භීෂණයේ වෘකයන් මිලින කළ මව්බිමේ දියණියන් දෙදෙනෙකුගේ දුක්බර කතාවක්..!
-ගාමිණී මුතුකුමාරණ පළමුවරට හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.12, ප.ව.10.45) ඔවුහු ලංකාවේ දුප්පත්කම නැති කරන්නට පෙරමුණ ගත් සටන්කාමී පරම්පරාවක දූ පුතුන්ය. ඔවුහු අලුත් අදහස්, මතවාද, නැවුම් බලාපොරොත්තු ලාංකීය භූමියෙහි වපුරමින් සිටියහ. එකල රටපුරා පැතිර යමින් තිබූ මර්දනයට එරෙහිව මේ මිනිසුන් එක මිටට පෙළ ගැසුනාහ. ඔවුහු හැම දෙනාටම කලියෙන් අවදි වූ මිනිසුන්ය. ඔවුන් අරගල කළේ කුසගින්නත්, මන්දපෝෂණයත් උරුම කළවුන්ට එරෙහිව ය. ඔවුහු රට විනාශ කළ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළයුතු බව කියූ යුගයක මිනිසුන්ය. ඇතැම් දූෂිත දේශපාලඥයින් තවමත් ජනතා විමුක්ති පෙරමුණේ අතීතය හා 88/89 ගැන පාරම් බාන්නේ මේ සැබෑ ඉතිහාසය වසන් කරමිනි.
රට සිවිල් යුද්ධයකට ඇද දැම්මේ එජාපය ය...
1987–89 වකවානුව රට පුරා සිවිල් යුද සමයක් බවට පත් කළේ එක්සත් ජාතික පක්ෂය විසිනි. 1977 දී බලයට පත් එජාපය නායක ජේ ආර් ජයවර්ධන විධායක බලතල අත්පත් කරගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමුවේය. 1983 කළු ජූලියේදී ජනතා විමුක්ති පෙරමුණ තහනමට ලක් කළේ කිසිදු සාධාරණ හේතුවකින් තොරවය. එදා ආණ්ඩුව ජවිපෙ තහනම් කළේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල පිහිටි දමිළ ජනයාගේ කඩ සාප්පු වලට ගිනි අවුලුවමිනි. ඒ විධායක බලතල යොදා ගනිමිනි.1983 කළු ජූලියේදී ජාතිවාදය ඇති කරමින් සාමාන්‍ය සිවිල් දමිළ ජන සමාජයට විශාල විපතක් ඇති කළේය. එකම රටක ජීවත්වන සිංහල දමිළ දෙපිරිස එකිනෙකා අතර සැකය හා භීතිය වැපුරුවේ එදා එ ජා ප ආණ්ඩුව ඇවිලැවූ කළු ජූලිය හේතුවෙනි. එකල උතුරේ ඇති වෙමින් තිබූ ගැටුම්කාරී තත්වය විනාශකාරී යුද්ධයක් දක්වා වැඩි දියුණු කළේ ද එක්සත් ජාතික පක්ෂ පාලනය විසිනි. ලංකාවේ බහුතරයක් මිනිසුන් හාමතට ඇද දැමුවා පමණක් නොව උතුරත් දකුණත් සිවිල් යුද්ධයක් දක්වා ගෙන ගොස් මුළු රටම බංකොලොත් කළේය.
ප්‍රජාත්‍රන්ත්‍රවාදි දේශපාලන ගමනක යෙදී සිටිය දී ජවිපෙ තහහනම් කළා පමණක් නොව එහි නායකයින් අත්තඩංගුවට ගැනීමට නියෝග කරමින් රටපුරා මර්දනීය තත්වයක් ද ඇති කළේය. ජේ ආර් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාලනයේ පැවති ඇමෙරිකානු ගැති පිළිවෙත නිසාම අවසානයේ රට ඉන්දීය ආක්‍රමණයකට ද මුහුණ පෑවේය. ඊට එරෙහිව මතුවූ ජනතා විරෝධය දේශප්‍රේමී අරගලයක් ලෙසින් වර්ධනය විය. ආක්‍රමණික ඉන්දියානු හමුදාවට හා දේශීය මිනීමරු පාලනයට එරෙහිව බහුජන උද්ඝෝෂණ ව්‍යාපාර මෙන්ම සන්නද්ධ ක්‍රියාකාරීත්වයක් ද ඇති විය. ජවිපෙ තහනම මධ්‍යයේ වුවද රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරමින් මිනීමරු එජාප පාලනයට එරෙහිව සටනට පිවිසුණි. පීඩාකාරී පාලකයින් අතලොස්ස පලවා නොහැර රට නිදහස් කළ නොහැකි බව ඔවුහු එදා තේරුම් ගෙන සිටියහ. ඒ වෙනුවෙන් ඔවුහු කළ හැකි සෑම පරිත්‍යාගයක්ම කළහ.
ඔවුන් ඉල්මහේ විරුවන්ය...!
මනෝරි සහ අරුණිගේ කතාව..
අතිශය දුෂ්කර සමයක දිවි පිදූ සිය දහසක් සගයින් ගැන කියන්නට අපට බොහෝ ඉතිහාස කතා ඇත. දිවිපිදූ සහෝදරවරුන් ගැන බොහෝ දෙනෙකු දැන සිටියත්, සොයුරියන් ගැන කතා බහ කෙරෙන්නේ ඉතා කලාතුරකිනි. 1971 ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍යට එරෙහිව කළ පළමු නැගී සිටීමේ සිට 1987-90 දක්වා වූ රාජ්‍ය මර්දනයට එරෙහිවත් සොයුරන් හා සම සමව ක්‍රියාකාරීව සිටි නිර්භය සහෝදරියෝද වූහ. මේ සංක්‍ෂිප්ත සටහන ජවිපෙ ඉතිහාසයේ දිවිපිදූ ආදරණීය එවන් සොයුරියන් දෙදෙනෙකු ගැනය.
"ඔයාල දෙන්නම එකට ගමන් බිමන් යන්න එපා, එකට යන එන එක මහ අනතුරක්... යන්න ඕන තැන් වලට වෙන වෙනම තනි තනිවම යන්න. ආරංචි හැටියට උන් දන්නව සහෝදරියො දෙන්න එකට ගමන් කරනව කියලත්"
ඒ 1988 වසරේ අග දිනක එවකට ජවිපෙ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සහෝදරයා සොයුරියන් දෙදෙනෙකු අමතමින් දුන් උපදෙසකි.
මනෝරි..
මනෝරි හා අරුණි සොයුරියන් දෙදෙනා ගැන තිස්පස් වසරක ඒ දුක්බර මතකය මෑත දිනක සිහිපත් කළේ එදින ඒ අසල සිටි වෙනත් සොයුරියකි. "මනෝරි" ලෙසින් ගාල්ලේදී හැඳින් වුනත් ඇය දොඩම්ගස්ලන්දේ උපන් අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතාය. මනෝරි එවකට රුහුණු විශ්වවිද්‍යාල සිසුවියකි. ඇය ජවිපෙ දේශපාලනය හා සම්බන්ධ වෙමින් සිටියේ පාසල් අධ්‍යාපනය හදාරමින් සිටි කාලයේ පටන්ය. ඇයගේ පියා ලියෝනිස් සිල්ලර කඩයක් කරගෙන ගිය සුළු ව්‍යාපාරිකයෙකි. මව ඇසිලින්ය. එම දෙපලට දරුවන් 8 දෙනෙකු සිටි අතර මනෝරි 5 වැනියා විය. ඇයට වැඩිමහල් සොහොයුරියන් තිදෙනෙකු හා බාල නැඟණියන් තිදෙනෙකු සිටියහ. පවුලේ එකම පිරිමි සහෝදරයා වූ සුමනදාස ඇයගේ වැඩිමහල් අයියාය. මනෝරි ජවිපෙ දේශපාලනය හා පලමු හිතවත් කම් ඇති වෙන්නේ අයියා සුමනදාස මගිනි. ඔහු අදටත් ජවිපෙ ක්‍රියාකාරිකයෙකි. මෙකල රුහුණු විශ්ව විද්‍යාලය සිසුවියක්ව සිටි මනෝරි පක්ෂය කළ ඉල්ලීමකින් පසු ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූවා ය.
අරුණි..
"අරුණි" නම් වූ ඇය ගාල්ල හිනිඳුම චාමිනි ගීතාංජලීය. හිනිඳුම තලන්ගල්ල ඇයගේ උපන් ගමය. අරුණි සොයුරියද ජවිපෙ ට සම්බන්ධව තිබුණේ ගාල්ල සංඝමිත්තා විදුහලේ උසස්පෙළ කරමින් සිටි කාලයේය. ඇය දිළිඳු පවුලක දරුවන් හය දෙනෙකු සිටි පවුලක වැඩිමහල් දියණිය විය. බාල සොයුරියක් හා සොයුරන් හතර දෙනෙකු ඇයට සිටියහ. අරුණිගේ ලොකු මල්ලීත් මෙකල ජවිපෙ සාමාජිකයෙකි. ඔහුද එකල රාජ්‍ය භීෂණයෙන් දිවි බේරා ගෙන තිබුණේ ගම අතහැර පලා ගොසිනි. ඒ ගෙවී යමින් තිබුණේ එක්සත් ජාතික පක්ෂ පාලනයේ රාජ්‍ය මාරයන් තරුණ දූ පුතුන් බිලි ගනිමින් සිටි යුගයයි. රාජ්‍ය භීෂණය ගම් නියම්ගම් පුරා පැතිරෙද්දී ඔවුන් බිය නොවූහ. මනෝරි මෙන්ම අරුණි සොයුරිය ද මෙකල ජවිපෙ දේශපාලනය වෙනුවෙන් මැදිහත් වෙන්නට තෝරා ගත්තේ රටට සැබෑ නිදහසක් උදෙසාය. මේ සොයුරියන් එදා කළ දේශපාලනය විශාල ගැඹුරකින් විග්‍රහ කළ යුත්තකි. ඇතැම් විටක මර්දන බළකාවල උකුසු ඇස් වලට හසු නොවී තරුණ සගයිනට කළ නොහැකි ඉතා අසීරු දේ පවා මේ සොයුරියන් දෙදෙනා ඉටු කළහ.
ඒ මාරාන්තික දිනය..
එදින දහවල් මනෝරි හා අරුණි දෙදෙනාම කරාපිටිය රෝහල වෙත ගියේ මනෝරිට යෙදී තිබූ වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීමටය. දෙදෙනාටම එක්ව ගමන් කිරීමට පක්ෂය මේ දිනවල අනතුරු හඟවා තිබුනද ඔවුන් එය එදා එතරම්ම මායිම් නොකෙළේ සිදුවන්නට යන විනාශයේ පූර්ව හැඟීමකින් තොරවය. තනිව ගමන් කරද්දී දැනෙන හුදෙකලා බවට ප්‍රිය නොවූ මේ යෞවන සොයුරියන් දෙදෙනා එක්ව සිටීමේ දී දැනෙන සහනශීලී හැඟීමෙන් තුටු වෙමින් ඇවිදගෙන යන්නට ඇත. වෛද්‍ය පරීක්ෂණ නිම වීමෙන් පසු රෝහලෙන් පිටවී කුඩා අතුරු පාරක් ඔස්සේ ඔවුන් යන්නට සූදානම්ව තිබුණේ ගොඩකන්ද දෙසට යන්නටය. ඒ සඳහා තිබූ ප්‍රධාන මාර්ගය වෙනුවට ඔවුන් දෙදෙනා එහි යන්නට අතුරු මාර්ගයක් තෝරා ගත්තේ තම ආරක්ෂාව ගැන ඇති වූ එක්තරා උනන්දුවකිනි. ඔත්තුකරුවා රැගත් හමුදා රථය තරුණියන් දෙදෙනා පසු පස සෑහෙන වේලාවක සිට ලුහුබඳිමින් සිටියේ සුදුසු අවස්ථාව එළඹෙන තුරු ගොදුර පසුපස ඉව අල්ලමින් වටේ කැරකෙන තිරිසන් මෘග රැලක් මෙනි. සෙමින් ඇවිදගෙන පැමිණි මනෝරිත් අරුණිත් අතුරු පාරට හැරෙනවාත් සමගම එක වර ඔවුන් මතට කඩා පිනූ මාරයන් කීපදෙනෙක් ඔවුනට කිසිවක් සිතාගන්නටවත් ඉඩක් නොතියා දෙදෙනාම වාහනය තුලට කුදලා දා ගත්හ.
කර්නල් ලකී අල්ගම වධකයා..
සොයුරියන් දෙදෙනා රැගත් රථය අහංගම දෙසට ධාවනය විය. ඔවුන් රැගෙන යමින් සිටියේ ගාල්ල ඉමදූව කොටිගල කඳවුරට ය. මෙකල ම්ලේච්ඡ වධකාගාරයක් වූ කොටිගල කඳවුරට අණදෙමින් සිටියේ කර්නල් ලකී අල්ගමය. අනතුරුව සිදුව ඇති දෑ ලිවීම කෙතරම් අපහසුදැයි ඒ සිදුවීම් නොදන්නා කෙනෙකුට කිසිවිටෙක සිතාගන්නට නොහැකිය. මසක් පමණ කාලයක් ඔවුන් විඳි වධබන්දන ගැන පසු කලෙක දිවි බේරාගෙන පැමිණි එක් සොයුරියක් අප සමග පැවසුවා ය. ඔවුනට සාහසික ලිංගික හිංසන පමුණුවමින් කෲර ම්ලේච්ජ තෘප්තියක් ලැබූ මෘගයන් දෙදෙනෙකු එහි සිටි බව ඇය පැවසුවාය. අරුණි සහ මනෝරි මිනිස් දූවරුන් ලෙසට තව දුරටත් නොසලකා හැර තිබුණි.
මනෝරි හා අරුණි ගේ සිරුරු උණවටුන මුහුදු වෙරළට ගොඩ ගසා ඇතැයි යන ආරංචිය ඔස්සේ සොවින් තැවෙමින් ඒ දෙසට දිව ගිය කිහිප දෙනෙකු ඔවුන්ගේ මළසිරුරු හැඳින ගෙන තිබිණ. සම්මත ලෝකය විසින් පිළිකෙව් කරනා තිරශ්චීන වධබන්ධන වලින් පසු ඔවුන් මරාදැමීමෙන් අනතුරුව මුහුදට අතහැර දමා තිබූණේ දෙදෙනාගේ කොණ්ඩ එකට අල්ලා ගැට ගසමිනි. එකල වධකාගාර තුලට ගෙනගිය බොහෝ සොහොයුරියන් මුහුණ දුන්නේ මෙවැනිම වූ ශෝචනීය ඉරණමකටය. ජයවර්ධනපුර සරසවියේ ඉරේෂා පොල්ගම්පල ඇතුළු අපේ බොහෝ සොයුරියන් මරාදමා තිබුණේත් මෙවැනිම වූ කුරිරු වධවේදනා අත්කර දෙමිනි. රනිල් වික්‍රමසිංහ පවත්වා ගෙන ගිය බටලන්ද වධකාගාරය තුලදී සන්ධ්‍යා සේපාලිකා සොයුරිය මරාදමා තිබුණේත් බරපතල ලිංගික හිංසාවන්ට ලක් කිරීමෙනි. ඇය බටලන්දට රැගෙන විත් තිබුණේ ඇයගේ රොෂාන් මදුසංක නම් කුඩා පුතණුවන් ද සමගය. ඒ කුඩා දරුවා මරා දැමුවාද නැතිනම් කුමක් කළේදැයි තොරතුරක් නැත.
ඉතිහාසයේ පළමු වරට දේශද්‍රෝහී පාලකයන් පරදා ඇත.
දැන් අප හමුවේ අලුත් පාලන රටාවක් ඇති වෙමින් තිබේ. මාලිමා රජය යනු ජවිපෙ ඉතිහාසයේ ලද දැවැන්ත ජයග්‍රහණයකි. එය 89 පරම්පරාව දුටු සිහිනය නොවන බව කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් ලංකා ඉතිහාසයේ පළමු වරට දේශද්‍රෝහී පාලකයන් පරදා රට ජයග්‍රාහී ගමනකට මුල පුරා තිබේ. ඊට නායකත්වය දෙමින් ජනාධිපතිව සිටින්නේ එදා ඉල්මහ විරුවන්ගේ පක්ෂයේ නායකයා ය. විනාශ කළ රටක් වසරක් දෙකක් තුල ගොඩ ගැනීම අතිශය දුෂ්කර අභියෝගයක් බවද අප තේරුම් ගත යුතුව ඇත. සුබවාදී ආකල්පයකින් අප ඒ දෙස බැලිය යුතුය.
වසන්තයේ පැමිණීම වළක්වාලිය නොහැකිය..
ඉල්මහේ විරුවන් ඇතුලු පාලකයන්ගේ අනින් ඝාතනයට ලක්වූ සියලුම ලංකා දූ පුතුන්ට සිදුවූයේ කුමක්දැයි වත්මන් සමාජය හමුවේ හෙළිදරව් විය යුතු යුතුය. 1973 දී චිලියේ ජෙනරාල් Augusto Pinochet විසින් ඝාතනය කළ ජනාධිපති සැල්වදෝර් අයියන්දේ ඇතුලු මානව හිතවාදීන්ට අධිකරණය යුක්තිය ඉටු කළේ වසර පනහකටත් පසුය. Augusto Pinochet ගේ අණින් භීෂණය පැතිර වූ ඝාතක විත්තිකරුවන් රැසක් වැරදිකරුවන් වී සිරගත කොට ඇත.
අපේ සොයුරන් මෙන්ම සොහොයුරියෝ මුහුණ දුන් ඒ කටුක අමිහිරි තොරතුරු කිසිදා ලියා නිමා කළ නොහැකි මතකයන්ය. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයින් ලොව කොතනත් මෙවැනි අමානුෂික ඝාතන සිදු කරති. ජීවිත ඝාතන සංහාර කොතෙක් සිදු කළ ද දිනෙක වසන්තය එන බව ඒ පාලකයන් නොදැන සිටියහ. සභාපති මාඕ සේතුන් කළ වටිනා ප්‍රකාශයකින් මෙම සටහන නිමා කරමි.
No comments:
Post a Comment