාලන 'සමර්සෝල්ට්' මොවුන්ට අපි පැතලි පොලොව මත පයින් ඇවිදිනවා මෙන් පහසු වැඩක් වන නිසාය.
සුනිල් අමල් බිසෝ ගීතයෙන් අනතුරු අඟවන්නෙ තරුණියකට ය. කපටියො එමටයි බිසෝ. උන් ඇවිත් චාටු බස් දොඩවලා උඹව අන්දන්න බලයි. කපුටගෙ කටේ තියෙන කේජු කෑල්ල ඩැහැගන්න කපුටගෙ ලස්සණ වර්ණනා කළ නරියා මෙන් උඹගෙ ලස්සනත් වර්ණනා කරයි. උඹව අසීමිතව අගයයි. සමහර විට හාද්දකුත් දෙයි. උඹ නම් නොවෙයි අමල් බිසෝ උන්ට රැවටෙන්නේ.
'දොර නාරින් අනුර දිසෝ'
නාඹර තරුණියකට සුනිල් දෙන අවවාදයයි ඒ. ජනාධිපති අනුරටත් අපට දිය හැක්කේ ද එම අවවාදයමයි. ඔබ එහෙම නොවෙයි අනුර, ව්‍යාජ පූචානම් බස් දොඩාගෙන එන මේ කපටින්ට හසුවෙන්නේ. මොන තරම් කරුණාභරිත වුවත්, මොනතරම් ප්රශස්ති ලීවත්, කීවත්, මොනතරම් ලෙන්ගතුව තමන්ගේ සමීපයට ඇවිත් පවන් සැලුවත්, මොවුන්ට ට්‍රෝජන් අශ්වයින් වීමට සහ අවස්ථාවාදීන්වී පාවාදීමට අවශ්‍යවනුයේ තත්පරයකටත් අඩු කාලයකි. මේ අවස්ථාවාදී ට්‍රෝජනයන් එකෙකුවත් නැතුව ඔබ සහ ඔබගේ ව්‍යාපාරය හිමාලය නැග්ගා නම් හිමාල කඳු මුදුනේ කොඩිය දැමිමට පමණක් පිටස්තරයින් අවශ්‍ය නැත. අමාරුවෙන් දොවාගත් කිරිකළයට ගොම කැබලිති වට්ටා නොගත යුතුය. මොවුන්ගේ මිත්‍රශීලී භාවය ව්‍යාජය. සහකම්පණය කුරිරුය. කුහකය. මොවුන් කිට්ටු වෙනුයේ හොඳකට නොව නපුරකටය. ළං වෙනුයේම ජනාධිපති තරඟයෙන් කරගැනීමට අපොහොසත්වූ කාර්යය රජයට රිංගා කරගැනීමටය. දේශපාලන ගුරුත්වාකර්ෂණයක් නැති මෙම ගන්ධබ්බ අවස්ථාවාදීන්ව අසලකටවත් වැද්ද නොගත යුතුය. කළ යුත්තේ 'නෝ තෑන්ක්ස්' යැයි පවසා රටට වැඩදායක රාජකාරියක යෙදීමයි. අනුර සහ මාළිමාව ඒතරම් මෝඩ නැතිවුවත් ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය තුළ එවන් මෝඩකම් කිහිපයක් කර ඇති නිසා 'දොර නාරින් අනුර දිසෝ' යැයි ජනාධිපති සහෝදරයාට අවවාද කිරීම වෙනසක් පැතූ සහ වෙනස සිතළුවකට පමණක් සීමා නොකොට මහපොළොවේ සැබෑවක් කිරීම සඳහා ආධාර කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් අපේ යුතුකමකි.
-මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි (විශ්‍රාමික) -පේරාදෙණිය විශ්වවිද්‍යාලය
https://www.lankaenews.com/category/105
No comments:
Post a Comment