සජිතාලංකාරය හෙවත් පුතානෝගේ කතා වස්තුව..!
-නාගාර්ජුන ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.අගෝ.24, ප.ව. 10.30) රටක ජනාධිපති ධුරය ඉතා වැදගත් වගකිව යුතු තනතුරක් බව ලෝක සම්මතයයි. අප රට විධායක ජනාධිපති ධූරය 1977 දී ජේ.ආර් ජයවර්ධන විසින් ඇති කරන ලද්දකි. පසුගිය 74 අවුරුද්ද තුළ අප රටට ජනාධිපතිවරුන් අට දෙනකු පත්වී ඇත. මින් හය දෙනෙකු මහජන චන්දයෙන් පත් වූ අතර දෙදෙනකු අනුප්‍රාප්තික ජනාධිපතිවරු වූහ. ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල සහ ගෝඨාභය යන අය මහජන චන්දයෙන් පත් වූ අතර, විජේතුංග සහ රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිවරු වශයෙන් පත්වූහ.
අද වන විට අප රටේ නව වන විධායක ජනාධිපති පත් කර ගැනීම සඳහා නාම යෝජනා කැඳවා ඇති අතර, අපේක්ෂකයින් තිස් නම දෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් ලබා ඇත. මෙම තිස් නම දෙනා අතරින් ප්‍රධාන තරගකරුවන් ලෙස සලකන්නේ අනුර, සජිත්, රනිල් සහ නාමල් යන අපේක්ෂකයන්ය. මෙම හතර දෙනා අතරින් ප්‍රබල තරගයක් පවතින්නේ අනුර සහ සජිත් අතර බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.
සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාර දී ඇති සජිත් ප්‍රේමදාස පිළිබඳ කෙටි විවරණයක් ඉදිරිපත් කිරීම මෙම කුඩා පොත් පිංචේ අරමුණයි.
සජිත් ගේ ළමා කාලය හා අධ්‍යාපනය
1967 ජනවාරි 12 දින උපන් සජිත් ගේ පියා වන ආර්.ප්‍රේමදාස මෙරට දේශපාලනයේ ඉතාමත් සුවිශේෂී චරිතයක් විය. ඉතා දිළිඳු පවුලක උපන් ප්‍රේමදාස දැඩි උත්සාහයකින් සහ අධිෂ්ඨානයකින් ක්‍රියාකොට නාගරික මන්ත්‍රී පදවියේ සිට විධායක ජනාධිපති ධූරය දක්වා ගමන් කළ පුද්ගලයෙකි. ඔහු 1993 මැයි පළවෙනි දින ත්‍රස්තවාදී බෝම්බයකින් මිය යන තුරුම දේශපාලන පොරපිටියේ හරි හෝ වැරදි ආකාරයට තම අනාගත අභිප්‍රායන් මුදුන් පමුණුවා ගත් පුද්ගලයෙකි.
"මේන් අගමැති පුතා..! ගණිතයට බින්දුවයි.."
සජිත් ගේ පාසල් දිවිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය ආශ්‍රයේ සිදුව ඇත. ඔහු රාජකීය විද්‍යාලයෙන් අටවන වසර තෙක් ඉගෙනීම ලබා ඇත. සජිත් රාජකීය විද්‍යාලයට යන කාලයේ ඔහුගේ පියාණෝ රටේ අගමැති විය. පුංචි සජිත්ට ද පියාණෝගේ අගමැති පදවියේ ආනුභාවය ඔලුවට කා වැදී තිබිණ. ඒ නිසා එයාගේ තරමට පොඩි පොඩි පාට් දැමීමට අමතක කෙළේ නැත. ඒ සමහර පාට් නිසා සමහර ගුරුවරුන්ගේ ද සිත් රිදී තිබිණි. ඒත් අගමැති පුතා නිසා කර බා ගෙන නිහඬව සිටියහ. එක් වාර විභාගයක දී සජිත්ගේ ගණිත ප්‍රශ්න පත්‍රයේ සියලු ගණන් වැරදී ගොස් තිබුනේ ය. මේ බව දුටු ගණිත ගුරුතුමා ලොකු බින්දුවක් දමා සජිත්ගේ පිළිතුරු පත්‍රය පන්තියටම උස්සා පෙන්වා කීවේ "මේන් අගමැති පුතා..! ගණිතයට බින්දුවයි.." කියා ය. මෙයට දඬුවමක් ලෙස කොරිඩෝරයේ දන ගස්වා සිටි සජිත් පෙන්වමින් එතැනින් යන එන අනෙකුත් ශිෂ්‍යයන්ටද ගුරුතුමා මේ විස්තරය කියා තිබුණේ ය. එදා සජිත්ට පාසැල් යාම තිත්ත විය.
ලන්ඩන් ඉගෙන ගන්න කොහෙන්ද සල්ලි..?
අනතුරුව එංගලන්තයේ Mill Hill හා ලන්ඩන් school of Economics යන අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලැබූ බව wikipedia වාර්තා වලට අනුව පෙනී යයි. Mill Hill යනු එංගලන්තයේ ඉතා ඉහළ පෙළේ පාසලකි. Mill Hill හී වසරක අධ්‍යාපනය ලැබීමට එවක දී අඩුම තරමේ පවුම් 25,000 ක පමණ විශාල මුදලක් අවශ්‍ය වේ. සජිත් මිල් හිල් විද්‍යාලයට ඇතුළත් වන විට ප්‍රේමදාස ප්‍රවෘත්ති හා ගුවන් විදුලිය භාර ඇමතිවරයා වූ අතර ඔහුට උපතින් ලද ධනයක් තිබුණා යැයි සිතිය නොහැකි ය.
සජිත් මිල් හිල් වැනි ඉතා අධික වියදම් සහිත පාසලකට යැව්වේ කෙසේදැයි කුකුසක් ඇතිවීම සාධාරණය. සජිත් බෝඩිං school එකක ඉගෙන ගැනීමට යැවීම සඳහා අධික ගාස්තුවක් ගෙවිය යුතුය. සජිත් අපොස සාපෙල සහ උසස් පෙළ මිල් හිල් හී පාසලින් ලැබූ බව කියැවේ. ඔහු බලා කියා ගැනීමට එවකට, ප්‍රේමදාසගේ ප්‍රවෘත්ති ලේකම් ලංකාවෙන් මහා කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත කළ බව එකල ප්‍රසිද්ධ කරුණකි. මේ සඳහා රජයේ අරමුදල් අනිවාර්යෙන්ම වැය කරන්නට ඇත. මීට අමතරව සජිත්ගේ ආරක්ෂාව සඳහා හමුදා භටයන් දෙදෙනෙකු එංගලන්තයේ ලංකා බැංකුවට අනුයුක්ත කර තිබූ බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
මේ අනුව සජිත් ගේ පාසල් අධ්‍යාපනයට හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ලංකාවේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කළ බව මේ අනුව අපට අනුමාන කළ හැකිය.
සජිත්ට සල්ලි යැවූ මහ බැංකුවේ නිලධාරියා රටින් පැන්නා..
සජිත් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යවා ඔහුගේ විය හියදම් සඳහා ලංකාවෙන් මුදල් යැවීමට අගමැති ප්‍රේමදාස මහ බැංකුවේ නිලධාරියෙකු පත් කරන ලද බව කියැවේ. ඔහුගේ ප්‍රධාන කාර්ය වූයේ මාසිකව සොයා බලා සජිත්ට අවශ්‍ය මුදල් එංගලන්තයට යැවීම ය. (මුදල් ලැබුනේ කොහෙන්දැයි දන්නේ නැත.) ටික දිනක් මේ කටයුත්ත කරගෙන යද්දී මේ නිලධාරියා හට රිංගා යා හැකි සිදුරක් පෙනෙන්නට පටන් ගත්තේ ය. ඔහු වහාම ඒ වන විට තරුණ වියට එළැඹෙමින් සිටි තම පුත්‍රයා ද එංගලන්තයට යැව්වේ ය. සජිත්ට මුදල් යවන අතරේ ඒ මුදල් වලින් කොටසක් තම පුත්‍රයාගේ විය හියදම් සඳහා ද ඔහු යැවූ බව දන්නෝ දනිති.
1994 දී චන්ද්‍රිකා බලයට පත්වෙද්දී, වංචා දූෂණ කළවුන් හැම දෙනාම ගෙනවුත් නඩු අසා ගාලු මුවදොර දී දඬුවම් දෙන බව කී නිසා ප්‍රේමදාස අභාවයෙන් පසුව යට කී නිලධාරියා බියට පත් විය. ඔහු තම පවුල සමග ඇමරිකාවට සංක්‍රමණය විය. එංගලන්තයේ සිටි තම පුත්‍රයාද එහි කැඳවා ගත් ඔහු සිය පවුල සමග මේ වන විට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි සතුටින් ජීවත් වෙයි.
ලංකාවේ සිට දුරකථනයෙන් සිංහල උගන්වයි..
එපමණක් නොව ආර්. ප්‍රේමදාස එංගලන්තයේ සිටි සජිත්ට සිංහල ඉගැන්වීම ට හෙළ හවුලේ අභාවප්‍රාප්ත මහා ලේඛකයකු යොදා ගත්තේ ය. අරලියගහ මන්දිරයේ දුරකථනය භාවිතා කරමින් මෙම පුද්ගලයා විසින් සජිත්ට පැය ගණන් සිංහල භාෂාව ඉගැන්වී ය. වට්ස්ඇප් නොතිබූ එකල දී මසකට ලක්ෂ තුනක් පමණ මුදලක් මේ සඳහා ගෙවීමට සිදුවූ බව නිල නොවන තොරතුරු පවසයි. දේශපාලනයේ මුදල් අවභාවිතා කිරීම පිළිබඳව දේශනා පවත්වන සජිත් තමාගේ පිටරට අධ්‍යාපනය සඳහා ලංකාවේ ජනතාව ගෙවන බදු මුදල් යොදා ගැනීම කෙතරම් සාධාරණ දැයි කල්පනා කළ යුතු නොවේද?
උපාධිය සම්පූර්ණ කරලා නෑ..
සජිත් ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ද පසුගිය කාලය පුරා නොයෙකුත් වාද විවාද සිදුවේ. සමහරු පවසන්නේ සජිත් අපොස පෙළ විභාගය සමත් වූ බවට ස්ථිර කිරීමට සාධක නැති බවය. සාමාන්‍ය පෙළ නොමැතිව උසස් පෙළ විභාගයට ගියේ කෙසේදැයි තර්කයක් මතුවිය හැක. උසස් පෙළ සමත් නොවී ලන්ඩන් school of economics වැනි එංගලන්තයේ ප්‍රධාන ගණයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු විය නොහැකිය. මෙම කරුණ සලකා බැලූ විට සජිත් උසස් පෙළ සමත් වූ බවට අනුමාන කළ හැකිය. නමුත් අරුමය නම් සජිත් ගේ විරුද්ධවාදීන් සජිත්ට අපොස සා.පෙළ සහ උසස් පෙළ නැතැයි අභියෝග කරන විට තමුන්ගේ අධ්‍යාපන සහතික ඉදිරිපත් කොට ඒ සනාථ කිරීමට සජිත් සූදානම් නොවීමයි. සජීත්ගේ විශ්ව විද්‍යාල උපාධිය පිළිබඳව නම් විශාල ආන්දෝලනාත්මක කරුණු රාශියක් ඉදිරිපත් වී ඇත. ලන්ඩන් school of economics විශ්ව විද්‍යාලයේ උපාධිය පිළිබඳ colombo telegraph පුවත්පතේ ඉතා දීර්ඝ විස්තරයක් පළ කර තිබේ. තවද එම පුවත්තේ පළවූ කරුණු අනුව සජිත්ට උපාධිය සම්පූර්න කිරීමට නොහැකි වී ඇත.
ගුරුවරු, ක්ලාස්මේට්ස් ලා නෑ..
සජිත්ගේ මවත් පියාත් දෙදෙනාම දේශපාලනයේ කාර්ය බහුල වූ බැවින් දරු දෙදෙනා කෙරෙහි දැක්විය යුතු අවධානය අතපසු විය. කුඩා සජිත් හැදුනේ වැඩුනේ හුරතල් වුනේ සහ කෙළි සෙල්ලම් කෙළේ ඔහුට වඩා බෙහෙවින් වයසින් වැඩි ආරක්ෂකයන් සමග ය. ඒ නිසා ඔහුට මිතුරු සමාජය අහිමි විය. අද මේ වන විට තරඟයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන්ගේ සමකාලීන මිතුරු මිතුරියන් ද ගුරුවර ගුරුවරියන් ද ඉදිරිපත්ව සිටින නමුත් සජිත් සමග එක පන්තියේ ඉගෙන ගත් කෙනෙකු හෝ 'සජිත්ට ඉගැන්වූයේ මම' යි කියන ගුරුවරු පෙනෙන්නට නැත.
සජිත්ගේ දේශපාලන ආගමනය සහ මහජන මුදල් නාස්තිය..
සජිත්ගේ දේශපාලන ගමන සිය පියාගේ අභාවයෙන් පසුව සිදු විය. රාජපක්ෂලාගේ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ඇරැඹීම එක අතකට ඔහුගේ එඩිතර බව පිළිබිඹු කරන අවස්ථාවක් ලෙස කෙනෙකුට තර්ක කළ හැකිය. මන්ද සිය පියාගේ වැයික්කිය වූ මැද කොළඹ අතහැර රුහුණු මාගම්පත්තුවට යාම එක අතකින් අභියෝගකාරී කටයුත්තකි. නමුත් ඔහු එහි ගියේ සිය පියාගේ කුල සාධකය නිසා යැයි විචාරකයෝ කියති. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය දක්වා ගමන් කළ සජිත් එම රජය තුළ නියෝජ්‍ය ඇමැති සහ කැබිනට් ඇමති ධූර දරා ඇත. පසුව ඔහුට සිය පියාගේ උරුමය වූ නිවාස ඇමැති ධූරය හිමිවූ අතර දුගී දුප්පත් ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරදීමට අවංක උත්සාහයක් ගත් බව සමහරු කියන අතර තවත් සමහරු පවසන්නේ නිවාස ව්‍යාපෘති හරහා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය පුම්බා ගැනීමට ජාතික ධනය විශාල වශයෙන් වැය කළ බවයි. දැන් සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීමට ගොස් සිටින ඩලස් අලහප්පෙරුම පවසන පරිදි නිවාස ව්‍යාපෘති වලින් නිවාස දහයක් තනන විට ඊට වඩා වැඩි මුදලක් ඔහුගේ ප්‍රතිරූපය නංවා ගැනීමට භාවිතා කර ඇත. මීට වසරකට පමණ පෙර ඩලස් අලහප්පෙරුම මෙසේද පැවසීය. "සජිත් ප්‍රේමදාස නිවාස ව්‍යාපෘති විවෘත කරන විට එහි සමරු ඵලක සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් වියදම් කරන අතර, පත්තර දොළහක දැන්වීම් සඳහා ලක්ෂ 15ක් වියදම් කර තිබේ. එම මුදල් වලින් මල්ලිකා අම්මාට ගෙයක් හදලා දෙන්න තිබුණා" කියාය.
සිය අමාත්‍යංශයට අයත් ආයතන, ව්‍යාපෘති සඳහා අනවශ්‍ය ආකාරයෙන් සේවකයන් බඳවා ගැනීම මගින් තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට කටයුතු කළ බවද ඔහුට චෝදනා නැගී ඇත. උදාහරණයකට පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ ඔහු යටතේ තිබූ නාගරික සංවර්ධන අධිකාරියේ සේවකයන් 2164 ක් සිටිය දී ඔහු අලුතින් සිය හෙංචයියන් 5000 ක් බඳවා ගෙන එහි සේවක සංඛ්‍යාව 7164 දක්වා නුහුලනා ගණනකින් ඉහල දමා තිබිණ. එක පුටුවකට සේවකයන් හත් දෙනෙකු බැගින් සිටියේ හය දෙනෙකුටම හිඳ ගන්නට තැනක් නැතිව ය. ඔහු රාජ්‍ය ආයතන බංකොලොත් කරන ලද්දේ එසේ ය.
සජිත්ට එරෙහිව ඇති විශාලම දූෂණ චෝදනාව වන්නේ සංස්කෘතික අරමුදලින් මිලියන 3500ක් වැය කොට ඒවා තමන්ගේ දේශපාලන ව්‍යාපෘති සඳහා භාවිතා කිරීම යි. ඩලස් අලහප්පෙරුම පවසන පරිදි සජිත් සංස්කෘතික අරමුදලේ කිසිම අවසරයකින් තොරව එහි මුදල් අවභාවිතා කර ඇත.
කළු අරමුදල්..
සක්වළ හා හුස්ම වැඩසටහන් සජිත්ගේ දේශපාලන ව්‍යාපෘතීන් වේ. බැලූ බැල්මට එම ව්‍යාපෘතිවලින් ජනතාවට සහ සිසුන්ට සේවයක් ඉටුවන බව දක්නට ලැබුණද එම ව්‍යාපෘතීන් සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරය පිළිබඳව බලවත් විවේචනය ලැබී ඇත. දූෂිත ජාවාරම්කරුවන්ගෙන් සහ මත්කුඩු වෙළෙන්දන්ගෙන් ලබාගත් මුදල්වලින් එම ව්‍යාපෘති කරන බව ට සජිත්ට චෝදනා එල්ල කරන්නේ ඔහුගේම පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකාය. මේ ආකාරයට බලයට පැමිණියහොත් ඉන් පසුවත් එම ජාවාරම්කාරයින්ට ප්‍රතිඋපකාර කිරීමට ඔහුට සිදුවනු ඇති බව විවේචකයෝ පවසති.
සජිත්ගේ ප්‍රධාන දුර්වලතා: මෝඩ තීරණ..
සජිත් පිළිබඳව සමාජයේ විවිධ පුද්ගලයින් විවිධ අර්ථකථන ලබාදෙයි. සමහරු පවසන්නේ සජිත් හිතුවක්කාර, මෝඩ තීරණ දෙන උද්දච්ඡ පුද්ගලයෙකු බවයි. ඔහු තමාගේ දේශපාලන සගයන් පිළිබඳ නිරන්තර සැකයෙන් පසු වන බව ඔවුන් පවසයි. සියලු දේ තමා විසින්ම කළ යුතුය යන මතය දරණ නිසා සාමූහිකව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඔහු අසමත් වී ඇති බවත් තමා පිළිබඳව අධි තක්සේරුවක සිටීම නිසා නිතරම තමා පමණක් යනුවෙන් උදම් ඇනීම කරන බවටත් ඔහුට චෝදනා මතුව ඇත. පසුගිය දිනක සජිත් තමාගේ ප්‍රවර්ධන වැඩසටහනක දී මෙසේ පවසා තිබේ. "මම තරම් දක්ෂ බුද්ධිමත් කඩිසර පුද්ගලයෙක් තවත් ඉන්නවාද? මම දවසකට පැය දොළහක් පහළොවක් එක දිගට වැඩ කරනවා. මගේ බුද්ධියට කිසිවෙකුට ළං වෙන්න බෑ. මං වගේ අවුරුදු පනස් දෙකේ තරුණ ජනාධිපති කෙනෙක් පත්කර ගත්තොත් මට දිවා රෑ නොබලා තමුන්නාන්සේලාගේ දියුණුවට වැඩ කරන්න පුළුවන්. මගේ ඩයිනමෝ ඉතා කාර්යක්ෂමයි." යනාදී ලෙස මෙබඳු විකට කතා බොහොමයක් පවසයි. රැස්වීම්වල ප්‍රසිද්ධියේ මෙවැනි කතා කීම නිසා අද සජිත් බොහෝ දෙනාගේ විහිළුවට ලක් වී ඇත. ඔහුගේ බොහෝ ප්‍රකාශ ඉතා බොල්, හරසුන් ඒවා බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. සාම්ප්‍රදායික දේශපාලන චින්තනයෙන් මිදීමට ඔහුට උවමනාවක් නැද්ද එසේත් නැතහොත් වර්තමාන පරපුරේ අදහස් පිළිබඳව හොඳ අවබෝධයක් නැද්ද යන්න සිතාගැනීමට අපහසුය. පසුගියදා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ සජබ මන්ත්‍රීනි තලතා අතුකෝරාල සජිත්ගේ අපරිනත කම ගැන කීවේ මෙසේය. " තමන් කොච්චර අපරිණත වුවත් තමන්ගේ අපරිණත බව ජනතාව අතරේ කොච්චර කතා බහට ලක් වුවත් ඒ ගැන වගේ වගක් නැහැ. කොහොම හරි තමන් රටේ නායකයා වෙන්න තමයි ඕනෑ. ඊට කාලය හරිද? පරිසරය හරිද? ඒක වැරදුනොත් විය හැකි විනාශය කොයි වගේද? එය ප්‍රතිපූරණය කළ හැකි එකක්ද? එවැනි විනාශයක වගකීම ගන්න තමන්ට පුළුවන්ද? වැනි කරුණු ගැන කිසිම සොයා බැලීමක් නෑ. අඩුම ගණනේ තමන් තුල ඊට ගැලපෙන නායකත්ව ගුණ තියෙනවාද කියා සිතන්නටවත් වෙහෙසෙන්නේ නෑ. ඉතාම අපරිණත අකාරයේ කෘතිම රැල්ලක් සාදාගෙන බලය ගන්න උත්සාහ කරනවා මිසක් එය රැක ගැනීමට සැලැස්මක් වැඩ පිළිවෙලක් ඔලුවේ නැහැ"
හොරෙන් නිධන් හෑරීම...
සිය පියා ජනාධිපති කාලයේ තරුණ සජිත්ට තිබූ ප්‍රධාන චෝදනාවක් නම් සජිත් යනු හොරෙන් නිධන් හාරන නිධන් වස්තු සොරකු බවයි. ඔහුට මෙම චෝදනාව එල්ල වූයේ ඔහුගේම අංග ආරක්ෂාවට සිටි ආරක්ෂක භටයෙකු විසින් 'ඇත්ත' පුවත් පතට හෙළිකළ කරුණු අනුව ය. සජිත් එස්ටීඑෆ් ආරක්ෂාව සහිතව නිධන් හාරන බව එකී ආරක්ෂක භටයා පුවත් පතට පවසා තිබිණ. 'ඇත්ත' පුවත් පත මුල් වරට මේ සිද්ධිය ප්‍රසිද්ධ කෙළේ ය. ඇත්ත පුවත්පතේ එකී වාර්තාව ලියූ මාධ්‍යවේදියා අද ද ජීවතුන් අතර සිටින වත්මන් ජාතික පුවත්පතක කර්තෘ වරයෙකි.
සොයුරිය දුලංජලී ගේ හොර නෝට්ටු සිද්ධිය..
සජිත්ගේ සොහොයුරියගේ හොර නෝට්ටු සිද්ධිය ද සජිත්ගේ දේශපාලන කීර්ති නාමයට කැළලක් ගෙන දුන් ක්‍රියාවකි. ඔහුගේ සොයුරිය රුපියල් විසි ලක්ෂයක හොර මුදල් නෝට්ටු ටෙලර් යන්ත්‍රය හරහා බැංකුවක තැන්පත් කර තිබිණ. සීසීටීවී කැමරා අනුව තැන්පත් කළ කාන්තාව සොයා ගත් විට සොයුරිය හසුවිය. මෙම සිද්ධිය පිළිබඳ මහින්ද රාජපක්ෂ පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූයේ සජිත්ගේ සොහොයුරිය හොර නෝට්ටු වංචාවකට හසු වූ විට තමා ප්‍රේමදාස මහතා ගැන සිතා සජිත්ගේ සොයුරියට එරෙහිව එම චෝදනාවලට නීතියෙන් කටයුතු කිරීමට ඉඩ නොදුන් බවයි. ජනාධිපතිවරයකුට එබඳු ප්‍රකාශයක් කිරීමට ඇති අයිතිය හා එහි සුජාතභාවය පිළිබඳව කල්පනා කළ යුතුය. රටක පවතින නීතිය නමන මෙවන් පාලකයන් පිළිබඳ අප සැලකිලිමත් විය යුතු නොවේද?
'මුල්කිරිගල චිත්‍රය' සොරකම් කර හසුවීම..
ආර්. ප්‍රේමදාස ජනාධිපති කාලයේ සජිත්ගේ සොයුරියගේ ස්වාමිපුරුෂයා වන රොහාන් ජයකොඩි නමැත්තා ජනාධිපති මන්දිරයේ තිබූ ඉතා වටිනා පැරණි චිත්‍රයක් වන 'මුල්කිරිගල චිත්‍රය' සොරකම් කර එංගලන්තයට ගෙන ගොස් විකුණා හසුවිය. අද සජිත් ගේ දෑත් ශක්තිමත් කිරීමට ගොස් සිටින චම්පික රණවක ඉතාමත් මෑතක දී ඒ ගැන කීවේ මෙසේ ය. “ඒ කාලේ අපේ මහා බ්‍රිතානයේ තානාපති ෆයිස් මුස්තාපා මහත්මයා චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න ගියාම මුල්කිරිගල ඓතිහාසික චිත්‍රය දැක්කා. එතුමා අඳුර ගත්තා මේ චිත්‍රය. ආර්ට් කලෙක්ටර්ගෙන් ඇහුවා කොහෙන්ද මේ චිත්‍රය ගත්තේ කියලා. ඔහු කිව්වා පවුම් 35,000 කට ගත්තේ ප්‍රේමදාසගේ බෑනා රොහාන් ජයකොඩිගෙන් කියලා. මම දන්නේ නැහැ ඒක දැන් තියනවද කියලා. අර මහත්මයාගේ සහ ෆයිස් මුස්තාපා මහත්මයාගේ මැදිහත්වීමෙන් තමයි යන්තම් ඒ චිත්‍රය නැවත අපිට ලැබුණේ. ඔය ජනාධිපති මන්දිරයේ තිබිච්ච බොහෝ දේවල් එක එක කාලවල අතුරුදහන් වුණ බව බොහෝ දෙනා දන්නවා." චම්පික රණවක කීවේ ය.
සිය පියා විසින් සිදු කරන ලද පව් කන්දරාව සජිත් පසුපස..
මෙම චෝදනා සියල්ලම දේශපාලන බලපුළුවන්කාරකම් වලින් යටපත් කළද ඒවා සජිත්ගේ දේශපාලනය අනාගතයට ඉතා දැඩි ලෙස බලපාන කරුණු වේ. රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වී රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දස දහස් ගණනකගේ ජීවිත විනාශ කළ බවට එම දරුවන්ගේ දෙමාපියන්ගේ සිත් සතන් තුළින් ඉවත් කිරීමට සජිත්ට කිසිදා නොහැකි වනු ඇත. බටලන්ද කොමිසම් වාර්තාවේ සඳහන් වන පරිදි රනිල්ට බටලන්ද වධකාගාරය පවත්වාගෙන යාමට ප්‍රේමදාස ද සෘජුව දායක වූ පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත. බටලන්ද වධකාගාරයේ අළුගෝසුවා වූ ඩග්ලස් පීරිස්ට අයතා ලෙස උසස්වීම් ලබා දී ඔහු ලවා ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් දස දහස් ගණනක් මරා දැමීමට රණසිංහ ප්‍රේමදාස ද දායක වී ඇති බව පැහැදිලි වේ. එකල ඩග්ලස් පීරිස්ට සහකාර පොලිස් අධිකාරී ධුරය ලබා දී ඇත්තේ ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දහතුනක් සිටියදීය. එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ සජිගේ පියාවන රණසිංහ ප්‍රේමදාස විසිනි. සිය පියා විසින් සිදු කරන ලද පව් කන්දරාව සජිත් පසුපස කවදා හෝ හඹා එනු ඇත.
මහන්තත්ත කතා..
"මට තරම් මේ දේශපාලනයේ කිසිම කෙනෙකුට වැඩ කරන්න බෑ. මගේ කඩිසරභාවය කිසිම කෙනෙකුට නැහැ. මගේ දක්ෂකම, නිර්මාණශීලීත්වය ඔය වෙන කාටවත් නෑ. මට ඕන තරම් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. මට හොඳට වැඩ කරන ඩයිනමෝවක් තියෙනවා. අවුරුදු පනස් දෙකක තරුණ මට හොඳම තීරණ ගන්න පුළුවන්. මට කාගේවත් උපදෙස් ඕන නෑ. මට බුද්ධියක් තියෙනවා. පලපුරුද්දක් තියෙනවා මේ රටට ඕන වැඩ මොනවද කියලා මම දන්නවා." මේ සජිත් ප්‍රේමදාස තමා ගැන කරපු හැඳින්වීමක්. මෙබඳු පුද්ගලයෙක් රටේ ජනාධිපති වුණොත් කොහොමට තියෙයිද ? තීරණය ඔබට භාරයි.
සජිත්ට ඔහුගේ පියාණන් හා මවගේ ක්‍රියාවන් නිසා බොහෝ දේ අහිමි වී තිබේ.
සජිත්ගේ අම්මාගේ පින්තූරයක් ගත් කැමරා ශිල්පියාගේ අභිරහස් මරණය..
සජිත්ගේ මව අගමැති බිරිඳ සහ ජනාධිපති ආර්යාව වශයෙන් සිටි කාලයේ ඇගේ හැසිරීම් රටාව ද බොහෝ සෙයින් සමාජයේ අපහාසයට විරෝධයට ලක්වී තිබුණි. ඇය සමාජයේ හැසිරුණු විලාශය අතිශයින්ම බහුතරයකගේ විරෝධයට ලක් විය. ඇය කොට සායකයින් සැරසී නෙට් බෝල් ක්‍රීඩා කරන අවස්ථාවක දී පෑන්ටිය පෙනෙන සේ ඡායාරූපයක් ගත් සුරෙන්ද්‍ර නම් ජනමාධ්‍ය ඡායාරූප ශිල්පියෙකු වත්තල ජෝන් අමරතුංග ඇමතිගේ නිවස අසල දුම්රිය හරස් පාරක දී අභිරහස් ලෙස වාහන අනතුරකට ලක්ව මරණයට පත්ව තිබුණි. නමුත් ඡායාරූප ශිල්පී සුරෙන්ද්‍රගේ හෙල්මටය ජෝන්ගේ වත්තේ තිබී හමුවිය. සිද්ධිය යටපත් විය. ඒ කාලයේ දී සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට මෙන්ම අවධානයට ලක් වූ මේ සිද්ධිය නිසා ද ප්‍රේමදාස පවුලට එරෙහිව දැඩි විරෝධයක් සමාජයෙන් එල්ල විය. මෙම සිදුවීම් මතකයේ තිබෙන ජනතාව සජිත්ට ඡන්දය භාවිතා කිරීමට පෙර සජිත් ගේ දෙමාපියන්ගේ අනුදැනුම මත සිදුවූ එවැනි අභිරහස් මරණ ගැන කල්පනා කරනු ඇත. ප්‍රේමදාස පවුලේ පැටිකිරිය එතරම් පිරිසුදු නොවීම සජිත්ට බලවත් පාඩුවක් බව පැහැදිලිය.
පියාණෝ මිය ගිය විට කිරිබත් කා රතිඤ්ඤා දල්වමින් ප්‍රීති වූ ජනතාව...
රණසිංහ ප්‍රේමදාස එක්දාස් නමසිය අසූ අට අසූ නමය කලබල සමයේ බටලන්ද වධකාගාරයේ පවත්වාගෙන ගිය රනිල් සමග ඩග්ලස් පීරිස්, ප්‍රේමදාස උඩුගම්පොළ යන පොලිස් අළුගෝසුවන් යොදාගෙන අහිංසක තරුණ ජීවිත දස දහස් ගණනක් විනාශ කිරීම පිළිබඳ විශාල චෝදනා රැසක් එල්ල වී ඇත. 1990 ට පසුව උපන් දරුවන් ප්‍රේමදාස ගැන කිසිදු අත්දැකීමක් නැති නමුත් ඔවුන්ගේ දෙමාපියන්ට ප්‍රේමදාස, රනිල්, රංජන් විජේරත්න විසින් දස දහස් ගණන් තරුණ තරුණියන් ටයර් සෑය වෙත යැවීම ගැන අමිහිරි අතීත මතක ඇති බව කිසිදු සැකයක් නැත. පියාණෝ හා පියාණෝ ගැන නිතර කියවන සජිත්ට පියා කරන ලද මනුෂ්‍ය ඝාතන වලට නීතියෙන් දඬුවම් නොලැබුණ ද ස්වභාවධර්මයේ නීතියෙන් දඬුවම් ලැබීමට ඉඩ ඇත. සජිත් 'මම පියාගේ අඩි පාරේ යනවා' යැයි කියන්නේ නම් අනිවාර්යයෙන් එහි ප්‍රතිවිපාක වශයෙන් 1990 ට පසු ඉපදුනු දරුවන්ගේ දෙමාපියන් මිතුරන් සජිත්ට ඡන්දයක් දෙන විට දෙවරක් නොව කීප වරක් කල්පනා කරනු ඇත. අපේ සංස්කෘතික උරුමයන් අනුව කිසිවෙකු මිය ගිය විට 'අනේ අපොයි' කියනවා විනා කිරිබත් කෑමක්, රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිය පළ කිරීමක් නොකරති. ඒත් රණසිංහ ප්‍රේමදාස මැයි පළමු වෙනිදා මරදානේ බෝම්බ ප්‍රහාරයට ගොදුරුව මියගිය අවස්ථාවේ දී අප රටේ ජනතාව කිරිබත් කමින්, රතිඤ්ඤා දල්වමින් ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. 1990න් පසුව උපන් දරුවන්ට මතකයක් නැති නමුත් ඔවුන්ගේ දෙමාපියන්ට මතක ඇති නිසා ඔවුන් සජිත් ජනපති කිරීමට ඡන්දය දෙනු ඇතැයි සිතිය නොහැකි ය. 1990 න් පසුව උපන් දරුවන් ද අද දේශපාලන වශයෙන් මුහුකුරා ගිය පිරිසක් බැවින් ඔවුන්ගේ ඡන්දය සජිත් ට ලැබෙනු ඇතැයි සිතීම අපහසු කාරනයකි. මේ නිසා පරම්පරා දෙකක ශාපයට සජිත්ට වන්දි ගෙවීමට සිදුවීම ද දෛවෝපගත සිදුවීමකි.
ප්‍රේමදාස ඝාතනය සිදුවෙද්දී සජිත් සිටියේ එංගලන්තයේ ය. ඔහු වහාම කොළඹට කැඳවන ලද අතර නිවසට ආ විගස ඔහු අසා ඇත්තේ "දැන් ඉතින් අම්මා නේද ජනාධිපති?" කියා ය. එය එසේ නොවන බව ඔහුට ඒත්තු ගන්වන්නට එදා එතැන සිටි අයට මහත් වෙහෙසක් ගන්නට සිදු වූ බව දන්නා අය අද ද ජීවතුන් අතර සිටිති. එදා සජිත් තර්ක කෙළේ "බණ්ඩාරනායක මහත්තයා මළාට පසුව සිරිමාවෝ මැතිණිය අගමැති වුනා නම්, අපේ තාත්තා මළාම අම්මා ජනාධිපති නොවී කොහොමද?" කියා ය.
ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගැනීමේ ප්‍රේමදාස පුරුද්ද..
සජිත් ගේ බිරිඳ ජලණි ප්‍රේමදාස කොළඹ හතේ ගොඩනැගිල්ලක් අල්ලාගෙන වසර පහක් කුලී නොගෙවා බලහත්කාරයෙන් රැඳී සිටින බව ඉලංගකෝන් නමැති එම ගොඩනැගිල්ලේ අයිතිකරු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය. මෙම චෝදනාව පිළිබඳව සජිත් නිහඬව සිටීම තුළින් ඔහු දෙබිඩි චරිතයක් රඟපාන බව පැහැදිලි වේ. ආර්. ප්‍රේමදාස යුගයේ දී ද බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීමට ප්‍රසිද්ධ ය. සජිත්ගේ සොයුරිය දුලාංජලී විවාහ වූයේ ජපානයට මල් සපයන ව්‍යාපාරිකයෙකු වූ හියුබට් ජයකොඩිගේ පුතෙකු වූ රොහාන් ජයකොඩි සමග ය. ජපානයට මල් යැවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය අයුතු ලෙස භාවිතා කළ බව එකල ප්‍රසිද්ධ කාරණයකි. ජයකොඩිලාගේ මල් ව්‍යාපාරයට මල් සපයා ගැනීමට නුවරඑළියේ තුරඟ තරඟ පිටියේ ඉඩම් ජයකොඩි පවුලට ලබා දී තිබුණි.
නැවතත් ප්‍රේමදාස යුගයක්..
සජිත් අද පවසන්නේ නැවතත් සිය පියාණෝගේ ප්‍රේමදාස යුගය ඇති කරන බවයි. එසේ වුවහොත් අසූ අට අසු නමය තරුණ තරුණියන් දස දහස් ගණන් මරා දැමීම, අළුගෝසු රනිල් සමග බටලන්ද වධකාගාරය පවත්වාගෙන යෑම, ඉන්දියන් හමුදාව පලවා හැරීමට කියා කොටින්ට අවි ආයුධ හා බංකර් තැනීමට යකඩ හා සිමෙන්ති ලබාදීම, ප්‍රේමදාසගේ නියෝග අනුව කොටින්ට යටත් වීමට කියා පොලිසියට නියෝග දීමෙන් පොලිස් නිලධාරීන් හත්සියයක් පමණ අමු අමුවේ ඝාතනයට සැලැස්වීම ආදී ආර්. ප්‍රේමදාස වගකිව යුතු සජිත්ගේ පියාගේ ප්‍රතිපත්ති අනුව ගමන් කිරීමට ඔහුට සිදුවනු ඇත. එසේ බලාපොරොත්තු වෙනවා නම් ඉහත චෝදනාවලට ඔහු ද ගොදුරු වනු ඇත.
රට ද? දරුවන්ගේ අනාගතය ද? අමන ජනාධිපතියෙකු ද?
සජිත් ලබන ජනාධිපතිවරණයේ දී ජනාධිපති පදවියට පත් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය හා වගකීම පැවරී ඇත්තේ මේ රට ලක්ෂ එකසිය හැත්තෑවක ජනතාව වෙතය. රනිල් සමඟ දශක තුනක් පමණ දීර්ඝ කාලයක් එක්ව සිටි සජිත් පෞද්ගලිකව අද රනිල්ගෙන් වෙන්ව සිටිය ද ඉදිරියේ සිදුවන දේශපාලන පෙරළි අනුව සජිත් කුමන තීරණයක් ගනීද යන්න කිසිවකුට කිව නොහැකිය. රනිල්ට හිමිවන දේශපාලන ඉරණම සජිත්ට ද මුහුණ දීමට සිදුවනු ඇත. රට අද ඉතාමත් තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇත. සජිත් ජනපති කරනවාද? නැද්ද? යන්න තීරණය කිරීම තුලින් රටේ සහ දරු පරපුරේ අනාගතය තීරණය කරනු ඇත. වගකිව යුතු පුරවැසියෙකු ලෙස සිතන්න. රට ද? දරුවන්ගේ අනාගතය ද? අමන ජනාධිපතියෙකු ද? තීරණය ඔබ සතුය.

No comments:
Post a Comment